නීරෝ – අසමසම සැඟවුණු වෙඩික්කරු
Posted on April 29th, 2017

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

යුද හමුදාවේ අසමසම සැඟවුණු වෙඩික්කරු ලෙස (ස්නයිපර්) කොටි ත්‍රස්තවාදයට එරෙහිව සුවිශේෂ සේවාවක් ඉටුකරමින් වන්නි අවසන් සටනේ පුදුමාතලන්හි දී දිවිපිදූ කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ කළ සේවය අගයමින් නීරෝගේ මව වන රීටා ප්‍රනාන්දු මහත්මිය වෙත ආනමඩුව ගම්උදාව භූමියේ ඉඩමක නිවසක් ඉදිකර දීමට නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු යෙදුවේය.

නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩමක මෙම නිවස ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් ඇස්තමේන්තු ගත කර ඇති අතර ඊට අදාළ ලියකියවිලි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් නීරෝගේ මව වෙත භාර දී ඇත.

2009 අප්‍රේල් 28 දා පුදුමාතලන් ආරක්ෂක වළල්‍ලේ දී දිවි පුදන විට නීරෝ යුද හමුදා ප්‍රහාරක සේනාංකවල ඉදිරි ගමනට විශිෂ්ට සම්පතක් වූයේ ඔහුගේ ස්නයිපර් අවියෙන් ත්‍රස්තවාදීන් 217ක් පමණ අවසන් ගමන් යවා තිබූ නිසාය. ස්නයිපර් පුහුණුව ලත් ඉලක්ක වෙඩික්කරුවන් අතළොස්සක් අතරින් වන්නි සටනේ ඉලක්ක සොයා යන්නට ඉලක්ක වෙඩික්කරු පුහුණු පාස‍ලේ සේනාවිධායක එවකට කර්නල් සංජය වනසිංහ සටන් බිමට ගෙනගිය දක්ෂ වෙඩික්කරුවකු ලෙස නීරෝට තැනක් ලැබුණේය.

කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි
(නීරෝ)

තිදරු පියකු වූ 41 හැවිරිදි නීරෝ දිවි පුදන්නට මාසයකට පෙර මෝටාර් ප්‍රහාරයකින් තුවාල ලබා පැමිණ තුවාල හොඳ වන්නට පෙර සටන් පෙරමුණට ගියේ ඔහුට දියතලාවට ගොස් සම්පූර්ණ සුවය ලැබෙනතුරු ඉන්නැයි කර්නල් වනසිංහ දුන් අවස්ථාවද ලබා නොගනිමිනි.

අන්තිම සටනේ කොඩිය දානකොට මම එහේ ඉන්න ඕනෑ යැයි කියමින් අප්‍රේල් 21 දා යළි සටන් බිමට පැමිණ පුදුමාතලන්හි කොටින්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගත් ද්‍රවිඩ ජනතාවට මුවා වී පැමිණෙන කොටි ත්‍රස්තයන් සොයා ඉලක්ක ලබා ගන්නට වූයේ ය.

කොටි ත්‍රස්තයන් සොයා ඉලක්ක ගන්නට සුවිශාල කැපකිරීමක් කළ ඔහු පුදුමාතලන් සටන් පෙරමුණේ දී අප්‍රේල් 28 උදෑසන 6.20 ට අවසන් හුස්ම හෙළන්නේ කොටින්ගේ ඉලක්ක වෙඩික්කරුවකුගේම ප්‍රහාරයකිනි.

සැඟවුණු වෙඩික්කරුවකු ලෙස සුවිශාල කාර්යභාරයක් කළ නීරෝ වරෙක හමුදා ආරක්ෂක වළල්ල වෙත මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්නට ආ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටල දෙකක් රැගත් ට්‍රැක්ටරයක් ඈත තියාම නවත්වන්නේ කොටි රියැදුරා හා මරාගෙන මැරෙන බෝම්බකරුවන් මරුමුවට පත් කරවමිනි. එම ප්‍රහාරයෙන් පසුව කොටින්ගේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකද සොයා ගත්තේය. නීරෝ මුල්වරට ජනප්‍රිය වූයේ එම ප්‍රහාරයෙන් පසුවය.

තවත් වරෙක කොටි ත්‍රස්තයන් පුදුකුඩිඉරිප්පු ඉදිරි ආරක්ෂක වළල්ලක් තැනූ බැකෝ යන්ත්‍ර දෙකද විනාශ කළේ නීරෝ ලබාගත් ඉලක්කයකිනි.

සැඟවුණු වෙඩික්කරුවකු ලෙස වසර නවයක් ලද අත්දැකීම් නිසා දිවිපරදුවට තබා සටන් පෙරමුණේම කටයුතු කළ අතර ඒ වන විට ස්නයිෆර්වරයකු යුද බිමේදී ලබාගත් වැඩිම ත්‍රස්ත ඉලක්ක ගණන වූ ඉලක්ක 217ක් ලබාගෙන තිබුණි.

ආනමඩුව මඩලාන විද්‍යාලයේ ඉගෙනුම ලැබූ වික්‍රමසේකර හිටිහාමිලාගේ රංජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ 1991 පෙබරවාරි 12 දා යුද හමුදාවට බැඳෙන විට වයස අවුරුදු 22 කි.

යුද හමුදා ස්වේච්ඡා බළසේනාවට බැඳුණු ඔහු 5 වැනි ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත වන්නේ ඉන්පසුවය.

දක්ෂ සැඟවුණු වෙඩික්කරුවකු ලෙස පුහුණුවන්නට 2000 වසරේ දී ස්නයිපර් පාඨමාලා අංක 08 හදාරන රංජිත් එහිදී නීරෝ යන රටම දන්නා සංකේත නාමයෙන් හැඳින්විණි. විශේෂ බළකා ට්‍රැෆලින් පුහුණුව ප්‍රගුණ වෙඩික්කරු උපදේශක පුහුණුව, සැඟවුණු වෙඩික්කරු පුහුණුව, ඒකක වෙඩික්කරුවන්ගේ පාඨමාලාව ඇතුළු පුහුණුව සාර්ථකව හදාරා වන්නි මානුෂීය මෙහෙයුමේ දී මඩු, මන්නාරම, පරන්තන්, කිලිනොච්චි, පුනරින්, අලිමංකඩ, මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශවල ක්‍රියාන්විත සඳහා උපරිම සේවාවක් ඉටුකරන්නේ දක්ෂ ඉලක්ක වෙඩික්කරුවකු ලෙසය.
නීරෝ රණබිමේ දැක්වූ දක්ෂතා නිසා වීරවික්‍රම විභූෂණ, රණවික්‍රම, රණශූර පදක්කම්වලටද නිර්දේශ විය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
tissaravindra@gmail.com

Note from Editor

අද අප්‍රියෙල් මාසයේ 28 වැනිදායි.
අවසන් සටනේදී එල් ටි ටි ඊ ත්‍රස්තවාදීන් 217 දෙනෙකු සිය ස්නයිපර් ගිනි අවියෙන් වෙඩි තබා මරා දැමුව , යුද හමුදාවේ සැඟවුණු වෙඩිකකරුවකු  වූ කෝප්‍රල් රන්ජිත් ප්‍රේමසිරි, එල්ටීටීඊ ස්නයිපර් වෙඩි ක්කරුවකු අතින් පුදුමාතලන්හිදී මිය ගියේ 2009 යේ අද වැනි දිනකදීය
.මේ සමග අමුණ ඇති ලිපිය මිට පෙර රිවිර පුවත් පතේ නීරෝ හෙවත් රන්ජිත් ප්‍රේමසිරි අරබයා පල වූ වකි.
මෙම ලිපිය ලියු තිස්ස රවින්ද්‍රට හා නීරෝගේ පුහුණුකරු වූ බ්‍රිගේඩියර් සංජය වනසින්හ ට ( 0714220209 ) මම මිට පෙර දිනයකදී කතා කලෙමි. ඔවුන් ගෙන් දැන ගන්නට ලැබුන පරිදි නීරෝගේ දරුවන් දෙදෙනා අද අනාථ වී ඇත්තේ නීරෝගේ බිරිඳ වෙනත් විවාහයක් කරගෙන දරුවන් අත හැර දමා ගොස්  බැවිනි. දරුවන් අද අමාරුවෙන් රැක් බලා ගන්නේ නීරෝගේ මහලු මවය. 
උතුරේ යුද්දය පිළිබඳව ගුවන් විදුලියට වාර්තා කිරීමට පෙරමුණට ගිය පෙර දිනකදී මට නීරෝ මුණ ගැසී තිබුණි.  .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress