රනිල් – ෆොන්සේකා මර්දනයේ ප්‍රථම බිල්ල
Posted on April 27th, 2017

නලින් ද සිල්වා

 සරත් ෆොන්සේකාට දීමට යන තනතුර ගැන නිශ්චිත තීරණයක් නැති බව පේනවා. ඒත් ආණ්ඩුව දරුණු මර්දනයකට සූදානම් වන බව පැහැදිලියි. සරත් ෆොන්සේකා ඇමතිවරයකු ලෙස සිටිය දී තවත් ඇමති ධුරයක් ඔහූට පැවරීමට යනවා ද? ඒ ඇමති ධුරය උද්ඝෝෂණ මැඩලීමේ ඇමති ධුරය ද? ඒ යටතට ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ කොටස් ගෙනෙනවා ද? නැත්නම් සරත් ෆොන්සේකා දැනට දරණ ඇමති ධුරයෙන් ඉවත් වී උද්ඝෝෂණ මැඩලීමේ ඇමති ලෙස පත් කෙරෙනවා ද? එසේත් නැත්නම් ඇමති ධුරයක් නැතිව ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ඉහළ ම අණ දෙන නිලධාරියා ලෙස පත් කෙරෙනවා ද? ඒසේත් නැත්නම් හමුදාවේ හා පොලීසියේ කොටසක් සරත් ෆොන්සේකාගේ අණට යටත් කරනවා ද?

කලකට පෙර ත්‍රිවිධ හමුදාවලට අණ දිය හැකි ඒකකයක් තිබුණා. එහි අණ දෙන නිලධාරියකු සිටියා. මේ පිහිටුවන්න යන්නේ පොලීසිය ද ඇතුළත් එවැනි නිළයක් ද? කුමන දෙයක් කළත් සරත් ෆොන්සේකාට සමස්ත හමුදාවලට හා පොලීසියට හෝ ඉන් කොටසට හෝ සෘජුව අණ දිය හැකි වන පරිදි තනතුරක් ඇති කිරීමට යන බව පැහැදිලියි. මේ තනතුර අමාත්‍ය මණ්ඩලය තුළ ම හෝ ඉන් පිටත හෝ  ඇති කිරීම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට නම් එකඟ වන්නේ නැහැ. රනිල්ට අවශ්‍ය වන්නේ ෆොන්සේකා අමාත්‍ය මණ්ඩලයේ ම තබාගනිමින් බලතල පැවරීමක් වෙන්න පුළුවන්.

උද්ඝෝෂණ යනු ජනතාවගේ අයිතියක් ක්‍රියාත්මක වීමක්. වෘත්තීය සමිතියකට හෝ යම් සංවිධානයකට හෝ පුද්ගලයන්ට හෝ තමන් අනුමත නොකරන ක්‍රියා මාර්ගයකට එරෙහි ව උද්ඝෝෂණය කරන්න පුළුවන්. එයට අකුල් හෙළීම  බටහිර රටවල ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි.  උද්ඝෝෂණ විවිධ ස්වරුපයන් ගන් පුළුවන්. ඒත් හැම උද්ඝෝෂණයක් පිටුපස ම යම් දේශපාලනයක් ක්‍රියාත්මක වෙනවා. ඒ ඊ ගුණසිංහගේ කාලයේ සිට ම මෙරට වෘත්තීය සමිති ක්‍රියා කරන්නේ දේශපාලන වුවමනා ඇතිව. සමහර විට දේශපාලන පක්‍ෂයක් නැතිව වුවත් වෘත්තීය සමිතිවලට දේශපාලන අරමුණක් තිබෙනවා.

බොහෝ වෘත්තීන්වල වෘත්තීය සමිති රාශියක් තිබෙනවා. ඒ සමිති දේශපාලන පක්‍ෂ විසින් පිහිටුවන ලද ඒවා. එකල සමසමාජ පක්‍ෂයත් කොමියුනිස්ට් පක්‍ෂයත් වෘත්තීය සමිති අටවා ගෙන ක්‍රියාත්මක වුණා. අපට අන් සෑම කරුණක දී මෙන් ම මෙහිදීත් වෘත්තීය ක්‍රියා හා දේශපාලනය වෙන් කර ගැනීමට බැහැ. බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රධාන කරුණක් වන්නේ වෙන් කිරීම. ඒ අතර කොටස්වලට කැඩීම ද සිදුවෙනවා. ඊනියා විශ්ලේෂණයේ දී සිදු වන්නේ එයයි. නිවුටන් මෙය ඉතා මැනවින් කළා. නිවුටෝනීය සුසමාදර්ශයෙහි (පැරඩයිම්) පදනමෙහි එය තිබෙනවා.

 අපට වෙන් කිරීම බැහැ. අප අතර ඇති වහරකින් මෙය හොඳ හැටි පැහැදිලි වෙනවා. අප අනාගන්නවා. මොන තරම් බටහිර විද්‍යාව ඉගෙන ගත්තත් අපට එහි නිර්මාණ කරන්න බැහැ. මෙරට බටහිර විද්‍යාඥයන් බිහි නොවීමටත් ප්‍රධාන හේතුවක් වන්නේ මේ අනාගැනීම. මෙරට විද්‍යාඥයන් කියන අය බටහිර රටවලට ගියත් එහි මොන තරම් පහසුකම් ලැබුණත් අඩුම තරමෙන් ලන්ඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකයකු වන්න බැහැ. මා ඒ අධිසාමාජිකත්වය ඉහළින් සලකනවා නො වෙයි. මෙරට ඊනියා විද්‍යාඥයන්ගේ මිනුම් දණ්ඩක් බවට එය පත් වී තිබෙනවා.

 අපට ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ක්‍රියාත්මක වන්න බැහැ. අප වෘත්තීය ක්‍රියා හා දේශපාලන ක්‍රියා අනාගන්නවා. මෙරට වෘත්තීය සමිතිවලට ජනතාවට හිරිහැර නොවන ආකාරයකට කටයුතු කරන්න බැහැ. එය දොස්තරලාගේ සිට කොන්දොස්තරලා දක්වා විහි දී යනවා. බටහිර ක්‍රමයට උසස් අධ්‍යාපනයක් ලබා ගැනීම නිසා දොස්තරලා කොන්දොස්තරලාගෙන් වෙන් වන්නේ නැහැ. ඔවුන්ගේ මානසිකත්වවල වෙනසක් නැහැ. කොන්දොස්තරලා මෙන් ම දොස්තරලාත් අනාගන්නවා.

 මේ ආණ්ඩුව මෙන් ම විපක්‍ෂයත් දුර්වලයි. අද ඇත්තේ දුර්වලයන් අතර සටනක්. විපක්‍ෂයට දේශපාලන වශයෙන් ඉදිරි ක්‍රියා මාර්ගයක් නැහැ. එබැවින් ඇතැම් වෘත්තීය සමිති දේශපාලනය තම වෘත්තිය බවට පත් කරගෙන. ආණ්ඩුවට අද මේ වෘත්තීය සමිති මර්දනය කිරීම අවශ්‍යයයි. එක් පැත්තකින් වෘත්තීය සමිති මෙන් ම විපක්‍ෂයත් එයට වග කිව යුතුයි. එහෙත් ආණ්ඩුවත් අනාගන්නවා. අද ඒකාබද්ධ විපක්‍ෂයක් නැහැ. පොහොට්ටු පක්‍ෂය විපක්‍ෂයේ බලය අතට අරගෙන. ඒත් පොහොට්ටුව පිපෙන්නේත් නැහැ.

 ෆොන්සේකාට මර්දන බලතල දෙන්නේ රනිල්ගේ වුවමනාවට. එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ මෛත්‍රිපාල. මෛත්‍රිපාලට අද හැමෝම සතුටු කරන්න වෙලා. චන්ද්‍රිකා දුමින්ද දිසානායක මගින් ශ්‍රී ල නි පක්‍ෂය කියන එක හසුරවනවා.  ඊනියා ශ්‍රී ල නි ප සංවිධායකයන් වෙනස් කරනවා. ඒකාබද්ධ විපක්‍ෂයත් පොහොට්ටුවත් බලා ඉන්නවා. ෆොන්සේකාගේ පත් කිරීමත් බලා ඉන්නවා. බොරු මාධ්‍ය සංදර්ශන පවත්වනවා.

 රනිල් – ෆොන්සේකා මර්දනය 1987 -90 මර්දනයට වඩා කෘර වේවි. මේ ආණ්ඩුව බලයට පත් කිරීමට සම්මාදන් වූ ජ වි පෙරමුණත් එයට වග කිව යුතුයි. රතන හාමුදුරුවනුත් වග කිව යුතුයි. දැන් ෆොන්සේකාට මාධ්‍යයෙන් විරුද්ධ වීමෙන් වැඩක් නැහැ. ෆොන්සේකාගේ නව පත්වීමට විරුද්ධව ජෙනීවා යෑමට කිසිවකු යෝජනා කරාවි ද? අඩු තරමෙන් කාට හරි ජෙනීවා ගිහින් එන්න පුළුවන්.

ආණ්ඩුව ෆොන්සේකා අමාත්‍යවරයකු ලෙස තබා ගනිමින් ම ඔහුට බලතල දීමට උත්සාහ කරන බව පෙනෙනවා. මේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ බලතල කප්පාදු කිරීමක්. ආරක්‍ෂක ඇමති මෛත්‍රිපාලට ම සිද්ධ වෙනවා තම බලතල අඩු කර ගැනීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනා කිරීමට. ඔහුගේ සේනාධිනායක බලතලත් කප්පාදු වේවි. අද ශ්‍රී ල නි පක්‍ෂය කියන එක චන්ද්‍රිකා පාලනය කරනවා. ආණ්ඩුව රනිල් පාලනය කරනවා. මෛත්‍රිපාල කරන්නේ මොකක් ද? රනිල් -ෆොන්සේකා  මර්දනයට මුලින් ම හසුවන්නේ මෛත්‍රිපාල. ඔහු දැන්වත් රනිල් ඉවත් කිරීමට කටයුතු කරනවා ද? ඔහු සූදානම් වුවත් ඔහුට විපක්‍ෂයෙන් එයට සහායක් ලැබේවි ද?

නලින් ද සිල්වා

2017 අප්‍රේල් 27      

2 Responses to “රනිල් – ෆොන්සේකා මර්දනයේ ප්‍රථම බිල්ල”

  1. Hiranthe Says:

    This is the dawn of YamaPalanaya phase II,

    they set things in motion, now no one can stop… only public can stop by sending these cunning fools back to square 1.

  2. Ananda-USA Says:

    Gonseka’s elevation to the post of the ROTTWEILER guarddog of the Yamapalsnaya, is among the factors that led me to predict a violent move by the Yamapalanaya to suppress the democratic rights of Sri Lankan citizens in the near future.

    Let the Yamapalanaya beware:

    RIDE that Tiger today, be EATEN by that Tiger tomorrow!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress