බඩේ පණුවෝ
Posted on May 22nd, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

හලාවත රෝහලේදී වරක් මධ්‍යම රාත්‍රියේ වෛද්‍ය වී එස් රොද්‍රිගූ මහතා මට දුරකථනයෙන් කතා කලේය​. එකල ඔහු ශල්‍ය වෛද්‍ය අංශයේ රෙජිස්ට්‍රාර්වරයා විය​. විශේෂඥ ශල්‍ය වෛද්‍ය බී ජී එන් රත්නසේන මහතා නිවාඩු ගොස් තිබූ නිසා වෛද්‍ය වී එස් රොද්‍රිගූ එදින ශල්‍ය අංශයේ වැඩ බැලීය​.

වෛද්‍ය  රොද්‍රිගූ කියූ පරිදි රෝගියා වයස අවුරුදු පහක පමණ ළමයෙකි. බඩවැල් අවහිරවී තිබූ නිසා ළමයා සිටියේ අසාධ්‍ය තත්වයේය​. ඔහුගේ බඩ ඉදිමී තිබුණි. ළමයා ශල්‍යකර්මයකට ලක් කල යුතු නිසා මම නිදිමත කඩමින් ලහි ලහියේ ශල්‍යාගාරය වෙත ගියෙමි. ළමයාගේ වයස හා බර  සොයාගත් මම ඔහුව නිර්වින්දනය කිරීමට සූදානම් වූයෙමි. ඒ අතර හෙද නිලධාරිනී කෝදාගොඩ හෙවත් කෝදා ශල්‍යකර්මයට අවශ්‍ය උපකරණ සූදානම් කලේය​. වෛද්‍ය රොද්‍රිගු දෑත් හොඳින් සෝදාගෙන ශල්‍යකර්මයට ලක ලෑස්ති විය​.

BADAPANUWO

වෛද්‍ය රොද්‍රිගු දෑත් සෝදා ග්ලවුස් දමා ශල්‍ය අැඳුම් ඇඳගෙන එන විට මම රෝගියාව

නිර්වින්දනය කොට තිබුනි. කෝදා විසින් දුන් සැත අතට ගත් වෛද්‍ය රොද්‍රිගු ළමයාගේ බඩ හරහා කැපුමක් යොදා උදර කුහරය විවෘත කලේය​. ඒ අතරවාරයේ බඩවැල් ඉහිල් කිරීම සඳහා මම ඖෂධයක් රෝගියාගේ ශිරා ගත කලෙමි. වෛද්‍ය රොද්‍රිගු මහ බඩවැල විවෘත කලා

පමණි  බඩවැල් පුරවා සිටි පණුවන් රොත්තක් මිලි මිලි ගා ඉවතට ආවෝය​. පණුවන් උදර කුහරයේද , වෛද්‍ය රොද්‍රිගූගේ අත් වලද , ශල්‍ය මේසය උඩද දඟලමින් ඒ මේ අත යන්නට විය​. කෝදා ඊක් ගා පස්සට පැන්නාය​.

වෛද්‍ය රොද්‍රිගු භාජනයක් ඉල්ලාගෙන පණුවන් ඒ තුලට දැමුවේය​. ඒ සමගම බඩවැල් පණුවන් ගෙන් නිදහස් කරමින් තව තව පණුවන් එලියට ගත්තේය​. එසේම උදර කුහරයද පිරිසුදු කලේය​. අප දෙපැයක් පමණ පණුවන් සමග යුද වැදුනෙමු. අවසානයේදී පණුවන් සම්පූර්ණයෙන්ම ඉවත් කොට වෛද්‍ය රොද්‍රිගු බඩවැල මසා දැමුවේය​. ඉන්පසු උදර කුහරය මසා ශල්‍යකර්මය අවසන් කලේය​. මම නිර්වින්දන ඖෂධ ප්‍රතිවර්ත කරමින් කොළුවාව සිහි ගැන්වූයෙමි. ඉන්පසුව ඔහුව වාට්ටුවට යන ලදි.

පසුව හෙලිවූ පරිදි මේ ළමයා මිත්තනිය විසින් හදා ගන්නා ළමයෙකි. ඔහුට  පණු බෙහෙත් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කොට තිබුනද මිත්තනිය විසින් ජීවිතයේ කිසි දිනක ඔහුට පණු බෙහෙත් දී තිබුනේ නැත​. එයට හේතුව වශයෙන් මිත්තනිය කියා තිබුනේ “පණු බෙහෙත් දුන්නම ළමයින්ට පපුවේ හතිය එනවා ” යන මිත්‍යා මතයයි. උගත් මිනිසුන් , පූජකයන් ,දේශපාලකයන් සහ ජනමාධ්‍යවේදීන් විසින් මිත්‍යා මත ප්‍රවර්ධනය කරන රටක මෙවැනි මිත්‍යා මත සමාජගත වීම අරුමයක් නොවන බව අපට වැටහුණි. එසේම ලංකාවේ සෞඛ්‍යය අධ්‍යාපනය දුගී මිනිසුන් වෙත නොයන බව මේ සිදුවීම අපට පසක් කලේය​

කෙසේ නමුත් ලොකු ටින් එකක් පුරවා සිටි පණුවන් කිහිප දෙනෙකු කුඩා ෆෝමලීන්  බෝතලයක දමා දෙන ලෙස මම ශල්‍යාගාරයේ නාමල්ට කීවෙමි. ඔහු එය ඉටු කලේය​. එම පණුවන් සහිත කුඩා බෝතලය සිහිවටනයක් ලෙස බොහෝ කාලයක් මා ලඟ තිබුනි. එසේම සමහර විට කුඩා දරුවන් සිටින දෙමාපියන්ට  සෞඛ්‍යය අධ්‍යාපනය දීමට මම මේ කුප්පිය යොදා ගත්තෙමි.

මේ සිදුවීමෙන් වසර හයකට පම​ණ පසුව මම සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ඩබල් කැබ් රථයකින් කොලඹ සෞඛ්‍යය අමාත්‍යාංශයේ සිට මාදම්පේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍යය  සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලය දක්වා යමින් සිටියෙමි. මීගමුව ආසන්නයේ හලාවත දෙසට යාමට බස් රථයක් එන තෙක් කෝදා සහ තවත් හෙදියක් සිටියෝය​. මම වාහනයේ රියැදුරුට කියා වාහනය නවතා කෝදා සහ හෙදිය වාහනයට නංවා ගතිමි. මා දුටු කෝදා “කොහොමද ඩොක්ටර් කාලෙකට පස්සේ” කියා අැසුවාය​. “ඒක නෙවෙයි මතකද එදා රෑ පණු කේස් එක” කියා මම ඇයගෙන් විචාලෙමි. “අම්මෝ ඩොක්ටර් මතක් වෙන කොටත් ඇඟ හිරි වැටෙනවා” කියා ඇය කීවාය​.

වෛද් රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress