පාන් නැතිනම් කේ්ක් කාපල්ලා!
Posted on November 18th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

අප කැමති වුවත්, අකමැති වුවත් රටේ සෑම දෙයකටම දේශපාලනය ගෑවී ඇත. මෙසේ දේශපාලනීකරය වූ ශ්‍රී ලාංකික ඉතිහාසය හරහා හමාගිය කුණාටු බඳු සිදුවීම් ජාලයක මතක සටහන් මේ මාසයේ යෙදෙන නිසා, ඉල් මස යනු ශ්‍රී ලාංකික දේශපාලනය පිලිබඳව නැවත විමසා බලන්නට ජනතාව පොළඹවන සුලු මාසයකි.

ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ ඉල් විරු සමරු දෙකකි. එකක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයාව සිටි රෝහණ විජේවීර මරා දැමූ නොවැම්බර් 13 වන දා ට යෙදෙයි. අනෙක නම් එල්ටීටීඊ නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජන්ම දිනය යෙදෙන නොවැම්බර් 26 වන දා ට යෙදෙයි. දෙමළ ජනතාව මෙය සමරන්නේ මහවිරු සතියක් නිර්මාණය කිරීමෙනි. ඔවුන් ඊට හේතුව වශයෙන් පවසන්නේ උපවාසයක් හේතුවෙන්, තිලීපන් නැමති එල්ටීටීඊ සාමාජිකයා මියගිය දිනය නොවැම්බර් මස 27 වන දිනට යෙදී තිබීමයි.

කෙසේ නමුත් ජවිපෙ හි ඉල් විරු සැමරුම දෙස උපේක්ෂාවෙන් බලන සිංහල බහුතරය, ද්‍රවිඪ ජනතාවගේ මහවිරු සතිය දෙස බලන්නේ සිදු නොවිය යුතු යමක් සේ සලකමිනි. නමුත් මේ අරගල ද්විත්වයම සඳහා හේතු සාධක වූ කාරණා  ශ්‍රී ලාංකීය දේශපාලනයේ අඩු ලුහුඬුකම් මත සිදුවූ පිපිරීම්වල ප්‍රතිඵලයන්ය. ඔවුන් තම අරගලය ගෙන ගිය දිශානතියේ වෙනස්කම් තිබූ බව සැබෑවකි. කෙසේ වුවද අප යම් දෙයක් ගැන විනිශ්චයක් දෙන්නට ප්‍රථම එය එසේ වූයේ ඇයිද කියා සිතිය යුතුය.

දේශයකට පාලනයක්, නීතියක් අවශ්‍ය වනුයේ එම දේශයේ වසන සියලුම ජනයාගේ ජීවිතවල යහපැවැත්ම තහවුරු කර දීම සඳහාය. එබැවින් දේශපාලකයා යනු එම තහවුරු කිරීමෙහි වගකීම අත දරන්නාය. එම වගකීම හරියට ඉටු නොවන තැන, එය නිවැරදි කරනු උදෙසා නීතිය හා පාලනය තම අතට ගැනීමට පෙළඹවීමක් ජනතාව කොටසක් හෝ තුල ඇතිවීම වලකනු නොහැකිය. 1971 දී සහ 1987-90 යන කාල වකවානු තුල දකුණේ ඇතිවූ තරුණ නැගිටීම්ද, 1975 පමන කාලයේ ඇරඹී 1983 වන විට නිළ වශයෙන් ප්‍රකාශ වී 2009 දක්වා ඇදීගිය වර්ගවාදී යුද්ධයද මෙසේ පුපුරා ගිය ආතතීන්ගේ ප්‍රතිඵලයි. අද පවා ජනතාව නිතිපතා වීදි බැස, මාර්ග අවහිර කරමින් ප්‍රකාශ කරන විරෝධතා  තමන්ගේ නොසැලකිලිමත් අඩුපාඩු නිසා, තවත් මෙවන් යුගයකට කරන මුල පිරීම් විය හැකි යයි, මේ ගැන අතීත අත්දැකීම් ඇති පාලකයන් නිකමටවත් සිතනවාද?

1948 දී ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයන් වෙතින් නිදහස ලැබීමෙන් පසුව බිහිවූ පක්ෂ දේශපාලන ක්‍රමය තුල ජනතාව දේශපාලකයන් පිලිබඳව සලකන්නට වූයේ තම මතය නියෝජනය කරන අය ලෙස බව පැහැදිලිය. මේ පක්ෂ වෙත ජනතාව වෙනුවෙන් නොයෙකුත් පොරොන්දු තිබිනි. එම පොරොන්දු තමන්ට අදාලවන ප්‍රමානයට ජනතාව ඒ වෙත නැඹුරු වෙති. තමන් යම්කිසි අසාධාරණයකට ලක්වේ යයි සිතෙන තැනදී එම වරද, නිවරද කරන්නට පොරොන්දුවන පාර්ශ්වය වෙත ජනතා ආකර්ශනය ඇතිවීම ස්වභාවිකය. 1940 දශකයේදී ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබාදීම අරඹා තිබුනත් ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලබන පුද්ගලයන්ට සමාජය තුල හිමිව තිබූ තත්වය එතරම් සතුටුදායක නොවීය. බහුතර සිංහලයන් 56 දී බණ්ඩාරනායක රජයක් කරා ඇදී ගියේ එම හේතුව නිසාය. නමුත් ස්වභාෂාවෙන් ඉගෙනගත් දෙමළ ජාතිකයන් මේ හේතුව මත වඩ වඩාත් කොන්වී යාම, ඔවුන්ව සාධාරණය ඉල්ලා කරන අරගලයක් වෙත නැඹුරු කරවීය.

එකල තිබූ කොට්ඨාශ ක්‍රමය තුල, චන්ද කොට්ඨාශයක ජීවත්වන ජනතාව අතරින් බහුතරයකගේ මතය නියෝජනය කරන තැනැත්තා ජයග්‍රහණය කලද, තම කොට්ඨාශයේ දියුණුව වෙනුවෙන් වැඩ කිරීමේදී එම පුද්ගලයාට සදාචාරය අනුව නම් තමාට චන්දය දුන් හා නොදුන් ලෙස වර්ග කරමින් වෙනසක් කල නොහැක. නමුත් දේශපාලකයෝද පෘථග්ජනයෝය. මුල් කාලයේදී සිටි දේශපාලකයන්ගේ අරමුණ වන්නේ බලය පමනය. මෙම බලය අත්පත් කරගන්නට තමන් නියෝජනය කරන සමාජ පන්තිය ඉවහල් වීම නිසා පැරණි දේශපාලන පරම්පරාව මොන පක්ෂයෙන්, මොන පාටින් ආවත් ඔවුන් නියෝජනය කලේ ඉහල ධනේශ්වර පන්තියයි. ඔවුන් ඒ තැනට ගෙන ඒමේදී ඔවුන් වටා රැඳී සිට උදව් කලේද එතුලින් තමන් අපේක්ෂා කරන යම් යම් දේ නොලැබෙනවිට අනිත් අතට හැරී අනෙකා බලයට ගෙනාවේද එම පන්තියටම නෑකම් කියන පිරිසකි. ඉතින් බලය ඔස්සේ ගලා එන වරප්‍රසද භුක්ති විඳින්නට දේශපාලකයන්ගේ සමීපතමයන්ට හැකිවූ අතර ඕනෑම පක්ෂයක නියෝජිතයන් අතින් කොන්වන ජන කොටසක්ද සමාජය තුල ඉතිරි වූහ. මෙය බොහෝවිට තීරණය වූයේ දුප්පත් පොහොසත් භේදය මතය. ජන වාර්ගිකත්වය අනුවද කොටසක් කඩා ගන්නට අවශ්‍ය වූ දේශපාලකයන් කොටසක්ද සිටියහ.

ඉන්දියාවේ සිදුවූයේද එයමය. බ්‍රිතාන්‍යයන් වෙතින් නිදහස ලබා ගන්නට එක්ව සටන් වැදුනද, නිදහසින් පසු තම තමන්ට රජ කරන්නට වපසරියක් මේ සියල්ලන්ටම ඕනෑවිය. ඒ අනුව ඉන්දියාව, පාකිස්ථානය හා බංග්ලාදේශය ලෙස කැඩීගිය අතර ලංකාවට අත්වන්නට ගියේද ඒ ඉරණමය. ශ්‍රී ලංකාව කුඩා රටක් වූයෙන් ජනතාව විසිරෙන, මුහුවන ප්‍රමානය අනුව රට කැඩීමට පහසු වූයේ නැත. අද දකුණු ආසියාවේම ක්‍රියාත්මකවන දූෂිත දේශපාන ක්‍රමය තුල එසේ කැබලි කැඩුවා කියා කිසිවෙකුට සෙතක් අත්වනු ඇතැයි කියාද සිතිය නොහැකිය. අදද කුමන වර්ගයක හෝ දේශපාලකයන් යටතේ සිදුවන්නේද එයමය. දෙමළ ජාතික සන්ධානය, සියලු රෝග නිවාරණය පිනිස මෙන් ස්වයං පාලන අයිතියක් ඉල්ලද්දී, ඊට අනුගතවන දෙමළ ජනතාව, රටේ අනිත් කෙලවරේ සිංහලයන්ද අනුභව කරන්නේ තමන්ගේ පතේම රැඳුන දුක් ගැහැට කන්දරාවම බව වටහා නොගනිති. එසේ වටහා ගන්නට එම දේශපාලකයන් ඉඩක් තබන්නේද නැත. මන්ද තම බලය රඳා පවතින්නේ මෙම අන්‍යොන්‍ය නොවැටහීම මත බව මොවුන් හොඳාකාරවම දනිති.

අද වනවිට රට තුල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල අධික මිල, ජීවන වියදම සහ වරින්වර අතිවන ඉන්ධන හිඟය වැනි ප්‍රශ්න බලපාන්නේ සාමාන්‍ය ජනතාවටයි. ඉන්ධන හිඟය රට පුරා දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව තිබියදී එය කිසිදු දේශපාලකයෙකුට බලපෑ බවක් ඔබ දුටුවාද? හිටපු ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාපැදි හා ගොන් කරත්ත යොදාගෙන ගමන්කලේ ඉන්ධන හිඟය සංකේතවත් කිරීමට සහ එම ප්‍රශ්නය යට ඇති සැබෑ හේතු ගැන රටේ කතිකාවක් ඇති කිරීමට මිසෙක තම වාහනවලට ඉන්ධන හිඟයක් ඇතිවාට නොවේ. රට පුරා යමින් තම දින දර්ශනයේ ස්ථාන ගතවූ වැඩසටහන්වල නියැලුනු ජනාධිපති, අගමැති සහ මැති ඇමතිවරුන්ගේ පරිවාර රථ ඇතුලු යාන වාහනවලට එම ප්‍රශ්නය බලපෑ බවක් නොදැනුනි. ඔවුන්ගේ අති සුඛෝපභෝගී වාහනවලට ඉන්ධන වැයවන ප්‍රමානයන්ද දන්නෝ දනිති. අනික ඔවුන්ට බිමින් යන්නට නොහැකිනම් උඩින් යාමේ පහසුකම්ද ඇත. තෙල් සංස්ථාවෙන් ඉන්ධන නිකුත් කිරීමේදී පනවනු ලැබූ සියලු නීතිරීති අදාල වූයේ සාමාන්‍ය මහජනතාවටය. ඒ හැරෙන්නට අද සෑම තැනම කතා බහට ලක්ව ඇති හාල්, පොල්, අමුමිරිස්, දෙහි යනාදියේ මිල නම් දේශපාලකයන්ට දැනෙනවාවත්ද කියා නොදනිමු. මේවා පාරිභෝගිකයාට මෙසේ දැනුනද, ගොවි ජනතාවටද මින් ලැබෙන ලාභයක් නැත. කෙසේ වුවද ආහාර පිලිබඳ ප්‍රශ්නය මැතිවරණ වේදිකාවල පට්ට ගසමින් ජනතාවට තදින් බලපෑ යුගයක්ද තිබිනි. මෙයට ජනවාර්ගික වෙනස බලනොපෑවේය.

1977 දී 5/6 ක බලයක් සහිතව අගමැති ලෙස තේරී පත්වුන ජේ. ආර්. ජයවර්ධන ව්‍යවස්ථාව වෙනස් කරමින් තමාවම විධායක අගමැති බවට පත් කරගත්තේය. එදා දුන් චන්ද පොරොන්දු අතර විධායක ජනාධිපති තනතුරක් ගැන කියවුනිද කියා මගේ මතකයේ නොමැත. නමුත් සියල්ලන්ගේම මතකයේ රැඳුනේ ධාන්‍ය රාත්තල් 8 ක් දෙන බවට දුන් පොරොන්දුවයි. වරක් රොනල්ඩ් රේගන් ඇමරිකාවේ ජනාධිපති තනතුර දැරූ කාලයේ එහි සංචාරයක නිරත වූ ජේ ආර් එහිදී කල කතාවක පවසනුයේ තමා මහජනයා විසින් තෝරා පත්කරගත් ජනාධිපති බවය. 77 න් පසු 88 අග දක්වාම ජනතාවට තමන් කැමති මහජන නියෝජිතයෙකුට කතිරය ගැසීමේ වරම අහිමිව තිබිනි. අතුරු මැතිවරණවලදී කතිරය භාවිතා කලත් එම කතිරය වලංගු වනවාද නැද්ද කියා තීරණය වූයේ බලවතුන් අතය. වරක් කමලවර්ණ ජයකොඩිට එරෙහිව විජය කුමාරතුංග තරග වැදුනු මහර අතුරු මැතිවරණය මීට හොඳම නිදසුනකි. ඉතින් මේ ආකාරයෙන් තම හිමිකම් අහිමිව යාම පසුව ඇතිවූ ඛේදවාචකයනට මුල පිරීය.

1971 අප්‍රේල් මාසයේදී ඇතිවූ ජවිපෙ පලමු කැරැල්ල අවධියේදී සාමාන්‍ය ජනතාව බහුතරයකට මෙවන් දේශපාලන දැක්මක් තිබිනිදැයි පැහැදිලි නැත. පසුගිය වසරේදී මේ කැරැල්ල ගැන විග්‍රහයක් කල ලයනල් බෝපගේ සහෝදරයා පැවසුවේ  තමන්එම කැරැල්ල මෙහෙයවූයේ ‘ධනේශ්වර පන්තියේ ආධිපත්‍ය සහ ධනේශ්වර ක්‍රමය තහවුරු කරගැනීම සඳහා වැඩවසම් යුගයේ නෂ්ඨාවශේෂ යොදා ගන්නා ආකාරය ජනතාවට හෙලිදරව්කර, ඒවා අහෝසිකර දැමීමේ ක්‍රියාවලියකට අවතීර්ණ වීමට’ බවයි. එය ඉතා හොඳ අරමුණක් වුවද, එය නිසි ලෙස සමාජගත කර ගැනීමේ හැකියාවක් ඔවුනට නොතිබිනි. එබැවින් 80 දශකයේ අග භාගයේ ජවිපෙ දෙවන කැරැල්ල ඇති වනවිට, 77 න් පසු ඇතිව තිබූ දේශපාලන පෙරලිය තුල, අර එදා කියූ ධනේශවර පන්තියේ ආධිපත්‍ය වඩාත් තහවුරුව තිබිනි. හරි අවබෝධයක් ජනතාවට නොදී මුදාහල 71 කැරැල්ලෙන් වාසිය අත්වූයේ එජාපයටමය. ඒ ඊලඟ මැතිවරණයේදී, රජය විසින් තරුණ තරුණියන් 20,000 ක් පමන මරා දමන ලදැයි යන කාරණාව මගින්, රජයට එරෙහිව ගොඩගැසුන චෝදනා කන්ද තවත් අඩියක් ඔසවා තැබීමෙනි. නමුත් තමන්ට අවස්ථාව ලැබුන කල්හි යලිත් තරුණ පරපුර ඒ වෙතට තල්ලුකල එජාප ය එමෙන් තුන් ගුණයක් මරා දැමූහ.

කෙසේ වුව එදා බෝපගේලා දුටු ඒ වැඩවසම් යුගයේ නශ්ඨාවශේෂ දැන් නැවත ඉදිවී, ප්‍රතිසංස්කරණයවී සමාජයම වසා පැතිරගොස් ඇත. අද සමාජ ජාලාවල දෙපිල බෙදී වගපල කියාගන්නා මිනිසුන් බොහොමයක් දෙපාර්ශ්වයම අදහන ප්‍රතිරූප වෙත පවතින මෙම ප්‍රතිසංස්කරණයන් නොදකිති. මේ වනවිට ශ්‍රී ලංකාවේ දේශපාලනය, බලය පමනක් නොව ධනයද මැවීමේ උල්පතක් බවට පත්ව ඇත. ඒ ජනතාවට ලැබිය යුතු සම්පත් දේශපාලන බලය ඔස්සේ සීමිත පිරිසක් අතට පත්වීමෙනි. එසේ සිදුවන බව දැන දැනම ජනතාවගෙන් කොටසක් මේ පිරිස වන්දනීය ප්‍රතිරූප සේ සලකති. එදා බලයේ රසයම අරභයා දේශපාලනයට පිවිසි දේශපාලකන් විසින් තම බලයේ රශ්මි කදම්භය යට ඇතිදැඩිකල දරු පරපුර අද වත්මන් දේශපාලන පිටියේ ප්‍රධාන තැනක් ගනිති. මේ බොහෝ අය දේශපාලනය දකිනුයේ තම පරවේනිගත උරුමයක් ලෙස මිසෙක එහි ගැඹුරක් ඇතිව නොවේ. ඔවුන්ට සමාජය හසුවන පරිවර්තන ගැන අවබෝධයක් නොමැත. එකල තම කොට්ඨාශයේ සුලු පිරිසකට හෝ වැඩක් ඇති ක්‍රමයක් තිබුනද අද වනවිට කිසිම කෙනෙකුට කිසිම වැඩකට නැති ක්‍රමයක් ඇතිව තිබෙන්නේ ඒ නිසාය. හොඳම උදාහරණය නම් තම ඇමති පියාගේ ආනුභාවයෙන් රාජකීය විදුහලේද, ඉන්පසු එංගලන්තයේද මෝස්තර නිර්මාණය ඉගෙනගත් මංගල සමරවීර, දැන් මුදල් ඇමති බවට පත්ව ජනතාවට පැණි බීම වෙනුවට බියර් බොන්න කීමයි. මෙය මාරි ඇන්ටොයිනට් රැජිණ කියූ ‘පාන් බැරි නම් කේක් කාපල්ලා’ කතාව සිහි ගන්වයි.

දැන් ඉතින් පලාත් පාලන මැතිවරණය ලඟ එන බව රහසක් නොවේ. මෙයට ඉදිරිපත්වන අපේක්ෂක ලැයිස්තුවල පාතාල සාමාජිකයන්ද සිටින බවත් නොරහසකි. මේ පාතාල සංස්කෘතිය ඇරඹුනේද එජාප යේ ගියවර පාලන සමයේදීය. ඒ අතර ජනතාවට බියර්, මයිලෝ තබා දිව ගිලෙනකොට වතුර උගුරක්වත් නොපෙවෙන තරමට ජීවන වියදම ඉහල ගොසිනි. ඒ අතරේ ෆෙඩරල් කතාවක්ද ඇදී එයි. මේ එකකින්වත් සමාජයේ සෑම අස්සක් මුල්ලකම පැතිර ඇති අසමානාත්මතාවයට පිලිතුරක් ලැබෙන්නේ නැත.

විශේෂයෙන් 1977 න් පසුව කෘෂිකර්මයට අත්වූ ඉරණම තුල පමනක් නොව ඔවුන් පිට මුදා හැරුනු බලහත්කාරකම් තුල තදබල පහරක් වැදුනු උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් එහි තරුණ පරපුර එදා ආයුධ අතට ගත්හ. නමුත් යුද්ධය ඇදී යද්දී තමන්ද, ක්‍රම ක්‍රමයෙන්, පවතින ජරාජීර්ණ දේශපාලන සත්වයන් බවට පරිවර්තනය වනු එහි නායකයන්ට නොදැනෙන්නට ඇත.

87-90 යුගයේ ජනතා විමුක්ති පෙරමුණද දේශප්‍රේමී ජනතා ව්‍යාාරය ලේබලය යටතේ කරන්නට ගියේද මේ ටිකමය. නමුත් මේ සියලු වර්ගයේ විප්ලව තුල තැලී පොඩිවී ගියේ මේවාට මැදිව අසරණ වූ සාමාන්‍ය ජනතාවයි. මේ විඳවීම් තුල ජනතාව හරි දේශපාලන දැක්මකට යොමුවනු ඇතැයි විප්ලව කලවුන් සිතන්නට ඇත. නමුත් අදද රෝහණ විජේවීර පිලිබඳව ජාතික පුවත්පතක පලවූ ලිපියකට ජනතාව වෙතින් ලැබුන ප්‍රතිචාර දකින විට ඔවුන් තම ක්‍රමයේ යම් වරදක් ඇති යැයි වටහා ගනීවිද? ජනතාව වෙනත් විකල්පයක් ගැන නොසිතනුයේ ඇයි? එය හරියට වාර්ගික යුද්ධයේ අවසන් භාගයේදී හමුදා පාලන ප්‍රදේශවලට සරණක් පතා දිව ආවාක් බඳුය.

පලාත් පාලන මැතිවරණය ආසන්නයේ දැන් දැන් ‘මුස්ලිම් ජනතාවට ආවේනික ප්‍රශ්න’ ගැනද කතා කරනු ඇසේ. ඒ අතරම බහු ජාතික, අනාගමික රටක් ගැනද කතා කරති. එය එසේ වන්නට නම් දේශපාලකයන් තම තමන්ගේ පුද්ගලික රාමුව තුල සිට නොව ‘ශ්‍රී ලාංකීය’ නම් ජාතිය පිලිබඳව කතා කල යුතුය. දේශපාලනය යනු බලය හා ධනය ඔස්සේ තම පැවැත්ම තහවුරු කර ගැනීම බවද ඔවුන් එහි ඇමට යොදා ගන්නේ ජාති ආගම් බවද මින් පැහැදිලි වෙයි.

මේ ක්‍රමය වෙනස් වන්නට නම් ජනතාව ස්වාධීන වෙමින් තමන් සතු බලය ගැන අවබෝධ කරගත යුතුය. අසීරුතම ඉලක්කය එයයි.

2 Responses to “පාන් නැතිනම් කේ්ක් කාපල්ලා!”

  1. Christie Says:

    බත් නැත්නම් බියර් බීපල්ලා.

    අද කාලෙ බියර් හදන්නෙ වීවලින්.

    LTTE is the Tamil terrorist arm of India and JVP is the Sinhala terrorist arm of India.

  2. Christie Says:

    සින්හල අපිට තියෙන කරදරය ඉන්දියානු පරපෝසිතයන්ය. අපේ රටේ ලොකුම ප්‍රස්නය රටේ ආර්තිකය ඉන්දියානු පරපෝසිතයන් සතුවීමය. සින්හලයකුට යමක් කමක් සොයාගැනීමට තියෙන එකම මග දේසපාලනයය. ජේ වී පී ඇතුලු සමාජවාදීන්ගේ දනපතියෝ සින්හලයොය. ඒ අයට මුදල් සපයන දෙමල, පාසි, බෝරා වැනි ඉන්දියානු පරපෝසිත සල්ලි කාරයෝ දනපතියෝ නොවෙති. සින්හලයේ සමාජ ආර්තික පිලිවෙල රුසියාවට සමාන කරන්නෝ විජ්ජාකාරයෝය. රුසියාවේ ගොවිකමකරුවෝ වැඩකරන අස්පයන්ට හා බූරුවන්ට සමාන විය. අපේ වැඩවසම් ක්‍රමය රුසියාවට ආඳන්නෝ කපටියෝය.

    “පසුගිය වසරේදී මේ කැරැල්ල ගැන විග්‍රහයක් කල ලයනල් බෝපගේ සහෝදරයා පැවසුවේ  තමන්එම කැරැල්ල මෙහෙයවූයේ ‘ධනේශ්වර පන්තියේ ආධිපත්‍ය සහ ධනේශ්වර ක්‍රමය තහවුරු කරගැනීම සඳහා වැඩවසම් යුගයේ නෂ්ඨාවශේෂ යොදා ගන්නා ආකාරය ජනතාවට හෙලිදරව්කර, ඒවා අහෝසිකර දැමීමේ ක්‍රියාවලියකට අවතීර්ණ වීමට’ බවයි. ”

    උන් අහින්සක සින්හලයන්ට දිවිය ලෝකය මවනවා කියා බටහිර රටවල දිවි සැප ලබති.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress