විනිසුරුවන් බෞද්ධ නම් උසස්වීම් නෑ.. විනිසුරුවන් 07ක් නඩු දමති.. ව්‍යවස්ථා සබාවේ සුවිසල් කුමන්ත‍්‍රණය මෙන්න..
Posted on February 22nd, 2019

අරවින්ද අතුකෝරල

ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා කළ කථාව.

ගරු කථානායකතුමනි,

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේ දී ව්‍යවස්ථාදායක සභාව විසින් ජේෂ්ඨත්වය නොසලකා පක්ෂග්‍රාහිව කටයුතු කර ඇති බවට අතිගරු ජනාධිපතිතුමා විසින් ද පාරලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් ද චෝදනා නගා ඇති බැවින් ද නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා පත් කළ ආකාරය පිළිබඳ සමාජයේ ප්‍රබල විවේචනයක් ඇති බැවින් ද ව්‍යවස්ථාදායක සභාව විසින් ඉහළ තනතුරු වලට පත් කිරීමේ නිරණායක ප්‍රසිද්ධ කර නොමැති බැවින් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41උ(3) වගන්තිය ප්‍රකාරව එකී ව්‍යවස්ථාදායක සභාව විසින් රීති සකසා ගැසට් මගින් ප්‍රසිද්ධ කර පාරලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට මෙම පාරලිමේන්තුව යෝජනා කරයි.

ව්‍යවස්ථාදායක සභාව හෙවත් දූශනයේ සංකේතය

විනිසුරුවන් බෞද්ධ නම් උසස්වීම් නෑ.. විනිසුරුවන් 07ක් නඩු දමති.. ව්‍යවස්ථා සබාවේ සුවිසල් කුමන්ත‍්‍රණය මෙන්න..

ගරු කතානායකතුමනි, වර්තමාන ආණ්ඩුව හේවිසි ගහලා හොරණෑ ගහලා පාවාඩ එළලා සාදුකාර දී දහනමවන සංශෝධනය ගෙනාවේ මේ රටේ පවතින අට දහයක් වූ සන්නි වලට අට අනූවක් ව්‍යාධි වලට අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියන නිවාරණයක් විදිහටයි. නමුත් අද හැරිල බලන විට දූෂණය නැති කරන්න යැයි රටට හඳුන්වා දුන්න ව්‍යවස්ථාදායක සභාව දූශනයේ සංකේතය බවට පත් වෙලා තිබෙනවා.

ගරු කතානායකතුමනි, ගහක මුදුන්මුල කුණු වුණාට පස්සේ ඒ ගහට පවතින්න විදිහක් නෑ. මේ රටේ මර්මස්ථාන වන නීතිපති පොලිස්පති විගණකාධිපති ජේෂ්ඨ අධිකරණ වල විනිසුරුවරුන් ඒ වගේම මැතිවරණ කොමිසම පොලිස් කොමිසම රාජ්‍ය සේවා කොමිසම වැනි ජාතියේ මර්මස්ථාන වලට පුද්ගලයන් පත් කරන ආයතනය පිළිබඳව මේ සමාජයට සැකයක් ඇති වෙනවා නම් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳවම සමාජයේ විශ්වාසය බිඳවැටීම කාටවත්ම නතර කරන්නට බැහැ.

තනතුරු නොලැබුනේ ඇයි ? ඔහු දන්නෙත් නෑ, රට දන්නෙත් නෑ, අප දන්නෙත් නෑ

මේ ප්‍රශ්නය පටන් ගන්නේ කොතනින්ද? අපට මතකයි 2016 පෙබරවාරි මාසයේ නීතිපති තනතුර පුරප්පාඩු වෙනවා. සම්ප්‍රදාය වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන සොලිසිටර් ජනරාල් වරයාට එම තනතුර ලබාදීම. ඉතිහාසය පුරා වැඩි වශයෙන් ම සිද්ධ වූයේ එයයි. එහෙමත් නැති නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු වරයෙකු එම තනතුර සඳහා පත් කරනවා. නමුත් 2016 පෙබරවාරි වන විට සොලිසිටර් ජනරාල් තනතුර දැරුවේ සුහද ගම්ලත් මහතායි. නමුත් ඔහුට නීතිපති තනතුර ලබා නොදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෙකුට ලබා නොදී එම දෙපාර්තමේන්තුවේම කනිෂ්ඨ නිලධාරියෙකු වන ජයන්ත ජයසූරිය මහතාට මෙම තනතුර ලබා දෙනවා. අපි කියන්නේ නැහැ කොයි වෙලාවකවත් ජේෂ්ඨයාට අනිවාර්යෙන්ම ලබාදිය යුතුයි කියලා. ජේෂ්ඨතම නිලධාරියාගේ කාර්යක්ෂම භාවය පක්ෂග්‍රාහී තාවය පිලිබඳ ප්‍රශ්නයක් තියෙනව නම් පැවැත්ම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනව නම් ජෙෂ්ඨයා වුණත් ඔහුට නොදී ඉන්න සිදු වෙනවා. නමුත් තමන්ට තනතුර අහිමි වෙනවා නම් ඒ නිලධාරියාට සාධාරණ වූ අයිතියක් තිබෙනවා තමන්ට තනතුර නොලැබෙන්නේ ඇයි දැයි දැනගැනීමට. ගම්ලත් මහත්තයට තනතුරු නොලැබුණේ ඇයි ද කියන එක එතුමා දන්නෙත් නෑ. රට දන්නෙත් නෑ. පාර්ලිමේන්තුවේ සිටින අප දන්නෙත් නැහැ.

කෙනෙකුට තමන්ට නිල වශයෙන් හිමි නැති තනතුරක් ලැබෙන විට ඔහු නිරායාසයෙන්ම පෙළඹෙනවා තමන්ට එම තනතුර ලබාදුන් පුද්ගලයන්ට පක්ෂපාතීව කටයුතු කරන්නට. අගමැතිතුමන් 2015 මාර්තු මාසයේ මේ සභාවට දැනුම් දුන්නා මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ කමිටු වාර්තාවට නීතිපතිවරයාට නඩු දැමීමට යවන බව. වසර හතරක් ගත වෙලත් තවම නඩු දමා නැහැ.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ බැදුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නඩු පැවරීම සඳහා නීතිපතිට යොමු කරන බව කිව්වා. දැන් වසරකට වැඩි. නමුත් නඩු දාලත් නැහැ නඩු දමයි කියලා අපට බලාපොරොත්තු වෙන්නත් බැහැ. මෙතැනදී එතුමා අකාර්යක්ෂම උනත් රණවිරු දඩයම, භික්ෂු දඩයම විරුද්ධ පක්ෂ දේශපාලක දඩයමේ දී නීතිපති හරිම කාරයක්ෂමයි.

2016 ජූනි පොලිස්පති තනතුර පුරප්පාඩු වෙනවා. ජ්‍යෙෂ්ඨයා ජෙ.නි.පො. එස් කේ වික්‍රමසිංහ මහතායි. නමුත් ඒ තනතුර හිමි වන්නේ කණිෂ්ඨ නිලධාරියෙකු වන පූජිත ජයසුන්දර මහතාට. ප්‍රතිඵලය තමයි දේශපාලකයින්ගේ දුරකතන ඇමතුම් ඉදිරියේ නීතිය නවන පොලිස්පතිවරයෙකු බිහි වීම. වික්‍රමසිංහ මහතාට එම තනතුර අහිමි වුණේ ඇයි කියලා අපි දන්නෙත් නෑ. රට දන්නෙත් නෑ. අඩුම ගණනේ වික්‍රමසිංහ මහතා දන්නෙත් නෑ. කථානායකතුමන් නං දන්නවා ඇති සමහරවිට.

වඩාත්ම මතභේදයට ලක් වන පත්වීම් සිදු වූයේ අධිකරණයේ. මහාධිකරණ විනිසුරුවරයෙකු ජෙෂ්ඨයින් පස්දෙනෙකු නොසලකා අභියාචනාධිකරණයට පත් කළා. නැවත වරක් ජ්‍යෙෂ්ඨයින් නොසලකා අභියාචනාධිකරණයේ සභාපති ධූරයට පත් කළා. අභියාචනාධිකරණයේ නඩු තීන්දු 42ක් ලබා නොදෙමින් කල් දමා සිටියදී ශ්‍රේෂ්ඨාධිකරණයට ද පත්වීමක් ලැබෙනවා. මොකක්ද මේ ක්‍රමවේදය? ක්‍රමවේදයක් නොමැති මෙම පත්වීම් හේතුවෙන් එච් ආර් හෙයියන්තුඩුව සහ කුසලා සරෝජනි වීරවර්ධන වැනි කීර්තිමත් විනිසුරුවරුන්ට උසස් අධිකරණයට යෑමට අවස්ථාව නොලබාම විශ්‍රාම ගැනීමට සිදු වුනා. හොඳම උදාහරණය මේ මොහොතේ මහාධිකරණයේ ජේෂ්ඨතම විනිසුරුවරයා මනිලාල් වෛද්‍යතිලක මහතා. අට වතාවක් ඉහළ අධිකරණයට පත්වීම් ලබාදීමේ දී එතුමාව නොසලකා හැර තියෙනවා. පුරප්පාඩුවක් එනවිට ඊළඟ අවස්ථාව තමන්ට ලැබෙනු ඇතැයි ඕනෑම මනුෂ්‍යයෙක් වගේ එතුමාත් බලාපොරොත්තු වෙනවා. නමුත් අට වතාවක්ම නොසලකා හරින්නට හේතුව කුමක්ද කියා එතුමාට දැනගැනීමට සාධාරණ අයිතියක් තිබෙන බව අපි සඳහන් කරනවා.

බෞද්ධයෙකු වීම තනතුරක් ලැබීමට නුසුදුසු කමක් ද?

ගරු කතානායකතුමනි බෞද්ධ නායකයෙකු ලෙස ඔබ තුමන්ට මේ සමාජයේ ගෞරවයක් තියෙනවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට පත්වීම් සිදු කරද්දී තමන් බෞද්ධ වීම නිසා තමන්ව නොසලකා හරින බවට විනිශ්චකාරවරුන් අතර මතයක් ඇතිවී තිබෙනවා. විනිශ්චකාරවරුන් අපට කතා කරලා පෞද්ගලිකවම ඒ ගැන සඳහන් කර තිබෙනවා. යමෙක් බෞද්ධයෙකු වීම තනතුරක් ලැබීමට සුදුසු කමක් නොවේ. ඒ වගේම බෞද්ධයෙකු වීම යම් තනතුරක් ලැබීමට නුසුදුසු කමක් විය නොහැකියි. සියයට හැත්තෑවක් බෞද්ධයන් ඉන්න රටක මේ මතය සමාජගතවීම සමාජය තුළ දැවැන්ත අසහනයක් නිර්මාණය කර ඇති බව ඔබතුමන්ලා නොදැන සිටිනවා නම් දැන ගැනීම පිණිස සිහිපත් කරනවා.

මේ අර්බුදයේ උච්චස්ථානය බවට පත් වූයේ අභියාචනාධිකරණයේ සභාපති ධූරයට ජ්‍යෙෂ්ඨතම විනිසුරු වූ දීපාලි විජේසුන්දර මහත්මියට ලබා දෙන මෙන් ජනාධිපති කළ නිර්දේශයයි. එතුමිය 2011 අභියාචනා අධිකරණයට ඇවිත් වසර අටක් සිටින ජේෂ්ඨතම විනිශ්චකාරවරියක්. මීට කලින් සභාපති ධූරය දැරුවේ යන්තමින් දෙවසරක් හිටපු විනිශ්චයකාරවරයෙක්. කිසිම හේතු දැක්වීමකින් තොරව මෙම නිරදේශය ප්‍රතික්ෂේප වෙනවා. එයින් විමතියට පත් ජනපති නැවත වතාවක් එම නම නිරදේශ කලා. එවර ද ව්‍යවස්ථාදායක සභාව විසින් එම නම ප්‍රතික්ෂේප කරනවා. වසර අටක් පුරාවට අභියාචනාධිකරණයේ රැඳී සිටින විනිසුරුවරියකට ශ්‍රේෂ්ඨාධිකරණයට යා නොහැකි නම් එසේ යා නොහැක්කේ ඇයි දැයි දැන ගැනීමේ අයිතියක් ඇති බව ව්‍යවස්ථාදායක සභාවේ සමස්තයටම අපි සිහිපත් කරනවා. මව්බිම පාවා දෙන ප්‍රකාශයක් සිදු කළ හිටපු හමුදාපතිවරයෙකුට එරෙහිව පැවැති සුදුකොඩි නඩුවේ විනිසුරුවරියක ලෙස ඇය කටයුතු කිරීම පිළිබඳ ඇය කෙරෙහි එජාපයේ පවතින ද්වේශය ඇයගේ නම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමට හේතුව බවට මේ රටේ මතයක් තියෙනවා. ඒක එහෙම නොවෙයි කියලා රටට තේරුම් කිරීමට අවශ්‍ය විනිවිදභාවය පෙන්නුම් කිරීම ව්‍යවස්ථාදායක සභාව අසමත් වී තිබෙනවා.

විදෙස් විනිසුරුවන් ගෙන ඒමේ කුමන්ත්‍රණයට ව්‍යවස්ථාදායක සභාවත් හවුල් ද?

ඒ වගේම ගරු කතානායකතුමනි ඔබතුමන් ප්‍රකාශ කරලා තිබුණා විනිශ්චකාරවරුන් පිළිබඳ මෙවැනි විවේචන ගේන්නට එපා. මෙවැනි යෝජනා වලින් සිදුවන්නේ විදේශ විනිසුරුවන් අවශ්‍ය බවට ජාත්‍යන්තරයෙන් ඇතිවන පීඩනය ශක්තිමත් වීම පමණයි කියලා. නිසි ක්‍රමවේදයක් නැතුව මේ විනිසුරුවන් පත් කරමින් සිටින්නේ අධිකරණයට ගල් ගැසීම සමාජය තුළින් ඇති කරලා, අධිකරණය පිළිබඳ විශ්වාසය ද නැති කරලා, ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි විදේශ විනිසුරුවන් ගෙන ඒමේ පසුබිම සාධාරණීකරණය කිරීමේ කුමන්ත්‍රණයක මේ ආණ්ඩුව සහ ව්‍යවස්ථාදායක සභාව යෙදී සිටිනවා යැයි අපට සිතෙනවා. ආණ්ඩුවේම රාජ්‍ය අමාත්‍යවරයෙක් කියනවා අපේ අධිකරණයේ සීයට අනූපහක් දූෂිතයි කියලා. ඔහු අධිකරණයට යද්දී ඔහුගේ නීතිඥයා විදිහට ඉන්නෙ දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රිතුමා. මේ නඩුව දිනුවොත් සුමන්තිරන් මන්ත්‍රිතුමාට ජාත්‍යන්තරයටම ගිහින් කියන්නට පුළුවන් ආණ්ඩුවේම අය අධිකරණය දූෂිතයි යැයි පවසන බව. එසේ කිව්ව ඔහුව මම නිදහස් කර ගැනීම තුළින් අධිකරණය පිළිගෙන තිබෙනවා අධිකරණය දුෂිත බව යැයි සුමන්තිරන් මන්ත්‍රිතුමාට වැඩිදුරටත් කියා සිටින්න පුළුවන්. විදෙස් විනිසුරුවන් ඕනෑ යැයි කියන මතය සාධාරණීකරණය කර ගැනීමේ අවස්ථාව එතැනින්ම ඇතිවී තිබෙනවා.

නිර්ණායක කෝ ?

ගරු කථානායකතුමනි, මුහුණ බලලා පක්ෂපාතිත්වය බලලා ආගම බලලා විනිසුරුවරුන්ට පත්වීම් ලබාදෙන්න තමුන්නාන්සේලා තවදුරටත් කටයුතු කරගෙන ගියහොත් අනිවාර්යෙන්ම විදේශීය මැදිහත්වීමක් හරහා අප රටට විදෙස් විනිසුරුවන් ගෙනෙන්න සිදුවෙනවාමයි. ඒ නිසා අප තමුන්නාසේලාට යෝජනා කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 41උ(3) වගන්තිය අනුව ව්‍යවස්ථාදායක සභාවවේ නිර්නායක හදන්න කියලයි. එහි ඉතා පැහැදිලිව කියනවා තමුන්නාන්සේලාට රීති හදන්න බලය තියෙනවා කියලා. අද වන තුරු එහෙම කරලා නෑ. මම යෝජනාව භාර දුන්නේ ජනවාරි 23. හා පුරා කියලා 2019 පෙබරවාරි 8 වැනිදා මේ ගරු සභාවට තමුන්නාන්සේ එවනවා ව්‍යවස්ථාදායක සභාවේ කුලුඳුල් වාර්තාව. මේ වාර්තාවේ නිර්ණායක කියල එකකුත් දාලා තිබෙනවා. නීතිපති තෝරාගැනීමේ නිර්ණායකය කුමක්ද ? මොනවද සඳහන් කර ඇති නිර්ණායක. පළමුවැන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවෙකු. දෙවැන්න සොලිසිටර් ජෙනරාල්වරයා. තෙවැන්න අතිරේක සොලිසිටර් ජෙනරාල් තනතුරේ ස්ථීර වශයෙන් හොබවා ඇති තැනැත්තෙකු. වරහන් ඇතුලේ තියෙනවා සාමාන්‍යයෙන් ජේෂ්ඨතා අනුපිළිවෙලට කියා. ඒක එහෙම නම් ෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුටත් නොදී සොලිසිටර් ජනරාල්වරයාට නොදී තෙවන අවස්ථාවේ සිටින අතිරේක සොලිසිටර් ජනරාල් වරයකුට ලබාදීමේ ක්‍රමවේදය කුමක්ද? සලකා බැලූ කරුණු මොනවාද? ඒ සලකා බැලූ කරුණු සඳහා ලකුණු ලැබුණු ආකාරය කුමක්ද? තවත් සළකා බැලිය යුතු කරුණු මොනවාද? මෙන්න මේවටයි නිර්ණායක කියන්නේ. එවැනි නිර්ණායක කිසිවක් තවමත් තමුන්නාන්සේලා හදලත් නෑ. ගැසට් මගින් ප්‍රකාශයට පත් කරලත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියවෙන ආකාරයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලත් නැහැ. ඒ නිසයි මේ ව්‍යවස්ථාදායක සභාවේ විනිවිද භාවයක් නොමැති යැයි චෝදනාව සමාජයේ දස අතින් නැගෙමින් පවතින්නේ.

ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය බරපතළ ප්‍රශ්නක්

ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය පිළිබඳව ද බරපතළ ප්‍රශ්න පැන නැගී තිබෙනවා. මුලින්ම මේ සමස්ත ව්‍යවස්ථාදායක සභාවම හංස රාජධානියක් බවටයි පත් වෙලා තිබුනේ. අගමැති සහ විපක්ෂනායක ඒකාබද්ධවයි මේ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් දහ දෙනාගෙන් පස් දෙනෙකුම පත් කරන්නේ. මේ දෙදෙනා එක්ව පත්කිරීම් කරන විට එකදු පාර්ශ්වයකට වත් පක්ෂපාතී නැති වඩාත් ස්වාධින ගෞරවනීය චරිත සොයා ගත හැකි යැයි කියන විශ්වාසයෙන් තමයි එසේ පත් කිරීම් සිදු කරන්න කියන්නේ. නමුත් මෑතක් වනතුරුම මේ රටේ විපක්ෂ නායක ධූරය දැරුවෙත් අගමැතිතුමාගේ පැත්තේම එක්කෙනෙක්. එතුමා ඉතින් අගමැතිතුමා කිව්ව එකටත් හා, කියන එකටත් හා, කියන්න ඉන්න එකටත් හා කියලා තමයි කියන්නේ. එවිට කොහොමද ස්වාධීන පුද්ගලයන් ව්‍යවස්ථාදායක සභාවට පත් වෙන්නේ.

මේ විකෘතිය 2018 දෙසැම්බර් මාසයේ නිවැරදි වුණා. සැබෑ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ව්‍යවස්ථාදායක සභාවට ආවා. නමුත් අගමැති සහ පෙර සිටි විපක්ෂ නායක විසින් පත්කළ පස්දෙනා තවමත් වෙනස් වී නැහැ. විකෘතිය තවමත් ඉදිරියට යනවා. ඒ නිසා ව්‍යවස්ථාදායක සභාවේ ඔය කියන ස්වාධීනත්වය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අගමැතිවරයා සහ හිටපු විපක්ෂ නායක විසින් එකට එකතුවී පත්කළ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් පස්දෙනා යුක්තියේ නාමයෙන් සාධාරණත්වයේ නාමයෙන් ව්‍යවස්ථාදායක සභාවේ ගෞරවයේ නාමයෙන් වහාම ඉල්ලා අස්විය යුතු යැයි අප යෝජනා කරනවා.

ආණ්ඩුවට වෙච්ච දේම තමයි අද ව්‍යවස්ථාදායක සභාවටත් වෙලා තියෙන්නේ. හොරු අල්ලන්න ආපු ආණ්ඩුව කම්බ හොරුන් බවට පත්වුණා වගේම රටේ මර්මස්ථාන ස්වාධීන කරන්න ඇති කරපු ව්‍යවස්ථාදායක සභාව අද දේශපාලන අතකොළුවක් බවට පත්ව තිබෙනවා. අන්න ඒ නිසා මේ රජයේ මර්මස්ථාන ස්වාධීන කිරීමට පෙර ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන ආයතනයක් බවට පත් කර ගත යුතුව තිබෙනවා. එය කළ හැක්කේ අප මුලින් සඳහන් කළ ආකාරයට නිශ්චිත නිර්ණායක සකස් කරලා ඒවා ප්‍රකාශයට පත් කරලා නම් තනතුරකට පත් කරන පුද්ගලයා ඒ සඳහා ලබාගත් ලකුණු රටට ප්‍ර‍රකාශයට පත් කළ හොත් පමණයි.

විනිසුරුවනුත් නඩු මගට

මෑතකදී මා හිතවත් ජනාධිපති නීතිඥවරයෙක් ලොමුදැහැගැන්වෙන තොරතුරක් මා හට ලබා දුන්නා. එතුමා හමුවෙන්න ඇවිත් තිබෙනවා මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුත් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුත් මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරීමට. තමන්ට දිගින් දිගටම උසස්වීම් වල දී ව්‍යවස්ථාදායක සභාව නොසලකා හරිනවා, නමුත් එසේ නො දෙන්නේ ඇයි දැයි ඔවුන් ප්‍රකාශ කරලත් නැහැ, එහෙයින් තමන්ගේ මූලික අයිතිවාසිකම් ව්‍යවස්ථාදායක සභාව විසින් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරීම සඳහා ඔවුන් මේ ජනාධිපති නීතිඥයා හමු වී තිබුනේ. මෙයින් අධිකරණයේ ගරුත්වයට ස්වාධීනත්වයට ඇතිවන බලපෑම ගැන එම විනිසුරුවන් දැනුවත් කරලා අප තවත් ටිකක් ඉවසමු යැයි ප්‍රකාශ කරලා සිත සනසා යැවීමට මේ කීර්තිමත් ජනාධිපති නීතිඥ තුමන් කටයුතු කරලා තියෙනවා. මේ නඩු ටික වැටෙන්නට කලින් අධිකරණ ඉතිරිවී ඇති ගෞරවයවත් විනාශ වීමට කලින් නිර්ණායක සහ රීතීන් හදලා ඒවා ගැසට් මගින් ප්‍රසිද්ධ කරලා මේ සභාවට ඉදිරිපත් කරන්නට උන්නාන්සේලාට චේතනාව පහළ වේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා.

2 Responses to “විනිසුරුවන් බෞද්ධ නම් උසස්වීම් නෑ.. විනිසුරුවන් 07ක් නඩු දමති.. ව්‍යවස්ථා සබාවේ සුවිසල් කුමන්ත‍්‍රණය මෙන්න..”

  1. Geeth Says:

    @ Dilrook
    I would like to see what is your opinion about this statement.

  2. Dilrook Says:

    The solution to the problem of political interference in the judiciary is not to appoint civil groups (17A and 19A) but to abolish executive presidency and implement the law on others.

    This is one mess to fix another.

    Udaya is marginalized within the JO/SLPP for talking sense!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress