විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලෙන් (UPF) පමණක් නොව ‘විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභා අරමුදලෙන්‘ ද බැදුම්කරයට මුදල් ඇදලා
Posted on June 23rd, 2018

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය සහ කැෆේ සංවිධානය

පළමු බැදුම්කරයෙන් UPF අරමුදලට මිලියන 5 ක් පාඩුවන විට, විශ්වවිද්‍යාල අරමුදලට” (UGC FUND) රු. මිලියන 141 ක් පාඩුයි!

බැදුම්කර වංචාව සදහා මුදල් සපයා ගැනීමට විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලෙන් (UPF) පමණක් නොව ‘විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභා අරමුදලින් ද, මුදල් ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය අනාවරණය කරයි.

‘විශ්වවිද්‍යාල අරමුදල‘ විසින් බැදුම්කර මිල දී ගැනීම නිසා පමණක් පර්පචුවල් සමාගම වෙත ලැබී ඇති සෘජු ලාභය රු. මිලියන 141 කි.  දුෂිත බැදුම්කර වංචාව සිදු කිරීම සදහා අවශ්‍ය මුදල් පර්පචුවල් සමාගම වෙත නොතිබූ බැවින්, ඉතා සුක්ෂම සහ සැලසුම් සහගත ලෙස ඒ සදහා විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභා අරමුදල් ඒ සදහා භාවිත කොට ඇත.  ඒ සදහා යොදා ගත් අවම මුදල රු. මිලියන 880 ක් වුවත්, එය රු. මිලියන 1000 ඉක්මවිය හැකි බව අපගේ මුලික නිරීක්ෂණය යි. 

මේ අතර, විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ ඉහළම නිලධාරීයෙකු ප්‍ර‍කාශ කළේ ‘විශ්වවිද්‍යා අරමුදලට සිදු වූ පාඩුව පියවා ගැනීම සදහා නඩු පැවරීමට‘ ලේඛන සකස් කරන බවයි. කොපමණ මුදලක් සම්බන්ධයෙන් නඩු පැවරීම සිදු කරන්නේ ද? යන ප්‍ර‍ශ්නයට ඔහු නිශ්චිත පිළිතුරක් ලබා දුන්නේ නැත.    

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය අවධාරණය කරන්නේ, සේවක අර්ථසාධක අරමුදල (ETF) ට සිදුව ඇති පාඩුවටත් වඩා වැඩි පාඩුවක් බැදුම්කර මගඩිය නිසා ‘විශ්වවිද්‍යාල අරමුදල්‘ සදහා සිදුව ඇති බවය. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නිශ්චිතව තහවුරු කර ගෙන ඇත්තේ ”විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභා අරමුදලට පමණක් රු. මිලියන 141 ක පාඩුවක් සිදුව ඇත. එයට අමතරව, විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට (UPF) රු. මිලියන 5 ක පාඩුවක් සිදුව ඇත.   (විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල් සම්බන්ධ පාඩුව මෙයට වැඩි බව අනුමාන කෙරේ.)  එසේ තිබිය දී, විශ්වවිද්‍යල අරමුදල් සම්බන්ධයෙන් නඩු පැවරීමේ ලේඛන සකස් කිරීමට මෙම අනාවරණය සිදුවන තුරුම කටයුතු නොකළේ ඇයි ද පැහැදිලි කිරීම විශ්වවිද්‍යා ප්‍ර‍තිපාදන කොමිෂන් සභාවේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමකි.   

1978 අංක 18 දරණ විශ්වවිද්‍යාල පනතේ 89-96 වගන්ති යටතේ ‘විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලට‘ මුදල් ආයෝජනය කළ හැක.  එහි ප්‍ර‍තිලාභි සාමාජික සංඛ්‍යාව 35,200 කි. (සටහන – වත්මන් සේවක සංඛ්‍යාව 15,000 ක නමුත්, මේ වන විට විශ්‍රාම ගොස් ඇති පිරිස ද එහි ප්‍ර‍තිලාභීන් වෙති).   ‘විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභා අරමුදලේ‘ මුදල් බැදුම්කරවල ආයෝජනය කිරීමට ඇති නෛතික ප්‍ර‍තිපාදනය පැහැදිලි නැත.      

බැදුම්කර කොමිෂන් සභාවේ දී හෙළි වූ කරනු අනුව බැදුම්කර වංචාවට පෙර දින ‘උදෑසන ආහාරවේළ සහිත රැස්වීමේ දී‘ කරුණු සාකච්ඡා කෙරී ඇති බව අනාවරණය විය.  එම අවස්ථාවේ දී, විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වූ අතර, එවකට එහි අමාත්‍යවරයා වූයේ කබීර් හෂීම් ය. කෙසේ නමුත්, බැදුම්කර කොමිසමේ දී කබීර් හෂිම් මහතාගෙන් මේ පිළිබද නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍ර‍ශ්න කළේ නැත.

මෙම කාලවකවානුවේ දී ම, විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාවේ එවකට සභාපති මහාචාර්ය හිරිඹුරේගම මහතා ඉවත් කිරීමට රජය උත්සහ කළේය.  ඒ සම්බන්ධයෙන් එවකට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වූ මහාචාර්ය  රජීව විජේසිංහ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ සහ කබීර් හෂිම් සමග ගැටුමක් ඇති විය. ‘යහපාලන රජය බිද දැමීම සදහා‘ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා කිරීම සදහා පැමිණි පිරිස අතර 2015 පාර්ලිමේන්තුවට පත් නොවූ එකම මන්ත්‍රීවරයා වූයේ රජීව විජේසිංහ මහතා ය.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය සහ කැෆේ සංවිධානය

2018 ජූනි 23

 

 

 

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress