මේ ඉතිහාසය යලි ලියවෙන වගද…
Posted on July 17th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට පහර දීම පිලිබඳව විවිධ අදහස් හා මතවාද සමාජ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වී තිබුනි. ඒ පහරදීමට මුල් වූ හේතුව ලෙස දක්වා තිබුනේ විශ්ව විද්‍යාලයේ නවක සිසුන් පිලිගැනීමේ උත්සවයට උඩරට නැටුම් කණ්ඩායමක් රැගෙන ඒම පිලිබඳව දෙමළ සිසුන් කෝපයට පත් වූ නිසා බවයි. මේ සිද්ධිය මගින් මීට සමාන වූ අතීත මතකයක් යලි සිහිපත් විය.

1976 දී මගේ ලොකු අක්කාට යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුලු වීමට වරම් ලැබිනි. ඒ කාලයේදී තිබූ මාධ්‍ය  වූ ගුවන් විදුලිය හා පුවත්පත්වල සීමිත පරාසය ඔස්සේ රටතොට සිදුවන දේ දැන ගැනීමට ජනතාවට තිබුනේ සීමිත ඉඩකි. නමුත් යම් දේශපාලන අවබෝධයක් හා උනන්දුවක් තිබූ අප දෙමව්පියන්ගේ මිත්‍රයින්ගේ අවවාදය වූයේ ඒ වන විට යන්තම් 18 වන වියෙහි පසු වූ දියණිය යාපනයට නොයවන ලෙසය. සැබැවින්ම ඒ වන විට 1975 දී සිදු වූ යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා ඝාතනයත් සමගම උතුරේ යම් ප්‍රමානයකට ආතතීන් වර්ධනය වෙමින් පැවතිනි. ඒ කෙසේ වුවද වෙනත් විශ්ව විද්‍යාලයකට සුහද මාරුවක් ලබා ගැන්මට මගේ සොයුරිය මෙන්ම අම්මා ද එතරම් උනන්දුවක් ගත්තේ නැත.

මාතර නගරයේ අප ලඟම අසල්වැසියා වූයේ යාපනයේ බේකරි හිමි ව්‍යාපාරිකයකු වූ අබේසේකර මහතා හෙවත් යාපනේ මුදලාලිය. යාපනය ගැන හොඳ අවබෝධයක් තිබූ ඔවුන් පවා ඊලඟ දශකයේ සිට මෙතරම් බරපතල වූ වාර්ගික යුද්ධයක් ඇරඹේ යයි සිතන්නට නැත. චතුර ලෙස ද්‍රවිඪ බස කතා කල ඔහුද පැවසුවේ යාපනය විශ්ව විද්‍යාලයට යාමේ කිසිදු අවුලක් නැති බවයි.

කෙසේ හෝ යාපනය විශ්ව විද්‍යාලයට ඇතුලු වූ සිංහල සිසු කණ්ඩායම්වලට 1977 මුල් භාගය තෙක් සැලකිය යුතු ප්‍රශ්ණයක් නොවීය. එනමුදු ප්‍රශ්ණ නොතිබුනා යයිද කිව නොහැකිය. සමහර විටෙක වඩ්ඩුකොඩෙයි හි පීඨයේ සිට නගරයට පැමිනෙන ඔවුන්ට ද්‍රවිඪ තරුණයන්ගේ ආක්‍රමණශීලී ප්‍රතිචාරවලට ලක්වන්නට සිිදු වූ අවස්ථා හිඟ නොවීය. 1977 මාර්තු මාසයේදී නගරයෙන් මඳක් දුර බැහැර යම් කටයුත්තක් සඳහා ගිය සිංහල, විද්‍යාපීඨ සිසුන් දෙදෙනෙකුට ආපසු එන ගමනේදී අනිත් පාර්ශ්වය විසින් බස් රියේ අසුනක් අරභයා සිතා මතාම ඇතිකල ප්‍රශ්ණයකට මුහුණ දීමට සිදුවිය. තම නේවාසිකාගාරය අසලදී බසයෙන් බැසි එම සිසුන් දෙදෙනා සමගම බිමට පැනගත් ද්‍රවිඪ තරුණයන් පිරිස ඔවුන් වෙත තර්ජනාත්මකව පවසා සිටියේ “උඹලගෙ ඔක්කොම අරන් වරෙන් හෙට. අපි එතකොට බලාගනිමු” යන්නයි. මේ වචන හුවමාරුව මෙතරම් දුර දිග යනු ඇතැයි ඔවුන් සිතුවේ නැත. පසුදින දිවා ආහාරයෙන් පසුව නගරයට යන්නට ගිය යහලුවන් සිව් දෙනා හදිසියේම කොහෙන් ආවාදැයි සිතාගත නොහැකි තරම් පිරිසක් වට කරගත් බව එදා සිද්ධිය ඇසින් දුටු සිසුවියන් පිරිසක් පැවසූහ. මේ පිරිස අත පොලු මුගුරු, සයිකල් චේන්, කිණිසි තිබෙනු ඔවුන් දැක ඇත. ප්‍රහාරයට ලක් වූ සිසුන්ගෙන් තිදෙනෙකු දිවගන්නට සමත් වූහ. විනාඩි කිහිපයක් තුල පැවති කලබගෑනියෙන් පසුව මේ පිරිස විසිර ගිය විට, උපාලි මාරසිංහ නම් සිසුවා උදරයට වැදුනු පිහි පාරවල් නිසා ලද කැපුම් තුවාල සහිතව වැටී සිටියේය. ඔහුව වහාම යාපනය මහ රෝහලට ගෙන ගොස් ශල්‍යකර්මයකට භාජනය කලද ඔහුගේ සිරුරේ ඉනෙන් පහල අප්‍රාණික වීය. ඒ සමගම විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමිනි.

තමන්ට වෙනත් විශ්ව විද්‍යාලයක් ලබා දෙන ලෙස සිසුන් කල ඉල්ලීම් නොතකා එවකට සිටි ශ්‍රීලනිප රජය ඔවුන්ව යලි යාපනයටම යවන්නට කටයුතු කලහ. නමුත් මැයි, ජුනි මාසවලදී වරින් වර ‘සිංහල සිසුන් කැබලිකර, පැකට් කර ගෙවල් වලට යවනවා’ යි පැවසෙන තර්ජනාත්මක පණිවුඩ සිංහල සිසුන්ට ලැබිනි.

1977 අගෝස්තු මස 15 වන දින දෙෙනික මුර සංචාරයේ යෙදුනු පොලිස් භටයන් තිදෙනෙකු හට ද්‍රවිඪ තරුණයින් තිදෙනෙකු විසින් වෙඩි තබා තුවාල සිදු කිරීමත් සමගම, ඊට පොලිසිය පොදුවේ ද්‍රවිඪ ජාතිකයන්ට ප්‍රතිචාර දැක් වූ පාලනයෙන් තොර වියරු ආකාරය තුල යාපනයේ හා ඒ අවට සිටි සිංහලයන්හට පෙරලා පහර දීමට ද්‍රවිඪ ජනයාද පෙලඹුනහ. සවස 5.30 පමන වන විට අවි ආයුධ ද රැගෙන යාපනය විශ්ව විද්‍යාල නේවාසිකාගාර වටකල කලහකාරී ද්‍රවිඪ පිරිස් සිංහල සිසුන් මරාදමා නේවාසිකාගාර ගිනිබත් කරන බවට තර්ජනය කරමින් ඝෝෂා කිරීමට වන්හ. එවකට අනුරාධපුර මහ දිසාපතිවරයාගේ දියණියද මේ කණ්ඩායමේ සිටි අතර, එකල දුරකථන පද්ධතීන්ද වරදක් නැතිව ක්‍රියාකල බැවින්, ඇතිව තිබෙන තත්වය පිලිබඳ දන්වන ලදුව හමුදා ආරක්ෂාව සහිතව බස්රථ 12 ක් මැදියම් රැය වන විට යාපනයට යවා මේ සිංහල සිසුන් පිරිස නිරුපද්‍රිතව අනුරාධපුරයට රැගෙන ඒමට දිසාපති ඇතුලු පාලන අධිකාරිය සමත් විය. ඉන්පසු සිංහල සිසුන් යලි යාපනයට යාමට තදින්ම ප්‍රතික්ශේප කල අතර, මඳ කලක් සවස් වරුවල තර්ස්ටන් විද්‍යාලයේ දේශන පවත්වාගෙන ගිය අතර පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි ‘යාපනය ඒකකය’ නමින් ස්ථිර පදනමින් දේශන අරඹා උපාධිය සම්පූර්ණ කිරීමට සමත් වූහ. ඔවුන් යාපනය විශ්ව විද්‍යාලයෙන් එදා අතට හසුවූ දේ රැගෙන කඩිමුඩියේ ඉවත්වූ පසු එම නේවාසිකාගාර සහ කාර්ය මණ්ඩල නිල නිවාස ගිනි තබා ඔවුන්ගේ පොත් පත් ආදී දේ විනාශකර දමා තිබිනි.

කෙසේ වුවද රාජිනී තිරාණගම ලියූ ‘බිඳුනු තල්ගස’ කෘතියේද, ආර්. එම්. නාරයන් ස්වාමි ලියූ ‘දුරාවබෝධ මනසක ඇතුලාන්තය’ නම් කෘතියේද සාමකාමී අධ්‍යාපනයේ පරිච්ඡේදයක අවසානයක් සනිටුහන් කල එම සිදුවීම ගැන කිසිදු සඳහනක් නැත. මා එසේ පවසන්නේ අධ්‍යාපනය මගින් ලබන හික්මීම මානව සංවර්ධනයේ වැදගත් සාධකයක් වන බැවිනි.

1977 ජුලි මස බලයට පැමිනීමට ප්‍රථම, මාර්තු මාසයේදී සිදුවූ සිද්ධිය නිසා, තව දුරටත් යාපනයේ රැඳී සිටීම අනතුරුදායක බව එම සිසුන් එවකට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ස්ටැන්ලි කල්පගේ ට සහ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක ට දැනුම් දී තිබිනි. එහිදී අගමැතිනියගේ ඍජු හා දැඩි පිලිතුර වූයේ ” මිශ්‍ර ජනවාර්ගික පැවැත්මක් සඳහා යාපනය ප්‍රදේශයේත් සිංහල ජනපද ඇතිවීම අවශ්‍ය’ බවයි. එතැනදී සිසුන් වෙනුවෙන් ඉදිරිපත් වූයේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ය. උන්වහන්සේ අගමැතිනියට පවසා ඇත්තේ ‘මේ දරුවන් තම උපාධි පාඨමාලාව සම්පූර්ණ කර තම ගම් බිම් බලා යනු විනා එහි ජනපද තැනීමේ අවශ්‍යතාවයක් ඔවුන්ට නොමැති බවත්, එබැවින් ඔවුන්ගේ ජීවිත පාලකයන්ගේ අභිමතයට අනුව අනතුරේ නොහෙලිය යුතු බවත්’ ය. මේ කතාවේ අදටද වලංගු වන ප්‍රකාශය එයයි.

මේ ද්‍රවිඪ සිසුන්, සිංහල සිසුන් යාපනය සරසවියේ ඉගෙන ගැනීම සම්බන්ධව විරුද්ධ වීමේ ඇති පදනම කුමක්ද? අද මෙන්ම එදා 1977 දී ත් ද්‍රවිඪ සිසුන් දිවයිනේ අනිකුත් විශ්ව විද්‍යාලවල ඉගෙනීමෙහි යෙදුනහ. රජය පවසන පරිදි සංහිඳියාව ඇති කිරීමට නම් ඒ කැපවීම හා ඉවසීම සියලු ජන කොටස් තුල තිබිය යුතුය.

මේ සිංහල දෙමල ප්‍රශ්ණයේ ආරම්භය ලෙස ඔවුන් දක්වන්නේ 1956 බණ්ඩාරනායක රජය විසින් සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීමය. මේ නිසා ද්‍රවිඪ ජාතික රාජ්‍ය සේවකයන්හට තම වැටුප් වැඩිවීම් සඳහා සිංහල භාෂා කඩඉම් විභාගය සමත් වීමේ අවශ්‍යතාවය පැන නැගුන බවත්, ඒ තුල ඔවුන් මහත් අධෙෙර්යයට පත් වූ බවත් පැවසේ. නමුත් ඔවුන්ට අමතක වූ යමක් ඇත. ඒ ඔවුන් එතෙක් ඉගෙන ගත්තේ ද්‍රවිඪ භාෂාවෙන්ද යන්නයි. මේ සිංහල භාෂා කඩඉම් ප්‍රශ්ණය ඔවුන්ට පමනක් නොව ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගත් සිංහලයන්ටද බල පෑවේය.

ඒ වන විට රටේ ප්‍රධාන භාෂාව වී තිබුනේ ඉංග්‍රීසියයි. රාජ්‍ය සේවයේ ලිපිකරු තනතුරු සහ වෙනත් බොහෝ රැකියා වෙන් වූයේ ඉංග්‍රීසි උගතුන්ටය. ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තා වුවත් තම මව් භාෂාවෙන් සේවා දායකයන් හා ගණුදෙනු කිරීමේ හැකියාව දෙපිරිසටම තිබුනි. සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් වූ පසු බිහිවූ මධ්‍ය මහා විද්‍යාල සහ මහා විද්‍යාල වලින් ඉගෙන ගන්නට වරම් ලද දක්ෂ දරුවන් සරසවි වරම් ලබමින්, රජයේ ඉහල තනතුරු කරා පිවිසෙන්නටද වූහ. මේ තත්වයට විරුද්ධ වුනේ ද්‍රවිඪ ජනතාව පමනක් නොවේ. සිංහල ප්‍රභූ පැලැන්තියද එය නොරිස්සූහ. ‘අනේ රටකට ගිය කලක් ! පොල් ගහකට යවා ගන්න, වත්තක් උදලු ගා ගන්න එකෙක් නැති වුන හැටි.’ ‘අහවලාගෙ පුතත් අඳින්නෙ කලිසම්’ ආදී වශයෙන් මේ 56 දරු පරපුර හෙලා දැකීම ඒ යුගයේ මතකයන් ඇති කෙනෙකුගෙන් ඇසුවොත් දැනගත හැකිය. මේ අනුව අප එක දෙයක් මතක තබා ගත යුතුය. මේ පෙරලිය තුල ගැටුනේ සිංහල-දෙමල කමට වඩා පන්ති පරතරයන්ය. කුල භේදය තදින් පැවතුන ද්‍රවිඪ සමාජය තුල මෙවන් තත්වයකදී දක්වනු ඇති ප්‍රතිචාරයේ මෙයට වැඩි වෙනසක් අපේක්ෂා කල හැකිද?

එමෙන්ම සැම විටම උසස් පෙල විභාග ප්‍රතිඵල හෝ විශ්ව විද්‍යාල තුල ද්‍රවිඪ සිසුන් මුල් තැන ගනු වැලැක්වීම පිනිස සිරිමා රජය විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා දිස්ත්‍රික් පදනම ගෙන ආ බවත් ඒ තුල යාපනය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සිසුන් අසාධාරණයට හා අසහනයට පත් වූ බවත් නාරායන් ස්වාමිගේ පොතෙහි සඳහන් වේ. නමුත් මේ හා සමානම තත්වයකට මුහුණ පෑමට කොළඹ, ගාල්ල, මාතර සහ මහනුවර ආදී දිස්ත්‍රික්කවල සිසුන්ටද සිදුව ඇති බව අමතක නොකල යුතුය. මේ දිස්ත්‍රික්ක පදනම නිසා විශේෂයෙන්ම අසාධාරණයට ලක් වන්නේ එම දිස්ත්‍රික්කයේ ඈත කෙලවර පාසල්වල සිසුන්ය. උදාහරණයක් ලෙස ලබුගම හෝ පාදුක්ක ලියන්වල වැනි පාසලක සිසුන්ද,රාජකීය, විශාකා, ආනන්ද, නාලන්ද ආදී පාසල්වල සිසුන්ද මේ පදනම යටතේ කොළඹ දිස්ත්‍රික්කයට ඇතුලත් වෙති. මේ පාසල්වල තත්වය ප්‍රායෝගිකව දකින අයෙකුට එතන ඇති අසාධාරණය අමුතුවෙන් විස්තර කල යුතු නැත. මෙවන් දේ සිදුවන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පමනක් නොවේ.

රජයන්හි වැරදි ප්‍රතිපත්ති, පාලන ක්‍රමයන් නිසා අසාධාරණයට ලක්වන ජනතාව සිංහල හෝ ද්‍රවිඪ කියා වර්ග කල හැකිද? යාපනය සරසවි සිසුන් පසුගිය මැයි 19 වන දා සැමරූ  ‘ජන සංහාර’ දිනයේදී ඔවුන් ලකුණු කර ඉල්ලා සිටින වෙනම රාජ්‍යයේදී මෙසේ අසාධාරණකම් නැති, සමානාත්මතාවය රජයන සමාජයක් ගැන සහතික වීමට, ඔවුන්ව මේවා කරා මෙහෙයවන නායකයින්හට හැකිවේද යන්නත් ප්‍රශ්ණයකි. ඒ, මෙම දේශපාලකයන් ද දකුණු ආසියානු දේශපාලන මොඩලයේම නිමැවුම් නිසාය.

ඉතින් එදා ඇල්ලේ ගුණවංශ හිමියන් පැවසුවාක් මෙන් මේ සිංහල සිසුන් යාපනයට ගියේ තම උපාධිය රැගෙන ගම් බිම් බලා යාමට බැවින් මේ පහරදීමේ සාධාරණත්වයක් තිබේද? එමෙන්ම අනිකුත් පලාත්වල සිටින දෙමල ජනයාගේ උත්සව සැමරුම්වලට සිංහල ජනතාව කිසිවිට බාධා කර තිබේද? ද්‍රවිඪ ජනයාද රටේ සෑම පලාතකම පාහේ සිටින නිසාත්, අධ්‍යාපන කටයතු බාධාවකින් තොරව කරගෙන යන නිසාත් මේ ප්‍රශ්ණ අවස්ථාවාදී දේශපාලකයන්ට ඕනෑ ආකාරයට නොව තම බුද්ධියට අනුකූලව සිදු කරන්නේ නම් එය සිංහලයාටද කරන සාධාරණයකි.

මන්ද ‘සිංහල’ යන වචනය පැවසීමත් අපරාධයක් ලෙස සැලකෙන තත්වය තුල සෑම අතින්ම අසාධාරණයට ලක්ව සිටින්නේ සිංහලයා ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress