අසූවේ ජුලි වර්ජනයට දැන් වසර 36 යි
Posted on July 11th, 2016

ධර්මන් වික්‍රමරත්න

ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් 40,356ක් ගෙදර යවා ලක්ෂ 3කට අධික දරු පවුල් අනාථවූ 1980 ජුලි මහා වැඩ වර්ජනය සිදුවී 2016 ජුලි 15 වැනිදාට වසර 36කි.

ධර්මිඨ සමාජයක් ඇති කරමු යන තේමාව යටතේ 1977 ජුලි 22වැනිදා පැවති මහ මැතිවරණයට තරඟ කල ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය එම පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 168න් ආසන 140ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයක් ලබා ගත්තේය. දෙමළ ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් තරඟකල දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 18ක් ලබාගන්නා විට ශ්‍රිලනිපයට හිමි වූයේ ආසන 7ක් පමණි. ස්වාධීන මන්ත්‍රී හාරිස්පත්තුවේ විජේසිරි ශ්‍රිලනිපයට එක්වීමත් සමඟම එයට ආසන 8ක් බවට පත්විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙවන සංශෝධනය 1977 ඔක්තෝබර් 4 වැනිදා තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගත් අගමැති ජේ.ආර්. ජයවර්ධන සියළු බලතල සමඟ විධායක ජනාධිපති බවට පත්විය.

dharman1107161සෝමපාලගේ අවමඟුල් පෙරහැර(ඉහළ), ජුනි 5 වැනිදා පැවති කෑම පැයේ පිකටින් ව්‍යාපාරයට එරෙහිව පොලිස් කැරළි මර්ධන භටයින්(පහළ)

දිනෙන් දින බඩුමිල ඉහළ යෑම නිසා වැඩකරන ජනතාව ඉහළ යන ජීවන වියදමට ඔරොත්තු දීම සඳහා මසකට රුපියල් 300කින් එනම් දිනකට රුපියල් 10කින් වැටුප් වැඩිකරන ලෙසද වැඩිවන සෑම ජීවන වියදම් දර්ශකයකට රුපියල් 5 බැගින් දීමනාවක් ගෙවන ලෙසද ඉල්ලා සිටියෝය. රජයේ සේවක නිවාඩු දින ගණන අඩුකිරීමට රජය තීරණය කලද වෘත්තීය සමිතිවල විරෝධතා හේතුවෙන් එම තීරණය හකුලා ගැනීමට සිදුවිය. එජාප ආණ්ඩුව හයෙන් පහක බලය උපයෝගිකර ගනිමින් විපක්ෂයේ දේශාපාලන පක්ෂ සහ වෘත්තීය සමිති මර්ධනය කරමින් පාලනය ගෙන ගියහ.

මේ පිළිබදව සාකච්ඡා කිරීමට වෘත්තීය සමිති 16කින් සමන්විත වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරි කමිටුව සෑම කේෂේත්‍රයකම නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් 1,024ගේ සහභාගිත්වයෙන් 1980 මාර්තු 8 සහ 9 දිනයන්හි කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී ජාතික සමුළුවක් පවත්වන ලදී. එහිදී තීරණය වූයේ රුපියල් 300කින් මාසික වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් දිනා ගැනීම සඳහා 1980 ජුනි 5 වැනිදා කෑම පැයේදී ජාතික විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විය යුතු බවය. මෙහිදී එජාප ආණ්ඩුවට අනුබද්ධිත ජාතික සේවක සංගමය සහ රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සම්මේලනයට අනුබද්ධ එජාප වෘත්තීය සමිති සිදුකලේ 1980 ජුනි 5 වැනිදා රජයට පක්ෂපාතිත්වය දක්වමින් රාජ්‍ය සහයෝගිතා දිනයක් ප්‍රකාශයට පත්කිරීමය.

dharman1107162ජුලි වර්ජකයින්ගේ ඉල්ලීම් දිනා ගැනීමේ සමරු රැළියක්.

රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයෝ ලක්ෂ 4කට ආසන්න පිරිසක් 1980 ජුනි 5 වැනිදා තම ඉල්ලීම් ලබාගැනීම සදහා ආයතන ඉදිරිපිට පිකටින්, විරෝධතා, උද්ඝෝෂණ, රැස්වීම් පැවැත්වූ අතර ඒවාට පුළුල් සහභාගිත්වයක් සහිතව සටන්කාමි ස්වරූපයක් ගනු ලැබීය.  එජාප ආණ්ඩුවට හිතවාදී වෘත්තීය සමිති එදිනම එම මොහොතේදීම රජයට සහයෝගිතාවය දක්වමින් පිකටින් සහ උද්ඝෝෂණ පවත්වනු දක්නට ලැබිණි.

කොළඹ චිත්තම්පලම් ගාඩිනර් මාවතේ රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට පිකටින් ව්‍යාපාරයේ යෙදී සිටි වෘත්තීය සමිති සාමාජිකයින්ට මහජන බැංකුව සහ ලේක්හවුස් ආයතනය දෙසින් පැමිණි කණ්ඩායම් දෙකක් ගල්මුල්වලින් පහරදී බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කරන ලදී. මෙහිදී සැපයුම් දෙපාර්තමේන්තුවේ සේවකයෙකු වන එහි පොදු සේවක වෘත්තීය සමිති ශාඛාවේ දෙද්දුවගේ සෝමපාල මරුමුවට පත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසියේ සහකාර පොලිස් අධිකාරි එන්.අයි. රත්නායක විසින් පොලිස්පති ආනා සෙනෙවිරත්න වෙත ඉදිරිපත් කර තිබූ වාර්තාවේ මෙසේද සඳහන් විය. “ජුනි 5 වැනිදා 12.45 පැයට රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට 100කට අධික පිරිසක් උද්ඝෝෂණය කරමින් සිටියා. එහිදී කොම්පඥ්ඥ වීදිය දෙසින් පැමිණි 31ශ්‍රී 1111 දරණ ජිප්රියේ සිටි කණ්ඩායම ගල් සහ මුගුරු ගෙන පිකටින් කණ්ඩායමට පහර දුන්නා. පසුව පිපිරීම් හඬක් ඇසුනා. තුවාල ලබා සිටි 6 දෙනෙකු රෝහලට ඇතුලත් කලා. ජිප්රිය ස්ථානයෙන් ඉවත්ව ලේක්හවුස්හි ඉදිරිපිටින් යළි ගමන් ගත් අතර එහි ඉදිරිපස අසුනේ අගලවත්ත එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෙරිල් කාරියවසම් වාඩිවී සිටිනු දක්නට ලැබුණා. මෙම සිද්ධියේදී එක් පුද්ගලයෙක් මිය ගියා.” පසුකාලයේ ජවිපෙ දෙවැනි කැරළි සමයේදී මෙරිල් කාරියවසම් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් 1989 සැප්තැම්බර් මස ඝාතනයකර තිබුණේ මෙයට දඬුවමක් වශයෙන් බව ඔවුන්ගේ රණහඬ ගුවන්විදුලිය නිවේදනය කර තිබිණි.

dharman1107163සෝමපාල ඝාතනය වූ 1980 ජුනි 5වැනිදා විරෝධතා ව්‍යාපාරයට මැරයින් බෝම්බ සහ ගල්මුල් ප්‍රහාරයක් එල්ල කිරීමේ ප්‍රයත්නයේ එක් අවස්ථාවක්.

මෙම ඝාතනය වැඩකරන ජනතාවගේ සිත් සසල කරන්නක් විය. මුල්ඔය වර්ජනයේදී 1940 ජනවාරි 10වැනිදා මියගිය ගෝවින්දන්ට පසු 1953 හර්තාලයේ මියගිය සඟයන්ද ඇතුළත්ව 12 වැනියා ලෙස මියගියේ සෝමපාලය. නාරාහේන්පිට පදිංචි දෙදරු පියෙකුවූ සෝමපාල මිය‍ගියේ හෘදවස්තුව සහ පෙනහල්ල තැලීමද ඉළඇට කැඩීබිදී යාම නිසා බව අධිකරණ වෛද්‍ය නිළධාරිනි බී.එම්. කාරියවසම් සහ මහාචාර්ය එච්.ජේ. ප්‍රනාන්දු සඳහන් සිය අධිකරණ වෛද්‍ය පරික්ෂණ වාර්තාවේ සඳහන් කළෝය. සෝමපාලගේ පවුලේ අය වෙනුවෙන් බාල තම්පෝ, මංගල මුණසිංහ සහ පීටර් ජයසේකර යන අයගේ ඉල්ලීම පරිදි මරණය ගැන මහේස්ත්‍රාත් පරික්ෂණයක් පැවැත්වීමට හදිසි මරණ පරික්ෂකවරයා තීරණය කළේ සහකාර පොලිස් අධිකාරි සි. පී. ජයසූරියගේ විරෝධයද නොතකමිනි.

සෝමපාලගේ නිවසට ගිය විට දක්නට ලැබුණේ නිවස ඉතා කුඩා වූ බැවින් මෘත දේහය අසළ නිවසක තැම්පත් කර තිබූ බවය. සෝමපාලගේ දේහය අවසන් ගෞරවය සඳහා පසුව කොටුවේ පොදු සේවක වෘත්තීය සංගම් මූලස්ථානයේ තබන ලදී. ඔහුගේ අවමගුල සංවිධානය කළේ වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරි කමිටුව මගිනි. සාමාන්‍ය කම්කරුවෙකු වූ ඔහුට ගෞරව කිරීමට වරුවක නිවාඩු දමා සේවකයෝ දස දහස් ගණනින් පැමිණ සිටියහ. බොරැල්ල කනත්තේ පැවති අවමඟුලට 50,000කට අධික පිරිසක් එක්වූ අතර මඟ දෙපස ලක්ෂයකට ආසන්න පිරිසක් රැස්වී සිටි බව  ලියුම්කරුට දිස්විය. පසුකලෙක ත්‍රීමාවිතාරණගේ අවමඟුලට ලක්ෂයකට අධික පිරිසක් කනත්තට පැමිණ සිටි අතර ලලිත් ඇතුළත්මුදලිගේ අවමඟුලටද 50,000කට අධික පිරිසක් පැමිණි සිටි බවද මතකය.

dharman1107164ජුලි වර්ජන උද්ඝෝෂණයකදී  1980 අගොස්තු 8වැනිදා ‍අත්අඩංගුවට ගත් වාසුදේව නානායක්කාර ඇතුළු ක්‍රියාකාරිකයෙක් රිමාන්ඩ් බන්ධනාගාරයට ගෙනයන අවස්ථාව.

සෝමපාලගේ මරණය පිළිබදව මහේස්ත්‍රාත් විභාගය කොටුව ‍ඒකාබද්ධ මහේස්ත්‍රාත් සරත් ගුණතිලක ඉදිරියේ 1980 ජුනි මස 8 සිට අගෝස්තු 28 දක්වා කාලය තුළ පැවති අතර එහිදි ලබාදුන් විවෘත තීන්දුවේ සඳහන් වූයේ නීති විරෝධී පෙළපාලියකින් පැමිණි ප්‍රතිවාදී කණ්ඩායම කල ප්‍රචණ්ඩ ක්‍රියාවෙන් සෝමපාලගේ මරණය සිදුවී ඇති අතර ඔහුට තදබල ලෙස පහරදී ඇති බව පැහැදිලි බවය.

ඔහු‍ගේ අවමගුල් දිනයේ සහ ඇතිවූ සිද්ධීන් හේතුකොට ගෙන රත්මලාන දුම්රිය වැඩපොළේ සේවකයින් 12 දෙනෙකුගේ වැඩ 1980 ජුනි 12 වැනිදා තහනම් කරන ලදී. ඔවුන් සේවයට බඳවා ගන්නා මෙන් ඉල්ලමින් රත්මලාන දුම්රිය සේවකයෝ 1980 ජුලි 7වැනිදා වැඩ වර්ජනයක් ඇරඹූහ. ඔවුනට සහාය පළ කරමින් මරදාන දුම්රිය වැඩපොළේ අංක 18, 19, 26, 36 සහ 38 කම්හල්වල සේවකයෝ 1980 ජුලි 8 වැනිදා උදෑසන එම වර්ජනයට එක්වූහ. සේවකයින් 8,000කට ආසන්න මෙම වර්ජනයෙන් ජුලි 9වැනිදා වන විට දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇණ හිටියේය.

වෘත්තිය සමිති එක්සත් ක්‍රියාකාරි කමිටුව 1980 ජුලි 11 වැනිදා රැස්වී රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් 300ක ක්ෂණික වැටුප් වැඩිවීමක්ද, වැඩිවන සෑම ජීවන වියදම් දර්ශකයකටම රුපියල් 5ක දීමනාවක් ලබාදෙන ලෙසද වැඩ තහනම් කල සේවකයින්ට කොන්දේසි විරහිතව යළි රැකියා ලබාදෙන ලෙසද ආණ්ඩුවට දැනුම් දුන්නේය. එයට 1980 ජුලි 14 වැනිදාට ප්‍රථම ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් මහා වැඩ වර්ජනයක් ආරම්භ කල බවද ආණ්ඩුවට වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරි කමිටුව අවධාරණය කලහ. මේ වන විට දිවයින පුරා දුම්රිය ස්ථාන සහ දුම්රිය වැඩපොළවල සේවකයෝ 24,810ක් වර්ජනයට එක්වී සිටියහ.

dharman1107165ජුලි වර්ජනයෙන් රැකියා අහිමිවූ වර්ජකයෝ සහන ඉල්ලා පවත්වන ලද උද්ඝෝෂණ ව්‍යාපාරයක්.

එජාප ආණ්ඩුව නිවේදනයක් කරමින් වර්ජනය කළහොත් වර්ජකයින් සේවය අතහැර ගියා සේ සලකන බව නිවේදනය කළේය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් 1980 ජුලි 15වැනිදා රැස්වූ ඇමති මණ්ඩලය 1980 ජුලි 16 දහවල් 12 සිට රටපුරා හදිසි නීතිය පනවන ලදී. ඒ අනුව දුම්රිය, ලංගම, තැපැල් සේවය, වරාය, අධ්‍යාපනය, රෝහල්, තෙල් බෙදා හැරීම අතවශ්‍ය සේවා බවට පත්කල අතර හදිසි නීති රෙගුලාසි යටතේ වැඩ වර්ජන නීති විරෝධී කරනු ලැබීය. රාජ්‍ය අමාතාංශයේ ලේකම් ආචාර්ය සරත් අමුණුගම ප්‍රවෘත්ති බලධාරියා ලෙස පත්කල අතර 1980 ජුලි 18වැනිදා සිට ප්‍රවෘත්ති පාලනයක්ද ක්‍රියාත්මක කරන ලදී. විපක්ෂයේ පුවත්පත් වූ ඇත්ත, සිරිලක, ජනදින මේ අනුව මුළුමනින්ම වාගේ වාරණයට ලක්වූ අතර ආණ්ඩුවේ මාධ්‍යයන් මගින් ඔවුනට හිතකර ප්‍රවෘත්ති පමණක් ප්‍රචාරය කරන ලදී. පාර්ලිමේන්තු විවාද වලදී වර්ජනය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් කරනු ලබන ප්‍රකාශද පාර්ලිමේන්තුවේ ප්‍රවෘත්ති පාලන කමිටුවට යොමුකල යුතු විය.  

ආණ්ඩුවේ නිවේදනයන් නොසලකා සෞඛ්‍ය සේවකයෝ ජුලි 15වැනිදාද රජයේ කාර්යාල සේවකයෝ, පළාත් පාලන සහ රජයේ ලිපිකරුවෝ ජුලි 17වැනිදාද ගුරුවරු ජුලි 20වැනිදාද 80 ජුලි මහා වැඩ වර්ජනයට එක්වූහ. ජවිපෙ නිල වශයෙන් වර්ජනයට සහභාගි නොවූවද විවෘතව වැඩකර අනාවරණය වූ පිරිස් වලට වර්ජනයට එක්වන ලෙසට දැනුම්දී තිබිණි. ජවිපෙ සමඟ සමාන්තරව සිටි රෝහණ විජේවීරගේ මස්සිනාවූ එච්.එන්. ප්‍රනාන්දු ප්‍රධාන ලේකම්ධූරය දැරූ ලංකා ගුරු සංගමය වර්ජනයට එක්වීමෙන් පසුව දෙකඩ විය. සමඟි පෙරමුණ ආණ්ඩුව යටතේ ඇතිවූ බැංකු සටනේදී මෙන් මෙම ජුලි වැඩ වර්ජනයේදීද බාල තම්පෝගේ නායකත්වයෙන් යුත් වෙළෙඳ සේවක සංගමය කර ඇරියේය. ලක්ෂයකට ආසන්න පිරිසක් වර්ජනයට එක්වී සිටි බැවින් ආණ්ඩුවේ පරිපාලන කටයුතු සහ එදිනෙදා සේවාවන්ද අඩපණ විය.

dharman1107166ජුලි වර්ජකයින්ගේ ඉල්ලීම් මැයි දින පෙළපාලිවල සටන් පාඨ බවට පත්වෙමින්.

එජාප ආණ්ඩුව වර්ජනයට එරෙහිව 1980 ජුලි 19වැනිදා රත්මලාන මැලිබන් හන්දියේදී සහ ජුලි 21 මරදාන ටවර් රඟහල ඉදිරිපිටදීද ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් පැවැත්විණි. “රටේ දැන් පවත්නා නීතියෙන් ගැහැණියෙකු මිනිසෙකු කිරීම හැර වෙන ‍ඕනෑම දෙයක් කිරීමට විධායක ජනාධිපතිවරයා වශයෙන් තමාට බලය ඇතැයි” එජාප නායකයා කියා සිටියේ මරදානේ පැවති එම රැස්වීමකදීය.

ආණ්ඩුව මගින් වර්ජකයින්ට ජුලි මාසය සඳහා වැටුප් ගෙවීම අත්හිටුවන ලදී. රජයේ ආයතන සහ ගොඩනැගිලි තුළ පිහිටුවා තිබූ සියළු වෘත්තීය සමිති කාර්යාල වසා තබා ඒවාට සීල් තබන ලදී. ජුලි මස 23වැනිදාට ප්‍රථම සේවයට වාර්තා කිරීමේ කොන්දේසි සහිතව අවසාන අවස්ථාවක්ද ලබාදෙන ලදී. බොහෝ දෙනෙකු සර්පයින් දෂ්ඨ කිරීම, කම්මුල්ගාය, සරම්ප වැනි රෝග වැලදීම නිසා සේවයට පැමිණීමට නොහැකිවූ බවට අභියාචනා එක්කර යළි සේවයට එක්විය.

අගමැති රණසිංහ ප්‍රේමදාස 1980 ජුලි 24වැනිදා කියා සිටියේ එදිනට පසු වර්ජකයින් 40,356ක් සේවයට වාර්තා නොකල බැවින් සේවය අතහැර ගියා සේ රජය කල නිවේදනය ක්‍රියාත්මක කරන බවය. ආණ්ඩුවේ එජාප මන්ත්‍රීවරුන් මගින් එක් ආසනයකට රැකියා ඉල්ලුම්පත් 100 බැගින් ලබාගෙන රැකියා නැති අයගේ විස්තර ලබාගෙන ඔවුන් වර්ජිත සේවකයින් 40,356 වෙනුවට බදවා ගන්නා ලදී. එමෙන්ම 1980 ජුලි 22වැනිදා වන විට එසේ රැකියා බැංකුවේ ලියාපදිංචි වී සිටියදී රජයේ සහ සංස්ථාවලට බදවාගත් සේවක සංඛ්‍යාව 8,421කි. වර්ජිතයින්ගෙන් පුරප්පාඩුවූ සෙසු තනතුරු සදහාද සියළු දෙනා එජාප මන්ත්‍රීවරුන්ගේ ඉල්ලුම්පත් අනුව අගෝස්තු මස වන විට බඳවාගෙන නිමකර තිබිණි.

dharman1107167ජුලි වර්ජකයින්ගේ අයිතීන් වෙනුවෙන් නායකත්වය දුන් ජුලි වර්ජකයින්ගේ ඒකාබද්ධ සංවිධානයේ පී අමරදිවාකර(වමේ) සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් වර්ජනයට  එක්වූ එකම ගුරුවරයාවූ ලංකා ගුරු සංගමයේ ක්‍රියාකාරිකයෙකු වන ඩබ්ලිව් විතාන(දකුණේ)

මර්ධන නීති නොතකා වර්ජකයින්ට යළි රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් 1980 අ‍ගෝස්තු 8 උදෑසන කොටුව දුම්රිය ස්ථානය අසළදී 10,000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මහා සත්‍යග්‍රහයක් පැවැත්වූ අතර පෙළපාලියකින් ජනාධිපති මන්දිරයට ගමන් කරන්නට විය. මහ තැපැල්හල අසළදී බැටන් පහරදී එය විසුරුවා හරින ලදී. මෙහිදී වෘත්තීය සමිති නායකයින් වූ අළෙවි මවිලානා, වාසුදේව නානායක්කාර, ගුණසේන මහානාම, ඩී.අයි.ජී. ධර්මසේකර, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු නායකයින් 12 දෙනෙක් අත්අඩංගුවට ගෙන දින 102ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි. එයට අදාළ නඩුවක් 1980 අ‍ගෝස්තු 16වැනිදා අධිකරණයේදී ගොනු කළේය. ජුලි මහා වැඩ වර්ජනය 1980 අගෝස්තු 15වැනිදා වන විට මුළුමනින් මර්ධනය කිරීමට එජාප ආණ්ඩුව සමත්වීම නිසා අගොස්තු 15වැනිදා සිට හදිසි නීතිය සහ ප්‍රවෘත්ති පාලනය ඉවත් කරන ලදී.

ජුලි වැඩ වර්ජනයෙන් 40,356කගේ රැකියා අහිමිවූ අතර ඔවුන්ගේ යැපෙන්නන් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් අන්ත අසරණ තත්ත්වයට පත්විය. වර්ජිත සේවකයින් 138දෙනෙකු සිය දරු පවුල නඩත්තු කර ගැනීමට නොහැකිව සියදිවි හානිකර ගත්හ. දහස් සංඛ්‍යාතික සේවකයින්ගේ පවුල් කඩාකප්පල් විය. ඇතැමුන් මානසික රෝගීන් බවට පත්විය. දරුවන් අනාථ භාවයට පත්විය. උන්හිටි තැන් නැතිව අසරණභාවයට පත්වී යාචකයින් බවට පත්වූ ජුලි වර්ජකයින් සිය ගණනක් සිටි අතර ඉන් එක් අයෙකු බොරැල්ල උමං මාර්ග ප්‍රවේශය අසළදී සිඟමන් යදින අයුරු  2013 වසරේදී ජාතික පුවත්පතක විස්තර සමඟින් මුල් පිටුවේ ඡායාරූපයක්ද පලවිය. ඥාතීන්ගේ උදව්, උත්සාහය සහ ‍ධෛර්ය නිසා පොහොසත් වූ උදවියද අතලොස්සක් විය. බොහෝ දෙනා ජීවත්වීම සඳහා වෙන කලහැකි දෙයක් නොවූවෙන් පදික වෙළෙදුන්, රියදුරන්, කොන්දොස්තරවරුන් වැනි අවිධිමත් සේවා වෘත්තීන්හි නිරත වීමට සිදුවිය.

ජුලි වර්ජකයින් වෙනුවෙන් යළි හඬ නගමින් ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනිම සදහා පසුකාලයේ පෙනී සිටියේ වර්ජනය කැඳවූ වෘත්තීය සමිති නොව ජුලි වර්ජකයින් වෙනුවෙන්ම බිහිවූ ජුලි වර්ජකයින්ගේ ඒකාබද්ධ සංවිධානය මගිනි. පී අමරදිවාකර එයට නායකත්වය දෙමින් අති සුවිශේෂි කාර්යභාරයක් අඛණ්ඩව ඉටුකල අතර ඒ සඳහා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපතිව සිටි ඔසී අබේගුණසේකර ගෙන් සිදුවූ මෙහෙය ඉමහත් බව එම සංවිධානය පවසයි. එමෙන්ම මන්ත්‍රී වාසුදේව නානායක්කාරද එදා සිට අද දක්වාම ජුලි වර්ජකයින් වෙනුවෙන් පෙනී සිටි බව එම සංවිධානය ප්‍රකාශකර තිබේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් රජයේ සහ පළාත් පාලන සේවයේ ජුලි වර්ජකයින් සියළු දෙනාටම 1989දී පාරිතෝෂිකයක් සමඟ විශ්‍රාම වැටුප් අයිතියට හිමිකමද ලැබිණි. ජුලි වර්ජකයින් ජීවත්ව සිටින තාක්කල් මසකට රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමටද කටයුතු යෙදිණි. වර්ජකයින්ගේ වැන්දඹු බිරින්දෑවරුන්ටද එම සහනය දිය යුතු බවට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් විය. ලාංකීය කම්කරු ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් ලෙස 80 ජුලි වර්ජනය හැදින්විය හැකිය.  පක්ෂ දේශපාලනයෙන් ඉවත්වි කම්කරු පන්තියට ස්වාධීන සංවිධාන ගොඩනඟා ගැනිමේ වැදගත්කම අසූවේ ජුලි මහා වැඩ වර්ජනයෙන් ගතහැකි ලොකුම පාඩම වේ.

ධර්මන් වික්‍රමරත්න

[email protected]

 

For Media inquiries please contact:

Dharman Wickremaratne

Senior Journalist & Political writer

434/4 Rukmal Place – Sri Jayawardenapura.

mob: 071-2733986  Tel: 011- 5234384    Fax: 071-9378668

Email: [email protected]    Skype: ejournalists

https://www.facebook.com/DharmanWickremaretne

http://www.dharman.lk/

http://www.srilankanwaterfalls.net/

 

One Response to “අසූවේ ජුලි වර්ජනයට දැන් වසර 36 යි”

  1. Ancient Sinhalaya Says:

    Sinhalese-murdering, Buddhism-destroying, Sri Lanka-destroying UNPatriotic party’s record against the
    Sinhalese, Buddhism and Sri Lanka is despicable. But being modayas and dhrohiyas, a lot of them still
    vote for these murderous thieves. Whatever these murderous thieves done is for the good of the minorities,
    since catholic west, catholics, tamils and mussies are their biggest fans.

    Murderous thieves know Sinhala modayas have very short memories and most of them lack any patriotism.
    So the murderous thieves, plunder, plunder and destroy Sinhalese, Buddhism and Sri Lanka. Just look at the
    mayhem the low lives have caused in just 18 months. Last time they were in government Buddhist jvpers
    burnt in tyres, later on catholic tigers were given half the country to rule.

    Thambi mudiyanselage jr was the biggest traitor, probably second only to his nephew traitor chief die hard catholic,
    token Buddhist pol pot ponil wickramaSinhalakiller. It is no wonder he caused so much heartache to 1000s
    of people, some taking their own lives as a result of losing their jobs. Did the low life care? Traitor alugosuwa
    went on to bigger things by putting foundations to break up the country by introducing 13. Still a lot of traitor
    Sinhala modayas worship the traitor low life who destroyed Sri Lanka for good.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress