එදා රට කරපු රජවරු භික්ෂූන්ට නීති දාන්න ආවේ නෑ
Posted on July 27th, 2018

කැලණිය – කුසුම් එස්. හැන්නදි උපුටාගැණීම  මව්බිම

අපේ පෞරාණික ශාසනික දායාද පාලනය කිරීමේ වක්‍ර වෑයමකට සූදානම් වෙන වත්මන් ආණ්ඩුව භික්ෂුන් වහන්සේ වෙනුවෙන් යෝජනා කර ඇති නීති රීති මාලා ගෙන ඒමට කිසිම විටෙක මහා සංඝ රත්නයෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව විසින් ගෙන එන ලද යෝජනාවකට අනුව භික්ෂුන් වහන්සේ වෙනුවෙන් රාජ්‍ය අනුමැතිය සහිත නීති මාලාවක් පාර්ලිමේන්තුවට යොමු කරමින් එය සම්මත කර ගැනීමට උත්සාහ දරමින් සිටිනවා. පාර්ලිමේන්තුවේ නියෝජිතයන් හැම දෙනාගේම එකඟතාවත් මෙයට ලැබී නැහැ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේද එය නොගැළපෙන මෙන්ම නොගෙනා යුතු නුසුදුසු යෝජනාවක් බවයි. මේ රටේ ජීවත් වන පුරවැසියන් ලෙස ඔබ අපි දන්නවා මේ රටේ ක්‍රියාත්මක වන නීති පද්ධතියක් තිබෙනවා. අපරාධ නීති සංග්‍රහය, සිවිල් සංග්‍රහය වගේම රාජකාරි මට්ටමට අදාළ නීති පද්ධතියක් රටේ තිබෙනවා. ඒ නීති භික්ෂුවටත් පොදුවේ එක ලෙස බලපානවා නම් භික්ෂුන් වහන්සේට වෙනම නීති මාලාවක් මොකටද කියා අද අපිට ඇසීමට සිදුවී තිබෙනවා යැයි සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අග්ගමහා පණ්ඩිත නියංගොඩ විජිතසිරි අනුනායක හිමි පැවැසූහ.

උන්වහන්සේ රාගම තුඩුවේගෙදර ශ්‍රී ඉසිපතනාරාම මහ විහාරාධිපති රාසිංගොල්ලේ පඤ්ඤානන්ද හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ පින්කමට එක් වෙමින් රැස්ව සිටි මහ සංඝරත්නය හා දායකයන් හමුවේ එසේ පැවැසූහ. රාගම තුඩුවේගෙදර ඉසිපතනාරාම මහ විහාරස්ථානයේදී පැවැති මෙම අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ පින්කමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි විය.

නියංගොඩ විජිතසිරි අනුනායක හිමි මෙසේද පැවැසූහ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජය විසින් බලපවත්වන නීතියට භික්ෂුන් වහන්සේත් යටත් නම් භික්ෂුන් වහන්සේ ඇති කර ගන්නා සම්මුතිය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු වන්නේ ඇයි. පාර්ලිමේන්තුවට එයට සුදුසුකමක් නැහැ. අපිට පැහැදිලිවම කීමට ඇත්තේ භික්ෂු විනයට අත නොතබන ලෙසත් රාජ්‍ය නීතිය එයට අෑ¼දා ගැනීම නොකරන ලෙසත් පමණයි.

අපි මේ ක්‍රියාදාමයන්ට මුල්වී ඇති හේතුව නොදන්නවා නොවෙයි. මේ ඉස්මතු වන්නේ බලයට ඇති තණ්හාවයි. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර පිළිබඳ උපන් බල තණ්හාවෙන් තමයි මේවා සිදු කරන්නේ. හිත ඇතුළත එකක් තියා ගනිමින් වෙනත් කරුණක් ගෙනැවිත් එය ඉදිරිපත් කර තියෙනවා කියා අපි දන්නවා. දියවඩන නිලමේ තනතුර පිරිනමන්නේ ඡන්දයෙන් පත්වන සුදුස්සාටයි. බි්‍රතාන්‍ය රජ සමයේ පනවන ලද නීතිරීතින් අනුවයි සුදුස්සා තෝරා ගන්නේ. කිසිදු වරදක් නැති කිසිවිටෙක පොලිසියේ පැමිණිල්ලක් නැති, හිරේ ගිහින් නැති, නිවැරැදි ශ්‍රී ලාංකික බෞද්ධයකුට මෙයට ඉල්ලුම් කළ හැකියි. ඒ සඳහා වක්‍රව ඇණ ගැසීම් කළ යුතු නැහැ.

යම් යම් අර්බුද කාලවලදී රාජ්‍ය අනුග්‍රහය ලැබුණත් එදා රට කරවූ රජවරුවත් භික්ෂුන් වහන්සේට නීතිරීති දමමින් පාලනය කිරීමට ඉදිරිපත් වුණේ නැහැ. පියවර ගත්තේ නෑ. මහ පරාක්‍රමබාහු, පළමුවන විජයබාහු, කීර්ති ශ්‍රී රාජසිංහ වැනි රජවරුන් ගැන හිතන්න. ඒ පාලකයන්ගේ පාලන කාලය ගැන විමසා බැලීමක් කරොත් ඔබට එය වැටහෙනවා ඇති. භික්ෂුන් වහන්සේ වෙනුවෙන් වෙන් වූ විනය නීති සංග්‍රහයක් අදටත් තිබෙනවා. යුගයෙන් යුගය ඒවා භික්ෂුන් විසින් නිර්මාණය කර ගන්නවා.

මනුෂ්‍ය ඝාතනයක්, දරුණු නීති විරෝධී වැඩක් කළොත් භික්ෂුන් වහන්සේ නමක් වුණත් රටේ පොදු නීතියට යටත්. විහාරාධිපතීත්වය ස්වාධීන විය යුතුයි. අනවශ්‍ය නීති ශාසනයට දැමීම තුළින් සිදු වන්නේ විපතක්. වරද පෙන්වා දීම අපේ වගකීමක්.

කැලණිය – කුසුම් එස්. හැන්නදි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress