ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ අනෙකා සොයා යාම
Posted on February 3rd, 2019

වෛද් රුවන් එම් ජයතුංග

නීරෝගී නොවන සමාජයක් සෑමකල්හිම සතුරෙකු හෙවත් අනෙකා සොයා යති. සම්පත් අඩු වීම ,  දැණුමේ සහ හැකියාවන් සීමා වීම ,   ආචාර ධර්ම පිලිබඳ දැණුම හීන වීම වැනි කරුණු මෙම තත්වය උග්‍ර කරයි. මේ නිසා සෑම විටම අනෙක් පාර්ශවය සතුරෙකු විට දකියි.සතුරෙකු නොමැති වීම ඔවුනට කාංසාව ගෙන දෙයි. 

පේරාදෙනිය වෛද්‍ය පීඨය ආරම්භ කල අවස්ථාවේදී විශාලතම විරෝධය එල්ල වූයේ කොලඹ වෛද්‍ය පීඨයෙනි. කොලඹ වෛද්‍ය පීඨයට පේරාදෙනිය අනෙකා විය. ඉන් පසුව රුහුණු වෛද්‍ය පීඨය ආරම්භ කිරීමේදී කොලඹ සහ පේරාදෙනිය රුහුණ තම අනෙකා ලෙස දුටුවෝය. මේ විරෝධයන් නිසා රුහුණු වෛද්‍ය පීඨයට මුල් වසර කීපය තුලදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගැනීම පවා ප්‍රමාද විය. 

මාගේ ගුරුවරයෙකු වන විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය අජිත් සේමසිංහ මහතා රුහුණ වෛද්‍ය පීඨයේ ආරම් භක සිසුවෙකු විය. ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ අනෙකා සොයා යාම නිසා ඔහුට නාරි හා ප්‍රසව විශේෂඥතාව ලබා ගැනීම සඳහා දෙවසරක් ශල්‍ය වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සිදු විය. 

රාගම පුද්ගලික වෛද්‍ය විදුහල ආරම්භ වූ අවස්ථාවේදී ඉතා පහසුවෙන් එය අනෙකා බවට පත් විය. රාගම පුද්ගලික වෛද්‍ය විදුහල පොදු සතුරා විය. 

රාගම වෛද්‍ය විද්‍යාලය සමතලා කිරීමෙන් පසුව ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ අනෙකා වූයේ සහකාර වෛද්‍ය නිලධාරීන් ය. සහකාර වෛද්‍ය නිලධාරීන් තම සතුරන් ලෙසට හුවා දක්වනු ලැබූහ. අවසානයේදී සහකාර වෛද්‍ය නිලධාරීන් පුහුණු කිරීමද නවතා දමනු ලැබීය.මේ නයින්  ඊලාම් යුද්ධයේදී සහකාර වෛද්‍ය නිලධාරීන් විසින් සිදු කල මෙහෙයද ඉතා කුහක ලෙස අමතක කරන ලදි. 

සහකාර වෛද්‍ය නිලධාරීන් හඹා යාමෙන් පසුව ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ අනෙකා වූයේ විදේශ වෛද්‍ය උපාධිධාරීන්‍ ය. එක් රැයකින් ඔවුන් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ සතුරන් බවට පත් වූහ.

රුහුණ වෛද්‍ය පීඨය ආරම්භ කිරීමෙන් වසර ගනනාවකට පසුව  කැළනිය වෛද්‍ය පීඨය විවෘත  කරනු ලැබීය. මුල් කාලයේදී කැළනිය පොදු සතුරෙකු විය.  2000 වසරේදී මා සේවය කලේ උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේය. එහිදී කොලඹ වෛද්‍ය පීඨයේ උගත් ජේෂ්ඨ රෙජිස්ට්‍රාවරයෙක් නිබඳවම ප්‍රසිද්ධියේ කැළනිය වෛද්‍ය පීඨයේ සිසුන්  පහත් කොට බැණ වැදීමට පුරුදුව සිටියේය. ඔහුගේ මතය අනුව කැළනිය වෛද්‍ය පීඨය ආරම්භ කිරීම බරපතල වරදකි.

මෑත කාලයේදී ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ අනෙකා බවට පත් වන්නේ සයිටම් ආයතනයයි. සයිටම් ආයතනය බැහැර කිරීමෙන් පසුව මේ වන තෙක් පොදු සතුරෙකු නොමැත. එහෙත් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය විසින් ඉතා ඉක්මනින් අනෙකා හෙවත් පොදු සතුරෙකු සොයා ගනු ඇත. 

වෛද් රුවන් එම් ජයතුංග

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress