විජේවීරගේ ඝාතනය ලොවට හෙළිකල ඉන්ද්‍රානන්ද කිසිදා නොකී කථාව
Posted on July 30th, 2016

ධර්මන් වික්‍රමරත්න විසිනි.

ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) නිර්මාතෘ සහ නායක රෝහණ විජේවීර උලපනේ නිවසේදී 1989 නොවැම්බර් 12 වැනිදා පස්වරු 2ට පමණ අත්අඩංගුවට ගන්නා රජයේ ක්ෂණික විහිදුම් බලකාය(ආර්.ඩී.එෆ්) ඔහුව හැව්ලොක් ටවුන්හි පවත්වාගෙන ගිය  ඔෆ්ස් කම්බයින් මෙහෙයුම් මධ්‍යස්ථානයට ගෙන එන ලදී. ජවිපෙ 2වැනි කැරළි සමයේදී කැරළිකරුවන් රඳවා තබාගැනීමට නිලනොවන වධකාගාර 80ක් පමණ ශ්‍රී ලංකාවේ තිබූ අතර ඉන් දරුණුතම වධකාගාරය වන යටාරෝ වධකාගාරයද පිහිටා තිබුණේ මෙහිය. ආරක්ෂක රාජ්‍ය ඇමති රංජන් විජේරත්න සිටියේද එයට යාබද නිවසකය. දීර්ඝ සාකච්ඡාවකින් පසු විජේවීර ‘ඉවත් කිරීමට’ එහිදී තිිරණය වූ අතර 1989 නොවැම්බර් 13 අළුයම 1.35ට බොරැල්ල මොඩම් ෆාම් පාරේ ගොල්ෆ් පිටියේ අංක 6 දරණ වල අසළදී වෙඩිතබා ඝාතනයට ලක්කර බොරැල්ල කනත්තේදී එදිනම අළුයම 3.13ට ආදාහනය කරන ලදී.

Dharman Wickremaratne2ධර්මන් වික්‍රමරත්න විසිනි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු යටාරෝ වධකාගාරයේදී ප්‍රශ්න කරනු ලැබූ රෝහණ විජේවීරගේ ඡායාරූප ගනු ලැබුවේ නාරහේන්පිට යුධ හමුදා පොලිසියේ ලාන්ස් කෝප්‍රල් ඉන්ද්‍රානන්ද සිල්වාය. සිය අණදෙන නිලධාරි කර්නල් අයි.එස්. දසනායකගේ උපදෙස් මත විජේවිරගේ විවිධ පැතිවලින් ඉරියව් කිහිපයක්ද ඔහු කැමරාවට හසුකර ගන්නා ලදී. විජේවීරගේ විඩියෝ ප්‍රකාශය පටිගත කරන ලද්දේ යුධ හමුදා පොලිසියේ සිට ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයට එකල අනුයුක්ත කොට සිටි ලාන්ස් කෝප්‍රල්වරුවන් වන වයි. යූ. ධර්මප්‍රිය සහ ඩබ්ලිව් ජී.ආර්. ධර්මසිරි විසිනි. මෙසේ ඡායාරූප ලබාගත් යුධ හමුදා පොලිසියේ ලාන්ස් කෝප්‍රල් ඉන්ද්‍රානන්ද ජවිපෙ සාමාජිකයෙකි. පසු කළෙක රෝහණ විජේවිර අත්අඩංගුවට ගැනීමේ සිට ඝාතනයවීම දක්වා ක්‍රියාවලිය සියසින් දුටු එය ලොවට හෙළිකල එකම පුද්ගලයාද ඔහුය.

යුධ සදාචාරය ඉවතලමින්, පිළිගත් සම්මත ශිෂ්‍ය සම්පන්න ආචාරධර්ම වලින් මුළුමනින්ම ඉවත්ව, කිසිදු අධිකරණ ක්‍රියාවලියකට ඉදිරිපත් නොකර ශ්‍රී ලංකාවේ රජය නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක නායකයා පමණක් නොව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුද වූ ජවිපෙ නායක රෝහණ විජේවිර අත්අඩංගුවට ගෙන පැය 12ක් ඇතුළත ඝාතනය කර පුළුස්සා දැමීම ලාන්ස් කෝප්‍රල් ඉන්ද්‍රානන්ද වහා වහා සිය පක්ෂය වන ජවිපෙට දැනුම්දුන්නේ අවසාන වරට විජේවීරගේ ගත් ඡායාරූපද සමගිනි.

dharman30071602රාහුබද්දේ කංකානමලාගේ ඉන්‍ද්‍රානන්ද නොහොත් ඉන්ද්‍රානන්ද සිල්වාගේ ජිවිතයේ විවිධ අවස්ථාවන් කිහිපයක්(ඉහළ වමේ සිට) පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටි 1976දී, පාසැලේ අධ්‍යාපනය ලබමින් සිටි 1983දී, හමුදා අත්අඩංගුවට ගැනීමට පෙර 1990දි, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉන්ද්‍රානන්ද චෝදනාවලින් 1997 දෙසැම්බර් 16වැනිදා නිදහස් කිරීමෙන් පසු, උතුරු මැද පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රීවරයෙකු වශයෙන් 2008 කටයුතු කරමින් සිටියදී සහ 2016දී නිවසේදී.

රාහුබද්දේ කංකානමලාගේ ඉන්ද්‍රානන්ද 1966 ජුලි 14වැනිදා උපන්නේ පොලොන්නරුවේ පලුගස්දමනේදීය. ජවිපෙට එක්වූ පසු ඉන්ද්‍රානන්දට දුන් නම සිල්වාය. මේ අනුව ඔහු ප්‍රචලිත වූයේ ඉන්ද්‍රානන්ද සිල්වා නමිනි. එමෙන්ම ජවිපෙ තුළ ඉන්ද්‍රානන්ද හැදින්වූ වෙනත් නම් අතර සුමිත්ද විය. ඉන්ද්‍රානන්දගේ දෙමාපියන් උපන්නේ ගාල්ලේ දොඩන්දූවේය. පියා වූයේ රාහුබද්දේ කංකානමලාගේ බෝටින් ද සිල්වාය. වෘත්තියෙන් ධීවර ව්‍යාපාරිකයෙකි. මව කලුපහනගේ සීලවතීය. බෝටීන් සහ සීලවතී යුවල පොලොන්නරුව පලුගස්දමනට පැමිණියේ නව ගොවි ජනපද ව්‍යාපාර යටතේ ඉඩම් ලබාදීමෙන් අනතුරුව 1953 පෙබරවාරි මාසයේදීය. එම දෙපලට දරුවන් 7කි. ඒ පිරිමි දරුවන් සිව්දෙනාවූ චන්ද්‍රදේව, ආරියවංශ, ඉන්ද්‍රානන්ද, සමන් අනුර සහ ගැහැණු දරුවන් තිදෙනාවූ චන්ද්‍රලතා, පද්මා, මාලනී වශයෙනි. ඔවුහු පසුකලෙක සුරාබදු නිලධාරි, ගුරු, උප දිසාපති, යුධ හමුදා කපිතාන්, යුධ හමුදා ලාන්ස් කෝප්‍රල් වැනි රජයේ විවිධ තනතුරු දැරූහ. පියාවූ බෝටීන් පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙළෙඳ සංකීර්ණයේ මත්ස්‍ය අළෙවි සැලක්ද පවත්වාගෙන ගියේය.

ඉන්ද්‍රානන්දගේ පියා බෝටීන් පොලොන්නරුව එජාප සංවිධානයේ 60 දශකයේ සිට මුල් පෙළේ ක්‍රියාකාරිකයෙකි. හැත්තෑව දශකය ආරම්භයේ එහි එජාප සංවිධායකවරයෙකු වූ එච්.ජී.පී නෙල්සන්ට සහාය දුන් බැවින් සමගි පෙරමුණ රජයේ පොලොන්නරුව ශ්‍රිලනිප මන්ත්‍රී ලීලාරත්න විජේසිංහ විසින් ඉන්ද්‍රානන්දගේ පවුලේ කිසිවෙකුට රජයේ රැකියාවකට ප්‍රවේශවීමේ ඉඩකඩ වලකනු ලැබීය. ලොකු අයියාවූ චන්ද්‍රදේවගේ රැකියා අවස්ථා 7ක් එසේ අහිමිවූයේ පියා එජාප ආධාරකරුවෙකු වීම නිසාය. පසුව චන්ද්‍රදේව 1977 මහා මැතිවරණය වන විට පලුගස්දමනේ එජාප ප්‍රබල ක්‍රියාකාරි මධ්‍යස්ථානය බවට එම නිවස පත්කර ගත්තේය.

dharman30071603ඉන්ද්‍රානන්ද උපන් සහ දැනටද ජීවත්වන පොලොන්නරුව පලුගස්දමන නිවස.

අසූවේ දශකයේ ආරම්භයේදී පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයද ප්‍රචලිතව පැවතිණි. කොමියුනිස්ට් තරුණ සම්මේලනයේ මධ්‍යම කාරක සභිකයෙකු සහ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වූ ගාමිණී මැදගෙදර පොලොන්නරුවේ කොමියුනිස්ට් තරුණ සමිති නායකයා විය. එම කොමියුනිස්ට් තරුණ සමිතියේ පසුව සභාපති වූයේ තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ 1991දී ශ්‍රිලනිප උප සභාපතිවරයාවූ කරුණාරත්න ගමගේය. පොලොන්නරුවේ ජේෂ්ඨ මාධ්‍යවේදියෙකුවූ කරුණාරත්න උතුරු මැද පළාතේ මුල් පෙළේ සමාජ ක්‍රියාකාරිකයෙකි. ඉන්ද්‍රානන්ද කලක් කොමියුනිස්ට් පොලොන්නරුව තරුණ සම්මේලනයේද සාමාජිකයෙකු විය. කොමියුනිස්ට් පක්ෂයේ ඇති දුර්වලතා ඉන්ද්‍රානන්දට අවධාරණය කළේ සුනිල් දසනායකය. ජවිපෙ 2වැනි කැරැල්ලේදී ජවිපෙ විසින් ගාමිණි මැදගෙදර 1988 පෙබරවාරි 12වැනිදා මහ මගදී ඝාතනයට ලක්වන අතර ඒ වන විට ඔහු දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයෙකු සහ නීතිඥයෙකුද විය. ජවිපෙ පුද්ගල දේශපාලනයේ තෙවැනි ගොදුරවූ ගාමිණී මැදගෙදරගේ දේහයට අවසන් ගෞරවය දැක්විමට විජය කුමාරතුංගද පැමිණි අතර ඉන් සිව් දිනකට පසු විජයද ජවිපෙ අතින් ඝාතනයට ලක්විය.

dharman30071604ඉන්ද්‍රානන්දගේ පියාවූ දොඩන්දූව උපන් රාහුබද්දේ කංකානමලාගේ බෝටින් ද සිල්වා, මවවූ දොඩන්දූව උපන් කලුපහනගේ සීලවතී සහ ඉන්ද්‍රානන්ද 2001 සැප්තැම්බර් 5වැනිදා විවාහ දිනයේදී සිය බිරිඳවූ පොලොන්නරුව රෝහලේ හෙද නිලධාරිනී ට්‍රිසිලා නිල්මිණී කාරියවසම් සමගින්(වමේ සිට)

පොලොන්නරුව පලුගස්දමන මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඉන්ද්‍රානන්ද සමඟ ජවිපෙ සම්බන්ධතා ගොඩනැගෙන්නේ 1982 ජනවාරි අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි අරගලයේදීය. ඒවන විට ඔහුට වයස අවුරුදු 16කි. ජවිපෙට ඔහු එක්කර ගැනීම සඳහා කොක්ක ගසන්නේ සුනිල් දසනායක නොහොත් අරවින්දය. පරාක්‍රම සමුද්‍රයේ වැව් ඉවුරේ කැලෑබද ස්ථානයක ජවිපෙ පන්ති පැවැත්විණි. ඉන්ද්‍රානන්දට ජවිපෙ අධ්‍යාපන පන්ති සඳහා මඟපෙන්වන්නේ එවකට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වූ රංජිත් පරාක්‍රමය. පොල්ගහවෙල පදිංචි රංජිත් පරාක්‍රම ජවිපෙ 2වැනි කැරැල්ලේදී කොළඹ දිස්ත්‍රික්කයේ නායකයෙකු වශයෙන් වගකීම් ඉටුකරමින් සිටියදී 1988 අවසාන භාගයේ යතුරු පැදියක යමින් සිටියදී නුගේගොඩදී සිදුවූ සැකකටයුතු රිය අනතුරකින් මරණයට පත්විය. ජවිපෙ සන්නද්ධ අංශය මගින් ඔහුට ගෞරවයක් වශයෙන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කොළඹ සන්නද්ධ බලකාය රංජිත් පරාක්‍රම බලකාය නමින් නම්කල අතර බොරැල්ලේ මැගසින් බන්ධනාගාරයට 1988 දෙසැම්බර් 12වැනිදා ප්‍රහාරයක් එල්ල කරමින් ජවිපෙ සැකකරුවන් 221 මුදාගැනීමේ වගකීම භාරගනුයේ රංජිත් පරාක්‍රම බලකාය මගිිනි.

පේරාදෙණිය සරසවි වෛද්‍ය පීඨයේ 2වැනි වසර සිසුවෙකුවූ තංගල්ලේ උපන් හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර පේරාදණෙිය සරසවිය තුළදී පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වන්නේ 1984 ජුනි 19වැනිදාය. එම ඝාතනයට එරෙහිව රටපුරා සරසවි සිසුන් පවත්වන ලද උද්ඝෝෂණයේදී පොලිස් වෙඩි පහරින් කොළඹ සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ සිසු රෝහණ රත්නායකද මරණයට පත්විය. මෙම සිසු ඝාතනයන්ට එරෙහිව සරසවි සිසු උද්ඝෝෂණයට රටපුරා පාසැල් බහුතරයක සිසු සිසුවියන්ද සහභාගි විය. මෙහිදී පොලොන්නරු දිස්ත්‍රික්කයේ මුල් පෙළේ උද්ඝෝෂණයට එක්වූ පාසැල් අතර පෙරමුණේ සිටියේ පලුගස්දමන මහා විද්‍යාලයයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්ද්‍රානන්ද, කොඩිතුවක්කු, ජයතිලක, කාන්ති, කමනි ඇතුළු 7 දෙනෙකුගේ පන්ති දෙසතියකට විදුහල්පති විසින් තහනම් කරනු ලැබීය. එහෙත් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පොලොන්නරුව සංවිධායකවරයෙකුවූ සුනිල් දසනායකගේ සැලසුමක් අනුව පලුගස්දමන විදුහලේ සිසූහු සිය පාසැල් සිසුන්ගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් අඛණ්ඩ පන්ති වර්ජනයක් යෙදීම හේතුවෙන් ඉන්ද්‍රානන්ද ඇතුළු 7දෙනාගේ පන්ති තහනම දෙදිනකින් ඉවත් විය.

dharman30071605පොලොන්නරුව පලුගස්දමන මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ වාණිජ අංශයෙන් ඉගෙනුම ලබමින් සිටියදී ඉන්ද්‍රානන්ද සිය පාසැල් සමකාලීනයන් සමගින් 1986දී. ඉදිරිපෙළ වාඩිවී වමේ සිට අනුර පුෂ්පකුමාර, සරත් විජේසිංහ, චන්ද්‍රසේන. පසුපෙල සිටගෙන වමේ සිට ශ්‍යාමලී ඒකනායක, කාන්ති, අයිරාංගනී, පීරිස්, ඉන්ද්‍රානන්ද, ජගත් සහ නිශාන්ත.(ජවිපෙ කැරළිකරුවන් වශයෙන් සිටියදී ජගත් සහ නිශාන්ත 1989දී ඝාතනයට ලක්විය).

පලුගස්දමන මහා විද්‍යාලයේ ඉන්ද්‍රානන්දගේ පාසැල් සමකාලීනයන්වූ සිසුන් කිහිපදෙනෙක්ද ජවිපෙ 2වැනි කැරැල්ලේදී ඝාතනයට ලක්විය. එක් අයෙක් වූයේ පුලස්තිගම නිශාන්ත නාමල් පෙරේරාය. නිශාන්ත නාමල් පෙරේරා 1989 නොවැම්බර් 20 පොලොන්නරුවේදී අත්අඩංගුවට ගත් අතර පොලොන්නරුව සේවාගම ජනපදයේ පවත්වාගෙන ගිය කාලතුවක්කු හමුදාවේ අනුඛණ්ඩ කඳවුරේදී රඳවා තැබීමෙන් අනතුරුව ඝාතනයට පත්විය.පොලොන්නරුව ජවිපෙ සන්නද්ධ අංශයේ කලාපීය නායකයෙකුවූ අරලගංවිල පදිංචි සුනිල් දසනායක නොහොත් අරවින්ද 1989 සැප්තැම්බර් 19වැනිදා පොලොන්නරුව රෝහල අසළ කුමාරසිරි පතිරණ ගායකයාගේ පුවත්පත් අළෙවිසැලේදී ආරක්ෂක හමුදාව විසින් පැහැරගනු ලැබූ අතර පසුව හබරණදී ඝාතනයට ලක්විය. එයට කලින් සුනිල් දසනායක වරක් අත්අඩංගුවට පත්වී පොලොන්නරුව තරුණ බෞද්ධ සමිති ගොඩනැගිල්ලේ පිහිටා තිබූ ආරක්ෂක හමුදා වධ කඳවුරෙන් පළායැමට සමත්වූවෙකි. තවත් අයෙකුවූ පුලස්තිගම ජගත්ගේ සිරුර මරා පුළුස්සා දමා තිබියදී පුලස්තිගමදී හමුවිය.

පොලොන්නරුව පලුගස්දමන මහා විද්‍යාලයේ උසස් පෙළ වාණිජ අංශයෙන් විභාගයට පෙනී සිටීමෙන් පසු ඉන්ද්‍රානන්ද සිය මිත්‍රයෙකුවූ ජයතිලක සමඟ එක්වි හේන් වගාවකට යොමුවිය. යුධ හමුදා පොලිසියට බැදීමට ඇබෑර්තු ඇතිබවට පුවත්පත් දැන්වීමක් දැකීමෙන් පසු අයදුම්පතක්ද ඉදිරිපත් කළේය. ඔහු එම සම්මුඛ පරික්ෂණයෙන් සමත් විය.

dharman30071606ශ්‍රී ලංකා යුධ හමුදා පොලිසියට 1987 ජුලි 8වැනිදා බැදුණු ඉන්ද්‍රානන්ද මන්නාරම යුධ හමුදා කඳවුරකදී ජී3ඒ3 බර අවියක් අතැතිව(වමේ) සහ ලාන්ස් කෝප්‍රල් ඉන්ද්‍රානන්ද නාරහේන්පිට යුධ හමුදා පොලිස් මූලස්ථානයේ සේවය කරමින් සිටියදී(දකුණේ)

ඉන්ද්‍රානන්ද යුධ හමුදා පොලිසියට එක්වන්නේ 1987 ජුලි 8වැනිදාය. මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසැලේ මාස හතරක සහ නාරාහේන්පිට යුධ හමුදා පොලිසියේ මාස තුනක් වශයෙන් සත් මසක පුහුණුවෙන් පසු ඔහු යුධහමුදා පොලිස් මූලස්ථානයේ ඡායාරූප ශිල්පියෙකු ලෙස එක්විය. යුධ හමුදාවට සම්බන්ධ උත්සව, විසිර යෑමේ පෙළපාලි, යුධ හමුදාපතිගේ සංචාර, ආරක්ෂක ඇමතිවරයා සම්බන්ධවන උත්සව පමණක් නොව යුධ හමුදා ජේෂ්ඨ නිලධාරින්ගේ පවුලේ උත්සව වලටද සේවය ලබාදෙමින් ඔවුන් හා සමීප සම්බන්ධතා පවත්වාගැනීමට ඉන්ද්‍රානන්දට හැකිවිය. ඔෆ්ස් කම්බයින් මෙහෙයුම් මධ්‍යස්ථානයට, ඉසුරුපාය හමුදා කඳවුර, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය, මත්තේගොඩ, ඔරුවල, කොළඹ තුරඟ තරඟ පිටිය, අතුරුගිරිය, කඩුවෙල ඇතුළු කිහිපයක හමුදා අනුඛණ්ඩ ස්වරූපයෙන් පවත්වාගෙන ගිය වධ කඳවුරුවල සිටි ජවිපෙ සැකකරුවන්ගේද ඡායාරූප ගනු ලැබුවේ ඔහු විසිනි.

කොළඹ යුධ හමුදා පොලිසියේ සේවයට පැමිණි ඉන්ද්‍රානන්ද සමඟ ජවිපෙ යළි සබදතා ගොඩනගා ගන්නේ 1988 අප්‍රේල් 15වැනිදාය. පොලොන්නරුව ජවිපෙ ක්‍රියාකාරිකයෙකුවූ සුනිල් දසනායක ජවිපෙට කල දැනුම්දීම අනුව කොළඹ ජවිපෙ සන්නද්ධ අංශයේ ක්‍රියාකාරිකයෙකු කොළඹදී ඉන්ද්‍රානන්ද සමඟ සබදතා ගොඩනගා ගනී. ඒ අනුව කොළඹ නාරහේන්පිට යුධ හමුදා පොලිසිය ඉදිරිපිට ඇති කිරිහල අසළදී සවස 5ට එක්තරා දිනකදී දකුණු අතේ පිට අල්ලේ ප්ලාස්ටරයක් අලවාගෙන ඉරණම පත්‍රය අතේ තබා සිටින ලෙසට උපදෙස් ලැබිණි. එසේ පැමිණියේ ජවිපෙ සන්නද්ධ නායක සමන් පියසිරිගේ නියෝජිතයෙකි. දෙදෙනා අතර වැඩිදුර සාකච්ඡාව බොරැල්ලේදී සිදුවිය.

dharman30071607කොමියුනිස්ට් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් තරුණ සම්මේලනයේ කටයුතු වලට ඉන්ද්‍රානන්ද 1983/84 වසරේ එක්ව සිටියදී එහි පොලොන්නරුවේ 1983 සභාපතිව සිටි ගාමීණී මැදගෙදර සහ 1984 සභාපතිව සිටි කරුණාරත්න ගමගේ(ඉහළ වමේ සිට), ඉන්ද්‍රානන්දට 1982දී ජවිපෙ කොක්ක ගැසූ සුනිල් දසනායක නොහොත් අරවින්ද සහ පාසැල් වියේ සිටම ඉන්ද්‍රානන්ද සමඟ ජවිපෙ ක්‍රියාකාරිකයෙකුව සිටි පුලස්තිගම නිශාන්ත නාමල් පෙරේරා(පහල වමේ සිට) ජවිපෙ 2 කැරැල්ලේදී ගාමිණී මැදගෙදර ජවිපෙ මගින් ඝාතනයට ලක්වූ අතර සුනිල් සහ නිශාන්ත ඝාතනයට ලක්වූයේ ආරක්ෂක අංශ මගිනි.

ජවිපෙ සන්නද්ධ නායක සමන් පියසිරි ප්‍රනාන්දුගේ නියෝජිතයින් සමඟ ඉන්ද්‍රානන්ද අතර සාකච්ඡා ඉන් පසුව වාර ගණනාවක් පැවතියේ බොරැල්ල සුපර්මාර්කට්හි ඔරලෝසු කඩේ, කොටා පාරේ ප්‍රදීප් ස්ටෝස්, මරදානේ අභයසිංහාරාමය, දෙහිවල සරණංකර පාරේ මාතරගේ දොන් ආරියදාසගේ නිවස, මොරටුවේ විල්ලෝරාවත්තේ නිවස, පිළියන්දල හැඩිගම කුකුල් ගොවිපොල, නාරහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව, ග්‍රෑන්ඩ්පාස් ස්ටේඩියම්ගම ඇතුළු ස්ථාන කිහිපයකය. ඉන් සාකච්ඡා කිහිපයකටම සන්නද්ධ නායක සමන්ද සහභාගි විය. ඒ අනුව 1989 සහ විජේවීර ඝාතනයෙන් පසු  ජවිපෙ ක්‍රියාකාරකම් රැසක්ද සමන් පියසිරි විසින් සැලසුම් කොට සකස් කරන ලදී. ඉන් ගණනාවක්ම සාර්ථක විය.

එම සැලසුම් සකස් කිරීමේ සාකච්ඡා සඳහා ඉන්ද්‍රානන්ද සමගින් ජවිපෙ සන්නද්ධ අංශයේ ක්‍රියාකාරිකයින්වූ කොළඹ සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ උපාධිධාරියෙකුවූ ධම්මකිත්ති හිමි නොහොත් පසුව උපැවිදිවූ වරුණද, මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයේ 2වැනි වසරේ සිසුවෙකුවූ හම්බන්තොට ජයරත්න සිරිවර්ධන නොහොත් පීරිස්ද, මොරටුව ජාතික තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාවේ(එන්.ඩී.ටී) රංජිත්ද, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ආර්ථික විද්‍යා උපාධිධාරි මාතර මන්තින්ද පිරිවෙනේ කලක් ගුරුවරයෙකුව සිටි මහරගම ධර්මශ්‍රී වර්ධනාරාමයේ තලල්ලේ නාගිත හිමි නොහොත් පසුව උපවැදිවූ ලක්ෂ්මන් ගජනායකද, දිවුලපිටියේ උපන් කීර්ති ගුණතිලක නොහොත් රොෂාන් නොහොත් දුෂාන්ත ඇතුළු කිහිපදෙනෙක් විටින් විට ඒවාට එක්විය.

ආරක්ෂක අංශ තොරතුරු පිටතට යෑම සම්බන්ධයෙන් සැකකළේ යුධ හමුදා පොලිසියේ කෝප්‍රල් රෝහණය. එයට කලින් දෙමළ බෙදුම්වාදීන්ට හමුදාවේ ඡායාරූප සහ තොරතුරු මුදලට ලබාදීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විණි. එහෙත්  ජවිපෙ සන්නද්ධ නායක  සමන් පියසිරි ප්‍රනාන්දුට දුන් සටහනක අත්අකුරු  සහ හමුදා කඳවුරක දළ සටහනක්ද ඉන්ද්‍රානන්ද අත්අඩංගුවට ගැනීමට හේතුවිය. සමන් පියසිරිට දුන් එම සටහන් ජවිපෙ සාමාජිකයෙකුවූ පන්නිපිටිය වීර මාවතේ පදිංචි කම්කරු දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකුවන නවරත්න මුදියන්සේලාගේ මුතුබණ්ඩාගේ නිවසේ තිබී සොයාගෙන තිබිණි.

dharman30071608ජවිපෙ 2වැනි කැරැල්ලේ ඉල්මහ සමරුවකදී ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවිරට උපහාරය පුදකරන අවස්ථාවක්.

වසර 1990 මාර්තු 14වැනිදා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන යටාරෝ වධකාගාරයේ දින 18ක් රඳවා තැබූ ඉන්ද්‍රානන්ද ඝාතනය කිරීමේ උත්සාහයක් තිබුණද යුධ හමුදා පොලිසියේ අණදෙන නිලධාරියාගේ විරුද්ධත්වය හේතුවෙන් එය කල් යෑමක සිදුවිණි. උපක්‍රමශීලිව ඔහු රජයේ සාක්කිකරුවෙක් බවට පත්කර ගැනීමටද ප්‍රයත්න දැරීය. පසුව පනාගොඩ යුධ හමුදා සිර කඳවුරට මාරුකර යැවිණි. මාස ගණනාවක් යනතෙක් දෙමාපියන්ට පෙන්නුවේද නැත. තමන් පත්ව ඇති තත්ත්වය පිළිබඳව මානව හිමිකම් සංවිධානවලට රහසිගතව තොරතුරු යැවීමට ඉන්ද්‍රානන්ද සමත් විය. වසර එක හමාරක් ගෙවීගියද යුද්ධාධිකරණය හමුවේ නඩු නොපැවරීම නිසා නීතිඥ කල්යානන්ද තිරාණගමගේ නායකත්වයෙන් යුත් මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳව නීතිඥයින්ගේ සංවිධානය හරහා නඩු පැවරීමට කටයුතු කරන ලදී. එය දැනගත් යුධ හමුදා නීිති ශාඛාව සති දෙකක් ඇතුළත යුද්ධාධිකරණය වෙත ඉන්ද්‍රානන්ද ඉදිරිපත් කරන ලදී. පනාගොඩ යුධ හමුදා සිරකඳවුරේදී 1992 පෙබරවාරි 15වැනිදා අත්අඩංගුවේම සිටි සෙබළුන් පිරිසක් හරහා ඉන්ද්‍රානන්දට පහරදුන් අතර පසුව රෝහල්ද ගත කෙරිණි. අනතුරුව මැගසින් බන්ධනාගාරය වෙතද යොමු කරන ලදී.

මෙහිදී ඉන්ද්‍රානන්දට එරෙහි යුද්ධාධිකරණ චෝදනා වූයේ පනාගොඩ යුධ හමුදා මූලස්ථානය සහ යුධහමුදා පොලිස් මූලස්ථානයේ ඡායාරූප සහ දළ සැලසුම් ජවිපෙට ලබාදුන් බවකි. මේ පිළිබඳව ලාන්ස් කෝප්‍රල් ඉන්ද්‍රානන්ද ගෙන් පිටු 30ක දීර්ඝ පාපොච්ඡාරණයක් ඔහුට විරුද්ධව සාක්ෂි විභාගයේදී ඉදිරිපත් කරන ලදී. එම පාපොච්ඡාරණය ස්වෙච්ඡාවෙන් කරන ලද්දක් නොවන බව ‘වොයර් ඩයර්’ සාක්ෂි විභාගයේදී නිගමනය වී ඇති නමුදු එකී කරුණු ලාන්ස් කෝප්‍රල්වරයා සාක්ෂි විභාගයේදී ප්‍රකාශ කිරීම නිසා ඔහු වරදකරුබව ආරක්ෂක අංශ වෙතින් ප්‍රකාශ විණි.

ඒ අනුව  1990 මාර්තු 14වැනිදා සැකපිට අත්අඩංගුවට ගත් ලාන්ස් කෝප්‍රල් ඉන්ද්‍රානන්ද 1993 ජුනි මස යුද්ධාධිකරණය මගින් වසර 15ක සිර දඬුවමකට යටත් කෙරිණි. අනතුරුව ඉන්ද්‍රානන්ද විසින් අභියාචනාධිකරණයට නඩු අංක 863/93  යටතේ පෙත්සමක් ඉදිරිපත් කලද එය 1996 ජුනි 5වැනිදා නිෂ්ප්‍රභා වූයේ යුද්ධාධිකරණ තීරණය අනුමත කරමිනි. පසුව අභියාචනාධිකරණයේ එම තීරණයට එරෙහිව ශ්‍රේෂ්ධාධිකරණය හමුවේ ඉන්ද්‍රානන්ද විසින් ඇපෑලක් ඉදිරිපත් කල අතර ඒ අනුව යුද්ධාධිකරණයේ තීන්දුව අනුමත කරමින් අභියාචනාධිකරණයදී ඇති තීන්දුව නීතියට පටහැනියැයි කියමින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලාන්ස් කෝප්‍රල් ඉන්ද්‍රානන්ද 1997 දෙසැම්බර් 17වැනිදා නිදහස් කරන ලදී. එපමණක්ද නොව ඔහුට රුපියල් 15,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසද රජයට ශ්‍රේෂ්ධාධිකරණය නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය අනුව ඉන්ද්‍රානන්දට හිඟ වැටුප්ද ලැබිණි. ඒ අනුව ඉන්ද්‍රානන්දට වසර 7 මාස 9 දවස් 3ක කාලයක් සැකකරුවෙකු වශයෙන් බන්ධනාගාර සහ කඳවුරුවල ගතකිරීමට සිදුවිය.

ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ඒකමතිකව ලබාදුන් අතර එහි විනිසුරුවරුන් වූයේ මාර්ක් ප්‍රනාන්දු, ආචාර්ය රංජිත් අමරසිංහ සහ එස්. ඩබ්ලිව්. වී වඩුගොඩපිටියය. වගඋත්තර කරුවන් වූයේ හමුදාපති සිසිල් වෛද්‍යරත්න, බ්‍රිගේඩියර් ඒ. එස් පීරිස්, කර්නල් ජේ.පී.ජී ජයවර්ධන, ලුතිනන් කර්නල් පී.ආර්. සිල්වා ඇතුළු කිහිපදෙනෙකි. ලාන්ස් කෝප්‍රල් ඉන්ද්‍රානන්ද දුන් බව කියන පිටතින් සොයාගත් ඡායාරූප යුධ හමුදා පොලිස් ඡායාරූපගාරයට අයත් ඒවා මිස ඒවා අභියාචක වන ඉන්ද්‍රානන්ද අතර සම්බන්ධයක් තහවුරු වී නැති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇත. තවද ඔහුගේ අත්අකුරු ලෙස දළ සැලසම් පිටපතේ සඳහන්වී ඇති අකුරු හදුනාගැනීමට නීත්‍යානුකූල අත්අකුරු විශේෂඥ වාර්තාවක් ලබාගෙන නැති බවද ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී අවධාරණය කර තිබිණි.

සැකපිට අත්අඩංගුවට තබාගෙන වසර 9කට පසු නිදහස්වීමෙන් අනතුරුව ජවිපෙ දේශපාලනයට යළි පූර්ණකාලීනව එක්වූ ඉන්ද්‍රානන්ද පසුව උතුරු මැද පළාත් සභාවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජවිපෙ පලාත් සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් 2001 සිට 2008 ජුනි දක්වා වසර 8ක් කටයුතු කළේය. වර්තමානයේ ඔහු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු වශයෙන් වාම දේශපාලනයේ පූර්ණකාලීනයෙකි.

ඉන්ද්‍රානන්ද 2001 සැප්තැම්බර් 5 වැනිදා අවාහ වූයේ පොලොන්නරුව රෝහලේ හෙද නිලධාරිනියකවූ ට්‍රිසිලා නිල්මිණී කාරියවසම් සමගිනි. බිරිඳ නිල්මිණීගේ දෙමාපියන්  ඇතුළු පවුලේ අයද නව ජනපදිකයින් වශයෙන් දකුණේ සිට පොලොන්නරුවේ පදිංචියට අය වෙති. ඉන්ද්‍රානන්ද සහ නිල්මිණී යුවලට දරුවන් දෙදෙනෙකි.

ඉන්ද්‍රානන්ද සිල්වා යනු සිය ජීවිතය පරදුවට තබා රෝහණ විජේවීරගේ දේශපාලන න්‍යාය ඉහළින් ඔසවා තැබූ මිනිසෙකි. ඒ නිසාම වයස අවුරුදු 23දී යුධ හමුදා පොලිසියේ ඔහු දැරූ ලාන්ස් කෝප්‍රල් තනතුරේ රැකියාවද ඔහුට අහිමිවූ අතර අනේකවිධ තිරස්චින වධබන්ධනවලට මුහුණදීමටද සිදුවිය. ඔහු වධකාගාර, බන්ධනාගාර ගතකිරීම් හරහා අවසානයේ යුද්ධාධිකරණයෙන් සිරදඬුවම්ද විදි මිනිසෙකි. එමෙන්ම මරණයේ බිහිසුණු අත්දැකීම් දැක දැක උඩුගම්බලා පිහිනූ මිනිසෙකි. රෝහණ විජේවීර ඝාතනයකර දවා අළුකරමින් ජවිපෙ දේශපාලනය මහා සැඩ පහරකට ලක්වූ 1990 නොවැම්බර් 13න් පසුවද පක්ෂය රැකගැනීම උදෙසා ඒ රුදුරු සැඩපහරට කිසිදු දෙගිඩියාවක් නොමැතිව පැනපු මිනිසෙකු බවද අවිවාදිතය.(ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected])The writer ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne is a senior journalist who could be reached at [email protected] OR 011-5234384.

 

 

 

ඡායාරූප විස්තර

 

5 Responses to “විජේවීරගේ ඝාතනය ලොවට හෙළිකල ඉන්ද්‍රානන්ද කිසිදා නොකී කථාව”

  1. S.Gonsal Says:

    I don’t know the reason why the writer praising this man,

    ඉන්ද්‍රානන්ද සිල්වා යනු සිය ජීවිතය පරදුවට තබා රෝහණ විජේවීරගේ දේශපාලන න්‍යාය ඉහළින් ඔසවා තැබූ මිනිසෙකි. ඒ නිසාම වයස අවුරුදු 23දී යුධ හමුදා පොලිසියේ ඔහු දැරූ ලාන්ස් කෝප්‍රල් තනතුරේ රැකියාවද ඔහුට අහිමිවූ අතර අනේකවිධ තිරස්චින වධබන්ධනවලට මුහුණදීමටද සිදුවිය. ඔහු වධකාගාර, බන්ධනාගාර ගතකිරීම් හරහා අවසානයේ යුද්ධාධිකරණයෙන් සිරදඬුවම්ද විදි මිනිසෙකි.

    Q: – What is the service Rohana Wijeweera did for the country ?
    A:- Allowing thousands of Sinhala youth to get killed , get tortured in Batalanda and hiding somewhere with a reasonable property and car.

    Q:- What is the service this man did for the country ?
    A:- While working for armed forces leaking information to terrorist betraying his Sinhala people, allowing Sinhala youth to get killed.

    Furthermore, if the writer accepts 88 torture chambers existing for innocent Sinhalese then , how can we claim ( UN inquiry) we did not have torture chambers for innocent Tamils ?

  2. Christie Says:

    JVP the Indian financed Sinhala terrorist of India. They will never understand this.

  3. Ananda-USA Says:

    I agree with S.Gonsal

    I will not shed any tears for Rohan Wijeweera who misled many young people into violence and death.

    He lived by the SWORD and died by the SWORD. He got what he richly deserved.

    Instead of trying to force his dogma on our people, Wijeweera should have used the political fredoms in our democratic system to convince the people of its benefits and gain scceptancd as a political leader. He dailed to do that and resorted to violence. Our people were too smart; they recognized a despot hiding under sheep’s clothing and rejected him and his politics outright.

    Good RIDDANCE to BAD RUBBISH, I say!

  4. Dilrook Says:

    I fully agree with Ananda.

    The JVP leader and his contemporaries were more than subversives. I call them terrorists. They deserved their fate. Resorting to violence is never an option. If people reject a political ideology at the election, that’s it. Violence cannot win what elections cannot.

    JVP action ruined the economy and made Sri Lanka weaker in its fight against Tamil terrorism. JVP only killed ethnic Sinhalese. That is a sure giveaway as to its external financiers.

  5. S.Gonsal Says:

    Dharman,
    I suspect your hero Rahubadda Kankanamalage Indrananda De Silva must be related to
    Rahubadda Kankanamalage Chandrananda De Silva – Ex-election commissioner , defence secretary under Chandrika.
    Even the name sounds similar.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress