සීමාන්තික ජාතිකවාදය
Posted on April 4th, 2017

නලින් ද සිල්වා

මෙරට පඬියන් බොරු මධ්‍යස්ථභාවයකට කැමතියි. ඔවුන් තම මධ්‍යස්ථභාවය පෙන්වීමට උත්සාහ කරනවා. බුදුන් වහන්සේගේ මැදි පිළිවෙතත් ඔවුන් තම වාසියට යොදා ගන්නවා. ඔවුන් ඇතැම් විට කියන්නේ තමන් බුදුන් වහන්සේගේ මැදි පිළිවෙත අනුව කටයුතු කරන බවයි. ඒත් ඔවුන්ට නිවන බොහෝ ඈතයි.  ඒ සංසාර ගමන අතින්. මැදි පිළිවෙතක දී කෙරෙන්නේ අන්ත මග හැරීමයි. නිවන චතුස්කෝටිකයෙන් විනිර්මුක්ත වුණත්, ඒ් අන්ත අත් හැරීම තීරණය වන්නේ චතුස්කෝටික න්‍යායට අනුව. ඒත් පඬියන් ඉන්නේ ද්විකෝටිකයේ. එහි අන්ත අත්හරින්න බැහැ. හේතුව ද්විකෝටිකයේ අන්ත දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදු වීමයි. එහි එක් අන්තයක් සත්‍යයි. අනෙක් අන්තය අසත්‍යයයි. ඒත් සත්‍යය කියන්නේ මොකක් ද කියලා දන්නෙ නැහැ.

මේ නිසා පඬියන් ඊනියා බැලන්ස් කිරීමක් ගැන කියනවා. ඒකෙනුත් ටිකක් ගන්නවා. මේකෙනෙුත් ටිකක් ගන්නවා. එය කිරි කළයට ගොම මිශ්‍ර කරනවාට දෙවැනි වන්නේ නැහැ.  ඇතැම් අවස්ථාවල අපට ද්විකෝටිකය යොදා ගැනීමට සිදු වෙනවා. බොහෝ දෙනාට ද්විකෝටිකය යනු චතුස්කෝටිකයේ අවස්ථා දෙකක් බව අමතක වෙනවා. චතුස්කෝටිකයේ ද්විකෝටිකයට අයත් නැති අවස්ථා දෙකකුත් තිබෙනවා. ද්විකෝටිකය අනුව අප කිරි කළය තෝරා ගන්නවා. ඒත් ගොමත් අවශ්‍ය වන අවස්ථා ද තිබෙනවා. ඒ දෙක වෙන වෙන ම ගත යුතුයි. බැලන්ස් කිරීමට කියා කිරියි ගොමයි මිශ්‍ර කරන්න බැහැ. එළ හරකයි මී හරකයි එකට බඳින්න පුළුවන් රනිල් මෛත්‍රිපාල ඊනියා ජාතික ආණ්ඩුවේ විතරයි.  ඒත් රන් රස මිශ්‍ර වෙනවා. අප කරන්නේ කුමක් ද යන්න ගැන හොඳ සිහියක් තිබිය යුතුයි. සිංහල බෞද්ධයන්ට ඒ බව කියන්න ඕන නොවිය නමුත් අද සිංහල බෞද්ධයන්ට හොඳ සිහියක් තබා කිසිම සිහියක් නැහැ.

අද ඇතැමුන් සීමාන්තික ජාතිකවාදයක් ගැන කතා කරනවා. එය හොඳයි. එයින් කියැවෙන්නේ අද සමාජයේ ජාතිකවාදය යන්න පිළිගැනී තිබෙන බවයි. පඬියන් අද විරුද්ධ වන්නේ ජාතිකවාදයට නොව සීමාන්තික ජාතිකවාදයටයි. ඒකත් තරමක වර්ධනයක්. කලකට ඉහත අනුරුද්ධ තිලකසිරි නමින් සිළුමිණට හා ඔබ්සර්වර පත්‍රයට ජාතිකත්වයට, ජාතිකවාදයට විරුද්ධව ලියූ දයාන් ජයතිලක අද ස්මාට් ජාතිකවාදයක් ගැන කියවනවා. අපවත් වී වදාළ පූජ්‍ය බද්දේගම විමලවංශ හිමියන් එදා දයාන්ට විරුද්ධ ව ජාතිකවාදය වෙනුවෙන් සිළුමිණට ලියූ බව කී දෙනකුට මතක දැයි දන්නේ නැහැ. අද ජාතිකවාදයට විරුද්ධ වන්නේ බටහිරයන්ගෙන් පඩි ලබන සිවල් සාමාජිකයන් හා බොරු පඬියන් කිහිප දෙනකු පමණයි.

1986 දී පළ කළ මගේ ලෝකයෙහි එක් සංස්කෘතියක දැනුම හා වෙනත් අංග තවත් සංස්කෘතියකට ලබා ගන්නේ කෙසේ දැයි සාකච්ඡා කෙරෙනවා. එහෙත් විවිධ පඬියන් ඒ බව තේරුම් ගෙන නැහැ. අපට අවශ්‍ය පරිදි ඕනෑම සංස්කෘතියකින් දැනුම අවශෝෂණය කරන්න පුළුවන්.  අප කිසි විටෙක කියා නැහැ බටහිර දැනුම හෝ වෙනත් දැනුමක් හෝ ප්‍රතික්‍ෂෙප කරන්න කියා. එහෙත් බොහෝ දෙනා හිතන්නේ අප එසේ කියා ඇති බවයි. ඒ අප ලියන ලිපි නොකියවා. බොහෝ උගතුන් හා ජ වි පෙ, පෙරටුගාමී තරුණයන් අතර වෙනසක් නැහැ. ඔවුන් කියවන්නේ නැහැ. මේ රටේ දේශපාලනය මෙන් ම ඉගෙනීම ද කෙරෙන්නේ ඕපාදූප මගින්. අද බහුශ්‍රැතයන් වන්නේ වැඩියෙන් ඕපාදූප ඇසූ අය.

අද මෙරට කෙරෙන්නේ විවිධ සංස්කෘතිවලින් අවශෝෂණය කිරීමක් නොව අනුකාරික ව එකතු කිරීමක්. අප විරුද්ධ වන්නේ මේ අනුකාරක එකතු කිරීමට. අනුකාරක එකතු කිරීම නිසා මෙරට සංස්කෘතිය අච්චාරුවක් බවට පත් වී තිබෙනවා.  ඒ අච්චාරුවේ පරස්පර, විසංවාද තිබෙනවා. පරස්පර නැති සංස්කෘතියක් පුද්ගලයකු සොයා ගන්න බැහැ. එහෙත් අපේ පරස්පර වැඩියි. ඒ නිසා අපේ අනන්‍යතාවත් නැති වී ගෙන යනවා. මෙය භයානක තත්වයක්.

ජාතිකවාදයට අර වාදය මේ වාදය එකතු කරන්න කතා කරන අය ඉන්නවා. ඒ තම පඬිකම විදහා දැක්වීමට. ඒත් පිල් විදහා රඟන මොණරුන් හා ඔවුන් අතර වෙනසක් නැහැ. ඔවුන් ඉන්නේ හෙළුවෙන්. අවශ්‍ය පරිදි අවශෝෂණය කර ගත්තාට ප්‍රශ්නයක් නැහැ. ඒත් කිරි කළයට ගොම එකතු කරන්න එපා. මෙරට පඬියන් බොහෝ දෙනකුට ඇත්තේ මොණර ආකල්ප. මයුරා කතරගම දෙවියන්ට වාහනය වුණා. වත්මන් මයුරන් බටහිරයන්ට වාහන වෙලා.

සීමාන්තික ජාතිකවාදයට දොස් කියන පඬියන් එයින් කුමක් හඳුන්වන්නේ දැයි කියන්නේ නැහැ. පඬියන් පුහුණු වන්නේ තමන් යොදා ගන්නා වචනවල නිර්වචන සඳහන් කර තම ඊනියා ඉදිරිපත් කිරීමටයි. ඒ බටහිරයන්ට දෙන පුහුණුවක්. මෙරට පඬියන්ට ඒ පුහුණුව අමතක වෙනවා. සීමාන්තික යන වචනයේ තේරුම මොකක් ද කියා පඬියකු පැහැදිලි කර දෙන්නේ නම් වැදගත්. සීමාන්තික කියන්නේ අන්තයක සීමාවට ද? සමහරවිට පඬියන්ට අනුව ජාතිකවාදය එක් අන්තයක සිට අනෙක් අන්තයට සංතතික ව වෙනස් වනවා වෙන්න පුළුවන්. එවිට අප මේ අන්ත දෙක හඳුනාගත යුතුයි. එක් අන්තයක ඇත්තේ ජාත්‍යන්තරවාදය ද? එවිට ජාත්‍යන්තරවාදයත් ජාතිකවාදයත් ඇත්තේ එකම රේඛාවක ද? පරාසයක ද?  අර මැදි පිළිවෙත අනුව ජාත්‍යන්තරවාදයත් ජාතිකවාදයත් එකතු කර අච්චාරුවක් හදමු ද?

සීමාන්තික ජාතිකවාදයක කිසිම දෙයක් වෙනත් සංස්කෘතියකින් අවශෝෂණය නො කරන්නේ ද? එය සීමාන්තික ද නැද්ද යන්න කෙසේ වෙතත් ජාතිකවාදීන් එසේ අවශෝෂණය නොකළ යුතු ය එහෙමත් නැත්නම් මේ තිබෙන සමාජයේ ජීවත් නොවිය යුතු ය කියා සිතන පිරිසක් ඉන්නවා. ඔවුන් තමයි ජාතිකවාදීන් බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යා යුතු ය කියා හිතන්නේ. බරකරත්තය සිංහලයන්ගේ නිර්මාණයක් කියා මේ පඬියන් හිතනවා දැයි දන්නේ නැහැ. මෝටර් රථවලින් ගමන් කිරීම හා බරකරත්තයෙන් ගමන් කිරීම අතර වෙනස කුමක් ද? පරිසර සංරක්‍ෂණය සම්බන්ධයෙන් නම් එහි අරුතක් තිබෙනවා. එහෙත් පඬියන් ඒ බවක් කියන්නේ නැහැ.

ජාතිකවාදීන් මේ සමාජයේ ජීවත් නොවිය යුතුය, ඔවුන් හෝ ඔවුන්ගේ දරුවන් හෝ මෙරට පාසල්වලට නොගිය යුතු ය, ඔවුන් හෝ ඔවුන්ගේ දරුවන් හෝ පශ්චාත් උපාධි සඳහා පිටරට නොගිය යුතු ය, අප බටහිර කිසිම දැනුමක් ලබා නොගත යුතු ය ආදී වශයෙන් කියන පඬියන් පිරිසක් මේ රටේ ඉන්නවා. ජාතිකවාදීන්ට එවැනි කොන්දේසි පණවන ඔවුන්ට නම් සීමාන්තික ජාතිකවාදීන් කියන්න පුළුවන්.

නලින් ද සිල්වා

2 Responses to “සීමාන්තික ජාතිකවාදය”

  1. NeelaMahaYoda Says:

    ඔවුන් හෝ ඔවුන්ගේ දරුවන් හෝ පශ්චාත් උපාධි සඳහා පිටරට නොගිය යුතු ය, අප බටහිර කිසිම දැනුමක් ලබා නොගත යුතු ය ආදී වශයෙන් කියන පඬියන් පිරිසක් මේ රටේ ඉන්නවා. ජාතිකවාදීන්ට එවැනි කොන්දේසි පණවන ඔවුන්ට නම් සීමාන්තික ජාතිකවාදීන් කියන්න පුළුවන්.

    එහෙමනන් හොරෙන් හොරෙන් බටහිර ප්‍රතිකාර තමාට ලබමින් බටහිර විද්‍යව පල් බොරුවක් යයි ලෝකයාට ප්‍රකාශකරමින් සෝතාපත්ති මාර්ගයටවත් නොපැමින මමය මාගේය යනුවෙන් ඇති සක්ඛාය දිට්ඨිය දුරුකලැයිකියන ඔබ කුමන ජාතිකවාදියෙක්ද?

  2. Somapala Senerath Says:

    මොන වාදයක්වත් අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ ලාංකික ජනතාවට විශේෂයෙන්ම සිංහලයාට දෙමළ ත්‍රස්තයින්ටත් උන්ට උල්පන් දම් දෙන ඉන් දියානුවන්ටත් යටත් නොවී ජාතියක් හැටියට සියලුම නවීන සැපපහසුකම් සහිත දියුණුව කරා ගෙනියන සාධාරණ පරිසරයකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress