භීෂණය, මර්ධනය සහ පීඩනයට එරෙහිව පාද යාත්‍රාවේ සිට මිනිස් අත්වැලක්
Posted on July 25th, 2016

ධර්මන් වික්‍රමරත්න විසිනි.

ජවිපෙ 2වැනි කැරැල්ල 1990 අවසානයේ නිමවුවද එය මර්ධනය කිරීමට ගත් සාහසික ක්‍රියා පිළිවෙත් නිසා රටපුරා භීෂණය, මර්ධනය සහ පීඩනය 1991 වසරේද අළුයට ගිනිපුපුරු මෙන් පැවතිණි. රටපුරා පැවතියේ මහා නිහඬතාවයකි. ප්‍රජාතන්ත්‍රය සඳහාවූ පුළුල් ජනතා ක්‍රියාමාර්ගයන් දියත් කිරීමට 1989 පාර්ලිමේන්තුවට පත්වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ සිවිල් ක්‍රියාකාරින් පිරිසකට අවශ්‍ය විය. ඒ සඳහා ලහි ලහියේ ක්‍රියාමාර්ග රැසක් ගැනිණි.

ඒ වනවිට එජාප නායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට එරෙහිව එජාපයේම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් සමඟ එකතුවී ජනාධිපති ප්‍රේමදාසට එරෙ‍හිව දෝෂාභියෝගයක් කථානායකට භාරදී එය පරාජයට පත්වී මාස කිහිපයක් ගතවී තිබිණි. ප්‍රේමදාස ජනාධිපතිවරයාට විෂමාචාර චෝදනා නගමින් දෝෂභියෝගය පාර්ලිමේන්තුවේ කථානායක එම්.එච් මොහොමඩ් වෙත වෙත භාරදෙන ලද්දේ 1991 අගෝස්තු 29වැනිදාය. එහි නායකයින් වූයේ එජාපයේ ප්‍රබල නායකයින් ලෙස ඉස්මතුව සිටි ගාමිණි දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.

Dharman Wickremaratne2ධර්මන් වික්‍රමරත්න විසිනි.

එම දෝෂාභියෝගයට සහාය පළ කරමින් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ඇමති ලලිත් ඇතුලත්මුදලි, කම්කරු සහ වෘත්තීය පුහුණු ඇමති ජී.එම්. ප්‍රේමචන්ද්‍ර, නියෝජ්‍ය ඇමතිවරුන්වූ චන්ද්‍රා ගන්කන්ද සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න යන අයද තමන් දරන තනතුරු වලින් 1991 අගෝස්තු 30වැනිදා ඉල්ලා අස්වූහ. ජනාධිපති ප්‍රේමදාස පාර්ලිමේන්තු සැසිවාරය කල්තැබූ අතර එය යළි විවෘත කළේ 1991 සැප්තැම්බර් 24වැනිදාය. කථානායක මොහොමඩ් පසුදින පාර්ලිමේන්තුවේදී කියා සිටියේ දෝෂාභියෝගය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය අත්සන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බැවින් දෝෂාභියෝග යෝජනාව අවලංගු කරන බවකි. ජවිපෙ 2වැනි කැරැල්ලෙන් ඇදවැටුණු ආණ්ඩු විරෝධී  අරගලය දෝෂාභියෝග පරාජයෙන් තවත් පසුපසට තල්ලුවී ගියේය.

මේ අනුව එජාප ආණ්ඩුවට එරෙහි අරගලයේ විශාල රිත්තකයක් ඇතිවූ අතර ජනාධිපති ප්‍රේමදාසගේ එජාප ආණ්ඩුවට අභියෝග කිරීමේ න්‍යාය පත්‍රයේ නායකත්වය හිමිවූයේ හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රිලනිප මන්ත්‍රී මහින්ද රාජපක්ෂටය. ඔහු එවකට තංගල්ලේ කාල්ටන්හි මානව හිමිකම් සුරකීමේ සහ නීති ආධාර මධ්‍යස්ථානයේ සභාපති විය. එමෙන්ම මානව හිමිකම් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ ලේකම්වරයාද විය. විපක්ෂ ඒකාබද්ධ කමිටුව මගින් සංවිධානයක් ගොඩනැගිණි. එහි කැඳවුම්කරු වූයේ මහින්ද රාජපක්ෂය. වසර 1970 සිට 1977 දක්වා බෙලිඅත්ත ශ්‍රිලනිප මන්ත්‍රීවරයාවූ මහින්ද ශ්‍රිලනිප උප ලේකම් වශයෙන්ද පක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක විසින් 1988 දෙසැම්බර් 5වැනිදා පත්කර තිබිණි.

dharman24071602විපක්ෂ ඒකාබද්ධ කමිටුව මගින් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ජනතාවගේ දුක කියාපෑම සඳහා 1992 මාර්තු 16වැනිදා කොළඹින් ආරම්භවී 1992 අප්‍රේල් 1වැනිදා තිස්සමහාරාමයේ කතරගමින් නිමාවූ දින 17 පාද යාත්‍රාවට අතරමග හමුවන සෑම නගරයකදීම ලැබුණේ මෙවැනි උණුසුම් පිළිගැනීමකි

විපක්ෂ ඒකාබද්ධ කමිටුවේ මෙහෙයවීමෙන් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පැවති උද්ඝෝෂණ වූයේ කොළඹ සිට කතරගම දක්වා දින 17ක් පැවති පාද යාත්‍රාවය. රටපුරා එකම දිනක එකම මොහොතක පැවති ජන ඝෝෂාවය. ඇතුල්කෝට්ටේ සිට කතරගම සමන් දේවාලය දක්වා පැවති මහා මිනිස් දම්වැලය. කොළඹ සිට අනුරාධපුරය දක්වාවූ රථ පෙරහැරය. එමෙන්ම චන්ද්‍රිකා කුමාරතුංගගේ මෙහෙයවීමෙන් අත්තනගල්ලේ සිට කොළඹ දක්වාවූ පා ගමනක්ද විය. එම පා ගමනට කැලණිය තොරණ හංදියේදී සිරිමා බණ්ඩාරනායකද එක්වූවාය. මෙයට අමතරව පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ ජනතා විරෝධී අණපනත් වලට එරෙහිව පාර්ලිමේන්තුව තුළ ප්‍රබල විරෝධයන් දැක්වීම සහ ඇතැම් සැසිවාරයන් වර්ජනය කිරීමය. ජවිපෙ 2වැනි කැරැල්ලෙන් පසු උකටලීව සිටි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඇතුළු ප්‍රගතිශීලි සහ වාමාංශික පක්ෂ නව ජවයකින් පිබිදුණේ කොළඹ කතරගම ඓතිහාසික පාද යාත්‍රාවෙන් පසුවය. මුළු රටම වෙලාගත් පීඩාකාරි ඒකාධිපති පාලනයේ ආධිපත්‍යයට එරෙහිව එම යුගය නිමා කිරීමේ ආරම්භක ජය ස්ථම්භය එය විය.

කොළඹ සිට කතරගම පාද යාත්‍රාව ඇරඹුණේ 1992 මාර්තු 16වැනිදා විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිටිනි. එය නිමා වූයේ 1992 අප්‍රේල් 1වැනිදා තිස්සමහාරාමයේ කතරගම දේවාලෙනි. දින 17ක් පුරා පැවැති පාද යාත්‍රාවට අතරින් පතර සහභාගිවු සමස්ථ ජන සංඛ්‍යාව ලක්ෂ ගණනකි. එය කතරගම සිට කොළඹට නොව කොළඹ සිට කතරගමට ගියේ ගමේ ජනතාවගේ 1986 සිට 1990 දක්වා පැවති භීෂණ යුගයෙන් ඇතිවූ තිබූ තැතිගැස්ම නැති කරමිනි.

dharman24071603රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස ඉල්ලමින් කල සටනේදි පේරාදෙණිය වෛද්‍ය සිසුන් 22ක්ද කොළඹ වෛද්‍ය සිසුන් 9ක්ද ඝාතනය වූ අතර ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා පාද යාත්‍රාවේ දින 17ක් ගමන්කල පේරාදෙණිය වෛද්‍ය පීඨයේ සිසු නීල් ලියනගේගේ පියා පුවරුවක් ඔසවාගෙන සිය විරෝධය පලකළේ මෙසේය.

ජවිපෙ 2වැනි කැරැල්ලෙන් ජීවිත 60,000ක් දැයට අහිමි කරමින් පොළොවටම සමතලා කල ආණ්ඩු විරෝධී අරගලයට, පාද යාත්‍රාවෙන් ගෙන ආ අති ප්‍රබල තරංග මාලාවන් ජනතාවට ගෙන ආවේ නව ජවයකි. එය වසර 17ක් රට පාලනය කල එජාප ආණ්ඩුව ගමන්මඟ 1994 මහ මැතිවරණයෙන් වෙනස් කිරීමට බලපැ ප්‍රබලතම තීරණාත්මක සිදුවීමද විය. පාද යාත්‍රාවට එක්වූ සියල්ලන්ගේ තිබුණේ එක් අරමුණකි. ඒ ආණ්ඩු විරෝධී අරගලය මුවහත් කර එජාප පාලනය ඉදිරියට එලැබෙන මහා මැතිවරණයේදි පෙරළා දැමීමටය. කොළඹ සිට කතරගමට ගමන් කිරීමේදි ඉදහිට ගල්මුල් ඇනෙන බවත් ඒවා දැක පසු නොබසින බවත් ඔවුහු කියා සිටියේ ඒ පිළිබඳව සූදානම් වීමට මාස දෙකකට ප්‍රථම කොළඹ නව නගර ශාලාවේ පැවති ආරම්භක රැස්වීමේදීය. පෙරමුණටම ගමන් කරන බවට එහිදී ප්‍රතිඥාවක්ද දුන්හ.

ජවිපෙ 2වැනි කැරැල්ලේදී සහ ඉන් පසුව පැවති රාජ්‍ය මර්ධනයට විරෝධය පෑම පාද යාත්‍රාවේදී ප්‍රධාන සටන් පාඨයක් විය. බියෙන් මුසපත්වී මුළුගැන්වී සිටි ලක්ෂ සංඛ්‍යාතික ජනතාවගේ බිය දුරුකොට ඔවුන් ප්‍රාණවත් කරමින් ආණ්ඩු විරෝධී අරගලය එළිපිටම ප්‍රකාශය වූයේ එහිදීය.

dharman24071604පාද යාත්‍රාවට ක්‍රියාකාරිව දායකවූ පිරිස අතරින් කිහිපදෙනෙක්. වමේ සිට එක්සත් සමාජවාදී පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ශ්‍රිලනිප මන්ත්‍රී බද්දේගම අමරසිරි දොඩංගොඩ, ශ්‍රිලනිප මන්ත්‍රී අක්මිමන රිචඩ් පතිරණ, මඑපෙ මන්ත්‍රි මහරගම දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ බේරුවල ජි.අයි.ඩී ධර්මසේකර, රටවැසි පෙරමුණේ සමාරම්භක සාමාජික කළුපහන පියරතන හිමි, දේශ විමුක්ති ජනතා පක්ෂයේ නායක නිහාල් පෙරේරා සහ ශ්‍රිලනිප වෘත්තීය සමිති නායක අලවි මව්ලානා.

විපක්ෂ ඒකාබද්ධ කමිටුව කොළඹ කතරගම පාද යාත්‍රාව ගැන සමසමාජ, කොමියුනිස්ට්, දෝෂාභියෝග පරාජයෙන් පසු ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායකගේ නායකත්වයෙන් පිහිටුවන ලද ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, නව සමසමාජ පක්ෂය, බහුජන නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ, ලිබරල් පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය, මහජන එක්සත් පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය, එක්සත් ලංකා ජනතා පක්ෂය, ද්‍රවිඩ කොංග්‍රසය ඇතුළු පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා කල අතර ඔවුන් පාද යාත්‍රාවට එක පයින් මුලදි කැමති වුවද පසුව සුපුරුදු සාම්ප්‍රදායික න්‍යායන් අනුව යමින් පස්ස ගැසූහ. විදි සටන්වලට කීර්තිමත් ඉතිහාසයක් ඇති සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ පාද යාත්‍රාව මඟහැර ගියේ සටනේ බරපතලකම තේරුම් ගත් නිසාය. එහෙත් නව සමසමාජ පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, බහුජන නිදහස් පෙරමුණ එයට එක්විය. අවසානයේ පාද යාත්‍රාවට දේශපාලන පක්ෂ වශයෙන් සිටියේ එම පක්ෂ කිහිපය සහ කල්ලි සහ කණ්ඩායම් කිහිපයකට බෙදීගිය ශ්‍රිලනිප නායකයින්ගෙන් අඩක් පමණි. එහෙත් අති බහුතර ශ්‍රිලනිප දෙවැනි පෙළ නායකයින්, ක්‍රියාකාරිකයින්, ප්‍රාදේශීය නායකයින්, සාමාජිකයින් සහ හිතවතුන් පාද යාත්‍රාවට කොන්දේසි විරහිතව සහාය පළ කළහ. ශ්‍රිලනිපයේ නායකත්ව මණ්ඩලය ඒවන විට අනුර සහ චන්ද්‍රිකා අතර කණ්ඩායම්වාදයක්ද ප්‍රබලව  ගොඩනැගී තිබිණි. නමුත් ආණ්ඩු විරෝධී අරගලයේ සියළු බර මහින්ද රාජපක්ෂ විසින් මුළුමනින්ම වාගේ ඉසිලීය.

dharman24071605එජාප ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රී විරෝධී ක්‍රියාමාර්ග වලට එරෙහිව පාර්ලිමේන්තු සැසියක් වර්ජනය කරමින් ශ්‍රිලනිප ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් 1991දී පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වූ විරෝධයක්. මෙයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර බණ්ඩාරනායක, රිචඩ් පතිරණ, දිනේෂ් ගුණවර්ධන, මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පාද යාත්‍රාව සංවිධානය කිරීමේ ප්‍රථම රැස්වීම මාස 2කට පෙර නව නගර ශාලාවේදී පැවැත්විණි. එහිදී පිලිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීම මහින්ද රාජපක්ෂ ගෙනි. ඊළඟ දේශනය වාසුදේව නානායක්කාර ගෙනි. සභාතොමෝ ප්‍රශ්න නැගුවේ ඉන් අනතුරුවය. ඇදිරි නීතිය දමා හෝ මැර ප්‍රහාර එල්ල කරමින් ප්‍රේමදාස ආණ්ඩුව පාද යාත්‍රාවට එරෙහිව කටයුතු කලහොත් සිදුවන්නේ කුමක්දැයි අයෙක් ඇසීය. ජනතාව සටන් කරන්නේ 60,000ක් තරුණයින් ඝාතන සංහාරයකින් පසුව බව එහිදී පෙන්වාදුන් කැලණි සරසවියේ ශිෂ්‍ය නායකයෙකුවූ කළුතර පියරතන හිමියන් කියා සිටියේ කුමන බාධක පැමිණියද ඉදිරියට යායුතු බවය. බේරුවල ජී. අයි.  ඩී. ධර්මසේකර එහිදී කියා සිටියේ පාද යාත්‍රාව ඇරඹුවහොත් කුමන බාධක පැමිණියද මරාදමන තෙක් තමා තනියම හෝ කතරගමට යන බවකි. අවසානයේ වාද විවාද මැද පාද යාත්‍රාව 1992 මාර්තු 16 සිට අප්‍රේල් 1 දක්වා දින 17ක් පැවැත්වෙන බව දැනුම්දුන් බව එහි සිටි ලියුම්කරුට මතකය.

පාද යාත්‍රාව වෙනුවෙන් මහජන නියෝජිතයින් සංවිධානය කිරීමේ සාකච්ඡා නුවර, මාතලේ, කොළඹ, කළුතර, ගම්පහ, කෑගල්ල, රත්නපුර, ගාල්ල, පුත්තලම, කුරුණෑගල, මාතර, හම්බන්තොට දිසා මට්ටමින් පැවැත්විණි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයද අනුර සහ චන්ද්‍රිකාගේ කණ්ඩායම්වාදයට යටවී සිටි හෙයින් නිල වශයෙන් ශ්‍රිලනිප සහායක්ද නොවීය. පාද යාත්‍රාව සංවිධානය කිරීමට විපක්ෂ ඒකාබද්ධ කමිටුව වෙනුවෙන් ලිපි නිකුත් කිරීමට සිදුවූයේ කාල්ටන්හි මානව හිමිකම් හා නීති ආධාර කේන්ද්‍රයටය. ඒ වෙනුවෙන් අත්සන් කර තිබුණේ එහි සභාපතිවරයා වන විපක්ෂයේ ඒකාබද්ධ කමිටුවේ කැඳවුම්කරු ලෙසින් මහින්ද රාජපක්ෂටය. තංගල්ලේ ගයානා ප්‍රින්ටර්ස්හි මුද්‍රණය කරන ලද පාද යාත්‍රාවේ නිවේදනය ඇතුළත් අත්පත්‍රිකා දහස් ගණනක් දිසා රැස්වීම්වලට සහභාගිවූ නියෝජිතයින් හරහා රටපුරා බෙදා හැරිණි.

dharman24071606පාද යාත්‍රාවට එක්ව සිටි හම්බන්තොට සිව්දරු මවක්වූ දුරුවගේ කුසුමාවතී 1990 දෙසැම්බර් 1වැනිදා පැහැරගෙන ගිය සිය සැමියා වන 36 හැවිරිදි බණ්ඩාරගේ පියදාස අතුරුදහන් කිරීම පිළිබඳව විරෝධය පළකල අයුරු. පසුපසින් සිටින්නේද සිය දරුවෙකු පැහැරගැනීමට එරෙහිව හඬ නගන මවකි(වමේ) සිය සැමියා අතුරුදහන්වීමට එරෙහිව අදහස් දක්වන මාතලේ කාන්තාවක්(දකුණේ)

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ හදිසි නීතිය සහ ත්‍රස්තවාදී පනතට මුවාවී දහස් ගණන් ඝාතනය කල එජාප ආණ්ඩුව කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකොට කඳවුරුවල තවත් දහස් ගණනක් රඳවා සිටින බවකි. යුද්ධයට විසදුමක් නොදී උතුරු නැගෙනහිර ජනතාව පමණක් නොව මුළු රටම අවනිශ්චිත තත්ත්වයකට ඇද දමා ඇතැයිද දිනපතා බඩු මිල වැඩිකරමින් අසරණ ජනයා බදුබරින් මිරිකා දමා ඇතැයිද එහි සඳහන් විය. ආණ්ඩුවේ පෝඩාකාරි මැතිවරණ පොරොන්දු වලින් දිගින් දිගටම හෙම්බත්ව සිටින බැවින් පාද යාත්‍රාවට දින 17 තුළ හැකි ස්ථානයකදි සම්බන්ධ වන්නැයි ජනතාවට එම නිවේදනය මගින් ආයාචනා කර තිබිණි.

පාද යාත්‍රාව ඇරඹුණේ 1992 මාර්තු 16 පෙරවරු 10ට කොළඹ විහාර මහාදේවි උද්‍යානයෙනි. උදෑසන 9වන විට එහි 500ක පමණ පිරිසක් සිටියේය. ජී.අයි.ඩී. ධර්මසේකර 50ක පමණ පිරිසක් සමඟ මොහොතකට පසු පැමිණියේය. ශ්‍රිලනිප වෘත්තීය සමිති නායක අලවි මවිලානා කම්කරුවන් සිය ගණනක් සමඟින්ද  වාසුදේව නානායක්කාර ආචාර්ය වික්‍රමබාහු නව සමසමාජ ක්‍රියාකාරිකයින් සමඟින්ද අනතුරුව පැමිණියේය. බහුජන නිදහස් පෙරමුණේ නායක වෛද්‍ය රාජිත සේනාරත්න ඇතුළු පිරිසක්ද එයට එක්වි සිටියහ. පසෙක භික්ෂූන් රැසකි. තැනක සරසවි සිසුන්ය. මහින්ද රාජපක්ෂ පැමිණියේ සිය සොයුරු චමල් සමගින් පිරිසක්ද රැගෙනය. උදෑසන 9.45වන විට එක්වන පිරිස වේගයෙන් වැඩිවී මී මැසි පොදියක් බවට පත්විය. පාද යාත්‍රාව අරඹන විට එහි සිටි පිරිස 5,000කට අධික විය.

dharman24071607එජාප ආණ්ඩුවේ භීෂණය, මර්ධනය සහ පීඩනයට එරෙහිව දේව කන්නලව්වක් භාරදීම සඳහා 1992දී ඇතුල්කෝට්ටේ ශ්‍රී පැරකුම්බා පිරිවෙනේ සිට රත්නපුර සමන් දේවාලය දක්වා ජන සමගියෙන් එකම මොහොතක ගොඩනැගුණු මහා මිනිස් දම්වැල හංවැල්ලේදී දක්නට ලැබූ අයුරු.

ආණ්ඩුවේ භීෂණයට, මර්ධනයට සහ පීඩනයට එරෙහිව ආරම්භකල පාද යාත්‍රාව ආරම්භකර මදක් දුර යනවිට සහභාගිත්වය දෙගුණයක් බවට පත්විය. ගාලුපාරට වැටෙන විට පාගමනේ ගිය පිරිස 15,000ක් පමණ විය. සෑම දිනකම පාද යාත්‍රාවට සහභාගිවූ පිරිස 15,000ක් පමණ වූ අතර ඇතැම් ස්ථානයන්හිදී එය 25,000ක් පමණ විය. අවසන් දිනය වන 1992 අප්‍රේල් 1වැනිදා කතරගමින් එය අවසන් වන විට එදින පමණක් පාද යාත්‍රාවට එක්වු සංඛ්‍යාව ලක්ෂයක් පමණ වේ.

ආරම්භක ස්ථානයේ සිට අවසානය දක්වා දින 17ම පාද යාත්‍රාවේ ඉදිරියෙන්ම ගමන්කළේ ඩී. අයි.ජි. ධර්මසේකරය. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද රාජපක්ෂ, වාසුදේව නානායක්කාර, රත්තපුරයේ හින්නි මහත්තයා ලියනගේ, ගම්පහ සද්ධාතිස්ස සකලසූරිය, බදුල්ලේ මද්දුම බණ්ඩාර, නුවර මහින්ද අබේකෝන්ද ඒ අතර විය. බහුජන නිදහස් පෙරමුණේ නායක වෛද්‍ය රාජිත සේනාරත්න, දේශ විමුක්ති ජනතා පක්ෂයේ නායක නිහාල් පෙරේරා ඇතුළු සිය ගණනක් පාද යාත්‍රාවේ ආරම්භයේ සිට අවසානය දක්වා ගමන් කළහ. පා ගමනට දින ගණනාවක්ම එක්වූ පාර්ලිමේන්තු විපක්ෂ මන්ත්‍රීවරුන් අතර අනුර බණ්ඩාරනායක, දිනේෂ් ගුණවර්ධන, තිලක් කරුණාරත්න ඇතුළු කිහිපදෙනෙක්ම විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක පාද යාත්‍රාවට බලපිටිය, රත්ගම, ගාල්ල සහ මාතරදී සහභාගි වූයේ සිය හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආධාරකරුවන් කිහිපදෙනෙක් සමඟය. මංගල සමරවීර ඇතුළු විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඇතැම් දිනයන්හි මෙයට එක්විය. සෑම දිනකම පාද යාත්‍රාව නිමාවන නගරයේදී ජන හමුවකි. එයටද විශාල ජනතාවක් එක් රොක්වනු දක්නා ලදී. මාධ්‍යවේදීන් ලෙස දිවයිනේ සුගතපාල මෙන්ඩිස්, සරත් අබේගුණවර්ධන, චන්න පෙරේරාද ලංකාදීපයේ දුෂ්‍යන්ත සමරසේන, නිමල් සමරසිංහ, ලලිත් වැලිවිටිගොඩද, දිනරැසේ පද්මසිරි රාජපක්ෂද ලියුම්කරුද කොළඹ සිට කතරගම බලා ගිය පිරිස අතර විය. පාද යාත්‍රාවට දින 17ක් පුරා එක්ව කිලෝමීටර් 213ක් ගමන් කල මුළු පිරිස 500ක් පමණ විය.

dharman24071608පාද යාත්‍රාවෙන් පසු ආණ්ඩුවට එරෙහිව රටපුරා එකම මොහොතක ආගමික ස්ථානයන්හි ඝණ්ඨාර නාද කරමින් රටපුරා ප්‍රධාන නගරයන්හි 1992 ජුලි 1 පවත්වන ජන ඝෝෂාව පිළිබඳව විපක්ෂ ඒකාබද්ධ කමිටුව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක්(ඉහළ) සහ එදින රටපුරා පැවති ජන ඝෝෂාව කොළඹ ලිප්ටන් වටරවුමේ පැවති අවස්ථාව(පහළ).

පාද යාත්‍රාවට මොරටු පාලමෙන් එහාට යන්න නොදෙන බව ප්‍රචාරය වූවද එය කල නොහැකිවූයේ දැවැන්ත ජනගඟක් එක්ව සිටි බැවිනි. බෙන්තර ගඟේදි සහ නිල්වලා ගඟෙන් එගොඩ වීමේදීද එවැනි කථා අසන්නට ලැබුණද ඒ වන විට ජනගඟ පිටාර ගලා තිබිණි. පාද යාත්‍රාව ඊළමට පාර කපන උගුලක් බවට පෝස්ටර්ද ඉදහිට දක්නට ලැබිණි. දික්වැල්ලේ එච්.ආර්. පියසිරිගේ මෙහෙයවීමෙන් මැර පිරිසක් පහරදෙනු ඇතැයි රාවයක් ගියද එවැන්ක් සිදු නොවීය.

දකුණු පළාතේ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර පාද යාත්‍රාවට අමරසිරි දොඩන්ගොඩගේ දායකත්වය කැපී පෙනිණි. දකුණු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ප්‍රගතිශීලි ව්‍යාපාරයේ ජයග්‍රහණය සඳහා ඔහු පාර්ලිමේන්තු අසුන පවා පරිත්‍යාග කළ අයෙකි. දොඩංගොඩ යනු ජනවේගය සහ ගිනිපුපුර යන සංවිධානවල ක්‍රියාකාරිකයෙක් ලෙස වාමාංශික දේශපාලනයේ නිරතවූ කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකල අයෙකි. පේරාදෙණිය සරසවියේ උපාධිධාරියෙකුවූ ඔහු නිතිඥවරයෙකුද විය.  බද්දේගම ආසනයට 1983 පැවති අතුරු මැතිවරණයේදී ආණ්ඩුවේ මැර දේශපාලනයට මුහුණ දෙමින් ඔහු මන්ත්‍රීවරයා බවට පත්විය. පසුව දකුණු පළාත් මැතිවරණයේදී කුමන්ත්‍රණකාරි දේශපාලන බලවේගයන් පරදවා දකුණ වමට හැරවූ අමරසිරි දොඩංගොඩ 1994දී පිහිටවූ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ මුල් පෙළේ නායකයෙකුද විය.

dharman24071609ජවිපෙ 2වැනි කැරළි සමයේ ඝාතනයට ලක්වූ ඇඹිලිපිටිය විද්‍යාලයේ සිසුන් 32 දෙනෙකු ඇතුළු ඇඹිලිපිටියෙන් පැහැරගත් පාසැල් සිසුන් 48කගේ මළසිරුරු සොයමින් සූරියකන්ද සමූහ මිනිවල කැණීම් 1993දී සිදුකරන අවස්ථාවක්. රුහුණු සරසවියේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය නිරිඇල්ලගේ චන්ද්‍රසිරි, නිතිඥ පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පිරිසක්ද මෙහි වේ.

පාද යාත්‍රාවේ ගමන් කරන්නන් අතර සුවිශේෂ පුද්ගලයින්ගේ විරෝධතාද විය. ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ අතුරුදහන් කල සිසුන් 30 දෙනාගේ දෙමාපියන් පාද යාත්‍රාවේ ගමන් කරනු දක්නට ලැබිණි. සැමියන් අහිමිවූ වැන්දඹු බිරින්දෑවරුන්ද, දරුවන් අහිමිවූ මව්වරුන්ද ඒ අතර විය. පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ 1989 ජුලි 29වැනිදා කල්පිටියේදී පැහැරගෙන පසුව අතුරුදහන්වූ සිය පුතු ඇතුළු වෛද්‍ය සිසුන් 22 වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා නීල් ලියනගේගේ පියා පුවරුවක් ඔසවාගෙන දින 17ම ගමන් කළේය.

ප්‍රථම දිනය නිමාවූයේ පානදුරෙනි. පානදුර රැළියටද විශාල පිරිසක් එක්ව සිටියහ. දෙවන දිනයේදී පාද යාත්‍රාව කළුතරට පැමිණෙන විට පිරිස සටන්පාඨ හඬ පතුරවමන් පා ගමනේ යෙදුණේය. පානදුර පොලිිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප ලැබූ රටවැසි පෙරමුණේ කළුපහන පියරතන හිමි, අම්බලන්ගොඩ පේමරතන හිමි, කිතුල්ගොඩ උපාලි හිමි, තල්පිටියේ විමලසාර හිමි ඇතුළු පිරිසක් දෙවැනි දින කළුතරදී  පාද යාත්‍රාවට එක්විය. දෙවැනි දින නවාතැන බේරුවල විය. තෙවැනි දින නවාතැන වූයේ බලපිටියයි. අඩුවෙන්ම පිරිස එක්වූයේ බලපිටියේදීය. අම්බලන්ගොඩදී අ.ම කරුණාරත්නගේ කැපකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අතිවිශාල පිරිසක් පාගමනට එක්විය. හබරාදූව, අහංගම හරහා මාතර නූපේ හන්දිය වන විට එය පිළිගත්තේ කොමියුනිස්ට් පක්ෂයේ බී. වයි. තුඩාව, චන්ද්‍රසිරි ගජධීර, ඩැනී හිත්තෙට්ටිගම, ගා දේනෙත්ති ඇතුළු වාමාංශික පක්ෂවල සාමාජිකයින් සහ හිතවතුන් විසිනි. විවියන් ගුණවර්ධනද තැනක පාද යාත්‍රාවට එක්වී සිටියාය. පාද යාත්‍රාවේ තෙවැනි දින වනවිට කොමියුනිස්ට් සහ සමසමාජ නිල තීරණ පසෙකලා ප්‍රාදේශීය නායකයින් ඇතුළු පාක්ෂිකයෝ එක්වනු දක්නට ලැබිණි.

dharman24071610ජවිපෙ ඇටවූ බිමි බෝම්බයකින් පසු ආරක්ෂක අංශ විසින් ජවිපෙ යැයි සැකකල පුද්ගලයෙකු 1989 අප්‍රේල් මස ගෙන ගිය අවස්ථාවකදී ඔහුගේ මව, බිරිද, පුතා සහ සොහොයුරා සහ සොහොයුරිය හඬා වැටෙන අවස්ථාවක්.

ඩී.අයි. ජී. ධර්මසේකර මාතරදී තාවකාලිව දස ශීලය ලබා අනගාරික විය. මාතර උයන්වත්ත පිටියේ රැස්වීමට 20,000කට පමණ පිරිසක් විය. මාතර පැවති එම රැස්වීමේදී උණුසුම් කථාබහක්ද වේදිකාවේ සිටි අය අතර ඇතිවිය. දෙවිනුවර, දික්වැල්ල, තංගල්ල අම්බලන්තොට, තිස්සමහාරාමය හරහා දින 17ක් පසුකර කතරගමට පාද යාත්‍රාව පැමිණෙන විට එය දිස්වූයේ එකම හිස් ගොඩක් ලෙසය. අවසන් දින පාද යාත්‍රාවේ මුල කතරගමට ලඟවන විට එහි අග තිබුණේ තිස්සමහාරාමයේය. කතරගම සිට තිස්සමහාරාමය දක්වා දුර ප්‍රමාණය කිලෝමීටර් 16කි. මඟ දෙපස සිටි ලක්ෂ ගණන් ජනයා දින 17ක් පුරා පාද යාත්‍රාව නැරඹූ අතර ඔවුනට ආහාරපාන ආදියෙන් සංග්‍රහද කළහ.

පාද යාත්‍රාවෙන් නොනැවතුණ විපක්ෂ ඒකාබද්ධ කමිටුව විසින් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් එජාප රජයට එරෙහිව යළිත් මහජන ගඟක් 1992 පාරට බස්සවා තිබිණි. එහි නායකයාද මහින්ද රාජපක්ෂ විය. ඒ අනුව ජන ඝෝෂා විරෝධතාවය රටපුරා පැවැත්වූයේ 1992 ජුලි 1වැනිදා දහවල් 12.35ටය. ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික නිදහසට ගරු කරන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග සහ වැඩවන ජීවන වියදමට එරෙහිව විරෝධය දැක්වීමේ අරමුණින් එය පැවැත්විණි. වැඩකරන ජනතාව, ප්‍රගතිශිලින්, බුද්ධිමතුන්, වාම ක්‍රියාකාරිකයින් ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාමර්ගවලට එරෙහි සියළු ජන කොටස් එයට එක්විණි. ජවිපෙ 2වැනි කැරළි සමයේ අත්අඩංගුවට ගත් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීම, අතුරුදහන්වූවන් සහ ඝාතන පිළිබඳව පරික්ෂණ පැවැත්වීම, පෞද්ගලීකරණය නතර කිරීම, රැකියා විරහිතභාවයට විසදුමක් ලබාදීම, විරුද්ධවාදීන් දඬයම් කිරීම නතර කිරීම යන ප්‍රධාන ඉල්ලීම්ද ඒ අතර විය. ජන ඝෝෂාවට ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයද නිල වශයෙන් එක්විය.

dharman24071611ජවිපෙ දෙවැනි කැරැල්ලෙන් සිය දරුවන් අතුරුදහන්වූ මෙවැනි දස දහස් ගණන් මව්වරුනට යුක්තිය ඉල්ලා සටන් කිරීමට ධෛර්යය සහ ශක්තිය ගෙනආවේ විපක්ෂ ඒකාබද්ධ කමිටුව 1992දී මෙහෙයවූ දින 17ක පාද යාත්‍රාව මගිනි.

එකම මොහොතක රටපුරා ක්‍රියාත්මක වූ ජන ඝෝෂාව නව පන්නයේ ක්‍රියාදාමයකි. ඒ අනුව 1992 ජුලි 1වැනිදා දහවල් 12.35ට රටපුරා කොතැන සිටියත් එකතැන නතරව විනාඩි කිහිපයක් හුවක් හෝ කියා හඬ නැගිය යුතුය. පන්සල්, පල්ලි සහ කොවිල්වලට ගිය ආගමික බැතිමතුන් එහි ඇති ඝණ්ඨාර නාද කළහ. පාරේ ගමන්ගත් රියදුරන් දහස් ගණනක් එම වේලාවටම වාහනය නවතා විනාඩි කිහිපයක් හෝන් ගසමින් සිය රථය එකතැන සිටීම නිසා රටපුරා වාහන තදබදයක් ඇතිවිය. බස් රියදුරෝද එයට නොපැකිලිව එක්ව සිටියහ.  පාසැල්වල ගුරුවරු ගුරු මේසයට අඩිකෝදු වලින් ගැසූහ. කොළඹ ඉහළ පෙලේ පාසැල්වල සිට ගම් නියම්ගම් දක්වා පැසැල් සිසුහු ඩෙස් පුටුවලට ගසමින් ශබ්ද කළහ. ප්‍රධාන නගරවලට එක්වූ සංවිධානාත්මක පිරිස් බෙර වැයූහ. ආණ්ඩු විරෝධීන් සංවිධානාත්මකව 53 හර්තාලය සිහිගන්වමින් හට්ටි මුට්ටි වලං ගෙන ඒවාට ශබ්ද කරමින් ජන ඝෝෂාවට එක්ව සිටි අතර කාන්තාවන් එහි මුල්තැන ගත්හ. මහමඟ ගමන්ගත් මිනිසුන් එයට එක්වූයේ අත්පොලසන් හඬ නඟමිනි. ජන ඝෝෂාවේ ප්‍රධාන උද්ඝෝෂණය පැවැත්වුයේ කොළඹ හයිඩ් පිටියේ සිට ලිප්ටන් වටරවුම දක්වාය. එයට මහින්ද මෙන්ම අනුර බණ්ඩාරනායක ඇතුළු දේශපාලන නායකයින් රැසක් එක්ව සිටියහ.

තෙවැන්න වූයේ  ඇතුල්කෝට්ටේ ඓතිහාසික සිරි පැරකුම්බා පිරිවෙනෙන් ආණ්ඩුවට එරෙහිව ජනතා දුක ඇතුලත් දේව කන්නලව්වක් රත්නපුරේ ඓතිහාසික ශ්‍රී සමන් දේවාලයට භාරදීමය. එහි නායකත්වය හිමිවූයේද මහින්ද රාජපක්ෂටය. කොළඹ සිට රත්නපුරය දක්වා 1992 අවසානයේ එකම දිනක එකම මොහොතක ලක්ෂයකට අධික ජනයා මහා මිනිස් දම්වැලක් නිර්මාණය කල අතර ඔවුන් අතින් අත ගිය දේව කන්නලව්ව අවසානයේ රත්නපුරේ සමන් දේවාලයට භාරදුනි. මහා මිනිස් දම්වැල ඇතැම් ප්‍රදේශයන් පසුකරන විට වැසි වැටුණද මිනිසුන් එය බාධාවක් කර ගත්තේ නැත. මිනිස් දම්වැලේදි වැඩි බරක් රත්නපුර දිස්ත්‍රික්කයේදී කරට ගනු ලැබුවේ රත්නපුරේ නීතිඥ පවිත්‍රා වන්නිආරච්චිය.

ජවිපෙ 2වැනි කැරැල්ල ඇද වැටීමෙන් පසු පාද යාත්‍රාවෙන් ඇරඹි ජන ඝෝෂාව, මහා මිනිස් අත්වැල ඇතුළු  අරගලයන් පවත්වා දැන් වසර 25කට ආසන්නය. ප්‍රජාතන්ත්‍රවාදී මංපෙත් ඔස්සේ ආණ්ඩු විරෝධී එම අරගලයන් ගැන නොදන්නවුන් බොහෝය. දන්නෝද නැත්තේ නොවේ. ඇතැම්විට නොදන්නවුන් දන්නාවුන්ගෙන් අසා දැනගෙනද ඇත. එයවූ කලි අසූව දශකය අවසානයේ ධවල භීෂණයෙන් පසු  ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ ආණ්ඩු විරෝධී අරගලයට පසුකාලීනව ජය ගෙනආ දසත එළිය දුන් ප්‍රජාතන්ත්‍රවාදී පහන් ටැඹක්ම විය.(ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected])The writer ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne is a senior journalist who could be reached at [email protected] OR 011-5234384.

3 Responses to “භීෂණය, මර්ධනය සහ පීඩනයට එරෙහිව පාද යාත්‍රාවේ සිට මිනිස් අත්වැලක්”

  1. Christie Says:

    ජේ වී පී ය ඉන්දියානු අදිරදයේ සින්හල මරුවන්ය. තවත් සාදක කුමටද?

    ඔබට වාසනා දර්මන්.

  2. Ancient Sinhalaya Says:

    UNPatritoic party – A Sinhalese killing machine and a Buddhism destroyer.
    Plenty of evidence there to see.
    But a lot of jaathi dhrohee Sinhala modayans can’t see/understand their true colours. No wonder we are
    famous for being modayas.

    I’m not a jvper or even a sympathiser. But what catholic-run UNPatriotic party did to them because they were
    all Buddhists is unforgivable. I personally knew Batalanda victim lawyer Liyanarachchi. He wasn’t a friend.
    But nobody deserve to die a horrific death like his. His eyes were gorged out while he was alive and then tortured
    to death. I’m sure alugosu lk porisada or alugosu thambi mudiyanse jr wouldn’t like that to happen to their sons. Pol pot ponil of course different. So it’s easier for him. Where are those human rights champions for those 60,000+ victims of catholic-run UNPatriotic party? They can’t open their mouths since the victims were Buddhists.

    Buddhist jvpers were burnt alive, heads severed etc. etc. They dragged on for
    years to kill more and more. No rehabilitation like Sirima B did. UNPatritoics know rehabilitation is for saving lives. That’s not their agenda of course. Good thing for them was they had a lot of catholic top brass police to do
    the brutal work. And also there were some brutal Buddhist police like udugampola. If they are not brutal enough
    kill their family and credit it to jvp so they will go insane. That was that traitor chief thambi mudiyansege invention.
    Craft traitor thambiya went on to break up Sri Lanka by introducing 13 afterwards.

    Some Sinhala modayas will ask how can Sinhalese alugosu (to Sinhalese only)
    thambi mudiyanse, alugosu (to Sinhalese only) lk porisada or alugosu (to Sinhalese only) pol pot ponil wickrama
    Sinhalakiller can do these? Simple reason. That’s what the catholic west want, that’s what the catholic church in
    Sri Lanka wants. That’s what tamils, mussies and catholics want. Make perfect sense. UNPatriotic party got
    control of all the media in Sri Lanka under them. So murder (Sinhalese only), mayhem, treachery, robbery etc
    etc. is their modus operandi. They know Sinhalaya being famous for modayas. So few lies from their back sides
    plus a bit of media support they paint a different picture and get into power and go on the rampage. They are not
    short of Sinhalese traitor xxxx deshapaluwans. Throw a minister mas kattak, those greedy Sinhalese deshapaluwan
    will lick their backsides. Country? Sinhalese race? Buddhism? Who cares? We are after good times those traitor low
    lives will say. Winners? Of course catholic run UNPatritoic party. Look at traitor chief pol pot ponil wickramaSinhalakiller. Some even call him MR CLEAN. We would say pol pot, Sinhalakiller, Pathala Man (PM),
    great central bank robber etc. Poor Mother Lanka. She has too many enemies. Sad thing is a lot of them are
    her own kind. She is dying a slow death thanks to the UNPatriotic party xxxx.

  3. Ancient Sinhalaya Says:

    Some useful links for jaathi dhrohee Sinhala modayas to enjoy.
    Question why your traitor party didn’t want to take action against catholic tigers of tamil drealam even after
    Sri Maha Bodhi attack, Sri Dalada Maligawa attack, Aranthalawa Buddhist monks massacre. Question why
    catholic tigers of tamil drealam never harm a priest or damaged a church. Where are your brains, eyes, ears?
    Aren’t you ashamed to call yourself Sinhalese you jaathi dhroheen?

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress