ඩො. මි 16 ක් ආයෝජනය කළ බව ඔප්පු කළොත් මම මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වෙනවා
Posted on July 23rd, 2018

උදයන්ති මුණසිංහ ඡායා – දුමිඳු වනිගසේකර උපුටාගැණීම  මව්බිම

1815 කන්ද උඩරට පාවාදීමටත් වඩා දරුණු පාවා දීමක් ලෙස විද්වතුන් සලකන සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් දරන්නේද මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ මතයම බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පැවැසුවේය.

සිංගප්පූරු ගිවිසුම සිංගප්පූරුවට වඩා ශ්‍රී ලංකාවට වැදගත් බව පවසමින් විපක්‍ෂ නායකවරයා ආණ්ඩුවේම මතවාදය ගෙන යන බවත් පාර්ලිමේන්තුව තුළ සැබෑ විපක්‍ෂයේ භූමිකාව කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂය පමණක් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය ඊයේ (22දා) බොරැල්ල පිහිටි වජිරාශ්‍රමයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවැසීය.

”වගකිව යුතු රජයේ පුවත්පතක් පළ කරනවා මුල් පිටුවේ මුල් පුවත විදියට ‘විදේශ ආයෝජන නැතිව රටක් නංවන්න බැහැ. දැනටම ඇමෙරිකන් ඩොලර් බිලියන 16ක ආයෝජන ඇවිල්ලා’ යනුවෙන්. මේක මහපොළොව නුහුලන පට්ටපල් අසත්‍යයක්. ‘සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමේ අරමුණ ගෝලීය වෙළෙඳපොළ සමඟ තරග කිරීම බව ඇමැති මලික් පාර්ලිමේන්තුවේදී කියයි’ කියලා වැඩිදුරටත් ඒකේ සඳහන් කරලා තියෙනවා.

පසුගිය මාස දෙක තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 16ක් ලංකාවට ලැබිලා තියෙනවා කියලා ඔප්පු කළොත්, ශ්‍රී ලංකා මහ බැංකුව මේ සංඛ්‍යාව සත්‍යයි කියලා නිල වශයෙන් ලබන සතියේදී ඔප්පු කළොත් ඒ ඔප්පු කළ වහාම මම මගේ මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඒ සතියේම කථානායකවරයාට භාර දෙනවා. භාර දීලා මන්ත්‍රි ධුරයෙන් ඉවත් වෙලා මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහායක තනතුරක් ඉල්ලා ගන්නවා. ඉල්ලගෙන එතුමාගේ සහ අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ ඇතුළු නිලධාරීන්ගේ මේ ඇමෙරිකානු ඩොලර් බිලියන 16 ගෙන්වා ගත්ත ආකාරය පිළිබඳව වැඳ වැටී හෝ අධ්‍යයනයක් ලබා ගන්නවා. තොරතුරු සොයාගෙන ඒක පදනම් කරගෙන ඊළඟ මැතිවරණයකදී නැවත පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒ දෙයින් රට ගොඩගැනීම සඳහා වන අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒක තමයි මගේ ඒකායන අරමුණ.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අස්සන් කළාට පස්සේ මාස 2ක් ඇතුළත ඇමෙරිකානු ඩොලර් බිලියන 16ක් ලැබිලා තියෙනවා කියලා කියන මේ දේ සම්පූර්ණ බොරුවක්. ලංකාව නිදහස ලබපු දිනයේ සිට අද දක්වා මේ රට සතුව විදේශවල තියෙන ජාත්‍යන්තර සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 10යි. සංචිතවල දැනට 10ක් තියෙද්දී පසුගිය මාස දෙකේ හම්බ වුණු 16 කෙසේද දැම්මේ කියන එක ප්‍රශ්නයක්. ඒ 16ත් ලැබුණා නම් ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක් කවුද ගත්තේ කියන එක බරපතළ ප්‍රශ්නයක්. අපේ රටේ ප්‍රධාන මාධ්‍යක් ඉතාම වගකීමෙන් යුතුව මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ පින්තූරයත් සහිතව, මේක ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

දැන මාධ්‍ය මර්දනය සඳහා පොලිස් රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කරනවා. ඇමැතිවරයෙක් කුඩු ජාවාරම්කරුවකුට උදවු කරන බව පෞද්ගලික එෆ්.එම්. නාළිකාවකින් ප්‍රකාශ කළාට පස්සේ ඒ මාධ්‍යවේදියාට එළව එළවා පහර දෙනවා. ඒ වගේම සමහර මාධ්‍යවේදීන්ව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගෙනැල්ලා ප්‍රශ්න කරනවා. නැවත එල්.ටී.ටී.ඊ. සංවිධානය රට ඇතුළේ ඇති වෙන්න ඕන කියලා කියන විජයකලා මන්ත්‍රිතුමියට නූල් පොටකවත් වචනයකින්වත් හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ.

අපි ලබන සතියේ මංගල සමරවීර අමාත්‍යවරයාට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩුවක් පවරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපේ නීතිඥයන් මේ දිනවල කටයුතු කරගෙන යනවා. මහජනයාගේ බදු මුදල් භාවිත කරලා පසුගිය රජයට මඩ ගැසීමේ චේතනාවෙන් ඛනිජ තෙල් මිල සම්බන්ධයෙන් රුපියල් ලක්‍ෂ 85කට වඩා වැඩි මුදලක් වියදම් කරලා මහජන මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් එය වැළැක්වීමට මැදිහත් වන ලෙස ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්න අපි බලාපොරොත්තු වෙනවා. මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණයට කරුණු කියලා අපි පිහිටක් පතන්න බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය මාධ්‍ය යොදාගෙන මහපොළොව නුහුලන අසත්‍ය සත්‍ය ලෙස ප්‍රචාරය කිරීම තමයි කරන්නේ.

බහුතරයකින් යුත් 70ක් ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න කොට අපි විපක්‍ෂය නොවෙයි කියලා හීලෑ විපක්‍ෂයක් සහ ඩීල් විපක්‍ෂයක් අද පාර්ලිමේන්තුවේ විපක්‍ෂය ලෙස පිළිඅරගෙන තියෙනවා.

සක්‍රිය බැරකම්වලට විරුද්ධව, සිංගප්පූරු ගිවිසුමට විරුද්ධව, බැඳුම්කර හොරකම ගැන මේවාට පළමුව මැදිහත් වෙලා ජනතාවගේ සැබෑ විපක්‍ෂයේ භූමිකාව කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ 70 දෙනා.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත ගැන විවාදයේදී එම පුවත්පත් වාර්තා වගකීම් විරහිත බව අපි ප්‍රකාශ කළා. චෝදනාව ඉදිරිපත් කරන මන්ත්‍රිවරයාට චෝදනාවවත් හරියට කියාගන්න බැරි වුණා. පාර්ලිමේන්තුවේදී ඒකෙන්ම තේරෙනවා මේක මඩ විහිළුවක් කියලා.”

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි,
පාසල අද මත්ද්‍රව්‍ය මත් පෙතිවලින් පිරුණු ස්ථානයක් වෙලා. ළඟම පාසල හොඳම පාසල කිව්වාට ළඟම පාසල් ගාවත් හොඳම පාසල ගාවත් දැනටමත් මත්පෙති අලෙවි කරනවා. කුඩු අලෙවි කරනවා.

හොඳ ගුරුවරුන්ව, විදුහල්පතිවරුන්ව මාරු කරලා දේශපාලන හෙංචයියන්ව විදුහල්පති හා අධ්‍යාපන සේවයේ තනතුරු ලබාදීමේ වැඩපිළිවෙළක් තමයි අධ්‍යාපන ඇමැතිවරයා කරන්නේ. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවා යැයි කියන කරුණු මත ඉතාමත්ම පහත් දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක කරමින් රටේ ජාතික පාසල් පද්ධතිය විනාශ කිරීමේ වැඩපිළිවෙළකට ආණ්ඩුව ගමන් කරනවා.”

උදයන්ති මුණසිංහ
ඡායා – දුමිඳු වනිගසේකර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress