ඡන්ද නැති රටේ වරිපනම්  ගෙවන්නේ මොකටද?
Posted on August 12th, 2017

සාකච්ඡා කළේ – මනෝඡ් අබයදීර  උපුටා ගැන්ම දිවයින

මේ තියෙන්නේ මැතිවරණ නොතියන කොමිෂමක්‌

පළාත් පාලන ඡන්ද පෙත්සම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ
තීන්දුවට මොකද වෙලා තියෙන්නේ…

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා 

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා සමග දිවයින ඉරිදා සංග්‍රහය සාකච්ඡා කරන ලද්දේ, මැතිවරණ පැවැත්වීම, ප්‍රමාදවීම සම්බන්ධවය. පළාත් පාලන ආයතන සඳහා පවත්වන මැතිවරණයට අමතරව පළාත් සභා ඡන්දය ද ප්‍රමාද කරවීමේ තත්ත්වයක්‌ මතුවී තිබේ. එහි නෛතික තත්ත්වය ඔහු පැහැදිලි කර දෙන ලද්දේ මේ ආකාරයටය.

ප්‍රශ්නය – පළාත් පාලන ඡන්දය කල් දමා තිබීම ජනතාවගේ ඡන්ද අයිතිය සම්බන්ධයෙන් එක පැත්තකින් ගැටලුවක්‌ මතු කරනවා සේම එම ආයතනයන්හි යාන්ත්‍රණය කඩා වැටීම නිසා රටම අර්බුදයකට පත් වී ඇති බව පෙනෙනවා. මේ අර්බුදය පිළිබඳව අපි මුලින්ම කතා කරමු…

පිළිතුර – අපේ රටේ පළාත් පාලන ආයතන කියන්නේ ඉතිහාසයක්‌ හිමි පරිපාලන ඒකකයක්‌. කලකට පෙර තිබූ ගම් සභාව කියන්නේ ඒ ඒ පුද්ගලයාගේ ගම, පරිපාලන ඒකකයක්‌ බවට පත් වීමයි. මේ ගම් සීමා නිර්ණය කරලා, ඒවා පරිපාලන ව්‍යqහයක්‌ බවට පත් කළේ, පණ්‌ඩුකාභය රජතුමා විසින් ක්‍රිස්‌තු පූර්ව හතරවැනි සියවසේදී. මේ බව මහාවංශයේ සදහන් වෙනවා. පණ්‌ඩුකාභය රජතුමා, මුළු රටේම ගම් සඳහා සීමා ඉදිරිපත් කළා. ඒ නිසා තමයි මේ රටේ හැම තැනකටම නමක්‌ තියෙන්නේ. ඉන්දියාව ගත්තොත්, හැතැක්‌ම ගණනක්‌ ගියත් සමහර පැතිවලට නම් නැහැ. අපේ රටේ හැම තැනකටම නමක්‌ තියෙනවා. ඒකට සීමාවක්‌ තියෙනවා. ඒක කළේ පණ්‌ඩුකාභය රජතුමා. ඒ කාලයේ ඉඳන්ම ගම් සභා පිහිටුවලා, තිබුණා. ඒකේ විශාල ඒකකය තමයි, රට සභා. රාජාණ්‌ඩු ක්‍රමයක්‌ පැවතුණත්, ප්‍රජාතන්ත්‍රවාදී විදිහට තමයි මේ මගින් රටේ පාලනය ගෙන ගිහිල්ලා, තිබෙන්නේ. ඉංග්‍රීසි පාලන කාලය වනතුරු මේ ප්‍රදේශීය පරිපාලන ඒකක ඉතාමත්ම දියුණු ලෙස පැවතුණා. 1817 උඩරට කැරැල්ලෙන් පස්‌සේ, මේ ක්‍රමය ඉංග්‍රීසි පාලකයන් විසින් විනාශ කරලා දැම්ම. ඒකට හේතුව වුණේ, මෙම ක්‍රමය තිබුණොත්, මේ රටේ ජාතික මමත්වය ගොඩනැඟීම වලක්‌වන්න බැරි බව ඒ අය දැනගෙන හිටිය නිසා. 

1871 වසරේ හර්කියුලිස්‌ රොබින්සන් ආණ්‌ඩුකාරවරයා, මෙම පළාත් පාලන ක්‍රමය ලංකාවට අත්‍යාවශ්‍යයි කියලා ඔහු විසින් එම ක්‍රමය යළිත්, ගම් කාර්ය සභා ලෙස පිහිටුවන්න පටන් ගත්තා. රොබින්සන් ආණ්‌ඩුකාරවරයා, ඒ සඳහා කොයිතරම් සැලකිල්ලක්‌ දැක්‌වූවාද කිවහොත්, ඔහු තමාගේ පොතක කියා තිබෙනවා. “මම මිය ගිය විට, මගේ ස්‌මාරකයේ ලියන්න ඕනේ, ලංකාවේ ගම් කාර්ය සභා පිහිටවූ තැනැත්තා” කියලා. ඒතරම් වැදගත් බවක්‌ මෙම පළාත් පාලන ආයතන සඳහා ඔහු ලබා දුන්නා. ඉංග්‍රීසි පාලකයන්ම නැති කරපු එක, ඔවුන්ම ආයෙත් පිහිටුවූවා. ක්‍රමක්‍රමයෙන් ගම් කාර්ය සභා, නගර සභා, මහ නගර සභා පිහිටුවා. 1930 වන විට මේ සියල්ල පිහිටුවලා ඉවරයි. ඩොනමෝර් ව්‍යවස්‌ථාවෙන් රාජ්‍ය මන්ත්‍රණ සභා පිහිටුවන කොට, මෙම පළාත් පාලන ආයතන සියල්ල පිහිටුවලා ඉවරයි. අපේ තාත්තා කටාන ගම් කාර්ය සභාවේ, සභාපති විදිහට 1937 ඉඳන් 1957 වෙනකං සේවය කළා. පළාත් පාලන ක්‍රමය ලංකාවට ආවේනික වූ පරිපාලන රටාවක්‌. 

මෙය තවත් විධිමත්භාවයට පත් කළේ ආර්. ප්‍රේමදාස මහතායි. මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යනුවෙන් වර්ග කළේ එතුමා විසින්. මේ සභාව කියන්නේ ගොඩනැගිල්ලක්‌ නෙමේ. සමහරු හිතන්නේ එහෙමයි. කොළඹ මහ නගර සභාව කියන්නේ පුරහල කියන ගොඩනැගිල්ල නෙමෙයි. මහ නගර සභා පනතේ පස්‌වැනි වගන්තියේ, නගර සභා පනතේ පස්‌වැනි වගන්තියෙත්, ප්‍රාදේශීය සභා පනතේ හතර වැනි වගන්තියේත් සඳහන් වෙනවා සභාව පිළිබඳව. සභාව කියන්නේ ඡන්දයෙන් තෝරා පත් කරගන්න, සභිකයන්ගෙන් සහ එහි නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති නැති නම් සභාපති සහ උප සභාපති ඇතුළු මණ්‌ඩලයට කියලා. එම මණ්‌ඩලය නැති නම් ගොඩනැගිල්ල තිබූ පළියට සභාවක්‌ නැහැ. එම සභාවට තමයි, පරිපාලන බලතල විශාල ප්‍රමාණයක්‌ පැවරිලා තියෙන්නේ… මහජන සෞඛ්‍යය, කසළ ශෝධනය, ආදී සියලු දේ මෙම සභාවට තමයි පැවරිලා තියෙන්නේ. මේ යහපාලන ආණ්‌ඩුව තමයි මේ ක්‍රමය විනාශ කරමින්, පළාත් පාලන ඡන්දය කල් දමාගෙන ඉන්නේ…

ප්‍රශ්නය – වත්මන් ආණ්‌ඩුව ඡන්දය කල් දැමීම සඳහා හේතුව ලෙස ඉදිරිපත් කර තිබෙන්නේ, පළාත් පාලන ආයතන හි සිමා නිර්ණය පිළිබද ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වයයි…

පිළිතුර – පළාත් පාලන ආයතනයන් සඳහා මැතිවරණ පැවැත්වීම සමානුපාතික ක්‍රමයට තියන්න බැහැ කියලා, පාර්ලිමේන්තුවේ ඒකමතික තීන්දුවක්‌ ආවා. ඒ සඳහා යෝජනාව ඉදිරිපත් වුණේ දිනේෂ් ගුණවර්ධන කමිටුවෙන්. ඊට පස්‌සේ යළිත් පැරණි කොට්‌ඨාස ක්‍රමය සඳහා ගියා. ඒ නීතිය 2012 දී ඒකමතිකව පාර්ලිමේන්තුවෙන් සම්මත වුණා. ඒ අනුව කොමිෂන් සභාවක්‌ විසින් අවුරුදු දෙකක්‌ තිස්‌සේ මෙම කොටස්‌ වල සීමා නිර්ණය කරලා, 2015 අගෝස්‌තු වෙන කොට ඒක සම්පූර්ණයෙන්ම ඉවර කරලා, මේ වත්මන් ජනාධිපති සිරිසේන මහත්මයා විසින්ම ඒක ගැසට්‌ කළා. 2015 අගෝස්‌තු වෙනකොට මේ ඡන්දය පැවත්වීම සඳහා කිසිම බාධාවක්‌ තිබුණේ නැහැ. කොට්‌ඨාසයක සීමාවක්‌ සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ඇමැතිවරයාට යම්, බලයක්‌ තිබෙන බවට, මේ පනතේ එක, සුළු වගන්තියක්‌ තියෙනවා. මේ බලය අරගෙන ෆයිසර් මුස්‌තාපා විසින් තව කොමිටියක්‌ දැම්මා. ඒ කමිටුව සුළු සුළු වෙනස්‌කම් කිහිපයක්‌ කරලා තිබෙනවා. ඇමති ෆයිසර් මුස්‌තාපා මේක කල් දාන්න කියල තමන්ට කියපු බව එම කමිටුවේ සභාපති අශෝක පීරිස්‌ මහතා කිව්වා. ඒ කමිටුවේ වැඩෙත් සම්පූර්ණ කළා. නමුත් මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ මැතිවරණය පවත්වන්නේ නැහැ. අන්න එතැනයි මේ ප්‍රශ්නය තිබෙන්නේ.

ප්‍රශ්නය – මැතිවරණ යාන්ත්‍රණය වඩා විධිමත් කිරීම සහ විනිවිදභාවයකින් කිරීම සඳහා පිහිටවූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ නොපවත්වන බවට ඔබ චෝදනා කළත්, කොමිෂන් සභාවට මැතිවරණයක්‌ පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිමක්‌ රාජ්‍ය අධිකාරියෙන් නොලැබීම මේ ප්‍රමාදය සඳහා හේතුව නේද…?

පිළිතුර – අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ, තුන්වැනි ව්‍යවස්‌ථාවේ සඳහන් වන්නේ ජනතාවගේ ඡන්ද බලය පරමාධිපත්‍යයේ කොටසක්‌ විදිහටයි. එහි සඳහන් වන්නේ “ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්‌කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් වන්නේය.” කියලයි. එතකොට, ඡන්ද බලය කියන එක ජනතාවටත් අත්හරින්න බැරි දෙයක්‌.

ඡන්ද බලය කියන එක සර්වජන ඡන්දය ක්‍රියාත්මක වන සෑම අවස්‌ථාවකටම අදාළ වෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළා. පළාත් පාලන, පළාත් සභා කියන සෑම ඡන්දයක්‌ම එයට ඇතුළත් වෙනවා. ඡන්ද බලය නිසි වෙලාවට, නිසි ආකාරයට ක්‍රියාත්මක කරනු ලැබීම පරමාධිපත්‍යය විදහා පෑමක්‌. එහෙම නැතිනම්, පරමාධිපත්‍ය බිඳ හෙළීමක්‌. යුද්ධය අවස්‌ථාවේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය විසින් හදිස්‌සි නීතිය යටතේ පළාත් සභා ඡන්දය කල් දැමු විට, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම කල් දැමීම නවත්වලා, ඡන්දය පවත්වන්න ඕනේ කියලා ප්‍රකාශ කළේ. 

මේ මැතිවරණ කොමිෂන් සභාව 17 වැනි සංශෝධනයෙන් තමයි පිහිටෙව්වේ. එයට විශාල බලතල තියෙනවා. 104 ව්‍යවස්‌ථාව අනුව සම්පූර්ණ බලය තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවට. එම බලතල 104 ආ. 3 යටතේ සඳහන් වෙන්නේ “එවැනි යම් ඡන්ද විමසීමක්‌ හෝ ජනමත විචාරණයක්‌ පැවත්වීම සඳහා අදාළ සියලුම නීති බලාත්මක කිරීම, සුරක්‌ෂිත කිරීම කොමිෂන් සභාවේ කාර්යය විය යුතු අතර, එසේ එම නීති බලාත්මක කිරීම, සුරක්‌ෂිත කිරීමෙහිලා කොමිෂන් සභාවේ සහයෝගය දැක්‌වීම, ඒ බලාත්මක කිරීම භාරව සිටින සියලුම රජයේ බලධරයන්ගේ කාර්යය විය යුතුය.” කියලයි. මේ කියන්නේ කොමිෂන් සභාව සියලු දෙනාට ඉහළින් ඒ කාර්යය සඳහා තබා තිබෙන බවයි. එය ඇමැතිටත් වඩා ඉහළින් තියෙන්නේ. එහෙම බලයක්‌ තිබෙන මැතිවරණ කොමිෂන් සභාව මොකද ඡන්දය නොතියන්නේ…? ඒ අය කියන්නේ මෙතැන සුළු සංශෝධනයක්‌ කරන්න ඕනේ කියලයි. මොන නීතියක්‌වත්, තත්ත්වයක්‌වත් අංග සම්පූර්ණව සර්ව සාධාරණව පවතින්නේ නැහැ. ඒ සඳහා තමයි නිලධාරීන්ට බලාත්මක කිරීමේ වගකීම පවරලා තියෙන්නේ. පොඩි පොඩි අඩුලුහුඬුකම් තිබෙනවා නම්, නිලධාරීන්ට ඒ දේවල් සඳහා හැකි පිරියමක්‌ යොදලා කටයුතු කරන්න පුළුවන්. බලාත්මක කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ ඒකට. 

1931 ඉඳන් ඒ රටේ සර්වජන ඡන්දය මැතිවරණ කොමසාරිස්‌ දෙපාර්තමේන්තුව විසින් බලාත්මක කරලා තියෙනවා. ඔය දේශප්‍රිය මහත්තයාම මැතිවරණ කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක්‌ සේවය කරලා තියෙනවා. ඔය කොට්‌ඨාසයක පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා නම්, එයාට ඒක බලාත්මක කිරීමට සම්පූර්ණ බලය තියෙනවා. ඒක තමයි මේ බලතල ගැන ව්‍යවස්‌ථාවේ කියන්නේ “බලාත්මක කිරීමේ යුතුකම විය යුත්තේය. එය නීතියට සීමා නොවිය යුත්තේය.” කියලත් මෙහි සඳහන් වෙනවා. නීතිය අබිබවා හෝ ඡන්දය බලාත්මක කිරීම සඳහා කොමිසමට බලයක්‌ තිබෙනවා. ඒක කරන්නේ නැතුව එයාලා, ඡන්දය කල් දානවා. 

ප්‍රශ්නය – මෙය සර්වජන ඡන්ද බලය බිඳ වැටීමක්‌ ලෙස පමණක්‌ නොව ජනතාවට සමීප රාජ්‍ය යාන්ත්‍රණය වූ පළාත් පාලන ක්‌ෂේත්‍රයේ බිද වැටීමක්‌ ලෙස සලකන්නත් පුළුවන් නේද…?

පිළිතුර – පළාත් පාලන ආයතන සඳහා මේකෙන් වෙන පලවිපාක මොනවාද කියලා මම කියන්නම්. පණ්‌ඩුකාභය රජතුමාගේ කාලයේ ඉඳන් මේ රටේ තිබුණු පළාත් පාලන ව්‍යqහය, සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. කුණු කඳු කඩා වැටෙනවා. රටේ බිම් මට්‌ටමේ ව්‍යqහය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තියෙනවා. මේ ආණ්‌ඩුව අපකිර්තියට ලක්‌වෙලා තියෙන්නේ මේකෙන්. පහළ මට්‌ටමේ ජනතාව සමඟ ගනුදෙනු කරන්න තියෙන යාන්ත්‍රණය නැතිවීම විශාල ගැටලුවක්‌. මිතොටමුල්ලේ කුණු කන්දේ ප්‍රශ්නය බලන්න… කොළඹ නගර සභාව විසින් මීතොටමුල්ල ප්‍රදේශයට ගිහිල්ලා දැම්මා. කොළොන්නාව නගර සභාවට තමයි ඒ බල ප්‍රදේශය අයිති. සාමාන්‍ය පරිදි කොළොන්නාව නගර සභාව එහෙ තිබ්බා නම්, මේක කරන්න හම්බු වෙන්නේ නැහැ. ඒ අය මේ සඳහා සීමා පන වනවා. මෙතැනදී ඒ සඳහා වගකියන්න කොළඹත් නගර සභාවක්‌ නැහැ. ඒක තමයි මේකට හේතුව. දැන් මේ කුණු වෙන කොහේ හරි දාන්න හදනවා. එතැනත් නගර සභාවක්‌ නැහැ. ඒ නිසා ජනතාව අධිකරණයට යනවා. අධිකරණය ඒක තහනම් කළාම, අගමැති උසාවියට බණිනවා. මේ ඩෙංගු උවදුර සඳහා වගකීම ආණ්‌ඩුවට ඉෂ්ට කරන්න බැරිවෙලා තියෙන්නේ මේ නිසා. මදුරුවකුගේ පැතිරීමක්‌ නවත්වන්න බැරි නම් ආණ්‌ඩුවක්‌ ගෙදර යන්න ඕනේ. මේ රට මදුරුවකුට පාලනය කරන්න දෙනවා නම් ආණ්‌ඩුවක්‌ මොකටද…? මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමා, ලෝකයේ දරුණුම ත්‍රස්‌තවාදය පාලනය කරලා, ඒක සම්පූර්ණයෙන්ම පරාජයට පත් කළා. මේ ආණ්‌ඩුවට ඩෙංගු මදුරුවා පරාද කරගන්න බැහැ. ඒකට හේතුව තමයි පළාත් පාලන ව්‍යqහය කඩා වට්‌ටවා තිබීම. 

උතුරු පළාතේ සමහර පළාත් පාලන ආයතනවල ඡන්දය වසර තුනකින් තියලා නැහැ. අනෙක්‌වා වසරකට වඩා තියලා නැහැ. මේ තැනදී අහිමි කරලා තියෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය. 

ප්‍රශ්නය – ඔබ ප්‍රකාශ කරන පරිදි පළාත් පාලන ආයතන ව්‍යqහය හෙවත් සභාව කියන ස්‌ථානය ක්‍රියාත්මක නොවන්නේ නම්, ජනතාව විසින් එම ආයතන සඳහා ගෙවන වරිපනම් බදු අය කර ගැනීම සඳහා වන බලය තිබෙන්නේ කාටද…?

පිළිතුර – මේ පළාත් පාලන ආයතන සඳහා වන සෑම පනතක්‌ම කොටස්‌ තුනකින් යුක්‌තයි. එහි තිබෙනවා, විධායක බලය ගැන. ඒක තියෙන්නේ සභාවට. ඊට පසුව සභාවේ මුල්‍ය කටයුතු සඳහා වන බලය පිළිබඳව සදහන් වෙනවා. වසර ආරම්භ වීමට පෙර, ඒ කියන්නේ පෙර වසරේදී ලබන වසර සඳහා, අයවැය ලේඛනය නගරාධිපති විසින් ඉදිරිපත් කළ යුතුයි. අයවැය ලේඛනය අනුමත වුණේ නැත්නම්, නගරාධිපතිට ඒක ඉදිරියට ගෙනි යන්න බැහැ. ඒ අයවැය ලේඛනය අනුව තමයි වියදම් ආදායම් සකසා ගන්න ඕනේ. පනතේ ඊළඟ වගන්තියේ තියෙනවා, වරිපනම් බදු අයකර ගැනීම පිළිබඳව. වරිපනම් බදු අය කර ගැනීම සඳහා ඒ වසරට පෙර වසරේ සභාවෙන් යෝජනාවක්‌ තිබිය යුතුයි. සභාවෙන් තීරණයක්‌ නොමැතිව වරිපනම් බදු අයකර ගැනීම නීති විරෝධියි. මේ අය කරන සෑම වරිපනම් බදු මුදලක්‌ම නීති විරෝධියි. මේ සඳහා කවුරු හරි අධිකරණයට ගියොත් එහෙම බදු අය කරපු නිලධාරීන් සියලු දෙනාම හිරේ…

එහෙම ජනතාවගේ මුදල් අය කරලා, සභා අනුමැතියකින් තොරව වියදම් කරන සියලු දෙනා හිරේ දාන්න පුළුවන්. එහෙම කරන අයට විරුද්ධව විගණකාධිපතිට පුළුවන් අධිභාරයක්‌ අයකරන්න. ඔය අධිභාරය ගෙවන්න වෙන්නේ, ෆයිසර් මුස්‌තාපාට නෙමෙයි. අය කරපු නිලධාරීන්ට.

ප්‍රශ්නය – මේ තර්කය මත පදනම් වෙලා යම් පුද්ගලයකු පළාත් පාලන ආයතනය සඳහා වරිපනම් බදු ගෙවන්නේ නැති නම් එය නීති විරෝධී කටයුත්තක්‌ නෙමෙයිද…? 

පිළිතුර – එය නිවැරදි කටයුත්තක්‌… ඔහුට එරෙහිව නඩු දාන්ත බැහැ. දේපළ තහනම් කරන්නත් බැහැ. ඒ විතරක්‌ නෙමෙයි, කොමසාරිස්‌ට අත්සන් කරන්න පුළුවන් වෙන්නේ, රුපියල් 15000 න් පහල ගිවිසුම් පමණයි. ඒත් අත්සන් කරන්න පුළුවන් වෙන්නේ, අයවැය ලේඛනයෙන් ප්‍රතිපාදන තියෙනවා නම් පමණයි. ඊට ඉහළ දේවල් සභාව විසින් අනුමත කරන ලද ටෙන්ඩර් කොන්දේසි මත සභාව විසින් ටෙන්ඩර් ක්‍රමයට සිදු කළ යුතුයි. 

පළාත් පාලන ඡන්දය සඳහා සියලු ආයතන සඳහා වලංගු පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත කියලා වෙනම පනතක්‌ තිබෙනවා. ආර්. ප්‍රේමදාස මහතා විසින් සභාවේ අඛණ්‌ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා 1988 වෙනම සංශෝධනයක්‌ ගෙන ආවා. යම් සභාවක්‌ විසිර යන කාල සීමාවට පෙර වූ මාස හයක්‌ ඇතුළත අලුත් සභාවක්‌ පත් කිරීමට ඡන්දයක්‌ පැවැත්විය යුතුය, කියලා සඳහනක්‌ මෙහි තිබෙනවා. දැන් වසර දෙකක්‌ ගිහිල්ලත් ඡන්දය නැහැ. එතැනදිත් මේක නීති විරෝධියි… යහපාලන ආණ්‌ඩුව විසින් අද මුළු රටේම යාන්ත්‍රණය කඩා වට්‌ටලා තියෙනවා.

ප්‍රශ්නය – පළාත් පාලන මැතිවරණය පැවත්වීමේ වගකීම ඔබ විසින් මැතිවරණ කොමිසමට පමණක්‌ පවරා දෙන්න යනවා. නමුත් සීමා නිර්ණ කටයුතු අවසන් වන තෙක්‌ ඡන්දය පැවැත්වීම සඳහා කොමිසමට හැකියාවක්‌ නැහැ නේද…?

පිළිතුරු – ඔය වගේ හේතු පෙන්වලා මැතිවරණ කොමිසමට මේකෙන් ගැලවෙන්න බැහැ. ඡන්දය නොපැවැත්වීමේ සම්පූර්ණ වරද ඒ කොමිසමේ සභාපති සතුයි. ඔහුට තමා ඒ බලය තියෙන්නේ. ඔහු විශාල බලයක්‌ බාර ගත්තා. දාහත් වැනි සංශෝධනය අනුව පස්‌ දෙනකුගෙන් සමන්විත සභාවක්‌ තිබිය යුතුයි. 19 වැනි සංශෝධනයෙන් එතුමා තමා රජා වුණේ. ඒ සංශෝධනයෙන් මේ පහ තුන කළා. එයින් එක්‌ අයෙක්‌ හිටපු මැතිවරණ කොමසාරිස්‌ හෝ නියෝජ්‍ය කොමසාරිස්‌ විය යුතුයි කියලා, එයාට තැනක්‌ හදා ගත්තා. යාවජීව ලෙස ලංකාවේ මැතිවරණ කරන්න එයා මේක හදා ගත්තා. මම එයාට අභියෝග කරනවා, එහෙම නෙමෙයි කියන්න කියලා… ඕක පත්තරේ දාන්න මම වගකීම භාර ගන්නවා. එයා සභාපති කමට වෙලා, පඩි අරගන්නවා, පැන්ෂන් එකත් ගන්නවා. එහෙම ගත්තට කමක්‌ නැහැ, ජනතාවගේ පරමාධිපත්‍ය බිද හෙළීම සඳහා එයා වගකියන්න ඕනේ. ආණ්‌ඩුවෙන් සල්ලි ලැබුණේ නැහැ, කියලා එයාට කියන්න බැහැ. එහෙමනම් එයා ප්‍රසිද්ධ නිවේදනයක්‌ ආණ්‌ඩුවට නිකුත් කරන්න ඕනේ… මට ප්‍රතිපාදන නැහැ, ලබා දෙන්න කියලා. එයා පුද්ගලිකව ලියුම් ලිව්වට වැඩක්‌ නැහැ. එයාලාට මේකෙන් ගැලවීමක්‌ නැහැ. ඔය සුළු සුළු දේවල් වලටනේ මිනිස්‌සුන්ව නඩු දාලා රිමාන්ඩ් කරන්නේ… යම් දවසක මේ සඳහා නීතිය ක්‍රියාත්මක කරන කොට, ජනතාවගේ පරමාධිපත්‍යය කඩ කිරීම සම්බන්ධයෙන්, ඒ අයට වගකියන්න වෙනවා. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට, අතීතයට බලපාන ලෙස නීති පනවලා තමයි, ප්‍රජා අයිතිය අහෝසි කළේ. ඒ පොඩි ප්‍රකාශනයක්‌ කරලා, ජනතාවගේ පරමාධිපත්‍ය කැඩුවා කියලා. මේ වගේ බරපතළ වැරැද්දක්‌ කළාම කොහොම දඬුවමක්‌ ලැබෙයිද…? ඔය කොමිසම මැතිවරණ නොපවත්වන කොමිසමක්‌… ඒ අය පත්වුණාට පස්‌සේ තවම එක ඡන්දයක්‌ වත් පවත්වලා නැහැ… මේක වාර්තාවක්‌… ඔය කොමිසමේ සභාපතිතුමාගෙන් මාධ්‍ය ඔය ගැන අහන්න ඕනේ… 

ප්‍රශ්නය – මේ සඳහා වන නඩු පහක්‌ පමණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පනවා තිබෙනවා. ඒවා තවම විභාග වෙමින් පවතිනවා….

පිළිතුර – මම ඒකට පිළිතුරක්‌ දෙන්නම්. මේක පත්තරේ පළකරන්න. ඒ සඳහා පුවත් පතේ වගකීමක්‌ නැහැ, මම සම්පූර්ණ වගකීම භාර ගන්නවා. ඒ නඩු පහ සඳහා තීන්දුවක්‌ සකස්‌ වෙලා තියෙනවා… හැබැයි ඒක ප්‍රකාශයට පත්වෙන්නේ නැහැ. ඒ මොකද…? මම අධිකරණයට අපහාසයක්‌ සිදුකරනවා නෙමෙයි. මේ කර දෙන්නේ මතක්‌ කිරීමක්‌ පමණයි. සමහර විට ඒක කොහේ හරි අතපසු වෙලා නැහැ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කඩකරලා තියෙන්නේ… 25 වැනි වගන්තිය කඩ කරලා තියෙන්නේ… මම දන්නවා ඒ නඩු තීන්දුව ලියලා ඉවරයි කියලා… එහෙමනම් ඇයි ඒක නිකුත් කරන්නේ නැත්තේ…. මම කියන්නේ බොරු නම්, මාව ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනල්ලා ප්‍රශ්න කරන්න… එතකොට ඒ ගැන විස්‌තර මම කියන්නම්.

ප්‍රශ්නය – පළාත් සභා මැතිවරණ සියල්ලම එක දිනයක පැවැත්වීම සඳහා ආණ්‌ඩුව විසින් තවත් සංශෝධනයක්‌ පාර්ලිමේන්තුවට ගෙන ඒමට උත්සාහ ගන්නවා. මෙයත් ඡන්ද කල් දැමීමක්‌ බවට විපක්‌ෂය චෝදනා කරනවා…

පිළිතුර – අගමැතිතුමාට විසි වෙනි සංශෝධනය ගෙන එන්න දැන් තමයි මතක්‌ වෙලා තියෙන්නේ… පළාත් සභා සියල්ල එකවර තියෙන්න මොකද දැන් මතක්‌ වෙන්නේ. අගමැතිට රවී කරුණානායකට වඩා අමතකවිමක්‌ තියෙනවා. මේ ආණ්‌ඩුවට තියෙන මැතිවරණ භීතිකාව නිසා කරන දේවල් මේවා. උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර කියන පළාත් සභා තුනේ කාලය අවසන් වෙලා, ඒවා විසිරෙනවා… අවසන් වරට විසිරෙන්නේ 2019 වසරේදී ඌව පළාත් සභාව… දැන් අගමැතිට වුවමනා කරන්නේ ඌව මැතිවරණය එක්‌ක මේ ඡන්දත් තියෙන්න… එතකොට ජනතා පරමාධිපත්‍යයට මොකද වෙන්නේ. ව්‍යවස්‌ථාවේ තුන්වෙනි වගන්තිය රනිල් වික්‍රමසිංහ කියවලා නැද්ද…? මෙතැන විෂමතාවක්‌ මතුවෙනවා. සබරගමුවේ, නැගෙනහිර සහ උතුරු මැද පළාත් වල ඉන්න ජනතාවට 2019 වෙනකං මැතිවරණයක්‌ නැහැ. ඌව පළාතට වෙලාවට ඡන්දය එනවා. 

මේ විසිරිච්ච පළාත් සභා සඳහා, එදා ඉඳන් මැතිවරණය තියෙනකන් පාර්ලිමේන්තුවෙන් තමයි බලය ක්‍රියාත්මක වෙන්නේ. පාර්ලිමේන්තුවෙන් පළාත් සභා සඳහා බලය ක්‍රියාත්මක කරනවා නම්, අපිට ඔය දහතුන්වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න පුළුවන්… රනිල්ගේ යෝජනාවට දෙමළ සන්ධානයත් එකඟ නම්, දහතුන්වෙනි සංශෝධනය අහෝසි කරලා, අපි ඒ බලය පාර්ලිමේන්තුවට දෙමු. එයාලා කෑගහලා, ඉන්දු – ලංකා ගිවිසුමෙන් ගත්ත එකනේ… ඒ අයත් කැමති නම්, අපි දහතුනම අහෝසි කරමු. ආණ්‌ඩුව ඡන්දයට බයයි. ඒකයි මේ ව්‍යවස්‌ථා විරෝධී, නීති විරෝධී වැඩ කරන්නේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress