රන්ජන් කිව්වේ ඇත්තක්ද ? බොරුවක්ද? කොකේන් කතාව මැතිසබේ රැව්දේ
Posted on February 21st, 2019

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු උපුටාගැණීම  මව්බිම

විවිධ මාතෘකා ඔස්සේ පසුගිය දිනවල රත්වෙමින් උණුසුම් වූ පාර්ලිමේන්තුවේ මැතිසබය ඊයේ (20දා) දිනද රත්වූයේ තවත් අලුත් මාතෘකාවක් කරළියට එක්වීමත් සමඟයි.

මෙසේ මැතිසබය පමණක් නොව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමද දැඩි උණුසුම් වූයේ මෙම මාතෘකාව නිසාය.

එපමණක් නොව ඊයේ පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි නෝර්වේජියානු දූත පිරිසද අන්දමන්ද වී සිටියේ මෙම කතාව හේතුවෙනි.

නෝර්වේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ම්ඪඥතත ර්චඨදඥ ඡධදඡඥමඪඬ ඇතුළු නියෝජිත පිරිස මෙම කාරණය මතුවන විට සිටියේ මැතිසබයේ විශේෂ අමුත්තන්ගේ ගැලරියේය.
මෙම සියලුම දෙනා රත් කළ මාතෘකාව කුමක්ද?

මැති ඇමැතිවරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ 24 දෙනකු කොකේන් භාවිත කරනවා. මේ ගැන කථානායකතුමාට දැනුම් දුන් විට, එම නම් ලිඛිතව දැනුම් දෙන ලෙස කථානායකතුමා ඉල්ලා සිටියා. ඒ අනුව ලිඛිතව ඒ නම් දැනුම් දුන්නා” යනුවෙන් රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යයට කර තිබෙනප්‍රකාශයක් සම්බන්ධයෙන් විපක්ෂය මූලාසනයෙන් විමසීමත් ඊට ආණ්ඩු පක්ෂයෙන් ප්‍රතිචාර එල්ලවීමත් නිසා මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිවිය.

පාර්ලිමේන්තුව ඊයේ (20) දින රැස්වූයේ ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙනි.

රන්ජන්ගේ කොකේන් කතාව මැතිසබයට ගෙනාවේ ආචාර්ය බන්දුල ගුණවර්ධනය.

රන්ජන්ගේ ප්‍රකාශයක් සඳහන් පුවත්පතක්ද අතට ගෙන බන්දුල ගුණවර්ධන තම කාරණය ඉදිරිපත් කළේය.

“කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් ඇතුළු ජනතා නියෝජිතයන් 24ක් මේ මැතිසබයේ ඉන්නවා කියලා රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙනවා. මේ ගැන කථානායකතුමාට දැනුම්දීලා තියෙනවා කියලත් කියනවා. මේ මැතිසබය තුළ 225 දෙනකු ඉන්නවා. මෙහෙම බරපතළ චෝදනාවක් එල්ල කරනවා නම් නම්ටික හෙළි කරන්න ඕන. ඒක නිසා මෙසේ චෝදනා කරන නම් නිශ්චිතවම කියන්න. රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිතුමා නියෝජනය කරන පක්ෂයේ නායකයා වන අගමැතිතුමාටත් වගකීමක් තියෙනවා. මෙම කරුණු නිශ්චිතව කියන්න.” යනුවෙන් වේගවත් ලෙස අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා ඉදිරිපත් කළ උපමාවකට මැති සබයේ සිටි සියලුම දෙනා සිනා වූහ.

“දෙවියෝ පය නොගහන බිම මළ පෙරේතයෝ බේ්‍රක් ඩාන්ස් දානවා” යනුවෙන්ද බන්දුල ගුණවර්ධන පැවැසුවේය.

“ගරු නියෝජ්‍ය කථානායකතුමනි. මේ සංසාර ගමනේ කොකේන් ගහන්න තියා කොකේන් දැකලා නැති අයත් ඉන්නවා. ඒක නිසා ඇත්ත තත්ත්වය වහාම රටට හෙළි කරන්න” යනුවෙන් බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

මේ සමඟම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිපදෙනෙක් නැඟී සිටිමින් රීති ප්‍රශ්න මතුකිරීමට අවස්ථාව ඉල්ලා සිටීමත් සමඟම මැතිසබය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

“මේ ආකාරයේ දැනුම්දීමක් කථානායකතුමාටවත්, අගමැතිතුමාටවත්, සී.අයි.ඩී. (CID) එකටත් දැනුම්දීලා නැහැ. රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය ගැන හොයන්න මං ඇතුළු 4 දෙනකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන්න අද රැස්වුණු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී තීරණය කළා” යනුවෙන් පාර්ලිමේන්තුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා සඳහන් කළේය.

“රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ තිබුණා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ ඉන්න කැබිනට් අමාත්‍යවරුන් 4 දෙනෙක් කොකේන් ගහනවා කියලා.
එතකොට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළම ඉන්නා කිරිඇල්ල ඇමැතිතුමා මේ පරීක්ෂණ කමිටුවට පත්කිරීම අසාධාරණයි” යනුවෙන් ශෙහාන් සේමසිංහ කරන ලද ප්‍රකාශයට කිරිඇල්ල අමාත්‍යවරයාද සිනහ විය.

“මේ ගැන හරියටම හොයන්න ඕන නම් ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂණයක් සිදුකරන්න අවශ්‍යයි. මේ පරීක්ෂණවලට කුඩ්ඩෝ දාන්න එපා” යනුවෙන්ද ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාද නැඟී සිටියේය.

“මුළු පාර්ලිමේන්තුවේ 225 දෙනාම DNA පරීක්ෂණයට ලක්කරන්න ඕන නැහැ. මේ චෝදනා එල්ලවන 24 දෙනාගේ නම් ප්‍රකාශ කරන්න. ඊට පසුව ඒ 24 දෙනා DNA පරීක්ෂණයකට ලක්කරන්න පුළුවන්” යනුවෙන් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා යෝජනා කළේය.

මීට යළිත් පිළිතුරු ලබාදීමට නැඟී සිටියේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාය.

“මේ ප්‍රකාශය ගැන පක්ෂයෙන් පරීක්ෂණයක් සිදුකරනවා මේ කාරණය සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් සිදුකරලා නැහැ කියලා කථානායකතුමා පක්ෂ නායක රැස්වීමේදී කිව්වා. මේ චෝදනා කිරීම සම්බන්ධයෙන් කිසිම නාම ලේඛනයක් ඉදිරිපත් කරලා නැහැ” යනුවෙන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

රවි කරුණානායක අමාත්‍යවරයාද නැඟිට චෝදනා කළේ රන්ජන් රාමනායකයටය.

“මෙයාට පුරුද්දක් තියෙනවා. මෙහෙම වගකීම් රහිත ප්‍රකාශ සිදුකරලා මඩ ගහන්න දෙන්න බැහැ. බොරුවෙන් චරිත ඝාතන සිදුකරන්න දෙන්න බැහැ” රවි කරුණානායක තරමක් උස් හ¾ඩින් පැවසීය.

“තවම එහෙම කිසිම නාම ලේඛනයක් ලැබිලා නැහැ” යනුවෙන් මුලසුනේ සිටි ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය.”

“මේ ප්‍රකාශය කුමන ආකාරයකින්වත් ඉල්ලා අස්කරගන්නේ නැහැ කියලා රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙනවා” යනුවෙන් පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂමන් යාපා අබේවර්ධනයි.

එහෙම කිසිම නාම ලේඛනයක් කථානාකයතුමාට ඉදිරිපත් කර නොමැති බව ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා යළිත් ප්‍රකාශ කළේය.

“කොකේන් භාවිත කරන 24 දෙනකුගේ ලැයිස්තුවක් කථානායකතුමාට භාරදුන්නා කියලා රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙනවා.” එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ විසින් යළි ප්‍රශ්න කරන ලදී.

“එහෙම ලැයිස්තුවක් ලැබිලා නැහැ” ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කථානායකවරයා පැවැසුවේය.

“ඔබතුමා කියලා හරියන්නේ නැහැ. කථානායකතුමා මූලාසනයට ඇවිල්ලා මේ ගැන කියන්න ඕන.” මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේය.

“කථානායකතුමා මෙරටට පැමිණි නෝර්වේජියානු දූත පිරිසක් එක්ක ඒ වැඩසටහනේ ඉන්නේ. මං මේ ප්‍රකාශය සිදු කරන්නේ කථානායකතුමා වෙනුවෙන්” ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේය.

එම පිළිතුරෙන් මහින්දානන්ද අලුත්ගමගේ සෑහීමකට පත්නොවීය.

“නෝර්වේජියානු කට්ටියක් එක්ක යනවට වඩා මේක වැදගත්. පාර්ලිමේන්තුවේ හැසිරුණා වැරදියි කියලා විපක්ෂයේ මන්ත්‍රීවරු ඛ්ධ්ච් ගෙනියනවා. මේවගේ බරපතළ ප්‍රකාශයක් කරලත් කථානායතුමාට මෙතැනට එන්න බැරිද?” මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා යළිත් විමසීය.

මේ සමඟම රීති ප්‍රශ්නයක් මතුකරමින් නැඟීසිටියේ රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාරය.

“මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගත්තට පස්සේ ඔහු සමඟ සම්බන්ධකම් පවත්වපු කිහිපදෙනකුගේම නම් එළියට පැමිණීමට නියමිතයි. ඒක යටගහන්න තමයි මේ කොකේන් කතාව අරගෙන තියෙන්නේ. ඒක නිසා මේ කොකේන් කතාව මධුෂ් ගැන සිද්ධිය යටගහන්න හදපු කොන්ත්‍රාත් එකක්දැයි යන සැකය මතුවෙනවා.” නලින් බණ්ඩාර ප්‍රකාශ කරනවාත් සමඟම මැතිසබය යළි උණුසුම් වූයේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රිවරුන් කෑකෝ ගැසූ නිසාය.

“ඔයාගේ නමත් රන්ජන්ගේ ලිස්ට් එකේ තියනවලු” යනුවෙන් කෑගසුවේ මහින්දානන්ද අළුත්ගමගේ සහ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රිවරුන්ය.

“රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා කියපු බොහෝ කරුණු ඇත්තවෙලා තියෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නඩුව ගැනත් එතුමාකියපු අනාවැකිය හරිගියා. එම නිසා එතුමා දුරකථනයෙන් දැනුම් දුන්නයි කියන නම් හෙළි කරන්න නැත්නම් බීඩියක්වත් බීල තියා අල්ලලාවත් නැති කට්ටියට දැඩි අසාධාරණයක් සිදුවෙනවා” යනුවෙන් රංජිත් ද සොයිසා පෙන්වා දුන්නේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි නැඟී සිටිමින් ප්‍රකාශ කළේ, කොකේන් භාවිතා කරන අය සෙවීමේ පරීක්ෂණය පිළිබඳවයි.
“කොකේන් භාවිත කරල එය මුත්‍ර සාම්පල් මඟින් තහවුරු කරගන්න දින 3ක් ඇතුළත සිදුකළ යුතුයි. රුධිර පරීක්ෂණයක් මඟින් මෙය තහවුරු කරගන්න නම් දින 2ක් තුළදී සිදුකළ යුතුයි. හිසකෙස් ආධාර ගරගෙනත් මේ පරීක්ෂණය සිදුකරන්න පුළුවන්. හැබැයි රන්ජන් රාමනායක රාජ්‍යඅමාත්‍යවරයාට හිසකෙස් නැහැ” යනුවෙන් සිසිර ජයකොඩි කළ ප්‍රකාශයට සියල්ලෝම සිනාසුණහ.

මේ අතර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රි කණ්ඩායම්රැස්වීමේදී මෙම මාතෘකාව නිසා උණුසුම් තත්ත්වයක් ඇතිවූයේ රන්ජන්ගේ මෙම ප්‍රකාශයට එරෙහිව දිගට හරහට එහිදී ප්‍රහාර එල්ලවූ නිසාය.

හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා රන්ජන් රාමනායකව සොයා තිබුණේ ප්‍රහාරයක් එල්ල කිරීමටය. නමුත් රන්ජන් එහි නොසිටියේය.

“අගමැතිතුමනි, මෙතැන අද රන්ජන් හිටියනම් මං ඕකගේ හොම්බට දෙකක් අනිනවාමයි” යනුවෙන් හරින් දැඩිව කියා සිටියේය. තවත් විශාල පිරිසක් රන්ජන් දැඩි දෝෂදර්ශනයට ලක්කළහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress