ගොවියා   කුඹුරෙන් ඉවත් කිරීමේ සැලැස්ම හෙළිවෙයි
Posted on June 23rd, 2016

මතුගම සෙනෙවිරුවන්

බත් කන මිනිසුන් සිටින රටක බත උපදනා තැන කුමක්දැයි කවුරුත් දැන ගත යුතුය. බත් ඉපදෙන්නේ කෑම මේසයේ කෑම පිඟානෙන් බව අනාගත තරුණ පරපුර කියන්නට ඉඩ ඇත. ජාත්‍යන්තර පාසල් පමණක් නොව නිදහස් අධ්‍යාපනයෙන් බිහිව සිටින උගත් තරුණ පරපුරද එසේ කියනු ඇත. මේ ඛේදවාචකයට යම් තරමක ඉතිහාසයක් තිබේ. කෘෂිකර්ම අධ්‍යාපනය විසින් කෘෂිකර්ම නිළධාරීන් බිහි කරන තැනට වැඩ කිරීම එක හේතුවකි. උගතා කුඹුරට බහින්නේ නැත. ඔහු ගොඩ සිට ගොවිතැන් කරන හැටි ගොවියාට කියා දෙයි. ගොවීන් ගේ පුතුන් සියල්ල උගත් පරපුරට එක් වීමෙන් පසු ගොවිතැන නිමා වනු ඇත.එවිට ඉන්දියාවෙන් හෝ වියට්නාමයෙන් හාල් ගෙන්විය හැකිය. අනෙකුත් ධාන්‍ය වර්ගයන්ද එලෙස ගෙන්විය හැකිය.

ගොවියාගේ මුල් ඉදිරීම පළමුවෙන්ම සිදුවනු දැකිය හැකි වන්නේ බස්නාහිර පළාත තුළිනි.ගම්පහ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයන් තුළ කුඹුරු හෙක්ටයාර් තිස්දාහකට(අක්කර හැත්තෑපන්දාහක්) ආසන්න සංඛ්‍යාවක් තිබේ. කෝට්ටේ යුගයේදී කොළඹ ගම්පහ ගොවිතැන් වලින් මුතු වැනි සහල් උපයා ගත් හැටි කියැවෙයි. වර්තමාන පාර්ලිමේන්තුව අවට තිබූ සාරවත් කුඹුර යායවල් අද දක්නට නැත.කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුරය රැකගන්නට එදා එරාබහින හැල්කුඹුරු අවශ්‍යම විය. අද ඒ කුඹුරු සියල්ල වගුරු බවට පත් වෙමින් ඇත. නවසිය අසූව දශකයේ පටන් ඇතිවූ ආර්ථික පෙරළියෙන් නාගරික සභ්‍යත්වයට වහ වැටුණු බොහෝ පිරිස් ගම අතහැර කොළඹට සේන්දු වීමෙන් කොළඹ ආශ්‍රිත කුඹුරු ගොඩකර ගොඩනැගිලි ඉදි වූයේය. නිවාස පමණක් නොව කර්මාන්ත ශාලාද රජයේ කාර්යාලයන්ද ඉඳි වූයේය.පහත දැක්වෙන් වගුවෙන් පෙනෙන්නේ කොළඹ ගම්පහ කුඹුරු ප්‍රමාණය වසර විසිදෙකක් තුළදී අඩුවූ ආකාරයයි.දැන් කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහන පිටාරය වෙනත් දිස්ත්‍රික්කයන්ටද පැතිරී යයි. එයට විසඳුම නම් විධිමත් නාගරික සැලැස්මක් ක්‍රියාත්මක කිරීම බව නාගරික සංවර්ධන අංශ තේරුම් ගෙන තිබුණේ අනූව දශකයේදීය. බස්නාහිර පළාතම  ආවරණය කරමින් මහ නගර සැලැස්මක් ඇති කරන ලද්දේ එහෙයිනි.

දිස්ත්‍රික්කය 1980 යල 1980 මහ 2002 යල 2002 මහ
කොළඹ හෙක්.5773 හෙක්.7195 හෙක්.2070 හෙක්.4494
ගම්පහ හෙක්.9057 හෙක්.16897 හෙක්. 1727 හෙක්.9553
කළුතර හෙක්.17323 හෙක්.19811 හෙක්.13155 හෙක්.14805

 

2002 දී රනිල් වික්‍රමසිංහ රජය ගෙනා යලි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුය. එම සැලැස්ම තුළ කෘෂිකර්මයට හිමි තැන ඉතා විශේෂ වෙයි. කොළඹ කළුතර ගම්පහ යන දිස්ත්‍රික්ක වී වගාවෙන් ඉවත් කර රජරට පළාත පමණක් කෘෂිකර්මයට යොමු කිරීමේ සැලැස්මක් එහිදී සාකච්ඡා වුණි. ධාන්‍යාගාර සංකල්පය ලෙසින් එය එළි දුටුවේය. බස්නාහිර පළාතේ පවතින බොහෝ කුඹුරු ගොඩකර නාගරික සංවර්ධනයට යොමු කිරීම එහි අරමුණ විය.නමුත් රජය ඉක්මනින් පෙරළී ගියෙන් එම සැලැස්ම යට ගියේය. පසුගිය රජය කෘෂිකර්මය පිළිබඳ යම්කිසි අවදියකින් කටයුතු කළ බැවින් ගොවියාගේ උනන්දුව යම් තරමකින් ඉහළ නැන්විණි. රසායනික පොහොර සහානාධාරය අඛණ්ඩව සැපයීම ඊට එක් හේතුවක් වන්නට ඇත. 2002 වර්ෂයේ සිට ගොවිතැනින් ඈත්වූ කුඹුරු මේ නිසා නැවත අස්වද්දන්ට යෙදුණු බව පෙන්වා දිය හැකිය.  අපි වවමු රට නගමු මෙන්ම දිවිනැගුම වැඩසටහන් වලින්ද ඇතිවූ ප්‍රබෝධය මීට හේතුවන්නට ඇත.නමුත් මේ ලිපියේ මුලින් සඳහන් කළ සැබෑ හේතුන් ට විසදුම් සොයන්නට එම රජය සමත් වූයේ නැත.

වර්ෂය කොළඹ ගම්පහ කළුතර
2005 යල හෙක්. 2257 හෙක්. 3408 හෙක්.11446
         මහ හෙක්. 4592 හෙක්. 10170 හෙක්.13610
2012 යල හෙක්.906 හෙක්.3558 හෙක්.7216
         මහ හෙක්.4416 හෙක්10333 හෙක්.14074
2013 යල හෙක්.1374 හෙක්. 4713 හෙක්.6986
         මහ හෙක්.4062 හෙක්.11153 හෙක්.13582
2014 යල හෙක්.978 හෙක්.5012 හෙක්.6260
         මහ හෙක්.3726 හෙක්.10636 හෙක්.12691
2015 යල හෙක්.1302 හෙක්.4576 හෙක්.7755
         මහ හෙක්.3482 හෙක්.10974 හෙක්.12992

 

බස්නාහිර පළාතේ තිබූ කුඹුරු අස්වැද්දීම ක්‍රමානුකූලව අඩුව ගිය හැටි මේ වගුවෙන් පෙනේ. රෝගියෙකුට ඔක්සිජන් ලබාදෙන්නා සේ පොහොර සහනාධාරය නිසා යන්තම් පණගසා සිටියද මූලික රෝග බීජය ඉවත් නොකළෙන් ගොවියා ක්‍රමයෙන් වගාබිම් වලින් ඈත්ව ගොස් ඇත.

වර්තමානය වන විට පොහොර සහනාධාරය වෙනුවට ගොවියාට සෘජුවම මුදල් ලබාදීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වීම ආරම්භ කර ඇත.2016 අයවැය යෝජනා ක්‍රියාත්මකකිරීම පදනම් කොටගෙන 2016-03-19 දාතමින් යුතුව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් බී .විජේරත්න මහතා ගොවිජනසේවා දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන ලද චක්‍රලේඛනය ( 2016 NSF̸ FCGC) අනුව මෙවර යල් කන්නයේදී එම මුදල් ගොවීන් ගේ බැංකු ගිණුම් වලට බැර කරන ලද්දේය.මෙම චක්‍රලේඛනයේ 3:12,3:13,7:1,7:2 වගන්ති අනුව මුදල් ලබාදීමේදී අධීක්ෂණ කාර්යය කළ යුත්තේ කෙලෙසකදැයි උපදෙස් ලබා දී ඇත. නමුත් 2016 -03-24 දින නැවතත් ඉතා හදිසියි යනුවෙන්චක්‍ර ලේඛනයක් නිකුත් කරමින් එම මුදල් වහාම ගොවීන්ගේ බැංකු පොත් වලට ප්‍රේෂණය කළ යුතු බවට උපදෙස් ලබාදී ඇත.නමුත් ප්‍රාදේශීය සංවර්ධන කමිටු වලදී පහළ මට්ටමේ ගොවිජන සේවා නිළධාරීන් සියල්ල මෙයට විරෝධය දක්වා ඇත. ඒ වෙනුවට ගොවිජන සේවා මධ්‍යස්ථාන වල තිබෙන ගොවිජන බැංකු වලට මුදල් බැර කළ යුතු බවට පවසා ඇත.එයට හේතුව රටේ විවිධ පළාත් වල යල් කන්නයේ ගොවිතැන් කරන කාලවකවානු වෙනස් වන බැවිනි.එහෙත් ඉහළින් ගන්නා ලද දේශපාලන තීරණයක් මත ඉහළට ලබාදෙන ලදගොවීන්ගේ නම් ලැයිස්තුව ප්‍රකාරව බැංකුවල ගිණුම් වලට මැයිමස වන විට මුදල් සෘජුවම ප්‍රේෂණය කර තිබේ.එසේ කර තිබෙන්නේ කිසිත් අධීක්ෂණ ක්‍රියාවලියක් සිදු නොකරමිනි.

. මෙහි ප්‍රතිඵළය කුමක්ද. යල් කන්නයේ සාමාන්‍ය වශයෙන් කුඹුරු හෙක්ටයාර් පහලොස්දාහක්   පමණ බස්නාහිර පළාතේ අස්වද්දන නමුත් වගාවී ඇත්තේ හෙක්ටයාර් දෙදහසකට අඩු සංඛ්‍යාවක් පමණකි.වැඩිමනත් කුඹුරු වගා කරන කළුතර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් දහදාහකින් අස්වද්දා තිබෙන්නේ හෙකටයාර් හත්සීයක් බවට සංඛ්‍යා ලේඛන ලැබී ඇත.අප්‍රියෙල් මාසය පුරා පැවති අධික උණුසුම් කාල ගුණයත් වාර්ෂාව පමාවීමත් යන කරුණු මීට ප්‍රධාන වශයෙන් බලපාන්නට ඇති නමුත් තෙතමනය සහිත බස්නාහිර පළාතේ කුඹුරු වැඩ කරගන්නට බාධාවක් තිබුණේ නැත. මෙම ලිපිය ලියන මාගේ කුඹුර මා වැඩ කර අවසන් කලේ මැයි මස අවසාන සතියේදීය. මැයි මාසය පුරාවටම වරින්වර ඇතිවූ වැසි මගින් ප්‍රමාණවත් ජලය අප වෙත ලබා දී තිබුණි. මැයිමස අවසානය වන විටත් ගොවින්ගේ බැංකු පොත් වලට පොහොර සහනාධාර මුදල් බැර වී තිබුණි. එහි බලන්නට ලස්සන සිදු විම නම් කුඹුරු ගොඩකර තැනූ ඇතැම් ඉඩම් වල අයිතිකාරයන්ටද මුදල් ලැබුණු බවට වාර්තා වීමයි.නමුත් සියයට අනූවක්ම මෙවර කුඹුරු වැඩකිරීම අත්හළ බව ප්‍රකාශ කළ යුතුය.එය මෑත ඉතිහාසය තුළ කවරදාවත් සිදු නොවුණු දෙයක් බවද කිව යුතුය.

දැන් අප බලමු මීට තිබෙන රජයේ පප්‍රතිචාරය. රජයේ නිළධාරීන් පවසන පරිදි ලබා දී ඇති මුදල් ඊළඟ කන්නයේද භාවිතා කළ හැකිය. යම් කිසිවෙක් ඊළඟ කන්නයේද වගා නොකර හැරියහොත් ඔහු සහනාධාර ලැයිස්තුවෙන් කපා හරින බව ඉහළ නිළධාරීන් පවසා තිබේ.සැබවින්ම බස්නාහිර පළාතේ කුඹුරු වලින් බොහෝ කොටසක් යම් තරමකින් හෝ එරා බහින වගුරු ස්වභාවයක් ගන්නා කුඹුරු වේ. ඒවා එක් කන්නයක් හෝ අතහැරියහොත් නැවත අස්වැද්දීම ලෙහෙසි පහසු දෙයක් නොවේ.ට්‍රැක්ටර් හිමියන්ද එවැනි කුඹුරු වලට තම යන්ත්‍ර බැස්සවීමට මැලි කමක් දක්වති.එවිට සිදු වන්නේ සැබවින්ම කුඹුරු වැඩි ප්‍රමාණයක් පුරන් වන්නට ක්‍රමානුකූලව පත් වීමයි. අඬන්නට ඉන්නා පුද්ගලයාට ඇඟිල්ලෙන් ඇන්නා මෙන් රජයේ ක්‍රියාවලිය විසින් ගොවියා කුඹුරෙන් ඉවත් වීම සිදු වනු ඇත. මෙහි පිටිපස කුමන්ත්‍රණයක් පවතින බව සහතිකය.කුඹුරු හෙක්ටයාර් ලක්ෂයක පමණ කුඹුරු වීවගාවෙන් ඉවත් කළ යුතුයයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කළ ප්‍රකාශයද සැකයට තුඩු දෙන්නකි.  සෘජු ලෙසින් කූඹුරු ගොඩකිරීමට ගියහොත් ජනතාව විරුද්ධවන බව යහපාලන රජය දනී. එම නිසා කුඹුර ගොවියාටම එපා වන තත්ත්වයට පත් වීමට නොහොත් ස්වභාවික මරණයක් අත් කර දීමට පසුබිම සැකසීම වඩා වාසි දායකය. සැබවින්ම මෙගා පොලිස් සැලැස්ම නැතහොත් බස්නාහිර මහනගර සැලැස්ම කරළියට එන්නේ ඉන් පසුවයි.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress