ජවිපෙ සටන් පෙරමුණේ නායකයින්ට රත්මලානේදී වෙඩි පිට වෙඩි
Posted on July 17th, 2016

ධර්මන් වික්‍රමරත්න         

 ජවිපෙ 2වැනි කැරැල්ල මැද භාගයේදී එනම් 1988දී මෙහෙයවන ලද කම්කරු සහ ශිෂ්‍ය සටන් ජනතාවගෙන් දුරස්වූ සටන් ක්‍රියාමාර්ග බවට පසුව පත්විය. ප්‍රවාහන වැනි අතවශ්‍ය සේවා වැඩවර්ජනය කැඳවීම නිසා ඇතිවූ අපහසුතාව ප්‍රබල විය. බලහත්කාරයෙන් තුවක්කු කටින් ලංගම සේවකයින් බස් වැඩ වර්ජනයට කැඳවීම මගින් ජනතාව අපහසුතාවට පත්කිරීමට අමතරව ලංගම සේවකයින් වෙත ඔවුනට එරෙහිව බලය යෙදීම පසුව බරපතල හානි ගෙනදුන්නේය. ජවිපෙ සංවිධාන සහ මතවාදී කේෂේත්‍රයන්හි සැලකිය යුතු ජයග්‍රහණයක් ඒවනවිට ලබාගෙන තිබුණද ඒ පිළිබඳව නිවැරදි තක්සේරුවක් හෝ විග්‍රහයක් කරගැනීමට අපොහොසත් විය.

Dharman Wickremaratne2ධර්මන් වික්‍රමරත්න විසිනි.

ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය මගින් 1988 නොවැම්බර් 7වැනිදා සමස්ථ මහා වැඩ වර්ජනයක් බලහත්කාරයෙන් අරඹනු ලැබීය. රජයේ තර්ජන ගර්ජන සහ මර්ධන නීතිරීති බිඳ හෙළමින් මෙම වර්ජනය හම්බන්තොට, අම්පාර, ත්‍රිකුණාමලය, මාතලේ, බදුල්ල, පොළොන්නරුව, අනුරාධපුරය, මොණරාගල වැනි දිස්ත්‍රික්ක දක්වා පැතිර ගොස් තිබිණි. සෞඛ්‍ය, ජල සම්පාදන සහ විදුලිය වර්ජනයෙන් මුදවා හැර තිබිණි. මෙය වෘත්තීය කරුණු පදනම් කරගත් වර්ජනයක් නොව ඉන්දු ලංකා ගිවිසුම අහෝසි කිරිම, ඉන්දීය ආක්‍රමණික හමුදා රටින් පිටකිරිම, පාර්ලිමේන්තුව විසුරුවා හැර භාරකාර රජයක් යටතේ ජනාධිපතිවරණයක් පැවැත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන පැවැත්වූවකි. සියළු අධ්‍යාපනික ආයතන, රජයේ සහ පෞද්ගලික බැංකු, පෞද්ගලික අංශයේ ව්‍යාපාර බහුතරයම වාගේ වර්ජනයට එක්වී සිටි අතර රජය එය නතරකිරීමට යුධ නීතිය පැනවූ තත්ත්වයකට සමාන අයුරින් ආරක්ෂක අංශ යොදා කටයුුතු කළේය.

මේ අතරතුර දකුණු කොළඹ ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය සහ ඩිපෝ කිහිපයක සේවක පිරිස් ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ අදිසි නායකත්වයෙන් වසර ගණනාවක සිට ලැබිය යුතු ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් වර්ජනයක් දියත් කළේය. එයට නාමික නායකත්වය දෙනු ලැබු‍වේ ලංකා ගමනාගමන සේවක සමිතිය වන අතර ප්‍රථම වරට 1988 නොවැම්බර් 1වැනිදා වර්ජනයට එක්වූයේ කැස්බෑව සහ හොරණ ඩිපෝවල සියළු සේවකයින්ය. රත්මලාන, මොරටුව, කටුබැද්ද ඩිපෝවල සියළුම සේවකයෝද 1988 නොවැම්බර් 2වැනිදා එම වර්ජනයට එක්විය. අනෙකුත් ඩිපෝවලටද වර්ජනය පැතිර යමින් තිබිණි. මින් ඉල්ලීම් කිහිපයක් ලබාදී වර්ජනය සමථයකට පත්කිරීමට රජය සමත් විය.

එම වර්ජනය ඇතුළු රත්මලාන ප්‍රදේශයේ කම්කරු වැඩ වර්ජන ගණනාවක්ද කොළඹ දිස්ත්‍රික්කයේද ජවිපෙ කම්කරු සටන් මධ්‍යස්ථානයේ ඉහළ පෙළේ සියළු මෙහෙයුම් කටයුතුද සිදු කෙරුණේ රත්මලානේ  ලහිරු ට්‍රේඩ් සෙන්ටර්හිදීය. එය මෙහෙය වූයේ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකුවූ ප්‍රේමචන්ද්‍ර මුණසිංහය. අකුරැස්ස ඇල්ගිරියේ උපන් මුණසිංහ දෙණියාය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබිය. පවුලේ සොයුරු සොහොයුරියන් 6කි. ඇල්ගිරියේ මුණසිංහ, ජයතිලක, අජන්ත සහ වික්‍රම ලෙසද හැදින්වූ ඔහු 1969 ජවිපෙට පූර්ණ කාලීනව එක්වූ අතර 1971 අප්‍රේල් කැරැල්ලට දෙනියාය ප්‍රදේශයෙන් ක්‍රියාකාරීව එක්විය. කැරැල්ලේ පරාජයෙන් පසුව සිංහරාජ අඩවියට දෙනියාය ප්‍රාදේශීය කමිටුවේ ලේකම් ජයතිස්සගේ නායකත්වයෙන් පසුබැස ගිය මුණසිංහ පසුව ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්විය. ජයතිස්සද 1971 මැයි 31 හමුදා වෙඩි ප්‍රහාරයකින් සිංහරාජ අඩවියේදී මියගොස් තිබිණි. පොලිස් අත්අඩංගුවට පත්වීමේදී දරුණු පහරදීම් හේතුවෙන් මුණසිංහ පසුකළෙක ශරීරාබාධයකටද ලක්ව තිබිණි. අත්අඩංගුවට ගෙන විරවිල එළිමහන් කඳවුරේ සිටියදී 1972 මැයි 8වැනිදා ඥානේ මල්ලි, කෑගල්ලේ ධනපාල, කැප්ටන් සෙනෙවි ඇතුළු පිරිසක් සමඟ මුණසිංහ පැනගිය අතර පසුව 1972 නොවැම්බර් 14වැනිදා යළි ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. පසුව 1976 නොවැම්බර් 2වැනිදා නිදහස ලැබීමෙන් පසු ජවිපෙට යළිත් පූර්ණකාලීනව එක්වී මාතර දිස්ත්‍රික් නායකයා විය. පසුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාදවූ මුණසිංහ ජවිපෙ 2වැනි කැරැල්ලේදී ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ ප්‍රධානතම  නායකයෙකුද විය.

dharman17071602ආණ්ඩුවේ ආරක්ෂක හමුදාව සමඟ එක්ව ප්‍රා සංවිධානය විසින් රත්මලානේදී 1988 නොවැම්බර් 18වැනිදා ඝාතනය කරන ලද ජවිපෙ මධ්‍යම කාරක සභික සහ කම්කරු සටන් කමිටු ප්‍රධාන නායකයෙකුවූ ප්‍රේමචන්ද්‍ර මුණසිංහ, එදිනම එම ස්ථානයේදිම ඝාතනයට ලක්වූ ලහිරු ට්‍රේඩ් සෙන්ටර්හි කළමණාකරු අංගොඩ පදිංචි සරත් පෙරේරා, රාජගිරියේදී 1989 අගෝස්තු 24 පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද රාජගිරිය ජනාධිපති විදුහලේ උපාධිධාරි ගුරුවරයෙකුවන මාතර තල්පාවිල උපන් රත්මලානේ පදිංචි ටී. ඩබ්ලිව්. කේ දයාරත්න,  රත්මලාන ලහිරු ට්‍රේඩ් සෙන්ටර් හිමිකරුවූ රාජගිරියේ පදිංචි රංජිත් දිසානායක නොහොත් කළු රංජි, රත්මලාන ලංගම ඩිපෝවේ ඉදිරිපිටදී 1989 ජුලි 5 ඝාතනය කල ලංගම ජවිපෙ සටන් කමිටු නායකයෙකුවූ පිළියන්දල සුවාරපොල පදිංචි කේ. කේ. සිල්වා සහ රත්මලානේදී ඝාතනයකල සිල්වාගේ අවමඟුලට 1989 ජුලි 10වැනිදා සහභාගිවීමේදී අත්අඩංගුවට ගෙන ඝාතනයට ලක්වූ කළුබෝවිල විදුහලේ උසස් පෙළ සිසු අජිත් කුමාර(ඉහළ වමේ සිට)

එජාප අණ්ඩුව 1982 ඡනමත විචාරණයෙන් පැරදුනු මැතිවරණ ආසන 18ක් සඳහා අතුරු ඡන්ද පැවැත්වූ අතර ඉන් රත්ගම, දෙවිනුවර, කඹුරුපිටිය, තංගල්ල, බෙලිඅත්ත යන ආසන 5ට තරග කිරීමට ජවිපෙ ගත් තීරණය අනුව කඹුරුපිටිය ආසනයට තරඟ කළේ ප්‍රේමචන්ද්‍ර මුණසිංහය. සෙසු ආසනවූ බෙලිඅත්තට ආරියසේන ඊශ්වරගේද, තංගල්ලට විජිත රණවීරද, රත්ගමට වෛද්‍ය කේ.එස්. එන්. ප්‍රනාන්දුද, දෙවිනුවරට ජයන්ත ගුණතිලකද ඒ අනුව තරඟ කරන ලදී. ජවිපෙ අධ්‍යාපන කඳවුරුවලදී පැරණි වමේ ඉතිහාසය පිළිබඳව ඔහු විසින් පැවැත්වූ පන්ති බෙහෙවින් ජනප්‍රිය විය.

මුණසිංහ අවාහ වූයේ දෙණියායේ උපන් කුසුමා බුද්ධිකෝරාල සමඟය. එම යුවලක එක් දරුවෙකි. මාතර දිස්ත්‍රික් ජවිපෙ කලක් නායිකාව වූ කුසුමා ජවිපෙ රැස්වීම්වලදී කථාකල ජනප්‍රියතම කථිකයෙකු වූ අතර මාතර දිස්ත්‍රික් ජවිපෙ නායිකාව මෙන්ම සමාජවාදී කාන්තා සංගමයේ ජාතික කමිටුවේ මුල්පෙළේ නායිකාවක්ද විය.  ජවිපෙ අධ්‍යාපන කඳවුරුද මෙහෙයවු ඇය ජවිපෙ මෙතක් සිටි සාමාජිකාවන් අතර දැනුමෙන් සහ ක්‍රියාකාරිත්වයෙන් මුල්තැන ගත් කිහිපදෙනා අතර විය. කුසුමා 1971 අප්‍රේල් කැරැල්ලටද ක්‍රියාකාරිව එක්වූ අතර කැරැල්ලේ පරාජයෙන් පසු ගාන්ධි නායකත්වය දුන් මිරිගම බල්ලපාන කඳවුරේ සිටි එකම කාන්තා කැරළිකාරියද වූවාය. කඳවුර විසුරුවා පසුබැසීමේදී අත්අඩංගුවට ගත් ඇය මීගමුව බන්ධනාගාරයට ගෙන ආවේය. විජේවීරගේ ලොකු දියණිය දසුන් නිසා 1981 ජනවාරි 12 සොයිසා කාන්තා රෝහලේදී සහ දෙවන දියණිය සුපුන් ඡයා 1982 අප්‍රේල් 5වැනිදා සොයියා රෝහලේදී උපත ලබන විටද විජේවීරගේ බිරිඳ චිත්‍රාංගනී ප්‍රනාන්දුට සහායවීමට සිටියේ ඇයය. බදුල්ලේදී 1989 මැද භාගයේදී කුසුමා අත්අඩංගුවට ගත් අතර පසුව නිදහස් වූ අතර රත්නපුරයේ ජීවත්වන ඇයගේ එකම දරුවාවන පුත්‍රයා වර්තමානයේ දකුණු කොරියාවේ රැකියාවක නිරත වේ.

dharman17071603ජවිපෙ මෙහෙයවූ 1989 ජුනි 12 සිට ජුලි 13 දක්වා මසක් පැවති ලංගම මහා බස් වැඩ වර්ජනයේදී පෞද්ගලික වෑන් රථයක් මගීන් පටවාගෙන පාලමකින් ගමන් කල අන්දම(වම), හමුදා ආරක්ෂාව යටතේ ධාවනය වූ බස් රථයක වහල උඩ පවා ගමන් කරන මගීන්(දකුණ උඩ) සහ හමුදා ආරක්ෂාව යටතේ ධාවනය වු දුම්රියට ප්‍රවේශපත්‍ර ලබාගැනීමට කොටුව දුම්රියපොළ ඉදිරිපිට මගී පෝලිමේ දසුනක්(දකුණ පහළ). මෙම වැඩ වර්ජනයෙන් සිය සේවා ස්ථානවලට යෑමට බොහෝ ජනයාට දිනකට කිලෝමීටර් තිස් හතලිස් ගණන් පයින් යෑමට සිදුවිය.

රත්මලාන සහ ඒ අවට කලාපය තුළ ප්‍රධාන මෙහෙයුම් ගණනාවක් ජවිපෙ සංවිධානය කළ අතර ඉන් බොහෝමයක් සැලසුම් කිරීමේ සහ මෙහෙයුම් සාකච්ඡා පවත්වන ලද්දේ මෙම ලහිරු ට්‍රේඩ් සෙන්ටර් ආයතනයේය. රත්මලාන ගුවන් කඳවුර සහ ආරක්ෂක පීඨයට 1987 ජුනි 6වැනිදා එල්ලකල ප්‍රහාරයට මූලික සාකච්ඡාද මෙහි පැවැත්විණි. යාපනය සහ ත්‍රිකුණාමලයේ සිට රත්මලාන ගුවන්තොටුපොලට පැමිණෙන ඉන්දීය හමුදාවේ ජේෂ්ඨ නිලධාරින්ට ආරක්ෂාව සැපයීම සඳහා ඉන්දීය හමුදා එහි රඳවාගෙන සිටින අවස්ථාවක ප්‍රහාරයක් එල්ල කිරීමට ජවිපෙ සැලසුම් කළද එය සාර්ථක නොවූයේ ඉන්දීය සෙබළුන් එහි නැති බවට අරක්ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ හමුදා මෙහෙයුම් අංශය 1988 නොවැම්බර් මස 10වැනිදා ශ්‍රී ලංකීය මාධ්‍යවේදීන් පිරිසක් එහි කැඳවාගෙන ගොස් පෙන්වාදීමෙන් පසුවය.

රත්මලාන ලහිරු ට්‍රේඩ් සෙන්ටර් හි හිමිකරු වූයේ රංජිත් දිසානායක නොහොත් කළු රංජිය. නුගේගොඩදී 1949 දෙසැම්බර් 10 වැනිදා උපන් රංජිත් රාජගිරිය මාදින්නාගොඩ පදිංචිකරුවෙකි. රංජිත්ට රත්මලානේ ලහිරු ට්‍රේඩ් සෙන්ටර් ආරම්භ කිරීමට අදාළ ගොඩනැගිල්ල එහි අයිතිකරුවන දෙහිවල අමදාසගෙන් බදු ලබාගැනීම සම්බන්ධීකරණය කළේ 1971 කැරැල්ලේ 26 වැනි විත්තිකරුවූ නන්එදිරි කෙලී මැගිලියන් සේනානායක නොහොත් කෙලී සේනානායකය. ජවිපෙ යළි 1977න් පසු නඟා සිටුවීමට පුරෝගාමි මෙහෙයක් කල කෙලීට විනය හේතුන් මත ජවිපෙන් 1979දි ඉවත්විමට සිදුවිය. මැදපෙරදිග සහ වෙනත් රටවල සේවය කර ලංකාවට පැමිණෙන ලංකිකයින්ට හිමි තීරුබදු සහනයෙන් කොල්ලුපිටියේ එවකට පිහිටි වෙළෙඳ සංකීර්ණයෙන් මිලදී ගන්නා විදුලි උපකරණ, ශීතකරන ඇතුළු විදුලි භාණ්ඩ අළෙවිකරන ස්ථානයක් වශයෙන් ලහිරු ට්‍රේඩ් සෙන්ටර් රංජිත් විසින් ආරම්භ කළේ 1985 සැප්තැම්බර් මසදීය.

කලක් තර්ස්ටන් විදුහලේද අධ්‍යාපනය ලත් රංජිත් දිසානායක පන්නිපිටිය ධර්මපාල විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටියදී 1970 අවසාන භාගයේදී ජවිපෙට එක්විය.  සොයුරු සොහොයුරියන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වූයේ රංජිත්ය. ජවිපෙට කීර්ති විජේසිංහ හරහා එක්වූ රංජිත්ට 71 කැරැල්ලේදී භාරව තිබුණේ විජේවීර නිදහස් කරගැනීමට යාපනයට යාම සඳහා විනෝද චාරිකාවක් මුවාවෙන් බස්රථයක් ශිෂ්‍ය අංශයේ නායක එස්. වී.ඒ. පියතිලකගේ උපදෙස් පරිදි ඊබට් සිල්වා ආයතනයෙන් වෙන්කර ගැනීම සහ 1971 අප්‍රේල් 5වැනිදා පනාගොඩ හමුදා කඳවුර ප්‍රහාරක කණ්ඩායමට එක්වීමය. බස්රථය 1971 මාර්තු 28වැනිදා වෙන්කරගත් රංජිත් විසින් 1971 අප්‍රේල් 5වැනිදා අළුයම සුනිල් රත්නසිරි සහ ඩැනියල් විසින් සපයන ලද 50ක පමණ කණ්ඩායම සමගින් කොළඹ ටවුන්හෝල් අසලදී එම බස්රථය යාපනයට යෑම සඳහා කණ්ඩායමේ නායක සැම්සන් සිරිපාලට භාරදෙනු ලැබීය. සැම්සන්ට පිරිස සමගින් බස්රථය බාරදුන් රංජිත් 1971 අප්‍රේල් 5වැනිදා පනාගොඩ හමුදා කඳවුර යටත්කරගැනීම සඳහා ප්‍රහාරයට යන කණ්ඩායමට එක්වූවද ලක්ෂ්මන් චන්ද්‍රසේන ප්‍රනාන්දු නොහොත් කළු ලකී එදින උදෑසන ප්‍රකාශකර ඇත්තේ කිහිප දෙනෙකු හසුවූ බැවින් ප්‍රහාරය නතරකල අතර ආරක්ෂිතව පසු බසින ලෙසය.

dharman17071604රත්මලාන ලංගම ඩිපෝවේ සටන් නායක සිල්වාගේ අවමඟුල 1989 ජුලි 10 පිළියන්දල පැවති අවස්ථාවේදී එයට සහභාගිවීම නිසා ආරක්ෂක හමුදා අත්අඩංගුවට ගත් මොරටු සහ ජයවර්ධනපුර සරසවියේ සිසුන් 11, පාසැල් සිසුන් 3ක් ඇතුළු 17දෙනෙකු අතරින් කිහිපදෙනෙක් දෙහිවල පොලිසියේ රඳවාගෙන සිටි අවස්ථාව.

හැත්තෑ එකේ කැරැල්ලෙන් කලකට පසුව මොරටුවේදී පොලිස් අත්අඩංගුවට පත් රංජිත් ගල්කිස්ස පොලිසියට ගෙන ඒමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්විය. වසර 6ක සිර දඬුවමකින් පසු පොදු සමාව යටතේ 1977 නිදහස්වූ රංජිත් දුෂ්කර තත්ත්වයන් යටතේ සුළු ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අතර රත්මලානේ ලහිරු ට්‍රේඩ් සෙන්ටර් ඇරඹුණේ 1985දීය. එය දියුණුවෙන් දියුණුවට පත්වූයේ නව කළමණාකරුවෙකු වශයෙන් සරත් පෙරේරා 1986 දෙසැම්බර් පත්වීමත් සමඟය.

ලහිරු ට්‍රේඩ් සෙන්ටර්හි කළමණාකරු ලෙස සරත් පත්කරන්නේ එහි හිමිකරුවූ රංජිත්ට අහඹු හමුවීමක ප්‍රතිඵලයක් වශයෙන් හඳුනාගැනීමට හැකිවූ සරත්ගේ අවංකත්වය සහ කැපවීම පිළිබඳව පැහැදීමකින් පසුවය. අංගොඩ වල්පොල කොටිගල මාවතේ පදිංචි රාජපක්ෂ පතිරගේ සරත් පෙරේරා උපන්නේ 1956 අගෝස්තු 23වැනිදාය. ඔහුගේ පියා කොළඹ කොමර්ෂල් සමාගමේ වැඩ පරික්ෂකයෙකුවූ පියදාස වූ අතර මව කල්‍යාණිය. පවුලේ දරුවන් දෙදෙනෙකුවූ අතර වැඩිමලා සරත්වූ අතර බාලයා ප්‍රේමලාල් ධර්මසේන විය. තලංගම සිරිසුමේධ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් සරත් මොරටුව සර්වෝදය මූලස්ථානයේ තාක්ෂණික සහායකයෙක් ලෙස සේවය කර 1982 සෞදියේ හෝටලයක සේවයේ නිරත විය. ඔහු දක්ෂ පාපැදි සූරයෙකි.

සරත් පෙරේරා 1982 මැදපෙරදිග ගිය විට එහි ජවිපෙ කටයුතුවලට සම්බන්ධ වූයේ සෞදියේ ඇරම්කෝ සමාගමේ හෙද නිලධාරියෙකුවූ රංජිත් ඇතුළු පිරිස මගිනි. අවිවාහකයෙකුවූ සරත් පෙරේරා 1986 අවසාන භාගයේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු රංජිත්ගේ ඉල්ලීම පරිදි ලහිරු ට්‍රේඩ් සෙන්ටර්හි කළමණාකරු විය. මාසික වැටුප රුපියල් 10,000කි. කළමණාකරුවූ සරත් නැවතී සිටියේද රත්මලානේ එම ව්‍යාපාරික ස්ථානයේදීමය. එහි අළෙවි විධායක වූයේ බදුල්ලේ රංජිත් රත්නායකය. ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූයේ බදුල්ලේ පුරවැසි සමාජ ක්‍රියාකාරි මානෙල් රත්නායකය. එමෙන්ම මස්සිනා වූයේද ප්‍රවීන ඉංග්‍රීසි කථිකාචාර්ය පාලිත ශාම්දාස් සොලමන්ස්ය. මානෙල් සහ පාලිත 1971 කැරළිකරුවන් 67ක් එක්වී 1977 දෙසැම්බර් 12වැනිදා වැල්ලවත්තේදී ආරම්භකල  ජනතා සංගමයේ සමාරම්භකයින්ද විය.

dharman17071605ජවිපෙ කම්කරු සටන් කමිටුවේ මුල්පෙළේ ක්‍රියාකාරිකයෙකුව සිටියදී 1988 නොවැම්බර් 2වැනිදා වදුරාමුල්ලේදි ඝාතනයට ලක්වූ ඔරුවල වානේ සංස්ථාවේ යන්ත්‍රාගාර සේවකයෙකුවූ  සිසිර සරත්චන්ද්‍රගේ දේහය වානේ සංස්ථාවේ මහජන ගෞරවය සඳහා තබා තිබූ අයුරු. කොටුවේ ඡායාරූපයෙන් දිස්වන්නේ සිසිර සරත්චන්ද්‍රය.

ජවිපෙ කම්කරු සටන් මධ්‍යස්ථානයේ ප්‍රබල ක්‍රියාකාරිකයින් සහ සාමාජිකයින් කිහිප දෙනෙක්ම ආරක්ෂක හමුදා මගින් ඝාතනයට ලක්විය. ඔවුහු බොහෝ දෙනා රත්මලාන ලහිරු ට්‍රේඩ් සෙන්ටර් වෙත නිතර ආගිය අය වෙති. ඔරුවල වානේ කම්හලේ විරෝධතා ව්‍යාපාරවලට නායකත්වය දුන් කේ.පී.ඒ සිසිර සරත්චන්ද්‍ර 1988 නොවැම්බර් 2වැනිදා නවගමුව පොලිස් වසමේ වදුරාමුල්ලේදී  ලාන්සර් මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු විසින් හිසට වෙඩිතබා ඝාතනය කරන ලදී. ඔහුගේ මස්සිනාවූ බෙන්තර බඩල්ගේ සුරේන්ද්‍ර ජයලත් විසින් හෝමාගම දිසා විනිසුරු ආර්. සී. හෑගොඩ ඉදිරියේ සිරුර හඳුනාගන්නා ලදී. වානේ සංස්ථාවේ සුභසාධක සමිතියේද ක්‍රියාකාරිකයෙකුවූ සිසිරගේ සිරුර අවසන් ගෞරවය සඳහා සංස්ථා භූමියටද ගෙනවිත් තිබිණි. මෙයට පෙර කොළඹ වෛද්‍ය සිසු පද්මසිරි ත්‍රීමාවිතාරණ සමඟ 1988 ඔක්තෝබර් 20වැනිදා රත්නපුරේදී ඝාතනයට ලක්වු තිදෙනා අතර සිටි රංජිත් පෙරේරාද ඔරුවල වානේ සංස්ථාවේ සේවකයකි.

බස් වැඩ වර්ජනය ඇතුළු රත්මලාන ප්‍රදේශයේ සියළු කම්කරු සටන් සැලසුම් කල ලහිරු ට්‍රේඩ් සෙන්ටර්හි එවැනි වැඩසටහන් ක්‍රියාත්මක වන බවට හිමිකරු රංජිත් දිසානායක දැනනොසිටි බව කියති. ආයතනය අතිශයින් දියුණු තත්ත්වයට පත්වීම පිළිබඳව සතුටුවූ ඔහු කළමණාකරුගේ අවංකභාවයද ඉහළින්ම අගය කළේය. එහි කළමණාකරු සරත් සමඟ ජවිපෙ සම්බන්ධතා ගොඩනඟා ගන්නේ 1987 ජනවාරි මාසයේදීය. ඒ රත්මලානේ චකින්ද්‍රාරාම පාරේ නවාතැන්ගෙන සිටි තල්පාවිල විදාන කංකානම්ගේ දයාරත්න මගිනි. දයා ඉස්කෝලේ මහත්තයා ලෙස ජනප්‍රිය වූ ඔහු කැලණි සරසවියේ 1974/75 කණ්ඩායමේ උපාධිධාරියෙකි. දයාරත්නගේ සරසවි සමකාලීනයින් අතර වර්තමාන ජනාධිපති ලේකම් පී.බී අබේකෝන්, හිටපු නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් ඇතුළු කිහිප දෙනෙක්ම විය. රාජගිරිය ජනාධිපති විදුහලේ ආර්ථික විද්‍යා ගුරුවරයෙකුවූ දයාරත්න දික්වැල්ල විජිත විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ගුරු වෘත්තියට අමතරව මෝටර් රථ මිලදීගෙන අළෙවි කිරීමේ අර්ධ කාලීන කටයුත්තකද යෙදුණු දයාරත්න සිය වාහනය වූ එල්ෆ් ඉසුසු රථයද ජවිපෙ වැඩකටයුතු සඳහා ලබාදුන් අයෙකි. රථයේ රියදුරාවූයේ නන්දනය.

dharman17071606වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලැබීමෙන් රෝහල් ගතකල රත්මලානේ ලහිරු ට්‍රේඩ් සෙන්ටර්හි අළෙවි විධායක රංජිත් රත්නායක(පසුව සුවපත්වූ ඔහු 2003දී හදිසි අනතුරකින් මිය ගියේය). රංජිත් රත්නායකගේ වැඩිමහල් සොහොයුරාවූ බදුල්ලේ පුරවැසි සමාජ ක්‍රියාකාරි මානෙල් රත්නායක සහ රංජිත් රත්නායකගේ මස්සිනාවූ ප්‍රවීණ ඉංග්‍රීසි කථිකාචාර්ය පාලිත (ශාම්දාස්) සොලමන්ස් මෙහි වමේ සිට වේ.

ලහිරු ට්‍රේඩ් සෙන්ටර් යාබදව සිංහ හාඩ්වෙයාර් එකද තිබූ අතර චකින්ද්‍රාරාම පාරේ පදිංචි දෙදරු පියෙකුවූ ආරියරත්න නොහොත් රතු අයියාගේ නිවසේ දයාරත්න නවාතැන්ගෙන සිටියේය. ආරියරත්න කොළඹ මැනින් මාකට්හි ප්‍රකට එළවළු ව්‍යාපාරිකයෙකි. ප්‍රේමචන්ද්‍ර මුණසිංහගේ උපදෙස් පරිදි රත්මලාන කේන්ද්‍ර කරගෙන ජවිපෙ සටන් මධ්‍යස්ථානයේ කටයුතු කල අය නැවතී සිටියේ සිරිමල් උයනේ ඇනෙක්සියකය. මාසික කුළිය 4,000කි. එහි සිටි ජවිපෙ පූර්ණකාලීනයින් බහුතරය මාතර තල්පාවිල පදිංචිකරුවන්ය.

මාතර තල්පාවිල මුළුමනින්ම වාගේ දුරාව කුළය නියෝජනය කරන ජනකොටසකින් සමන්විත වන අතර තල්පාවිලට ජවිපෙ 1969දී ගෙනආවේ පී.කේ විමලදාසය. 71 කැරැල්ලේදී විමලදාසගේ නිවස ගිනිතැබූ අතර සොහොයුරිය වන කරුණාවතීද අත්අඩංගුවට ගනු ලැබීය. උඩවලවේ අක්කර තුනක පමණ දූපතක් මැද වගා කටයුතුවල නිරත වෙමින් 71 කැරැල්ලේ 40වන කැරළිකරු ඩී.පී විමලගුණේ සහ සොමිපාලද අත්අඩංගුවට ගන්නේ ගාමිණී බාස්ගේ ඔත්තුවක් මත 1971 දෙසැම්බර් මසදීය. පසුකලෙක ජවිපෙන් ඉවත්වූ විමලදාස විදේශ රැකියාවක නිරතවි වර්තමානයේ කිරිබත්ගොඩ මාකොල පදිංචිව සිටී.

වසර 1977න් පසු තල්පාවිල ජවිපෙ ප්‍රචලිත කළේ තල්පාවිල විදානේ කංකානම්ගේ ධර්මසේන නොහොත් තල්පාවිල ධර්මේය. ඔහුගේ පියා චාර්ලිස්ය. මව මාතර වල්පොල සරලීන්ද සිල්වා ජයසිංහය. සුළු ව්‍යාපාරිකයෙකුවූ තල්පාවිල ධර්මේගේ පියාට දරුවන් සිව්දෙනෙකි. පිරිමි අය ධර්මසේන, ජයනන්ද සහ කරුණාපාල වූ අතර දියණිය සීතාය. රුහුණු සරසවියේ උපාධිධාරියෙකුවූ කරුණාපාල වර්තමානයේ විශ්‍රාමික ගුරුවරයෙකි. තල්පාවිල ධර්මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වශයෙන් කටයුතුකල අතර මේසන් සහ වඩුවැඩද දන්නා ඉංග්‍රීසි දැනුමක් ඇති කරාටේ ක්‍රීඩාව ප්‍රගුණකල සංගීතයට ලැදි චිත්‍ර ශිල්පියෙකුද විය. මාතර මැදිවත්ත තාක්ෂණ ආයතනයේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරූ ධර්මසේන වැඩ පරික්ෂකයෙකු ලෙසද පස්ගොඩ කලක් සේවය කළේය. තල්පාවිලට චෙස් ක්‍රීඩාව ගෙනාවේ සහ ජනප්‍රිය කළේ ඔහුය. ජවිපෙ පුර්ණකාලීනයෙකු වශයෙන් 1976 සිට එක්වූ ධර්මසේන තහනමෙන් පසුව මියයන තෙක්ම පූර්ණකාලීනයෙකු විය. ගන්දර, දෙවිනුවර, වලස්මුල්ල, මිද්දෙණිය යන ප්‍රදේශයන්හි ජවිපෙ අධ්‍යාපනික පන්ති පැවැත්වූ ධර්මසේන 80 දශකය මුල්භාගය වනවිට සලාගම සහ නවන්දණ්ඩ කුලවලට අයත් ජනයා බහුතරයක් වෙසෙන කැකැන්දුර ප්‍රදේශවලද ජවිපෙ ප්‍රචලිත කළේය.

dharman17071607ආරක්ෂක හමුදා සහාය ඇතිව අර්ධ මිල්ටරි කණ්ඩායමක්වූ ප්‍රා මගින් ඝාතනය කරන ලද ජවිපෙ කැරළිකරුවෙක්.

ජවිපෙ අරමුදල් තරකර ගැනීම සඳහා සමරප්පුලිගේ සෝමසිරි නොහොත් රාගම සෝමේගේ නායකත්වයෙන් 1984 අගභාගයේදී රෝහණ විජේවීරගේ උපදෙස් පරිදි මුදල් සෙවීමේ කමිටුවේ මාතර දිසාවේ නායකයෙකු වූයේ තල්පාවිල ධර්මසේනය. ගුරු වැටුප් මංකොල්ලයකදී එය සාර්ථකව සිදුකිරීමෙන් අනතුරුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ නෝනාගම වැලිපැටන්වලදී යතුරු පැදියේ යමින් සිටියදී ධර්මසේන සහ මුණි යන දෙදෙනා අම්බලන්තොට පොලිස් අත්අඩංගුවට 1985 මාර්තු පත්වන අතර පොලිස් පහරදීම් වලින් පසු මාතර රෝහළට ඇතුළු කරනවිටත් මියගොස් තිබිණි. එවකට අම්බලන්තොට ප්‍රධාන පොලිස් පරික්ෂක වුයේ ධනපාල නානායක්කාරය. ධර්මසේනගේ අවමඟුල් කටයුතු තල්පාවිල පවුලේ සුසාන භූමියේදී සිදුකල අතර ඒ සඳහා පොලිසිය මගින් අවසර ලබාදුන්නේ වරුවක් පමණි.

රත්මලානේ ප්‍රේමචන්ද්‍ර මුණසිංහගේ නායකත්වය යටතේ ක්‍රියාත්මකවූ බහුතරය තල්පාවිල ධර්මසේන හරහා ජවිපෙට බැදුණු අය වේ. රත්මලානේ සිරිමල් උයනේ නවාතැන් ගෙන සිටි ඔවුහු සැලසුම් සකස් කළේ සහ සාකච්ඡා කළේ රත්මලානේ ලහිරු ට්‍රේඩ් සෙන්ටර්හිදීය. කළමණාකරු සරත් ව්‍යාපාරික කටයුතුවලට බාධාවක් නොවන පරිදි එය සිදුකල අතර ඉහළම ලාභද පෙන්නුවේය. එහෙත් එම ස්ථානයට යාබදව ඇති සිංහ හාඩ්වෙයාර් වෙත නිරතුරුව පැමිණෙන ජවිපෙන් ඉවත්වූ අයෙකු ලහිරු ට්‍රේඩ් සෙන්ටර්හි සිදුවන ජවිපෙ කටයුතු ආරක්ෂක අංශවලට දැනුම් දුන්නේය. ආරක්ෂක අංශ ඉන්පසු එහි දුරකථනය ටැප් කල අතර සම්බන්ධතා තහවුරු විය. පසුව සැඟවී සිට ප්‍රේමචන්ද්‍ර මුණසිංහ ලහිරු ට්‍රේඩ් සෙන්ටර් වෙත 1988 නොවැම්බර් 18වැනිදා පෙරවරු 11.20ට ඇතුල්වන විට සැඟව බලා සිටි ආරක්ෂක අංශ එල්.එස් 30 සුදු පැහැති වෑන් රථයෙන් පැමිණ වෙළෙඳ ස්ථානයේ ඇතුළතට කඩාපැන වෙඩිතබා එහි සිටි සියළුදෙනා ඝාතනය කළහ. පසුව මොරටු දෙසට වෑන්රථය පලා ගියේය.

dharman17071608රත්මලානේදී ඝාතනයට ලක්වූ අයෙකුගේ අවසන් කටයුුතු වලට පෙර ආගමික වතාවත් සිදුකරන අයුරු

ලහිරු ට්‍රේඩ් සෙන්ටර්හි එම ස්ථානයේම ඝාතනයට ලක්වූයේ ජවිපෙ මධ්‍යම කාරක සභික සහ බස් වර්ජනය ඇතුළු කම්කරු සටන් සහ උද්ඝෝෂණ රත්මලාන ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ දියත්කල නායකයාවූ ප්‍රේමචන්ද්‍ර මුණසිංහ, ලහිරු ට්‍රේඩ් සෙන්ටර්හි කළමණාකරු අංගොඩ රාජපක්ෂ පතිරගේ සරත් පෙරේරා සහ විදුලි කාර්මිකයෙකුවූ රත්මලානේ පදිංචි ලක්ෂ්මන් කොස්තා යන තිදෙනාය. වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ එහි අළෙවි විධායක බදුල්ලේ රංජිත් රත්නායක රෝහල්ගත කල අතර පසුව සුවපත්වූ ඔහු 2003 හදිසි අනතුරකින් මිය ගියේය. සරත් පෙරේරාගේ සහ ලක්ෂ්මන් කොස්තාගේ දේහයන් අවසන් කටයුතු සඳහා ඔවුන්ගේ පවුලේ අය භාරගත් අතර ජවිපෙ ප්‍රේමචන්ද්‍ර මුණසිංහගේ අවසන් කටයුතු රජයේ මැදිහත්වීමෙන් සිදුකරන ලදී. සිද්ධියෙන් පසු සරත්ගේ සහ ලක්ෂ්මන්ගේ නිවාසද කිහිපවරක් පොලිස් පරික්ෂණවලට ලක්විය. එහෙත් සැකකටයුතු කිසිවක් හමු නොවිණි. අදාළ ලහිරු ට්‍රේඩ් සෙන්ටර් ව්‍යාපාර තුළදී වෙඩි තැබීමෙන් අනතරුව ආරක්ෂක හමුදා භාරයට පත්විය.

මෙම සිද්ධියත් සමඟම එම ව්‍යාපාරයේ හිමිකරු රංජිත් දිසානායක නොහොත් කළු රංජි කිහිප දිනකින්ම ජීවිතාරක්ෂාව තකා සිංගප්පූරුවට පලාගිය අතර පසුව තායිලන්තය, මැලේසියාව, නෙදර්ලන්තය සහ ඉතාලියේ රැකියාවන්හි නිරතවී වසර 8කට පසුව 1996දී ලංකාවට යළි පැමිණියේය. ලියුම්කරු මෙම ලිපිය සැකසීමට රංජිත් දිසානායක ඇතුළු 9 දෙනෙකු සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවන්හි නිරතවූ අතර  පාඨක ඔබ දැන් කියවූ මෙම කථාව එම පාර්ශවයන්ද දැන සිටියේ තමන් සම්බන්ධිත කොටස් පමණි. රංජිත් දිසානායකට මේ පිළිබඳව එකල ඇතමුන් චෝදනා කලද එහි සත්‍යතාවයක් නොමැත. රාවය පුවත්පතේද ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස කලක් කටයුතු කල රංජිත් දිසානායක වර්තමානයේ අගහස් ප්‍රකාශන ආයතනයේ හිමිකරුය. තිදරු පියෙකුවූ රංජිත්ගේ බිරිඳ නීතාය.

ලහිරු ට්‍රේඩ් සෙන්ටර් වෙත නිරතුරුවම පැමිණි කිහිප දෙනෙක් පසුව ඝාතනයට ලක්විය. ඒ අතර රාජගිරිය ජනාධිපති විදුහලේ ගුරුවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි තල්පාවිල ටී. ඩබ්ලිව්. කේ දයාරත්නද පාසැලට පැමිණි ආරක්ෂක අංශ විසින් 1989 අගෝස්තු 24 පැහැරගෙන ගිය අතර පසුව ඝාතනයට ලක්වී තිබිණි. තල්පාවිල පන්සල අසළ කොමියුනිස්ට් පක්ෂ ක්‍රියාකාරිකයෙකුවූ විමලසෝම ජවිපෙ මගින් 1988 අවසානයේදී ඝාතනයට ලක්කල අතර විමලසෝමගේ දරුවන් දෙදෙනා අධ්‍යාපනය ලැබුවේද රාජගිරිය ජනාධිපති විදුහලේදීය. එමෙන්ම රත්මලාන ලහිරු ට්‍රේඩි සෙන්ටර් වෙත පැමිණි ගුරුවරයෙකුවූ අබේරාමද ආරක්ෂක අංශ මගින් ඝාතනයට ලක්වල අතර  ඔහුගේ දරුපවුල ජීවිතාරක්ෂාව පතා විදෙස් ගතවිය. මෙම ස්ථානයට පැමිණි මුල් පෙළේ අය අතර ජවිපෙ සන්නද්ධ නායක සමන් පියසිරි ප්‍රනාන්දු, ඔහුගේ යුධ න්‍යායචාර්ය දයා වන්නිආරච්චි ඇතුළු කිහිපදෙනෙක්ද විය.

ජවිපෙ ඇරඹූ මහා බස් වැඩ වර්ජනයක්ද 1989 ජුනි 12වැනිදා ඌව පළාතේ බදුල්ල ඩිපෝවෙන් ආරම්භ වූ අතර එය ජයග්‍රාහිව නිමාවූයේ 1989 ජුලි 13වැනිදාය. රුපියල් 2,500ක මාසික වැටුප් ඉල්ලා බලහත්කාරයෙන් මෙහෙයවූ බස් වර්ජනය ජයග්‍රාහීව නිමාවන විට ඒ වෙනුවෙන් ඝාතනයට ලක්වූ බස් සේවකයින් සංඛ්‍යාව 137කි. වර්ජන නියෝග නොතැකූ නාරම්මල ඩිපෝවේ රියදුරු පැත්තෑතිගොඩ පදිංචි ආර්.පී කාරුණාතිලක, අවිස්සාවේල්ලේ ඩිපෝවේ රියදුරු ඩී.බී විජේරත්න, කුලියාපිටියෙ ඩිපෝවේ රියදුරු ගිරිඋල්ලේ පදිංචි ඩිංගිරි බණ්ඩා ඇතුළු ලංගම බස් රියදුරන්, කොන්දොස්තරවරුන් සහ නිලධාරින් ඒ අතර විය. ජවිපෙ සහ ආරක්ෂක අංශවල තර්ජනයෙන් බස් සේවකයින් දෙපිරිසෙන්ම බැට කෑ‍වේය. හමුදා ආරක්ෂාව යටතේ සහ හමුදා රියදුරන් මගින් ධාවනය කරන ලද බස් රථවලට වෙඩිතැබිම් සහ බෝම්බ ප්‍රහාර එල්ලකල අතර ඉන්ධනහල් වසා දැමීමටද නියෝග කළේය. බස්රථවල ආරක්ෂාවට දමා සිටි ආරක්ෂක අංශ විසින් අවි පැහැරගැනීම් ගණනාවක්ද සිදුවිය. ජවිපෙ 2වැනි කැරළි සමයේදී කැරළිකරුවන් විසින් ලංගම බස්රථ 509ක් ගිනිතබා අලහභානි කර තිබිණි. තහනම නොතකා ධාවනය කරන ලද රථ වලට හම්බන්තොට ලුණුගම්වෙහෙර පහේ ජනපදය සහ හුංගම ගුරුපොකුණ ප්‍රදේශයේදී බිමි බෝම්බ පිපිරවීමෙන්ද කිහිප දෙනෙකු තුවාල විය. ජනයා සිය සේවා ස්ථානයන්ට සහ අවශ්‍ය ස්ථානයන්ට යෑමට දිනකට කිලෝමීටර් තිස් හතලිස් ගණන් පයින් යෑමට සිදුවිය. බස් වර්ජනය හේතුවෙන් ජවිපෙ 2වැනි කැරැල්ල ජනතාවගේ වේගවත් කලකිරීමට ප්‍රධාන හේතුන් අතර විය.

එම මහා බස් වැඩ වර්ජනයට නායකත්වය දුන් රත්මලාන ජවිපෙ කම්කරු සටන් මධ්‍යස්ථානයේ නායකයින්වූ කේ.කේ සිල්වා සහ ඇක්මන් රණතුංගද මහා බස් වැඩ වර්ජනය නිමවීමට පෙර 1989 ජුලි 5වැනිදා පෙරවරු 9ට පමණ රත්මලාන ඩිපෝව ඉදිරිපිට රොලෙක්ස් හෝටලය අසළ මහමගදී ඝාතනයට ලක්විය. එය සිදුකර තිබුණේද සුදු පැහැති අංක රහිත හයියස් වෑන් රථයකින් ආරක්ෂක අංශ සමඟ පැමිණි අර්ධ මිල්ටරි කණ්ඩායමක් මගිනි. එම ස්ථානයේදීම කේ.කේ සිල්වා මියගිය අතර ඇක්මන් රණතුංග මියගියේ කළුබෝවිල රෝහළේදීය. එම දේහයන් 1989 ජුලි 9වැනිදා ඥාතීන් වෙත භාරදෙනු ලැබුවේ  ජුලි 10වැනිදා පෙරවරු 10ට පෙර අවසන් කටයුතු සිදුකරන ලෙසට පොලිසිය මගින් කල දැනුම්දීමක් සමඟය. ඇක්මන් රණතුංගගේ අවසන් කටයුතු ජාඇල පිහිටි ඔහුගේ බිරිඳගේ මහගෙදරදී සිදුකල අතර කේ.කේ සිල්වාගේ අවසන් කටයුුතු පිළියන්දල සුවාරපොල දෙමාපියන්ගේ නිවසේදී සිදුකරන 1989 ජුලි 10වැනිදා සිදුකරන ලදී.

පිළියන්දල සිල්වාගේ අවසන් කටයුතු 1989 ජුලි 10දා පෙරවරුවේ සිදුකල අතර එයට සහභාගිවූ පිරිස අතරින් මොරටු සහ ජයවර්ධනපුර සරසවියේ සිසුන් 11ක් පාසැල් සිසුන් 3ක් ඇතුළු 17දෙනෙකු ආරක්ෂක හමුදා මගින් අත්අඩංගුවට ගනු ලැබීය.  පසුව ඔවුහු කැස්බෑව මහේස්ත්‍රාත්තුමියගේ රඳවාගැනීමේ නියෝගයක් අනුව දෙහිවල පොලිසියේ රඳවා තබාගන්නා ලදී. අනතුරුව කොළඹ, වැලිකන්ද, මැද්දේගොඩ සහ බූස්ස හමුදා කඳවුරුවල මාස 6ක් පමණ රඳවාගෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පානදුර මහාධිකරණයේ නඩු පවරනු ලැබීය. ඒ වන විට 12වැනි විත්තිකරුවූ කළුබෝවිල විදුහලේ උසස්පෙළ  සිසු අජිත් කුමාර අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවිය. කොහුවල හමුදා මුරපොලට පහරදීම සම්බන්ධයෙන් අජිත් කුමාර හඳුනාගත් බවත් පැහැරගත් තුවක්කු සෙවීමටයාමේදී ඔහු පැනයාමට තැත්කිරීමෙන් ඝාතනයට ලක්වූ බවත් ආරක්ෂක අංශවලින් ලබාගත් ලිපියක් පොලිසිය ඉදිරිපත් කළේය. ලාල් ප්‍රින්ස් පෙරේරා නැමති 14වැනි විත්තිකරු ඕස්ට්‍රේලියාවේ රැකියාවකට යෑමට නීතිපති වෙනුවෙන් කල ඉල්ලීමක් අනුව ඔහු නිදොස් කොට නිදහස් කල අතර පසුව අනෙකුත් විත්තිකරුවන්  වෙනුවෙන්ද සානුකම්පිතව සලකා බලන්නැයි විනිසුරු කල ප්‍රකාශයෙන් මසකට පසු නීතිපතිවරයා සෙසු සියළු දෙනාම එරෙහි අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කරගැනීමට අවසර පැතීය. එයට ඉඩදුන් විනිසුරු එස් කඩවතආරච්චි සියළුදෙනා නිදොස් කොට නිදහස් කළේය.

ජවිපෙ 2වැනි කැරැල්ලේදී ජවිපෙ අරමුණ වෙනුවෙන් සටන් වැද දිවිපිදූ බොහෝ දෙනා විශ්වාස කල නොහැකි සටන්කාමීත්වයක්, නිර්භිතබවක් සහ වීරත්වයක් විදහා දැක්වූවිහ. ඒ සඳහා ඔවුනට උපකාර වූයේ ඔවුන්ගේ අධ්‍යාත්මය තුළ තිබූ අචල විශ්වාසයයි. අරගලයේ උනුසුම් අවස්ථාවේදී පවා රුදුරු මර්ධනය ලේ ඉව කරන හෝරාවේදී අධිෂ්ධානය ධෛර්යයද රැගෙන ඔවුහු සිය අරමුණ වෙනුවෙන් සටන් කළහ. රත්මලානේදී වෙඩි වරුසාවල් මැද ඝාතනයට ලක්වූ ඉහත කැරළිකරුවන් සෙසු සටන් සගයින්ට ධෛර්යය සහ ශක්තිය උගැන්වමින් කියා සිටියේ එය වේ.(ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected]The writer ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne is a senior journalist who could be reached at [email protected] OR 011-5234384.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress