රට මේ යන්නේ ණය උගුලේ තව හිරවෙන ගමනක්‌…පිටරටින් ණය අරන් මේ උගුලෙන් ගැලවෙන්න බෑ
Posted on June 26th, 2016

සණස විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය සුමනසිරි ලියනගේ -උපුටා ගැන්ම දිවයින

සාකච්ඡා කළේ – පාලිත සේනානායක

විදේශ විනිමය පිළිබඳ ඇති සියලු සීමා ඉවත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළා. එම පියවරත් පසුගියදා වැට්‌ බදු වැඩිකිරීමට ගත් පියවරත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත ගත් ක්‍රියාමාර්ග බව සණස විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා දරන අදහසකි. අපේ රටේ ඉදිරි ආර්ථික ගමන් මග පිළිබඳ අදහස්‌ දක්‌වන මහාචාර්ය ලියනගේ, පිටරටින් ණය ගෙන අපේ විදේශ සම්පත් ශක්‌තිමත් යෑයි ලෝකෙට පෙන්වමින් තවත් ණය ගනිමින් මේ ණය උගුලෙන් රට ගලවා ගත නොහැකි බව ද ප්‍රකාශ කරයි. අපේ රටේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු මෙන්ම ප්‍රවීණ දේශපාලන විචාරකයකු ද වන මහාචාර්ය සුමනසිරි ලියනගේ සමග දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ.

පසුගියදා අගමැතිතුමා ප්‍රකාශ කළා විදේශ විනිමය පිළිබඳ ඇති සියලු සීමා ඉවත් කරන බව. එනම් ප්‍රාග්ධන ගිණුම මුළුමනින්ම විවෘත කරන බව. මේ පියවර රටේ ආර්ථිකයට කෙබඳු බලපෑමක්‌ ඇති කරයිද?

මේ මොහොත වන විටත් අපේ රටේ වෙළෙඳ ශේෂයේ වර්තන ගිණුම එනම් වෙළෙඳාම, භාණ්‌ඩ සේවා ආශ්‍රිත ගිණුම වගේම ප්‍රාග්ධන ගිණුමත් බොහෝ සේ විවෘතවයි තිබෙන්නෙ. ඉතාමත් සීමිත ගනුදෙනු කිහිපයක්‌ ඇරුණාම ලංකාවේ ප්‍රාග්ධන ගිණුම බොහෝ සෙයින් විවෘත එකක්‌ විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. අග්‍රාමාත්‍යතුමා මේ විශේෂයෙන් සඳහන් කරන්නෙ දැනට නියමයක්‌ තිබෙනවා ලංකාවේ ක්‍රියාත්මක වන ආයතනයක්‌ පිටරටකට භාණ්‌ඩ නිර්යාත කළොත් ඒ නිර්යාත කිරීමෙන් ලැබෙන මුදල කිසියම් කාල පරාසයක්‌ උඩ ලංකාවට ගෙනා යුතුය කියල. මේ වගේ සීමිත කොටසක්‌ තමයි අලුත් වෙනස්‌කමක්‌ හැටියට ඉදිරිපත් කරන්න යන්නෙ. මේ වෙනස්‌කම් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කෙබඳු යහපත් ප්‍රතිඵල ළඟාකරාවිද යන කාරණයයි අපි සාකච්ඡා කළ යුත්තේ.

අපේ රටේ ප්‍රාග්ධන ගිණුම මුළුමනින්ම විවෘත කරනවාය කියන කාරණය එතරම්ම අමුතු දෙයක්‌ නෙමෙයි. මන්ද එය අපේ රටේ පසුගිය අවුරුදු 4-5 තුළ බොහෝ දුරට විවෘත එකක්‌. අග්‍රාමාත්‍යතුමා මේ තීරණය ගන්නෙ නැවත වතාවක්‌ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක්‌ පසුගිය මාස කිහිපය තුළ අපේ රටට ඇවිත් අපේ ආර්ථිකය ගැන සිදුකළ සොයාබැලීම්වලට පස්‌සෙ කරනු ලැබූ නිර්දේශයන් අනුවයි.

අපේ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි ඉන්දියානු වාර්තාවලට අනුව නම් ඩොලර් බිලියන 4 ක ණය මුදලෙන් ඩොලර් බිලියන 1.5 ක්‌ මාස 36 ක කාලයක්‌ තුළ පැතිරුණු ණය මුදලක්‌ හැටියට දෙන්න එම අරමුදල එකඟවෙලා තිබෙනවා. එයිනුත් ඩොලර් බිලියන දශම පහක්‌ ක්‌ෂණිකව නිකුත් කිරීමටත් ඔවුන් එකඟ වෙලා තිබෙනවා. නමුත් ඒ සඳහා කිසියම් වූ විදිහකින් ඔවුන් නිර්දේශ කළ ප්‍රතිපත්ති කට්‌ටලය ක්‍රියාවට නඟන බව ශ්‍රී ලංකා ආණ්‌ඩුව පෙන්විය යුතුයි. ඒ ප්‍රතිපත්ති කට්‌ටලයේ තිබෙන අංක එක තමයි ශ්‍රී ලංකාවේ බදු ආදායම වැඩිකිරීම. ඒ අනුව තමයි මැයි මාසේ 2 දා සිට ක්‍රියාත්මක වන පරිදි වැට්‌ බද්ද සියයට 15 කින් වැඩි කළේ. ප්‍රාග්ධන වාසි බද්දක්‌ පනවන්නත් සූදානමක්‌ තිබෙනවා. එනම් යම් කෙනෙක්‌ කිසියම් ගනුදෙනුවකින් ප්‍රාග් ධන වාසියක්‌ ලැබුවොත්, උදාහරණයක්‌ හැටියට යම් කෙනෙක්‌ රුපියල් ලක්‌ෂ 10 කට ඉඩමක්‌ මිලදී ගෙන සතියක්‌ දෙකක්‌ ඇතුළත් ලක්‌ෂ 25 කට එය වික්‌කොත් ඒ ලබාගන්නා ප්‍රාග්ධන වාසියෙන් බද්දක්‌ අයකිරීමට යෝජනාවක්‌ තිබෙනවා. මෙය මීට කලිනුත් යෝජනා වූ දෙයක්‌. නමුත් රටේ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඇතිවූ තෙරපුම නිසා එය ක්‍රියාත්මක වුණේ නෑ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි නිර්දේශය තමයි රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යqහගත කිරීම. සරලව කිව්වොත් රාජ්‍ය ආයතන හසුරුවන ආකාරයත් පුද්ගලික ආයතන හසුරුවන ආකාරයට පත්කිරීම. ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්‌ පුද්ගලිකකරණය කළ යුතුයි කියල ඔවුන් යෝජනා කර තිබෙන්නෙ ඒ අනුව. ඔවුන්ගේ තුන් වැනි යෝජනාව ලංකාව විදේශ රටවල් සමග කරන ගනුදෙනු වඩාත් ලිහිල්කරණය කළ යුතුයි කියන එක. ඒ අනුව තමයි අග්‍රාමාත්‍යතුමාගේ නව යෝජනාව එන්නෙ. කම්කරු නීති ලිහිල් කිරීම වැනි යෝජනාත් මීට කලින් ආව. මේක මේ අපට ණය ලබාගන්න ඕන නම් අපි ක්‍රියාත්මක කළ යුතු පැකේඡ් එකක්‌.

මේ ආණ්‌ඩුවේ බලධාරීන් ඡන්ද කාලෙදි නම් ප්‍රකාශ කළේ අපි බලයට පත් වූ වහාම ජනතාවට සහන දෙන බවයි. නමුත් ආණ්‌ඩුව දැන් කියන්නෙ ජනතාවට සහන දෙන්නෙ 2020 දී කියලයි. මේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ අනුව තව අවුරුදු හතරකින් හරි ජනතාවට සහන ලැබෙයිද?

2020 දී තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 1.5 ණය මුදල එන්නෙ. එය ලැබෙන්න නම් ආණ්‌ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කර පෙන්වන්න ඕන. එනම් වැට්‌ බදු වැඩිකිරීම, ප්‍රාග්ධන ගිණුම විවෘත කිරීම, යම් යම් රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම වැනි දේ. ආණ්‌ඩුව ඒ දේවල් කළොත් විතරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 1.5ක ණය මුදල ලැබෙන්නෙ. 2020 දී ජනතාවට සහන දෙන්න පුළුවන් කියල ආණ්‌ඩුව කියන්නෙ ඒ ණය මුදල ගැන හිතලයි.

පසුගිය කාලේ විශාල ලෙස පහත වැටුණ විදේශ මුදල් සංචිත මේ වසර අවසාන වනවිට එය යළි ඉහළ නංවන බව ආණ්‌ඩුව ප්‍රකාශ කරනවා. එකවරම එය කළ හැකි වෙයිද?

පසුගිය මාස කිහිපය තුළ ඩොලර් බිලියන 5 දක්‌වා පහත වැටුණු අපේ රටේ විදේශ මුදල් සංචිතය මේ වසර අවසානයේදී ඩොලර් බිලියන 12 දක්‌වා නංවන බව අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කර තිබෙනවා. එසේ නැංවිය හැකිදැයි මා දන්නේ නෑ. නමුත් ඒ සඳහා අගමැතිතුමා යෝජනා කරන්නේ පසුගිය ආණ්‌ඩුව අනුගමනය කළ ක්‍රියා පිළිවෙතමයි. රටක්‌ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනකින් කිසියම් වූ ආකාරයකට ණය මුදලක්‌ අරගත්තහම එම රටේ විදේශ විනිමය සම්පත් ඉහළ යනව වගේම ඔවුන්ට ණය ගෙවීමේ හැකියාව ඇති බව පෙන්වන වාර්තාවත් වැඩිවෙනව. පසුගිය ආණ්‌ඩුව විදේශ මුදල් සංචිත ඉහළ මට්‌ටමකින් පවත්වා ගෙන ගියේ මේ වාර්තාව ඉහළ ගිය ගමන් එම රාජ්‍ය ණය පත්‍රිකා (සවරින් බොන්ඩ්) පිටරටවලට සහ පෞද්ගලික බැංකුවලට විකිණීමෙන්. පසුගිය ආණ්‌ඩුව ඩොලර් මිලියන පන්දහසක පමණ රාජ්‍ය ණය පත්‍රිකා අවුරුදු 4-5 කාලයක්‌ තුළ වෙනත් රටවලට, පෞද්ගලික බැංකුවලට විකුණා තිබෙනවා. මේ ආණ්‌ඩුවත් විදේශ මුදල් සංචිත ඉහළ මට්‌ටමකින් පවත්වාගන්න මෙතෙක්‌ අනුගමනය කළෙත් ඉදිරියට අනුගමනය කරන්නටත් බලාපොරොත්තු වෙන්නෙ එම උපායම බවයි මට පෙනෙන්නේ. නමුත් මේ ක්‍රියාපිළිවෙතින් රටේ ආර්ථිකය ශක්‌තිමත්ව ගොඩනැගෙන්නෙ නෑ. රටේ ආර්ථිකය ශක්‌තිමත්ව ගොඩනගාගන්න නම් කර්මාන්ත දියුණු කිරීමෙන් නිෂ්පාදන ඉහළ යැම ඉලක්‌ක කර ගත් ආයෝජනවලට යා යුතුයි. අපේ රටේ එහෙම දෙයක්‌ පසුගිය ආණ්‌ඩු සමයේ ඇතිවුණෙත් නෑ. මේ ආණ්‌ඩුව ඇතිකරන බවක්‌ තවම නම් පෙනෙන්නට නෑ. මේ ආර්ථික ක්‍රියාමාර්ග තුළින් ඉදිරියේදී එවැන්නක්‌ ඇතිවෙයි කියල හිතන්නත් බෑ. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මේ ආණ්‌ඩුව මේ ගන්න ක්‍රියාමාර්ග අලූත් ඒවා නෙමෙයි. කලින් ආණ්‌ඩුවල හිටපු ආර්ථික විශේෂඥයෝ නිර්දේශ කරපු ක්‍රියාමාර්ගමයි.

පසුගිය ආණ්‌ඩුව පිටරටින් ණය ගත්තත් ඔවුන් රුපියලේ අගය ආරක්‌ෂා කිරීමට කටයුතු කළා. නමුත් මේ ආණ්‌ඩුව යටතේ රුපියලේ අගය විශාල ලෙස පහත වැටෙමින් තිබෙනවා. රුපියලේ අගය රැකගැනීමට ආණ්‌ඩුවට උවමනාවක්‌ නැද්ද?

පසුගිය ආණ්‌ඩු කාලවලදීත් රුපියලේ අගය පහත වැටුණා. නමුත් මේ තරම් එය උච්චාවචනය වීමට එනම් ඉහළ පහළ යැමට ඔවුන් ඉඩ දුන්නේ නෑ. මම හිතන්නෙ පසුගිය ආණ්‌ඩු අනුගමනය කළ ආර්ථික ක්‍රියාදාමයන්ට අමතරව ආර්ථිකය සම්බන්ධයෙන් මේ ආණ්‌ඩුවෙ අලුත් ක්‍රියාදාමය තමයි රුපියලේ අගය පහත වැටීමට සැලැස්‌වීම. මේ ආණ්‌ඩුව පසුගිය මාස 12-14 තුළ රුපියලේ අගය සැලකිය යුතු ප්‍රමාණයකින් අවප්‍රමාණ වීමට ඉඩ ඇරල තියෙනව. රුපියල තව බාල්දු වෙන්න ඉඩහරින්න කියන එක මේ ආණ්‌ඩුවට උපදෙස්‌ දෙන ආර්ථික විද්‍යාඥයින් නිතරම ප්‍රකාශ කරන දෙයක්‌.

ඉන්දියානු මහ බැංකු අධිපතිවරයා ලෝකයේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයින්ගෙන් කෙනෙක්‌. ඉන්දියානු රුපියලේ අගය නිතර ඉහළ පහළ යැමට ඉඩ නොදිය යුතු බව ඔහුගේ මතයයි. රුපියලේ අගය නිතර ඉහළ පහළ යැමේ වාසිය ලැබෙන්නේ වෙළෙදාම් කරන පිරිසටයි. නමුත් ඇත්ත නිෂ්පාදකයින්ට රුපියලේ අගය නිතර වෙනස්‌වීමෙන් බරපතළ පාඩු සිදුවෙනවා. කර්මාන්තයකට ආයෝජනය කරනවා කියන එක කාර් එකක්‌ ගෙනල්ල විකුණනව වගේ වැඩක්‌ නෙමෙයි. රුපියලේ අගය නිතර ඉහළ පහළ යන විට කර්මාන්තකරුවන්ට තම ආදායම සහ වියදම දීර්ඝ කාලයක්‌ සඳහා නියම ආකාරයකට සැලසුම් කරන්න බැරිවෙනවා. ඉන්දියාවේ කර්මාන්ත දියුණු කරන්න නම් රුපියලේ අගය කිසියම් ස්‌ථාවරත්වයකට පවත්වා ගත යුතුයි කියල ඉන්දියානු මහ බැංකු අධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ ඒ නිසයි. රට ඇතුළේ දේවල් හදලා පිටරටට විකිණීමේ ඉන්දියානු ව්‍යාපෘතිය zමේඩ් ඉන් ඉන්දියාZ අදහස පසුගියදා ඉන්දීය අගමැතිවරයා ඉදිරිපත් කළේ ඒ අනුවයි. නමුත් ලෝක ආර්ථිකයේ ඇති පසුබෑමත් එක්‌ක එය එසේම කළ හැකිද යන ප්‍රශ්නයත් ඉන්දීය මහබැංකු අධිපතිවරයා මතු කරනවා. රට තුළ නිෂ්පාදන වැඩිකිරීම හොඳයි. නමුත් නිර්යාත කිරීමේදී ලෝක ආර්ථිකයේ ස්‌වභාවය පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි.

බොහෝ රටවල් වෙළෙඳ ශේෂයේ හිඟය පියවාගන්නට උත්සාහ කරන්නේ නිර්යාත වැඩිකිරීමෙන්. එය කළ හැකි අවස්‌ථාවන් තිබෙනවා. ඉන්දියානු මහ බැංකු අධිපතිවරයා කියන්නේ මේඩ් ඉන් ඉන්දියා හොඳයි. හැබැයි ඒක සාර්ථක කරගන්න නම් මේඩ් ඉන් ඉන්දියා වැඩපිළිවෙළට කලින් මේඩ් ෙµda ඉන්දියා වැඩපිළිවෙළක්‌ ඕන කියලයි. එනම් ඉන්දියාව සඳහා නිෂ්පාදන ඇති කළ යුතුයි කියලයි. ඉන්දියාව සඳහා නිෂ්පාදන ඇතිකළොත් ඒවා පිටරට යවන්නත් පුළුවන් වෙයි. ඔහු කියන්නෙ නිර්යාත ගැනම විශ්වාසය තබන්නෙ නැතිව රට ඇතුළෙත් අලෙවි කරගත හැකි දේ රට තුළම නිපදවමු කියලයි.

අපේ රටෙත් නිෂ්පාදන වැඩිකරන්න කළින් නිෂ්පාදන ධාරිතාවක්‌ හදාගන්න ඕන. එවැනි දිශාවකට යන විදිහේ වැඩපිළිවෙලක්‌ තවම නම් අපේ රටේ පෙනෙන්නට නෑ.

පහුගිය ආණ්‌ඩුවේ ණය උගුලක්‌ ගැන මේ ආණ්‌ඩුව බරපතළ ලෙස කතා කළා. නමුත් මේ ආණ්‌ඩුව කරන්නෙත් පිටරටවලින් ණය ගන්න එකයි. මේ විදිහට පිටරටවලින් ණය අරගෙන ණය උගුලෙන් ගැලවෙන්න පුළුවන්ද? ණය ගැනීම හැමදාමත් කරන්න පුළුවන්ද?

ලෝක වෙළෙඳ පොළේ සෑහෙන ප්‍රාග්ධන ස්‌කන්ධයක්‌ තියෙන නිසා ණය ගැනීම නම් දිගටම කරන්න පුළුවන් වෙයි. පසුගිය ආණ්‌ඩුව මේ රට විශාල ණය උගුලක හසුකර තිබෙන බව අග්‍රාමාත්‍යතුමාම කියනවා. නමුත් මෙතෙක්‌ මේ ආණ්‌ඩුව අනුගමනය කළ ක්‍රියාමාර්ග සහ ඉදිරි කාලයේ අනුගමනය කරන බවට ප්‍රකාශිත ක්‍රියාමාර්ගවලින් නම් තව දුරටත් ඒ ණය උගුලේම රට හිරවෙනවා මිස ඉන් ගැලවෙනු ඇතැයි නම් සිතන්න බෑ. පිටරටින් ණය අරගෙන අපේ විදේශ සම්පත් ශක්‌තිමත් කියල ලෝකෙට පෙන්වල තවත් ණය අරගෙන මේ ණය උගුලෙන් කවදාවත් ගැලවෙන්න බෑ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress