ඔටුන්න හිමි කුමාරවරු
Posted on April 5th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධනගේ එකම දරුවා වූ රවි ජයවර්ධන අභාවප්‍රාප්ත විය. වරක් එයාර් ලංකාහි ගුවන් නියමුවෙකු ලෙස සේවය කල ඔහු ඉතා දක්ෂ ඉලක්කයට වෙඩි තබන්නෙකු බව ප්‍රකටය. ඔහුට පුතුන් තිදෙනෙකු සිටිති. ඒ ප්‍රදීප්, රුක්ෂාන් සහ අම්රිත් ය. ඒ අතරින් රුක්ෂාන් ජයවර්ධන ප්‍රසිද්ධ වනුයේ අවංක හා විශිෂ්ඨ පරිසරවේදියෙකු ලෙසය. ප්‍රදීප්ගේ නම මෑතකදී කියැවුනේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් පත්වීම් ලබාගත් නිසාය. අම්රිත් ගැන නම් ඔහුගේ නම පමනක් මිස වෙන තොරතුරක් අවංකවම වැඩි දෙනෙක් නොදනිති. කෙසේ වුවද රවි ජයවර්ධන නාමය සමග මතකයට ඇදී එන බොහෝ දේ තුල ඔහු කියන  තරම් නිහඬ මිනිසෙක් නොවන බව පැහැදිලිය. ඒ ඔහුත් තම පියාත් අතර තිබූ බැඳුනු නොබැඳුනු සබඳතාවය නිසාය.

රවි පිලිබඳව සමාජ වෙබ් අඩවි තුල පලවී ඇති අදහස්ද, ඒ සම්බන්ධව විවිධ පුද්ගලයින්ගේ ප්‍රතිචාරද බොහොමයක් වෙයි. ඔහු 1983 දී පොලිස් විශේෂ කාර්ය බලකාය පිහිටුවීම සඳහා මූලිකත්වය දැරූවන්ගෙන් ප්‍රධානතමයෙකි. තමන්ට ඔටුණු පලඳවන්නට කුමර කුමරියන් නැතැයි වරක් ජේ. අාර්. ජයවර්ධන ජනාධිපතිවරයා කීවේය. ඔහුට සිටි එකම පුත් කුමරාට ඔටුණ්න හිමි කරගැනීම පිලිබඳව ව්‍යාධියක් නොතිබිනි. ඔහුගේ මුනුපුරන්ගෙන් එක් අයෙකු නම් වැඩි සද්ද බද්දයක් නැතිවාට මේ වන විට දේශපාලනයට පිවිස සිටී. ඔහුගේ දක්ෂතාවය උරගා බලන්නට නම් මැතිවරණයක් එලැඹිය යුතුය. නමුත් මේ වන විටත් වත්මන් රජය යටතේ මැතිවරණ කල් දැමීම නම් ක්‍රියාත්මක වනුයේ පැරණි යුගයේ අදර්ශ අනුව යමිනි. 1970 දී බලයට පත් සමගි පෙරමුණු රජය මැතිවරණය වසර 2 කින් කල් දැමීය. එය හේතුවක් කරගත් 1977 බලයට පත් එජාප රජය වැඩට බැස්සේ ශ්‍රීලනිප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කරමිනි. නමුත් ඒ ආදර්ශය අනුවම යමින් ඊට වඩා මඳක් වෙනස් ආකාරයකින් කටයුතු කල එජාප රජය 1982 දෙසැම්බරයේ පැවැත්වූ කළගෙඩි ලාම්පු ක්‍රීඩාව මගින් මැතිවරණය තවත් වසර 6 ක් ම කල් දමාගැනීමට සමත් විය. එයත්, 1978 සිට 1989 දක්වා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිව සිටි ජේ අාර් ගේ පාලන සමයේ සිදුවූ වෙනත් බොහෝ සිදුවීමුත් පැහැදිලිව මතකයේ ඇති ජනතාවක් තවම රටේ සිටිති. එබැවින් ප්‍රදීප් ජයවර්ධනගේ හපන්කම් බැලීම කල් යන්නේ තම සීයාගේ සූක්ෂම මොළය යොදාගෙන තම පාක්ෂිකයන්ට ලබා දුන් ආදර්ශය නිසාම බව කිව යුතුය. නමුත් බොහෝ විට මේ සමාජ වෙබ් අඩවි හරහා ගැටෙන පිරිස් භාවිතා කරන අදහස් හා භාෂාව හරහා පෙනී යන්නේ මෙවන් දේශපාලන පෙරලි ගැන ඔවුන් තුල ප්‍රායෝගික අත්දැකීම් වල අඩු බවය.

රවි ජයවර්ධන තම පියාගේ රජයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය කලේය. ඔහු පොලිස් විශේෂ කාර්ය බලකාය පිහිටුවීමට මුල් වූයේ මේ කාලයේදීය. එතුලින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල දරුණු ලෙස හිස ඔසවාගෙන ආ වර්ගවාදී ත්‍රස්තවාදය සැලකිය යුතු පමනකින් පාලනය කර ගැන්මට පිටිවහලක් වූ නමුත්, ඉන්දියාවේද, වෙනත් බටහිර රටවලද තම පදනම ගොඩ නගා ගනිමින් සිටි එල්ටීටීඊ ය දිනෙන් දින බලවත් වීම වැලකිය නොහැකි විය. කෙසේ වුවද එක කාල සීමාවක එල්ටීටීඊ ය විසින් හමුදා කඳවුරු පිටින් අත් කරගත්තද පොලිස් වි.කා. බලකායට එවන් හානියක් කිරීමට ඔවුහු අපොහොසත් වූහ. මෙය හමුදාව අවතක්සේරු කිරීමක් නොවේ. මීට හේතු පාදක වූයේ ඉහල ස්තරයේ පරිපාලන ක්‍රියාවලියේ වූ වැරදි ප්‍රතිපත්තිමය කරුණුය.එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රශ්න කල හැකි එක කරුණක් නම් නවක හමුදා සෙබලුන්ට ලබා දුන් පුහුණුවේ ප්‍රමිතියයි. එකල හමුදාවට බැඳෙන්නට බොහෝ අය අදිමදි කලා පමනක් නොව එසේ බැඳෙන තරුණ පිරිස්වලට නම් පටබැඳ තිබුනේ ‘බිලී බෝයිස්’ කියායි. එ් යුගයේ පාලන තන්ත්‍රය විසින් ඇතිකල ආර්ථික සංස්කෘතිය තුල දිළිඳුබව හා විරැකියාව ගැන කීමේදී ‘කෙල්ලෙක් නම් ගාමන්ට් එකට, කොල්ලෙක් නම් හමුදාවට’ යන්න ප්‍රකට ආකල්පයක් විය. නමුත් පොලිස් විශේෂ කාර්ය බලකාය සම්බන්ධව මේ ආකල්පය නොවිනි.

ලලිත් ඇතුලත්මුදලි ආරක්ෂක ඇමතිව සිටි යුගයේ උතුරු නැගෙනහිරට අනුයුක්ත කරන හමුදා භටයිනට හමුදා පුහුණුවට අමතරව කඩිනම් ද්‍රවිඪ භාෂා පුහුණුවක් පවා ලබා දෙනු ලැබිනි. එවන් විධිමත් පුහුණුවක ප්‍රතිඵලයකි වඩමාරච්චි මෙහෙයුම. මෙහිදී යාපන අර්ධද්වීපයේ එක කොනකට කොටු වූ එල්ටීටීඊ ය සම්පූර්ණයෙන් පරාජය කිරීමට අවශ්‍යව තිබුනේ තව සති 1 1/2 ක් පමනය. තමන්ට තව දින 10 ක ට වඩා අල්ලාගෙන සිටිය නොහැකි බව ප්‍රභාකරන්ම පිලිගෙන ඒ බව දන්වා ඉන්දීය රජයෙන් ආධාර පැතූ බව ප්‍රභාකරන්ගේ ජීවිත කතාව ගැන කියැවෙන ‘දුරාවබෝධ මනසක ඇතුලාන්තය’ නම් කෘතියේ සඳහන් වෙයි. කලාපීය බලවතා බවට පත්වීමට  තම මව දුටු සිහිනය සැබැ කරන්නට ඕනෑවටත් වඩා කැපවූ පුතෙකු වූ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි අවස්ථාව මනාව සියතට ගත්තේය. ඉන්දිරා ගාන්ධි යුගයේ එල්ටීටීඊ සංවිධානය පුහුණු කිරීමට තම භූමිය හා උපදේශක සම්පත් සැපයුවද, ඉන්දියාවේ අරමුණ වූයේ එල්ටීටීඊ ය සවිමත් කර ඔවුන් බලාපොරොත්තු වූ වෙනම රාජ්‍ය ලබාදීම නොව, ශ්‍රී ලාංකික ජනතාව භේද බින්න කර අප මාතෘ භූමිය තුල තම ආධිපත්‍යය පැතිරවීමය. 1983 ජුලි මාසයේදී එවක රජය අනුගමනය කල අදූරදර්ශී ක්‍රියා පිලිවෙත ඔස්සේ ඒ වන විටත් ඊට පදනම වැටී තිබිනි.

 තමා බලා සිටි අවස්ථාව උදාවූ බව දත් රජීව් ගාන්ධි ව්‍යාජ සානුකම්පිත බවේ හස්තය දිගු කරගෙන 1987 ජුලි මස 24 වන දින නැව් ගතකල ආහාර පාන යාපනයේ ජනාතාවට බෙදා දීමේ මුවාවෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කරන්නට යෙදුනි. ශ්‍රී ලාංකික නාවික හමුදාව මෙය වැලැක්වූ කල්හි ඔහු ගුවන් කලාපය ආක්‍රමණය කරමින් එම ආහාර ද්‍රව්‍ය යාපනය භූමියට හෙලීය. මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව මැදිහත් වුවහොත්, ප්‍රතිඵල භයානක විය හැකි බවට ඉන්දීය රජය තර්ජනය කල අතර ජයවර්ධන රජයට අකමැත්තෙන් හා කෝපයෙන් වුවද මේ තත්වය ඉවසා සිටින්නට සිදුවිය. ඒ සමගම එල්ටීටීඊ බලය දුර්වලව ගිය බව දත් ඔහු ප්‍රභාකරන්වද බලපෑමෙන් එකඟ කරගෙන 1987 ජුලි මස 29 වන දින ඊනියා ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කරමින් උතුරු නැගෙනහිර ඉන්දීය හමුදා සේනාංකයන් ස්ථාපිත කරනු ලැබිනි. දකුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් තරුණ නැගිටීම ඇරඹෙන්නේත් එය මර්ධනය සඳහා පෙලඹුන රජයේ ක්‍රියාමාර්ගයන් අතරට එස්ටීඑෆ් හෙවත් පොලිස් විශේෂ කාර්ය බලකායේ දායකත්වය ලැබෙන්නේත් මේ අනුවය. අද සමහරු සමාජ වෙබ් අඩවි හරහා රවි ජයවර්ධන වග උත්තරකරුවකු කර ඇත්තේ එබැවිනි. එමෙන්ම තවත් එක  වැදගත් සාධකයක් සඳහන් කල යුතුව ඇත. ඒ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බිහිවීම කෙරෙහි එජාප රජය පැත්තෙන් දැරිය යුතු වගකීමයි.

සමගි පෙරමුණු රජය සමයේ රුසියාව, ඉන්දියාව ප්‍රමුඛ වාමාංශික රටවල් සමග පැවැත්වූ මිත්‍ර සම්බන්ධතා වෙනුවට ජයවර්ධන රජය තම මිතුරුකම් ගොඩ නගා ගත්තේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සමගය. ඉන්දියාව තම විරසකය එලිපිටම මෙසේ දක්වා සිටියේ එවක එජාප රජය අනුගමනය කල ආර්ථික ප්‍රතිපත්තීන් ඔස්සේ තමන් ඇස ගසාගෙන සිටින ත්‍රිකුණාමලය වරාය වැනි සම්පත් ඇමරිකාව විසින් කඩාගනු ඇතැයි සිතා විය යුතුය.

සාම ගිවිසුමත් සමගම දිවයිනේ දකුණු දිගින් ඇරඹී පැතිර ගිය අරගලය හේතුවෙන් සමාජය තුල පැතිර ගිය අපරාධ රැල්ල, එකල සරසවි සිසුන්ව සිටි අප හටද ඉමහත්ව බලපෑවේය. එකල අපේ ජීවිතද බේරුනේ ප්‍රාතිහාර්යයකින් මෙනි. මෙම මනුෂ්‍ය ඝාතන, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නම් වූ ජවිපෙ හි සන්නද්ධ අංශය මෙන්ම කහ බලල්ලු, කලු බලල්ලු, කලු කොටි, ප්‍රා ආදී  නම් වලින් හැඳින්වුන සන්නද්ධ කණ්ඩායම් අතින් සිදුවිය. මේ කණ්ඩායම්වල සාමාජිකයන්ගේ සාක්ෂරතාවේ තරම පවා පැහැදිලිව පෙනුනේ ඔවුන් බිත්තිවල අඟුරු කැටවලින් ලියා තිබූ දේ අනුවයි. වරක් මාතර, වල්පොල හන්දියේ තිබූ පරන ගොඩනැගිල්ලක බිත්තියේ ‘බ්ලැක් කැට්ස්’ යන වචනය ලියා තිබුනේ ‘බක් කැටි’ (සිංහල අකුරින්) යනුවෙනි. ඒ එක උදාහරණයක් පමනි. මෙසේ ඒ වධකයන්ගේ සාක්ෂරතාව ගැන සිතන විට නම් යම් අධ්‍යාපන සුදුසුකමක් සහිතව රජයේ හමුදාවලට බැඳෙන අය මේ අතර සිටීවිය කියා සිතිය නොහැක. නමුත් වරක් මා පෙර ලියූ ලිපියක, රත්නපුර බඹරගල නම් ගමක ගැමියෙකු විසින් ඒ ගමේ තරුණ පිරිසක් හමුදාවට බඳවා ගත් අයුරු විස්තර කල හැටි ලියා ඇත්තෙමි. එහිදී නම් මෙවන් කාරණා ගැන සැක පහල වීම සාමාන්‍ය දෙයකි. කෙසේ වුවද රජයේ හමුදාව ද්‍රවිඪ ජනතාවට සැලකූ අන්දම ගැන නෝක්කාඩු කියන අයට, 80 දශකයේ අග නැගී ආ තරුණ නැගිටීම වලක්වා ලූ ආකාරයේදී, ඒ කැරළිකරුවන් සිංහලය කියා සමාවක් නොලැබුන බවද පැහැදිලිව පෙනිය යුතුය. එකල ගෝනි බිල්ලාගේ හිස වැනීමෙන් හෝ හමුදාවට, පොලිසියට යොමුවන නම් ගම් නැති තුණ්ඩු කැබැල්ලකින් ලියැවුන මරණ වරෙන්තුව කැරළි කරුවාට මෙන්ම අහිංසක තරුණ තරුණියන්ටද එකසේ පොදු විය. එනයින් බලන කල රජයේ හමුදාවන් සිටින්නේ රාජ්‍ය බලය ආරක්ෂා කිරීමට විනා ජනතාව බලා කියා ගන්නට නොවේ. මේ අනුව සිතුවහොත් රවිගේ එස්ටීඑෆ් නිර්මානයත් ඒ ගණයටම වැටෙන්නටත් ඉඩ ඇත.

එදා අත්සන්කල ඉන්දු ලංකා සාම ගිවිසුම සම්බන්ධ අනිත් වැදගත්ම සිද්ධිය නම් 1987 අගෝස්තු මස 18 වන දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරයයි. මෙහිදී බෝම්බ දෙකක් මුල් අසුන් වෙතට එල්ල වූ අතර එකක් එවක මාතර දිසා ඇමති වූ කීර්ති අබේවික්‍රමට වැදී ඔහු මරුමුවට පත්වූ අතර අනෙක නිසා ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි බරපතල ලෙස තුවාල ලැබීය. ඒ හැර තවත් 16 දනෙකුට තුවාල සිදුවනි. ඒ සමගම වාගේ වෙඩි පහරක්ද සභාවට එල්ල වූයේ අගමැති ආර්. ප්‍රේමදාසගේ හිස ඉලක්ක කරගෙනය. නමුත් ඒ මොහොතේම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විධායකයෙකු වූ නෝබට් සේනාධීර, අගමැතිට තමන් භාරදුන් ලියැවිල්ලක් පිලිබඳව යමක් කීමට අගමැතිවරයා වෙතට නැඔුරු වූයෙන්, ඒ වෙඩි උණ්ඩය ඇතුලු වූයේ ඔහුගේ හිසටය. මේ සිද්ධීන් පිලිබඳ චෝදනාව පැටවුනේ එවකට පාර්ලිමේන්තු ආපාන ශාලාවේ සේවකයෙකු වූ අජිත් කුමාර නම් ජවිපෙ සාමාජිකයෙකු වෙතටය. මේ සිද්ධියත් සමගම අතුරුදහන් වූ ඔහු 1988 දී දඹුල්ල ප්‍රදේශයේ සිදුකල නීති විරෝධී මත්පැන් වැටලීමකදී පොලිස් අත් අඩංගුවට පත්විය. ඔහු අත් අඩංගුවට පත්වන විට මේ අජිත් කුමාර බව පොලිසිය දැන සිටියේ නැත. පසුව පාර්ලිමේන්තු ප්‍රහාරය පිලිබඳව සැකපිට තවත් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් නමුත් ප්‍රමානවත් සාක්ෂි නොමැතිකම නිසා අජිත් කුමාර ඇතුලු සියල්ලෝ නිදහස් කරන ලදහ. 

මේ ප්‍රහාරයේ පරීක්ෂණ ගැනද එකල සමාජයේ කතා වූ සැකමුසු තැන් තිබිනි. සභාවට බෝම්බ ප්‍රහාරය එල්ල වූ දිශාව අනුව වැදගත් ආණ්ඩු පක්ෂ රැස්වීමක් ඇති ශාලාවක ඊට ඈඳුනු අල්ලපු කාමරයට කැන්ටින් සේවකයා ඇතුලු වූයේ කෙසේද? ප්‍රහාරය එල්ල වූ වහාම, අනිවාර්යයෙන්ම සියලු ආරක්ෂක විධි විධාන තර කල මොහොතක පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සහ මාර්ගය අතර දුර ගැන සලකා බලන කල්හි මේ සේවකයා එතැනින් පැන ගත්තේ කෙසේද? ඔහුට සැඟව සිටින්නට අවශ්‍ය වුනා නම් ඔහු පොලිසියෙන් එල්ල වන අවදානම දැන දැන නීති විරෝධී මත් පැන් පෙරුවේ ඇයි? අනික ඔහු ජවිපෙ සාමාජිකයෙකු නම්! එකල අප නෙතට බහුලව ලක්වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ එක් අනතුරු ඇඟවීමේ පාඨයක් වූයේ ‘කසිප්පු පෙරන්නන්ට දඬුවම මරණයයි’ යන්නය!

තිස් වසරකට එපිට ඒ කාලයේ අද මෙන් තාක්ෂණය දියුණු නැති නමුදු කටකතා වලින් එකලද හිඟපාඩුවක් නොවීය. එසේ පැතිරුන එක කටකතාවක් වූයේ ප්‍රහාරය එල්ල වූ අගෝස්තු 18 දින ඒ කාල සීමාවේ රවි ජයවර්ධන හා ප්‍රදීප් ජයවර්ධන පාර්ලිමේන්තුවට පැමින සිටි බවයි. ඒ අර්බුදකාරී කාලයේ පාර්ලිමේන්තුවට පැමිනෙන සියලුම දෙනා දැඩි පරීක්ෂාවකට ලක් කෙරුනි. එදින මැති ඇමතිවරුන් හැරුන විට පරීක්ෂාවට ලක්ව නොතිබුනේ රජයේ ආරක්ෂක උපදේශක රවි ජයවර්ධන සහ ඔහුගේ පුතාය. ඔවුන් දෙදෙනම අති දක්ෂ වෙඩික්කරුවෝය. නෝබට් සේනාධීර මහතා මරුමුවට පත්කල වෙඩි පහර එල්ල වූයේ අගමැති ආර්. ප්‍රේමදාසගේ හිසටය. ඉලක්කය වැරදී ගියේ ඒ ක්ෂණයේ අගමැති වෙතට නැඹුරු වූ සේනාධීරගේ හිස, අගමැතිවරයාගේ හිස සමග සමපාත වූ නිසාය. මේවායේ ඇත්ත නැත්ත කවුරුන් දනිත්ද?

ඊට දින කිහිපයකට පෙර අත්සන් කල ඉන්දු ලංකා සාම ගිවිසුම සම්බන්ධව බලවත් ඉන්දියානු විරෝධී අයෙකු වූ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර පැන නැගී තිබූ මත භේද ජනතාවට රහසක් නොවීය. ඉතා සාර්ථක වෙමින් තිබුනු වඩමරච්චි යුද මෙහෙයුම මේ ගිවිසුම මත නතරවීම නිසා ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි සිටියේද සිත නොහොඳිනි. මුලින් වෙඩි පහරක් බව කියැවුන නෝබට් සේනාධීර මරණයට පත්කල නිමිත්ත පරීක්ෂණ කෙරීගෙන යත්දී බෝම්බ කැබැල්ලක් බවට පත්ව තිබුනේය. මෙවන් පශ්චාත් අර්ථ දැක්වීම්ද, එකල සිදුවූ දේශපාලන ප්‍රබලයින් ගේ ඝාතන ජවිපෙ හෝඑල්ටීඊ ගිණුමට බැරවූ හැටිද සමාජයට අසන්නට අමුතු කතා නොවීය. කෙසේ වුද මේ මිනීමරුම් සංස්කෘතිය තුල අසරණ වූයේ සියලු ජන වර්ගයන්ට අයත් නිරායුධ සිවිල් වැසියන්ය.

මුහුණු පොතට අදහසක් පලකල අයෙකු පවසා තිබුනේ රවි ජයවර්ධන, කීනි මීනි සහ මොසාඩ් ආයතනවල පුහුණුව ගැන දැන සිටි නිසා එම ආයතනයන්හි සංග්‍රාමික මූලධර්මයක් වූ සතුරාට තමන් හඳුනා ගැන්මට ඉවහල් වන ආකාරයට තම ඡායාරූප ප්‍රසිද්ධ මාධ්‍යවල පල කිරීමට ඉඩ නොතැබීමේ රීතිය අනුගමනය කලා විය හැකි බවය. බුද්ධිමත් අයෙකුට මෙවන් අදහසක් ගැනීමට කීනි මීනියක් වුවමනා නැත. ප්‍රභාකරන් නවක කැරලිකුවෙකු ලෙස වයස 18 දී තම නිවසින් පලායාමට ප්‍රථම පවුලේ ඡායාරූප ඇල්බමයේ වූ තමා සිටින සියලුම ඡායාරූප විනාශකල බව සඳහන් වෙයි. පසුව පොලිසියට ඔහුව අවශ්‍ය වනවිට ඔවුන් සතුව තිබී ඇත්තේ ප්‍රභාකරන් ගිය පාසලෙන් ලබාගත් අපොස සාමාන්‍ය පෙල හැඳිනුම්පතට භාවිතා කල ඡායාරූපය පමනි. පහලොස් වැනි වියේ පසුවූ ඒ හීන්දෑරි කොලුවාගේ ඡායාරූපය කිසි සේත් ඔහුගේ පරිණත තරුණ වියේ පෙනුම හා නොසැසඳුනෙන් ඔහුව අල්ලා ගැනීම නිශ්ඵල උත්සාහයක් විය. 1972 දී යාපනයෙන් ඔබ්බට නොගිය කොලු ගැටයකු වූ ඔහු කීනි මීනි වැනි ආයතන ගැන දැන සිටියා යැයි සිතන්නට බැරිය. එය හුදෙක් දුර දක්නා නුවණ සහ අධිෂ්ඨානය හා මිශ්‍රව ආ පෙලඹවීමක් විය යුතුය. 

රවි ජයවර්ධන සම්බන්ධව සිතීමේදී ඔහු අනුගමනය කල මෙවන් ක්‍රියාමාර්ග තුල ඔහු කුමන අන්දමේ පුද්ගලයෙකුද යන්න සිතීම ඔබට භාර කරමි. ඔහු තම පියාගේ රජයේ ආරක්ෂක උපදේශක ලෙස ඉටුකල භූමිකාව තුල පියාට එරෙහිව යාමක්ද දක්නට නොවීය. ඔහුට බලය අත්කර ගැනීමේ කෑදර කමක් නම් නොතිබුන බව පැහැදිලිය. වරක් ‘රැජිණ ‘ පුවත්පතේ කෙටියෙන් පලවූ රවිගේ ජීවිත කතාවේදී ඔහු මොරටුව ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන, මරණයට කැපවූ ගවයන් නිදහස් කර රඳවා තැබූ බවත්, දිනකට දෙවතාවක් තම ජීප් රථයේ තණකොල පටවාගෙන තම බිරිඳ ජෙනී ද සමග නිති පතා එහි ගිය බවත් සඳහන්ව තිබිනි.

ඔටුණ්න භාර නොගැනීම ඔහුගේම ස්වාධීන තීරණයක් විනා ඊට පියාගේ මැදිහත් වීමක් නොවූ බව පැහැදිලිය.

තවත් පිරිසක් රවි හා සසඳමින් සමාජ වෙබ් අඩවි තුල නාමල් රාජපක්ෂ පතුරු ගසති. ඒ නාමල් දේශපාලනයට පිවිසුන නිසාය. රාජපක්ෂගේ තවත් පුතුන් දෙදෙනෙක් දේශපාලනය නොකරන බව මෙන්ම චතුර සේනාරත්න පුතා, දහම් සහ චතුරිකා දුව, දුමින්ද දිසානායක පුතා ඇතුලු තව බොහෝ දූ පුතුන් ඔවුන්ට අමතකය. ඒ අතරම සජිත් ප්‍රේමදාස පියාගේ අඩිපාරේ යමින් කිසිදු වංචා දූෂණයකට නොගෑවී සිටින බවද එක තැනක සඳහන් විය. එකල ඒ තාත්තා කල හරියද අපට මතකය. 90 දශකයේ රැකියාවේ අවශ්‍යතාවනට නිතර හම්බන්තොට යන එනවිට ප්‍රදේශවාසීන් පැවසූ නිදන් හෑරීම සහ සජිත් සම්බන්ධ කතාද ඒ මතකය තුල වේ. පසුගිය වසරේ මැයි මාසයේදී සේවයෙන් ඉල්ලා අස්වූ විශිෂ්ඨ රාජ්‍ය නිළධාරියෙකු වූ වනජීවී අධ්‍යක්ෂ ජෙනරල් ආචාර්ය සුමිත් පිලපිටිය පිලිබඳ සිද්ධියේදී ඊට සජිත් ප්‍රේමදාස සම්බන්ධය ගැන මොවුන් පවසන්නේ කුමක්ද?

අද සමාජයට සිදුව ඇත්තේ අතීතය ඉතා කෙටි කලකින් අමතක කිරීමය. හොඳ නරක පිලිබඳ කිරා මැන බැලීමේදී මිනිසුන් අතින් බොහෝ වැදගත් දේ ගිලිහී යයි. ඔවුන් දකින හොඳ නරක සියල්ල හුදෙක් පුද්ගලයා මත පදනම් වනවා විනා, එම පුද්ගලයාගේ ක්‍රියා කලාපයේ දීර්ඝ කාලීන ප්‍රතිඵල දෙස බැලීමක් සිදු නොවේ. එසේ බලනවා නම් හුදෙක් මුදල් මත පදනම් වන දෙයක් පමනි. 

පියාගෙන්, මවගෙන් පසු දරුවන් දේශපාලනයට පිවිසීම දකුණු ආසියාතික දේශපාලනයට කිසිසේත්ම අමුත්තක් නොවේ. යහපත් දේශපාලන සංස්කෘතියක් තිබේ නම් ඉන් රටට වැඩක් වනු ඇත. වැදගත් දෙය නම් තම පියා හෝ මව කල දේශපාලනය ගැන මෙන්ම තමා කරන්නට යන දේද, ඒ සඳහා තමා තුල ඇති ශක්‍යතාවයද ගැන දරුවන් තුල නිවැරදි අවබෝධයක් තිබීමය. එසේ නැතිව පාර්ලිමේන්තු ආසනය තම පරවේනි බූදලයක් ලෙස සිතාගෙන සිටියි නම් ඉන් තමාට හෝ රටට වන වැඩක් නොමැත. ඊට උදාහරණ වත්මන් දේශපාලන ලෝකය තුල හිඟයක් නොවේ.

ඒ අවබෝධය රවි තුල පමනක් නොව ඔහුගේ පුතුන් තුලද තිබිනි. විශේෂයෙන් ඔහුගේ මද්දුම පුතු රුක්ෂාන් පරිසරවේදියෙකු ලෙස රටට කරන සේවය, මා කලින් සඳහන් කලාක් මෙන් මුදල් වලින් හොඳ නරක මනින ලෝකය තුල වැඩි දෙනෙකුගේ මිණුම් දඬුවෙන් ගිලිහී යන්නකි. පරිසරය යනු මිහි තලයේ අනාගතයයි. ඒ අනාගතය රකින්නට කැපවූ තැනැත්තා ඔටුණු පලඳින්නට නියම සුදුස්සෙකි. 

කෙසේ වුවද තම සීයා බිහිකල දේශපාලන සංස්කෘතිය ඔස්සේ බිහිවූ මේ මුදල් මත ගොඩනැගුනු, ඒ නිසාම කුණු වී ගිය සමාජය ගොඩ ගන්නට සේනාව රැස් කිරීමට නම් වෙනමම සටනක් දෙන්නට ඔහුට සිදුවනු ඇත. එබැවින් මේ සියල්ල තුල රවි ජයවර්ධය යනු නිහඬ මිනිසෙක් නොවන බව කිව හැක.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress