ලේබල් කරන ජනවර්ග
Posted on January 7th, 2018

තේජා ගොඩකන්දෙආරච්චි

ඇමරිකානු රූපවාහිනී නාලිකාවක් විකාශය කල වැඩ සටහනක් නැරඹීමි. එහි, සුදු ජාතික යුවලක් තම දියණියගේ පෙම්වතා තමන්ට හඳුන්වා දෙනතුරු භෝජන ශාලාවක පෙරෙත්ත වෙති. පෙම්වතා එතැනට පැමිනෙනු පෙනේ. ඒ දුටු දෙමව්පියෝ බෙහෙවින් කලබල වෙති. ඊලඟට තම දියණිය සහ බිරිඳ සමග යම් වචන කිහිපයක් හුවමාරු කරගත් පියා එතැනින් පිටව යයි. තුෂ්නිම්භූතව සිටින තරුණයා ලඟට පැමිනෙන මව, සාමකාමීව තම සැමියාගේ හැසිරීම සම්බන්ධයෙන් හේතු පවසමින් සමාව අයැද සිටියද, ඇගේ අරමුණද එතැනින් ඉවත්ව යාමය. ඒ අනුව එම තරුණයා සමග ඇගේ පුද්ගලික ආරවුලක් නැතද ඇයද එම විවාහය අනුමත නොකරන බව පෙනී යයි. (මෙය සැබෑ සිද්ධියක් නොව, විවිධ වර්ගයේ ජනතාව එක්රැස්වන ස්ථානයක, එම ජනතාව මෙවන් සිදුවීමකට ප්‍රතිචාර දක්වන අන්දම ගැන නිරීක්ෂණය කිරීමට සැලසුම්කල රංගනයකි) මවගේ හේතු දැක්වීම තුල අන්තර්ගතවූ දේ නම්, ‘මට සමාවෙන්න, ඔබ නිවැරදි වෙන්න පුලුවන්. නමුත් මුස්ලිම්වරුන් සම්බන්ධවන ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා ඒ අයට තියන පිලිගැනීම කණගාටුදායකයි. ඒ හේතුවෙන් මගේ සැමියා කිසිවෙකු විශ්වාස කරන්නේ නැහැ’ වැනි වචන කියැවේ. ඒ අනුව මෑත භාගයේ ‘මුස්ලිම්’ යන වචනය තුල ඇති ස්ථිකයන්ගේ වෙනස්වීම සමාජයට බලපාන අන්දම එහි පිලිබිඹුවිය.

මේ නාට්‍යයේ හොඳම කොටස වූයේ, මෙය රඟපෑමක් බව නොදත්, යාබද මේසයක තම පුතුන් දෙදෙනා සමග හිඳගෙන සිටි මුස්ලිම් කාන්තාවක් තම ප්‍රතිචාරය දැක්වූ අයුරුය. ඇමෙරිකානු උච්ඡාරණය සහිතව චතුර ලෙස ඉංග්‍රීසි කතාකරන ඇය සම්ප්‍රදායික පර්දාවෙන් හිස ආවරණය කරගෙන සිටි අයෙකි. ”කරුණාකරල ඇහුම්කන් දෙනවද? ඔයාලට පේනවනේ. මමත් මුස්ලිම් කෙනෙක්. මගේ ආගමේ කියල නැති දේවල් කරගෙන යන පිරිසකගෙ වැඩ නිසා ඔයාල සමස්ත මුස්ලිම් ජනතාව ගැන එහෙම කතාකරන එක වැරදී. මම හරිම ආඩම්බර වෙනවා මගේ ජාතිය ගැන. මගේ දරුවො දෙන්නටත් මම කියන්නෙ ඔයාල මුස්ලිම්වරුන් වීම ගැන ආඩම්බර වෙන්න ඕන කියලයි’

මට මේ කතාව මතක් වුනේ 2018 නව වසරට පිවිසීම නිමිත්තෙන් එක්තරා පුද්ගලයෙකු විසින් මුහුණු පොතට එක්කර තිබූ ප්‍රකාශයක් නිසාය. ‘ඉතින් සිංහල බෞද්ධයිනි, ඔබේ මීලඟ පියවර කුමක්ද?’ වැනි අදහසක් සහිතව පටන් එය, ඊනියා සිංහල බෞද්ධයන් යනු ලේ පිපාසයෙන් පෙලෙන පිරිසක් බවත්, ඔවුන් මිනිසුන් බෙදා වෙන්කල ඉතිහාසයක් ගැන පම්පෝරි ගසමින් යලිත් ලේ වැගිරවීමකට සූදානම් වන බවත්, ඒ පිටුපස සිටින්නේ අන්තවාදී බෞද්ධ භික්ෂූන් බවත්, සත්වයින් රැකීමට මෙය හරිගියා වුනත්, මේ තුල තවත් මිනිස් සංහාරයක් සිදුවීම පමනක් වනු ඇති බවත් පවසා තිබිනි. සිංහල බෞද්ධයන්ට පොදුවේ ආමන්ත්‍රණයකල මේ කතාව කියවූවිට මට මහත් සිත් වේදනාවක් දැනුනේ මාද සිංහල බෞද්ධයෙකු වන බැවිනි.

මවිසින් පලමුව කී කතාව සහ දෙවනුව කී කතාව සසඳා බැලීමේදී මට සිතුනේ, නිව්යෝක් නගරයේ ජීවත්වන කාන්තාවකට එසේ තම ජාතිය ගැන ආඩම්බර වෙමින්, තම දරුවන්ටද තමන් පිලිබඳව ආඩම්බර වීමට කියාදීමේ සහ එය හිතට එකඟව ප්‍රකාශ කිරීමේ හැකියාව ඒ රටවල තිබෙද්දී (ඇය මුස්ලිම් වීම මිස ඇය විසින් කල වරදක් එතැන නැත) අප, අපේ ඉපදුන භූමිය තුල, සිංහල බෞද්ධයන් වීම පිලිබඳව ලැජ්ජාවෙන් හිස පහත්කර ගතයුතු යයි අපේම කොටසක් සිතන බවයි. මා ‘අපේම කොටසක්’ ය පවසන්නේ මවිසින් මගේ අනන්‍යතාවය යොදන්නේ ‘ශ්‍රී ලාංකික’ යනුවෙන් වන අතර, අර ලිපිය ලියූ පුද්ගලයාද ශ්‍රී ලාංකිකයෙකු වන බැවිනි.

දැන් දැන් පෙනෙන අන්දමට ‘සිංහල -බෞද්ධ’ යන වචනය සමාජයට වහකදුරු බවට පත් කරවීමේ වෑයමක් ක්‍රියාත්මක වන ව මා දුටුවේ එම ලිපිය තුල පමනක් නොවේ. නමුත් ඒ සමගම සිංහල බෞද්ධයාට එරෙහිව පොදුවේ නැගෙන මෙම චෝදනාව සනාථ වන පරිදි ක්‍රියාත්මක වන පිරිස්ද හිඟ නැත. නමුත් අවාසනාවට මෙවන් චෝදනාවනට පසුබිම සපයන ක්‍රියාකාරකම් වෙනත් ජනවර්ගයන් අතින් සිදුවන අවස්ථාවල එ්වා සිදුවනුයේ කුමන උප කුලකයක් වෙතින්ද යන්න ගණනට, නූලට ප්‍රකාශකරන මොවුන්, සිංහල බෞද්ධ ජනතාවට පොදුවේ චෝදනා කරන ආකාරය කණගාටුදායකය. ඒ අනුව අප සිංහල බෞද්ධ ලෙස හඳුන්වා දෙන්නට අපටම ලැජ්ජා විය යුතු ආකාරයේ පසුබිමක්මේ දෙවර්ගයේම ලිපි තුලින් සපයයි. කෙසේ වුවද ඉතිහාසය ඇදගෙන ජනවර්ග වෙන් කරන්නට ගියේ සිංහල බෞද්ධයන් පමනක් නොවේ.

මට නම් සිතෙන්නේ මේ සියලු අකටයුතුකම් සිදුවන්නේ සිංහල, දෙමළ හෝ මුස්ලිමුන් අතින් නොව ‘නොමිනිසුන්’ අතින් කියාය. සිංහලයන්ට එරෙහිව නැගෙන මේ චෝදනාවන් සාධාරණීකරනය කිරීමට මෙම සංහිඳියා නඩය යොදා ගන්නේ 1956 දී සිංහලය, රාජ්‍ය භාෂාව බවට පත් කිරීමත්, 1983 දී සිදුවූ වර්ගවාදී කලබලත්ය. සැබැවින්ම දෙමළ ජාතික නායකයන් තමන්ට වෙනම බලප්‍රදේශයක් අවශ්‍ය බව ප්‍රකාශකර ඇත්තේ 1947 දී ය. ඒ අනුව ‘ඉලංගෙයි තමිල් අරසු කච්චි’ නම් පක්ෂය, එනම් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජනවර්ගයක නමක් යොදාගෙන බිහිකල පක්ෂය අරඹුනේ 1951 දී ය. ඊටත් පෙර 1923 දී, ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලබා දීමට වෙස්ට්මිනිස්ටර් සභාව තුල සාකච්ඡා පවතිනවිට, එසේ ලබා දුන්නොත් සිංහල බහුතරය චන්දය ප්‍රකාශකරන ආකාරය අනුව තමන්ට අවාසි වනු ඇතැයි පවසමින්, ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලබා නොදෙන ලෙස ඉල්ලීම් කරන්නට එංගලන්තය බලා ගියේ සර් පොන්නම්බලම් රාමනාදන් ඇතුලු පිරිසකි. 1920 දශකයේදී චන්ද බලය හිමිව තිබුනේ වාර්ෂික ආදායම රු.600 ට වැඩි පුද්ගලයන්ටයි. මෙම පන්තියට අයත් බහුතරය ඉහල පෙලේ සිවිල් සේවාවෙහි නියැලුනු හෝ ඉඩම් හිමි වැවිලිකරුවන් මෙන්ම ඉහල පෙලැන්තියේ ව්‍යාපාරිකයන් වූහ. මේ අය අතර බහුතරය දෙමළ සහ මුස්ලිම් ජාතිකයන්ය. ඒ අනුව එකල මන්ත්‍රණ සභාවේ වැඩි බලය හිමිවූයේ එම ජනවර්ගයන් නියෝජනයකල අයට වූ අතර මෙසේ එංගලන්තයට ගිය පිරිස රටට සේවය කිරීම උදෙසා තමන් ලද නායකත්වය තමන්ගේ ජනවර්ගය හා ගලපා ගත් අය බව පෙනේ. එමෙන්ම චන්දය ප්‍රකාශ වීමේදීද ජනවර්ගය පිලිබඳ ප්‍රමුඛතාව සලකා ඇත.

මේ අනුව බලන කල්හි මේ ජනවර්ග වෙන්වීමට පසුබිම සකසන්නේ සිංහල බෞද්ධයන් පමනය යන්න පිලිගත නොහැක. එම බෙදී, වෙන්ව යාමේ අවශ්‍යතාවය බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමේ වගන්තිවලද දැකිය හැක. උතුරු නැගෙනහිර ජනපද ඉඩම් ලබාදීමේදී ප්‍රමුඛත්වය, ඒ ප්‍රදේශවල වෙසෙන දෙමළ ජනතාවට ලබාදිය යුතුය, (එහි වරදක් නැතත් එකල එම ප්‍රදේශවල සිංහල ජනතාවද ජීවත් වූහ) ඊලඟ අවස්ථාව රටේ වෙනත් ප්‍රදේශවල සිටින දෙමළ ජනතාවට ලබාදිය යුතුය යන වගන්ති ඊට සාක්ෂි දරයි. රටේ අනිත් ප්‍රදේශවල ඉඩම් අඟලක හිමිකමක් නැති සිංහල ජනතාවද ඕනෑ පදම් සිටියෝය. ඒ අනුව මෙම දේශපාලකයින්ගේ අදහස වූයේ රටේ විවිධ පලාත්වල සිටින දෙමළ ජනතාව සීමිත ප්‍රදේශයකට ගාල් කරගෙන ඔවුන්ගේ වෙනම රාජ්‍යයක් ගොඩනැංවීම මිස වෙන කුමක්ද? ඉතින් මෙවන් තත්වයක් තිබුන ඒ කාලයේ මෙම ජනවාර්ගික ප්‍රශ්නය නිර්මාණය කලේය කියා බණ්ඩාරනායක රජයට පමනක් දොස් පැවරිය හැකිද? 1956 දී සිදුවුනේ අඬන්නට බලාසිටි එකාගේ ඇසට ඇඟිල්ලෙන් ඇනීමේ වරදය. එම වරද නිවැරදි කරන්නට ඔවුන් තැත්කරනවිට ඊට එරෙහිව එදා පාරට බැස්සේ ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයයි.

1983 දී සිදුවූ සිද්ධීන්ට සියලුම සිංහල ජනතාව දංගෙඩියට ගෙනයාම සාධාරණ නොවේ. එම කුරිරු ඝාතන සිදුකල කණ්ඩායම් මෙහෙයවූයේ කවුද යන්න මේ සංහිඳියාකාරයන්ට අමතක වීම කණගාටුදායකය. එමෙන්ම එවකට අංකුර අවධියේ පැවති එල්ටීටීඊ සංවිධානයේ සහ දෙමළ ජනතාවගේ ජීවිතවල අාතතිය වැඩිකර, දරුණු පිපිරීමක් නිර්මාණය කරමින් එම අරගලයට හේතු සැපයූ, 1981 යාපනය සංවර්ධන සභා මැතිවරණ මංකොල්ලය හා බැඳුනු අමිහිරි සිදුවීම් මෙහෙයවූයේ කවුද කියා නැවත නැවතත් මතක්කල යුතුද? මේ සියලු නොපනත්කම්වලට වගකිව යුත්තේ බලය සඳහා අසීමිත ආශාවෙන් පෙලෙන පටු දේශපාලන බලවේග මිසෙක බහුතර සිංහල බෞද්ධයන් නොවේ. වාර්ගික යුද්ධයේ පසු අවධියේ එතැන තිබුනේ ත්‍රස්තවාදය මිස දේශපාලනයක් නොවේ. ඉන් බැටකෑවෝ එක ජනවර්ගයකට අයත් නොවෙති. දැන් අවසන් වූ ත්‍රස්තවාදයට පණ දෙන්නට සැරසෙන්නේද තවත් පටු ජාතිවාදී දේශපාලකයන් පිරිසක්මය. මෙයටද ජාති භේදයක් නැත.

එසේ නොවේ නම් වර්ගවාදී යුද්ධය සිදුවූ දශක තුන තිස්සේම උතුරු, නැගෙනහිර ගම් බිම් සහ මායිම් ගම්මානවල දිවි ගෙවූ නිරායුධ සිංහල සහ මුස්ලිම් වැසියන් ම්ලේච්ඡ අන්දමින් ඝාතනයකල සිද්ධීන් මෙන්ම දිවයිනේ අනිකුත් ප්‍රදේශවල සිදුවූ බෝම්බ පිපිරීම් නිසා මියගිය සහ අංගවිකල වූ ජනතාවකගේ ඛේදවාචකයනටද සියලුම දෙමළ ජනතාව වගකිව යුතුයයි කියන්නටද ඉඩකඩ තිබිය යුතුය. නමුත් අපි එසේ නොකියමු.

වර්ගවාදී යුද්ධය පවතිද්දී ඝාතනය වූ සහ අතුරුදහන් වූ දෙමල ජනතාවගේ මානව හිමිකම් ගැන වැලපෙන ජාත්‍යන්තරය, 80 දශකය අගභාගයේදී ඝාතනය වූ, වධ බන්ධනයට ලක්වූ සහ අතුරුදහන් වූ දහස් සංඛ්‍යාත තරුණ ජීවිත පිලිබඳව නෑසූ කන්ව සිටියේ ඔවුන් බහුතරය සිංහල ජාතියට අයත්වූ නිසා විය යුතුය. එයද පක්ෂග්‍රාහී වීමක් නොවේද?

තලෙබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුදු පිළිම පුපුරවාලූ අවස්ථාවේ ශ්‍රී ලාංකික මුස්ලිම් සහෝදර ජනතාව එකාවනව පෙරට විත් ඒ ගැන විරෝධය සහ කණගාටුව ප්‍රකාශ කලහැටි අපට අමතක නැත. අද සාම්පූර්හි බෞද්ධ නටඹුන් ඩෝසර් කරද්දී, වෙනත් ප්‍රදේශවල සිටින සිංහල බෞද්ධ ජනතාව, තම ප්‍රදේශවල තිබෙන හින්දු කෝවිල් සමතලා කරන්නට ගිය බවක් දැනගන්නට නැත. 1960 දශකය මුලදී රන්මුතුදූව චිත්‍රපටියේ මුහුද යට දර්ශන රූ ගතකලේ ත්‍රිකුණාමලයේ වත්මන් කෝනේශ්වරම් දේවාලය අසල මුහුදේය. එහිදී කඩා බිඳදමන ලද, එතැන පෙරදී තිබූ ගෝකණ්න විහාරයේ බුදු පිළිම, මල් ආසනවල කොටස් හමුවූ බව බොහෝ දෙනෙකු දන්නා (නොදන්නා සේ සිටින) කාරණාවකි.

2008 දී, එක්තරා ජාත්‍යන්තර ආයතනයක් මගින් මෙහෙයවූ ‘ගැටුම් විපරිවර්තනය සහ සාමය ගොඩනැංවීම’ නම් පාඨමාලාවේ මොඩියුලයකට සහභාගි වෙමින් ත්‍රිකුණාමලයේ සිටියදී, අපගේ ඔස්ට්‍රියානු ජාතික සම්පත්දායිකාව ලබාදුන් පැවරුමක් සිහිවෙයි. එතැනදී ඈ කීවේ ඉතිහාසයේ සිදුවූ සිදුවීම් නැවත නැවතත් සිදුවන බවට උදාහරණ අප විසින් සොයා සවිස්තරව ඉදිරිපත්කල යුතු වගයි. ඊට නිමිත්ත වූයේ ත්‍රිකුණාමලය ත්‍රිරෝද රථ නැවතුම්පලේ බුදු පිළිමයක් ස්ථාපිත කිරීමේ සිද්ධියකි. ඒ වනවිට නැගෙනහිර පලාත එල්ටීටීඊ ග්‍රහණයෙන් ගිලිහී තිබිනි. මගේ වැටහීමේ හැටියට එම සම්පත්දායිකාවට අවශ්‍යව තිබුනේ සිංහල ජනතාව විසින් දෙමළ ජනතාවගෙ අයිතීන් නැවත නැවතත් ආක්‍රමණය කරන බව අප ලවා ඔප්පුකර ගැනීමටයි. මේ අභ්‍යාසයේදී මා, අර රන්මුතුදූව පිලිබඳ සිද්ධිය පැවසුවේ මෙවන් වැඩසටහන් තුලදී පවා සිංහල ජාතිය ම්ලේච්ඡ ජනකොටසක් ලෙස හංවඩු ගසනු පැහැදිලිව දැක තිබූ නිසාය. මා ඒ ගැන සඳහන්කලවිට මේ ගැන ප්‍රසිද්ධියේ සම්පත්දායිකාවට කියන්නට ඉදිරිපත් වූයේ මගේ දයාබර මිතුරා ඉම්දාත්ය. භක්තිමත් මුස්ලිම් ජාතිකයෙකු වන ඔහු සැමවිටම තම අදහස් අපක්ෂපාතීව පැවසීමට මැලි නොවීය.  ඔහුට වැදගත් වූයේ සිද්ධියයි. ඒ මිස ඔහු ජාතීන් හෙලා දුටුවේ නැත. මේ ගැන විවාදාත්මකව කරුණු පැවසූ ඔහු තම අදහස මගින් සම්පත්දායිකාව වෙත බලපෑමක් ඇති කරන්නට සමත් විය.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ සිංහල සහ මුස්ලිම් ජාතීන් අතර  වැඩෙමින් යන ආතතීන් නිසා මට, ඔහුට ඇමතුමක් ගන්නට මඳ චකිතයක් දැනී තිබිනි. මේ සමහර මිනිසුන්ගේ වැඩ නිසා ඔහු සිංහලයෙකු ලෙස මා ගැන කෙසේ සිතාවිද වැනි වූ වරදකාරී හැඟීමකි ඒ. නමුත් අප අතර පැවති මිත්‍රත්වයේ දයාබර මතක සිහිපත් වූ කල්හි මවිසින් ඔහුට කතාකල යුතු බව මම තීරණය කලෙමි. ඇමතුම සම්බන්ධ වූ වහාම ඔහු පැවසුවේ, තමාගේ පැත්තෙන් ඔහුට දැනී තිබුනේද මට දැනුන වර්ගයේම හැඟීමක් බවයි. අප දෙදෙන මඳක් ගොලුවී සිටියාක් බඳුය. ඒ අපේ මිත්‍රත්වයයි. එය පදනම්ව ඇත්තේ මනුෂ්‍යයන් ලෙස අපට පොදුවූ අදහස් තුල එකිනෙකා වෙත ඇති අන්‍යොන්‍ය ගෞරවය මත විනා ජාතිය මත නොවේ. මොන්ලාර් ආයතනයේ සේවය කල සමයේ, ප්‍රධාන ගොඩනැගිල්ලෙන් වෙන්වූ ශාලාවක හිඳ රැකියාව කල මමත්, එමානුවෙල් සහ රාසුක්ද හොඳම මිතුරෝ වීමු. අප සැම දිනකම පාහේ දිවා ආහාරය ගන්නේ එකටය. අප ජාතීන් තුනකට අයත් බව මතක් වන්නේ අපේ අනිත් මිතුරන් අප තිදෙනාට ‘ජාතික සමගිය’ කියමින් විහිලු කරන විටම පමනකි. මෙවන් අත්දැකීම් ඇති ඕනෑ තරම් ජනතාව ශ්‍රී ලංකාවේ සිටිනු ඇත. අපේ ජනවර්ගය තුලම උප කුලකයකට අයත් කොටසක් නෝලිමිට් හෝ ෆැෂන්බග් යන්න එපා කියමින් ප්‍රචාරයක් ගෙන ගියද සියලුම සිංහලයන්ට එය පිලිපදින්නට අවශ්‍යතාවක් නැත. බහුතර ජනතාවක් අතර රිෂාඩ් බදුර්දීන් අප්‍රසාදයට පත්ව ඇත්තේ විල්පත්තුව වනසන නිසාය. හේතුව එසේ දකින ජනතාවට සිංහලයෙකු වන පාලිත රංගේ බණ්ඩාර සමග ඇත්තේද ඒ හා සමාන කෝන්තරයකි. මොවුන් දේශපාලකයන් වන අතර සනසන්නට තැත් කරන්නේ තම තමන්ගේ චන්දදායකයන්ය.

ඒත් දැන් දැන් නිතරම මේ සිංහල බෞද්ධ ලේ පිපාසය ගැන මතුරන කල්හි, එමගින් මෙවන් මිත්‍රකම්වලටද බලපෑම් ඇති වන්නට ඉඩ ඇත. එබැවින් ඒකපාර්ශ්විකව මත ප්‍රකාශ කරමින්, හිතුමතේ වචන යෙදමින් සිංහල ජාතිය සමස්තයක් ලෙස ජාතිවාදය කරා තල්ලුකර නොදමන මෙන් මෙම හංවඩුකරුවන්ගෙන් ඉල්ලා සිටිමු. එවන් ප්‍රවනතාවක් සිංහල ජනතාව තුල ඇති කරන්නට තැත් කරනවා නම්, ගලබඩඅත්තේ ඥානසාර හිමියන් දංගෙඩිය හමුවේ තබමින්, මහනායක හිමිවරුන් දෙපල නෑසූ කන්ව සිටින බවට චෝදනාකරන ඔවුන්ද එම පාපයට සම සමව වගකියනු ඇත.

ඉතිහාසය විකෘති කිරීම පිලිබඳව සිංහල අපේ පැත්තෙන්ද කතාවක් තිබේ. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා සිතියම බලන්න. එහි, උතුරු නැගෙනහිර පලාත්වල ඇති නගර, ගම් බොහොමයකගේ නම් දෙමළ හුරුවට වෙනස්කර ඇත. අම්පාර, ‘අම්පාරෛ’ ය. පොතුවිල ‘පොතුවිල්’ ය. අරූගම, මුහුදු බොක්කත් සම්බන්ධකර,’අරුගම්බේ’ බවට පත්කර ඇත. ඔබ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ අධිපතිව වැඩ විසූ, 1985 දී ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලද තාඹුගල ආනන්ද හිමියන් විසින් ලියන ලද ‘විසිපස් වසරක වන දිවි තොරතුරු’ (දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි) නම් ග්‍රන්ථය කියවයි නම් මෙ ගම්මානවල පැරණි නම් ඔබට බලාගත හැකිවනු ඇත. 50 දශකය අගභාගයේදී කුඩුම්බිගලට පැමිනි උන්වහන්සේ තම පැරණි මතක ඇසුරෙන් සටහන්කල ඒ පොත, තුල ජාති කුල භේදයෙන් තොරව ප්‍රදේශවාසීන් හා පවත්වාගෙන ගිය සරළ සහ සාමකාමී සබැඳියාව පිලිබඳ හොඳ නිදසුනකි.

මා ලන්ඩන් නුවර සිටි කාලයේ වරක් මට හමුවූ දකුණු කොරියානු ජාතික කාන්තාවක් මගෙන් තොරතුරු විමසුවාය. මා, ශ්‍රී ලංකාවෙන් බව කී විට, ඈ වටපිට බලා රහසින් ඇසුවේ, ‘ඔයා මොනවත් හිතන්නෙ නැත්නම් දෙයක් අහන්නද?’ කියායි. මම එකඟ වීමි. ‘ඔයා සිංහලද? දෙමළද?’ පිටරැටියෙකු ඉදිරියේ මම සිංහල යයි පවසන්නට මට එදා මදිකමක් නොදැනුනි. ඈ පැවසූයේ ‘මම හිතුව ඔයාගෙ හිනාවෙ ලස්සන දැක්කම. එයාල එහෙම හිනාවෙන්නෙ නැහැ. හරි රලුයි’. ඒ ඈ දුටු හැටිය. මම ඇයට යුද්ධය ගැනත්, ඒ තුල දෙමළ ජනතාව විඳි පීඩනය ගැනත් විස්තරකර, ඔවුන් විඳවූ ප්‍රමාණය නිසා ඔවුන් වෙතින් සිනාව පලාගොස් ඇතැයි කීවෙමි. එ් මගේ අවංක අදහසයි. මා සිතුවාට වඩා ඇය ශ්‍රී ලංකාවේ වර්ගවාදී යුද්ධය ගැන දැන සිටියාය. ‘ඉතින් කොළඹ එහෙම බෝම්බ පිපිරුව තරමට ඔයාලත් විඳෙව්ව නේදැ’යි ඇගේ ඊලඟ පැනය විය.

සැබෑය. එම යුද්ධ සමයේ අපිද විඳෙව්වෙමු. අපද ජීවත් වූයේ කොයි මොහොතක හෝ අප වෙත එළඹිය හැකි මරණයේ බර කරපින්නාගෙනය. කොළඹ පාසල්වලට යන දරුවන්, අර්ධ නාගරික පෙදෙසක තිබෙන නිවස කරා, වාහන තදබදය මැද ලඟා වන්නට පැය දෙකක් පමන ගතවෙයි. ඔවුන්ව ඇසට දකිනතුරු සිත ගින්දර නොනිමේ. එකල කොල්ලුපිටියේ ප්‍රධාන කාර්යාලයේ රාජකාරි වැඩවලට යන්නේ නම් මගේ සොයුරිය මට කතාකර තමන් යන පාරද, හැඳ සිටින ඇඳුමේ විස්තරද කියන්නට පුරුදුව සිටියේ, ඒ අවට බෝම්බයක් පිපුරූ ආරංචියක් ලැබුනොත් හඳුනාගනු සඳහාය. නංගී කී මේ කතාව කියූ විට ලකී, මගේ යෙහෙලිය කියූ කතාව හාස්‍යය දැනෙව්වද  ඒ යටින් ශෝකී යතාර්ථයක් විය. ‘මොන ඇඳුම්ද තේජා, මම ඔක්කොම අන්ඩර් ගාමන්ට්ස් අලුතින් ගත්ත. හදිසියක් වුනොත් සරත්ට ලැජ්ජාවක් නැතිව මිනිය භාර ගන්න පුලුවන් වෙන්න එපැයි’. මා රැකියාව සඳහා බොහෝවිට කොළඹින් පිටත සිටියද කොළඹ සිටින පවුලේ අනිත් අය ගැන පසුවනුයේ දැඩි බියකිනි. මෙය ප්‍රත්‍යක්ෂවම මට පමනක් පෞද්ගලික අත්දැකීමක් නොවේ. එකල බොහෝ දෙමව්පියන් එකමග නොගියේ දරුවන්ට එකෙකු හරි ඉතිරිවිය යුතු නිසාවෙනි. මේ සිංහල බෞද්ධ පමනක් නොව සියල්ලන්ටම තිබුන දැවෙන ගැටලුවකි. මේ බව සමහර උදවියට එතරම්ම පහසුවෙන් අමතක වූයේ කෙසේද? නමුත් බරපතලම වරද වූයේ යුද්ධය නිමවූ වහාම උතුරුකරයේ දහස් සංඛ්‍යාත ජනතාව දැවෙමින් සිටි ගින්දර නොතකා, වීදි බැස සැණකෙළි නැටීම තුල සිංහල බෞද්ධයින් යලිත් වතාවක් තමන්ට හානි කරගත් ආකාරයෙනි.

මේ ආත්මාර්ථකාමය නම් ඔවුන් එතැනට තල්ලුකලෝ කවුරුන්ද? මෙයට දේශපාලකයන් පමනක් නොව තම තමන්ගේ පැවැත්ම උදෙසා ක්‍රියාත්මකවන න්‍යායපත්‍ර අතට යටින් තබාගෙන බලලෝභී දේශපාලකයන්ට උඩගෙඩි දෙන සෑම පාර්ශ්වයක්ම වගකිව යුතුය. සිංහල බෞද්ධයන් පමනක්නෙව ඔවුන්ද අනිවාර්යයෙන්ම පක්ෂග්‍රාහීය.

ජාතියේ, ආගමේ නාමයෙන් වෛරය වපුරන ‘සියල්ලන්ටම’ මමද විරුද්ධ වෙමි. මෙම වරද කරන්නේ සිංහල බෞද්ධයන් පමනකිය යන අදහසේ එල්ලී සිටින අයට ‘සියල්ලන්ටම’ යන වචනය ඇඟිල්ල දිගුකර පෙන්වා සිටිමි.

2 Responses to “ලේබල් කරන ජනවර්ග”

  1. Wetta Says:

    “නමුත් බරපතලම වරද වූයේ යුද්ධය නිමවූ වහාම උතුරුකරයේ දහස් සංඛ්‍යාත ජනතාව දැවෙමින් සිටි ගින්දර නොතකා, වීදි බැස සැණකෙළි නැටීම තුල සිංහල බෞද්ධයින් යලිත් වතාවක් තමන්ට හානි කරගත් ආකාරයෙනි.”

    මම මෙම අදහස සමඟ එකඟ නොවෙමි. මන්ද යුද්ධය අවසන් වුනු දා උතුරේ දෙමල ජනතාව පරම්පරාවක් තිස්සේ දැවුනු ගින්දරෙන් මිදීම ඇරඹුනා මිස දැවීම වැඩිවුනා නොවේ. දකුණේ මිනිසුන් ප්‍රීති ඝෝෂා කලේ දකුණේ මිනිසුන්ගේ මෙන්ම උතුරේ මිනිසුන් ගේත් මිනීමරුවා අවසන්වීම අරභයා මිස උතුරේ ජනතාවගේ යම් දුකක් තම සතුටට හරවාගෙන නොවේ. රටේ යුද්ධයක් අවසන් වීම, දරුවන්ට මර බියෙන් පාසල් යාමට තිබු කාලය අවසන් වීම, දෙමව්පියන්ට මර බිය නිසා එකට මහා මඟ යාමට තිබු බිය අවසන් වීම, බිරින්දෑ වරුන්ට තම මල සිරුර සැමියාට හඳුනාගැනීමට අවශ්‍ය යට ඇඳුම් ගැනීමට තිබු සිතා ගැනීමටවත් නොහැකි අන්දමේ අවශ්‍යතාව අවසන්වීම ආදිය තුල ඇත්තේ අහිංසක සතුටක් මිස අනුන්ගේ විපතක් ගැන සතුටු වීමක් නොවේ.

    ඇත්තටම සිදුවිය යුතුව තිබුනේ උතුරේ ජනතාවත් එදා වීදි බැස සැණකෙළි නැටීමයි, ඔවුන් එසේ නොකළේ තමන් එසේ කිරීමට තරම් භෞතික හෝ මානසික තත්වයක නොසිටි නිසා මිස වෙන යමක් නොවේ. එමෙන්ම යම් විධියකින්, එක්තරා උතුරේ පිරිසක් එදා එසේ සතුටු නොවුයේ තමන්ගේ සිත යට තිබු වෙනම රටක සිහිනය අනපේක්ෂිත ලෙස නැතිවී ගිය නිසා නම් එයත් ඔවුන්ගේම වරදක් මිස දකුණේ ජනතාවගේ වරදක් නොවේ. දකුණේ ජනතාව සතුටු වුනේ ලේ පිපාසිත මිනිමරුවෙකුගේ අවසානය නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ. පරම්පරාවක් තුළ ඔවුන් විඳි මරබිය අවසන් වීමේදී ඒ සතුට විඳීමට ඔවුන්ට අයිතියක් ඇති බව පමණක් මට දැනේ. ඒ ඔවුන් සාමාන්‍ය දුක් විඳින ජනතාව බැවිනි, ඔවුන්ගේ සිත සතන් ඉතාම සරල බැවිනි. එය වරදක් ලෙස මට නොපෙනේ. ප්‍රීති ඝෝෂා පැවැත්වූ පසු ලක්ෂ තුනක් වූ උතුරේ ජනතාවට මාස ගණනාවක් මුළුල්ලේ තම වියදමින් අහාරපාන රැගෙන ගොස් සාත්තු සප්පායම් කලේත් එම දකුණේ ජනතාවම බවත් අප අමතක කල යුතු නොවේ. එසේ නම්, ඔවුන් එදා ප්‍රීති ඝෝෂා කලේ උතුරේ ජනතාවට අවමන් කිරීමට නොවන බව ඉන් ඔප්පු වේ.

    යුද්ධය අවසන් වූ මොහොතේ උතුරේ සිටි යුධ සෙබළුනුත් ප්‍රීති ඝෝෂා කල බව අපි දනිමු. ඒ කිමක් උදෙසාද? උතුරේ ජනතාවට අවමන් කිරීමටද? නැත.

    ඊට අමතරව යුද්ධය අවසන් වූ ප්‍රවෘත්තිය මිස ලක්ෂ 3ක් උතුරේ ජනතාව අවතැන් වී ඇති බව එදා ප්‍රධාන මාතෘකාව නොවිණි. යුද්ධය අවසන් වූ බව නොකියා ලක්ෂ තුනක් උතුරේ ජනතාව අවතැන් වී ඇති බව පමණක් එදා ප්‍රවෘත්තියේ කියවුනානම්, එදා දකුණේ ජනතාව පාරට බැස ප්‍රීති ඝෝෂා කරයිද? කොහෙත්ම නැත.

    අනික් කරුණ නම් එදා ප්‍රීති ඝෝෂා කලේ සිංහල බෞද්ධ ජනතාව යැයි කීමත් වැරදිය, සිංහල කතෝලික ජනතාව කිසි ලෙසකින් එදා විනෝද නොවුයේ යැයි නොකියා කීමෙන් පවා කරන්නේ සිංහල බෞද්ධයින්ට තවත් අසාධාරණයක් පමණි.

    ක්‍රියාවට වඩා චේතනාව විශ්වාස කරන මම එදා එක පුද්ගලයෙකු හෝ පාරට බැස ප්‍රීති වුයේ උතුරේ ජනතාව දුකට පත්වීමක් උදෙසා යැයි විශ්වාස නොකරමි. එය එසේ නම් උතුරේ ජනතාව තිස් වසරක් තිස්සේ විඳි දුක වෙනුවෙන් මුළු තිස් වසර පුරාම විනෝද වීමට දකුණේ ජනතාවට හැකියාව තිබුණි.

  2. Senerath Says:

    Wettaගේ කියමන අනුමත කරමි.
    බරපතලම වරද වුනේ එය නොව​, රටට ආදරය හෝ අනාදරය කෙසේ වෙතත් මිනිස් ජීවිත මතුවට ආරක්‍ෂා කරනු පිනිස දැනට යටත් නොවූ එහෙත් කොටි පුහුනුව ලැබූ සියලු දෙනා පොලීසියට බාරවෙන ලෙස නියෝග නොකිරීමත්, මෙවැනි විනාශයක් නැවත ඇති නොවෙන පිනිස උතුරට වසර 10 ක මිලිටරි ආණ් ඩුවක් ප්‍රකාශයට පත් නොකිරීමත්‍ ය​.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress