රනිල් දැන් හොඳටම හිරවෙලා
Posted on February 24th, 2019

අරුණි මල්ලවආරච්චි උපුටාගැණීම  මව්බිම

මේ දවස්වල බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුවෙලා තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී .ල.නි. පක්‍ෂය සන්ධානගත වීම පිළිබඳව, දැන් මේ කතාවේ අලුත්ම තත්ත්වය මොකක්ද මන්ත්‍රිතුමා?

අපි යන්නේ පවතින ආණ්ඩුව පරාජයට පත් කරන්න. පවතින ආණ්ඩුව පරාජය කළොත් පමණයි අපට ජයග්‍රහණය කරා යෑමට හැකි වන්නේ. ඒ නිසා ඒ ජයග්‍රහණය ලබා ගැනීම වෙනුවෙන් අපි මේ මොහොතේ ඕනෑම කණ්ඩායමක් සමඟ සන්ධානගත වෙන්න සූදානම්.

ඕනෑම කණ්ඩායමක් කිව්වේ. ටී.එන්.ඒ. එක එක්ක වුණත් සන්ධානගත වෙන්න ලෑස්තියිද?

නැහැ නැහැ, මම අදහස් කළේ ඒක නෙවෙයි. අපි ඔවුන් සමඟ මීට පෙරත් බොහෝම සහයෝගයෙන් කටයුතු කළා. අපේ ආණ්ඩුව තිබුණු කාලේ නැඟෙනහිර සහ උතුරු පළාතේ පළාත් සභා මැතිවරණ පවා පැවැත්වූවා.

නමුත් අපි බොහොම පැහැදිලිවම දැනගෙන හිටියා අපි දිනන්නේ නැති බව. ඒත් අපි මැතිවරණයකට ගියේ ජනතාව අතරින් පත්වුණු ඔවුන්ගේ ජනතා නියෝජිතයන්ට රජයත් සමඟ කටයුතු කරන්න අවස්ථාව ලබාදීලා එම පළාත් සංවර්ධනය කිරීමටයි. දැන් ඒවා විසුරුවා හැර අවසන්නේ.

නමුත් කෝ ඔය එක නායකයෙක්වත් දැන් ඒ ගැන වචනයක්වත් කතා කරනවාද?

මේක විසුරුවා ඉවරයි කියලා. ඒ අය කල්පනා කරන්නේ වෙනම කොටසක් ගන්න මිසක් ප්‍රජාතන්ත්‍රවාදී විදියට යන පාලනයකට යන්න නෙවෙයිනේ. මේ වගේ හැසිරීම්වලින් අපිට ඔවුන්ගේ විකෘතිය පේනවානේ. මම ඇත්තටම අදහස් කළේ අපේ සහෝදර කණ්ඩායම් ගැනයි.

ඔබතුමා එහෙම කිව්වට මේ සන්ධානගත වීමේ ප්‍රමාද වීමක් මිස කිසිම ප්‍රායෝගික තත්ත්වයක් පෙනෙන්නට නැහැනේ නේද?

නැහැ නැහැ එහෙම ප්‍රමාද වීමේ තත්ත්වයක් නැහැ. අපි දැන් විවෘතයි.

අපි ප්‍රාදේශීය සභා මැතිවරණයට ගියා.

අපි ඒකාබද්ධ විපක්‍ෂය විදියට හිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානගත වීමත් සමඟ අපි පොඩි ක්‍රමවේදයක් හදාගත්තා. කොහොමද අපි අපේ සහෝදර කණ්ඩායම්වලට සහයෝගය දෙන්නේ කියන කාරණය පිළිබඳව යම් යම් මතභේද ඇති වුණත් අවසානයේදී අපි එකඟතාවකට ආවා. ඒ එකඟතාව මත තමයි අපි ප්‍රාදේශීය මැතිවරණවලට ගියේ.

පොදුජන පෙරමුණෙන් අපේක්‍ෂකයෝ ඉදිරිපත් කරලා අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණයක් ආවත් ඒකම තමයි අපි කරන්නේ. ඒ නිසා අපිට අපේ සහෝදර දේශපාලන පක්‍ෂ සියල්ලටම අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කියලා විවෘත ආරාධනාවක් කරනවා.

පොහොට්ටුව තනි පක්‍ෂයක්, ඔබ කියන සහෝදර කණ්ඩායම් සේරම කැමැති වෙයිද පොහොට්ටුව යටතේ තරග කරන්න. මොකද පසුගිය පළාත් පාලන මැතිවරණවලදීත් යම් යම් ගැටලු ඇති වුණා නේද?

මුලින්ම අපි පොහොට්ටුවේ නායකයා තීරණය කළ යුතුයි. අපිට ඕන විදියට සන්ධානගත වෙන්න පුළුවන්. නමුත් සන්ධානයේ නායකයා විය යුත්තේ මහින්ද රාජපක්‍ෂ මහත්මයා. මොකද අපිට බැහැනේ සන්ධානගත වෙලා පිට මිනිහෙක්ට ඡන්දය ඉල්ලන්න දෙන්න රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා වගේ. ලංකා ඉතිහාසයේ එතුමා පමණයි තමන් සන්ධානගත වෙලා පස්සේ පිට මිනිහෙක්ට ඡන්දය ඉල්ලන්න දුන්නු එකම පුද්ගලයා වෙන්නේ.

මීට පෙර ඉතිහාසයේ කෙදිනකවත් එහෙම වෙලා නැහැ. ජේ.ආර්. ජයවර්ධන, ඩී.ඇස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, රණසිංහ ප්‍රේමදාස වැනි මහත්වරුන් පක්‍ෂ හැදුවා. හැබැයි ඔවුන් හදපු පක්‍ෂවල නායකයා වුණෙත් ඔවුන්මයි. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සන්ධානගත වුණාට එහි නායකයා මහින්ද රාජපක්‍ෂ මහත්මයාමයි. හෙට දවසේ අපේ සහෝදර දේශපාලන කණ්ඩායම් සන්ධානගත වුණත් එහි නායකයා විය යුත්තේ මහින්ද රාජපක්‍ෂ මහත්මයාමයි. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා කිසිම අර්බුදයක්, මතගැටුමක් ඇති වෙන්නේ නෑ. මොකද අපි මීට පෙරත් සන්ධානගත වෙලා වැඩ කළා. දැනුත් වැඩ කරනවා.

නමුත් යම් යම් මතභේද, ගැටුම්කාරී තත්ත්වයක් නැහැ. කියන්න බැහැ නේද?

ඔය ආසනවලට අපේක්‍ෂකයන් ගන්න ගියාම වගේ පොඩි පොඩි මත ගැටුම් ඇතිවෙනවා. ඒවා යම් මහ බරපතළ ප්‍රශ්න නෙමෙයිනේ. අනික ඒවා පක්‍ෂයක් කඩාගෙන යන්න තරම් බලපාන මතභේද නෙමෙයි. මොකද අපිට දේශපාලනය කරනකොට ඇතැම් වෙලාවට එක ආසනේක ප්‍රබල දෙන්නෙක් ඉන්නවා නම් පක්‍ෂ දෙකේම අවසානයේ කොට්ඨාස මැතිවරණයකට යනකොට එක්කෙනාටයි දෙන්න වෙන්නේ. ඒ වගේ සුළු ප්‍රශ්න ඉතින් ඇතුළෙම විසඳගන්න ඕනෑ.

හරි දැන් එතකොට කවුද ඔය සන්ධානය තුළින් යෝජනා කරන ජනාධිපති අපේක්‍ෂකයා වෙන්නේ?

අපේ පක්‍ෂයේ නායක මහින්ද රාජපක්‍ෂ මහත්මයා ඒක අපේ සහෝදර දේශපාලන පක්‍ෂත් සමඟ කතිකා කරලා, සාකච්ඡා කරලා තීරණය කරාවි. අපිට ඉන්නවානේ ඉතා හොඳ අපේක්‍ෂකයෝ කිහිප දෙනෙක්ම.

තවමත් මේ ගැන නිශ්චිත තීරණයක් අරගෙන නැති වුණාට ඔබේ කඳවුරේම ඇතැම් අය මේ සඳහා විවිධ පුද්ගල චරිත සම්බන්ධ කරගෙන කතා කරනවා නේද?

තමන් කැමැති අපේක්‍ෂකයෙක් ගැන තැන තැන කතා කරන එක අපට නවත්වන්න බැහැනේ.

හැබැයි ඒ තැන තැන සංයමයකින් තොරව කරන ප්‍රකාශවලින් ජනතාව දෙගිඩියාවකට පත්වෙනවා නේද?

ජනතාව හරිම කෙනා තීරණය කරයි. කවුරු මොනවා කිව්වත්.

ජනාධිපති අපේක්‍ෂකයා විදියට යෝජනා වෙන නම් අතර චමල් රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ නම් කියවෙනවා. මේ අතරින් ප්‍රමුඛතාව ලැබෙන්නේ කාටද?

මේ තුන්දෙනාම සුදුසුයි, තුන්දෙනාගේම කිසිම ප්‍රශ්නයක් නැහැ.

තුන්දෙනාම යෝජනා කරන්න බැහැනේ. ඒ නිසා එක් කෙනෙක් ගැන ඔබතුමාටත් අදහසක් ඇතිනේ නේද?

අපි ඉතින් තුන්දෙනාටම කැමැතියි.

ඔබතුමා කාටද කැමැති?

මම කැමැති ඉතින් මේ රට කරන්න පුළුවන් නායකයෙක්ට තමයි. නම් කරපු අය අතර ඉතා හොඳ අය ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැතිව යෝජනා කරන්න පුළුවන්.

මට නම් හිතෙන්නේ ඔබතුමා ඒ ප්‍රශ්නෙට සෘජු උත්තරයක් දෙන්නේ නැහැ කියලයි?

මම සෘජුව ප්‍රකාශයක් නොදීම නෙවෙයි, අපි මේ වෙලාවේ හැටියට ඔය ප්‍රශ්නේ දාලා තව ප්‍රශ්න ඇති කරන්න හොඳ නැහැ. නැතිනම් උත්තරය මේ දිව ආගම තියෙනවා. ඒක දැන් නෙවෙයි. වේලාව ආවම දෙන්නම්.

ඔබතුමා ඕක ආරක්‍ෂා කරගෙන හිටියට සමහරු නම් මමයි ජනපති අපේක්‍ෂක, තව එයාට බැරි නම් අපිට බැරිද වගේ කතා කියනවානේ. ඇයි එහෙම එක එක කතා කියන්නේ. පක්‍ෂය ඇතුළේ පොදු එකඟතාවක් නැද්ද?

එකඟතාවක් ඇතිවෙන්නේ පක්‍ෂ නායකයෙක් කිව්වොත් මිසක ඔය ගමේම ඉන්න ආසන සංවිධායකලා එහෙම සාකච්ඡා කරලා තීන්දු ගත්තම නෙවෙයි. ඔය ඕන කෙනෙක්ට තමන් කැමැති අපේක්‍ෂකයෝ ගැන විවිධ අදහස් දක්වන්න පුළුවන්. කවුරු මොනවා කිව්වත් හරි වේලාව ආවම හැමෝටම පෙනෙයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාව ජනාධිපති අපේක්‍ෂකයා කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනෙක ජී.එල්.පීරිස් මහත්මයාගේ නිවෙසේ සාකච්ඡාවක් පැවැත්වුණා නේද?

ඔව්. පැවැත්වුණා.

සියලු දෙනාම වගේ එයට සහභාගි වෙනකොට පොහොට්ටුවේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයෙක් වන බැසිල් රාජපක්‍ෂ මහත්මයා එයට සහභාගි වුණේ නැහැ. පිට ඉඳන් බලනකොට මේ ක්‍රියාවෙන් යම් විරෝධයක්, අර්බුදයක්, තිබෙන බව පේනවා නේද?

නැහැ. නැහැ. එහෙම කිසිම අර්බුදයක් නැහැ. මම දැක්කා වාසුදේව නානායක්කාර මැතිතුමා කියනවා ගෝඨාභය රාජපක්‍ෂ ආවත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ කොන්දේසි සහ අපිත් සමඟ එකඟතාවකට එනවා නම් කියලා.

නමුත් මුලින් කිව්වේ ඊට පටහැනි කතාවක්නේ?

අන්න ඒකම තමයි මාත් කියන්නේ එහෙම විරුද්ධව කතා කරපු අය පොඩ්ඩ පොඩ්ඩ දැන් වෙනස් වෙනවා.

බැසිල් රාජපක්‍ෂ මහත්තයා කියනවා 9දා මේ රටේ ජනාධිපති විදියට දිවුරුම් දෙන්නේ පොහොට්ටුවේ කෙනෙක් කියලා. ඒ කියන්නේ කා ගැනද?

මීළඟ ජනාධිපතිවරයා පොහොට්ටුවෙන් එනවා කියන එක වෙන්න පුළුවන්. අපේ සාමාජිකයෙක් සමහර විට පොහොට්ටුවේ අපේක්‍ෂකයා වෙයි. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. අපේ ඉන්න සහෝදර දේශපාලන පක්‍ෂත් සමඟ එකතු වෙලා පොහොට්ටුවේ අපේක්‍ෂකයෙක් තමයි මීළඟ ජනාධිපති වෙන්නේ.

ඒ කියන්නේ එතුමා ගැනම වෙන්න බැරිද?

නෑ. නෑ. එතුමා ගැන නම් නෙමෙයි. හැබැයි ඒක හරියට හෙට අනිද්දට බලාගන්න පුළුවන් වෙයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වුණොත් අගමැතිවරයා වෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහත්මයානේ. එතකොට කෙනෙක්ගේ ප්‍රතිවිරෝධයක් ඇති වෙන්න පුළුවන් නේද? එක පවුලක් වටා කේන්ද්‍ර වුණු ආණ්ඩුවක් කියලා?

මෙහෙමනේ මිනිස්සු ඡන්දය දෙන්නේ රාජපක්‍ෂ පවුල නිසා නෙවෙයිනේ. මිනිස්සු ඡන්දය දෙන්නේ ඒ දෙන්නා කරපු කාර්යයන් බලලා. මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ඡන්දය දෙන්නේ මේ රටේ තිබුණු යුද්ධය අවසන් කරලා රටේ යෝධ සංවර්ධන ව්‍යාපාරයක් කරලා ජනතාවට යහපතක් කරපු නායකයා විදිහටයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාට ඡන්දය දෙන්නේ යුද්ධය මෙහෙයවලා යුද්දෙන් පස්සේ මේ රටේ ආරක්‍ෂක ලේකම් විදිහට ඉඳලා යූ.ඩී.එක අරගෙන රටේ නව සංවර්ධන වැඩපිළිවෙළක් හදලා විනයක් හදපු නායකයා විදිහටයි. ඉතින් පවුල් දේශපාලනයට ඡන්දය දෙන්නේ නැහැ. මිනිස්සු දන්නවා ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා ආවොත් අලුත් දියුණුවක්, විනයක් ඇති වෙන බව ඔවුන් රාජපක්‍ෂ පවුලෙන් ඇවිත් ජනතාවට එය ඒත්තු ගන්වලා අවසානයි.

2019 වසරට තවමත් අයවැයක් නැහැ නේද?

5දා හරිනම් බජට් එක එන්න ඕනා. අපිත් බලාගෙන ඉන්නේ බජට් එක එනකන් තමයි. ඕක අරගෙන ආවම බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා.

ඇයි එදාට මොකක් හරි ලොකු දෙයක් වෙනවද?

බලාගෙන ඉන්නකෝ

ඔබතුමාල ඔහොම කිව්වට බලන් ඉන්න අයට පේන්නේ විපක්‍ෂය පණ මදි වගේ එකක්?

අපි පණ මදි නැහැ. අපි වේලාවට වැඩේ කරලා පෙන්නන්නම්කෝ අයවැය ලේඛනය ගෙනාවම.

ඔක්තෝබර් 26දා කළා වගේ දවස් ගාණක තාවකාලික පෙරළියක්ද කරන්න හදන්නේ?

අපි ඒකත් වේලාවට හරියට කළා. කරනකන් කිසිකෙනෙක් දැනගෙන හිටියද නැහැනේ. ඒක කරපු නිසා තමයි මේ ප්‍රගතිශීලී වෙනස්කම් ඇති වෙලා තියෙන්නේ. කවුද හිතුවේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා රටේ අගමැති වෙයි කියලා. හැබැයි අපි ඒක කළානේ.

හැබැයි ඒ වුණු වැඩෙන් මහින්ද රාජපක්ෂ මහත්මයාට එතෙක් තිබුණු කීර්තියට සහ ජනප්‍රියත්වයට හානියක් වුණා නේද?

ඒක ඇත්ත. නමුත් ඒ මොනවා වුණත් එදා ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා දැඩි තීන්දුවක් ගත්තා රට බේරාගන්නේ නැතිව අපිට ආණ්ඩුවක් තියාගෙන වැඩක් නැහැ කියලා. මොන ප්‍රශ්නය වුණත් මේ රටේ බේරගන්නයි අපි වැඩ කරන්න ඕනා. ඒ මොහොත වෙනකොට පලාලි විකුණන්නයි සූදානම් කරලා තිබුණෙ. තව හම්බන්තොට වරාය, තෙල් සංස්ථාව විකුණන්න සූදානමක හිටියා. කොළඹ වරායේ දකුණු ජැටියත් දෙන්නයි හිටියේ. අපි ඔක්තෝබර් 26 කරපු පෙරළිය නිසා මේ සේරම නතර වුණා. දැන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා හොඳටම හිර වෙලා ඉන්නේ.

අපිට තව මාස 8යි මෙහෙම අල්ලාගෙන ඉන්න තියෙන්නේ. අපි මහන්සි වෙන්නේ ඒකට.
හැබැයි එක්සත් ජාතික පක්ෂය නම් කියන්නේ වෙන කතාවක්.

ඒ මොකක්ද?

ඔවුන් කියනවා ඔක්තෝබර් 26 වැඩේ නිසා ඔවුන්ට ප්‍රථම වරට ලංකා ඉතිහාසයේ වැඩිම ණය වාරිකය ගෙවන්න වෙලාලු. ආර්ථිකය කඩන් වැටිලාලු, කිසිම විදේශීය රටකින්වත්, ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකින්වත් ණය දෙන්නේ නැහැලු. ඒ කෙටිකාලීන පසුබැස්ම නිසා.

රනිල් වික්‍රමසිංහ මහත්තයාට වෙන ඉතින් කියන්න දේකුත් නැහැනේ. ඕකට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයා. එයා 77 ආණ්ඩුව පිහිටුවලා අවුරුදු 10න් හදන්න යෝජනා වුණු මහවැලිය අවුරුදු 5න් ඉවර කළා. ඒකට ජාත්‍යන්තරයෙන් ණය ගත්තා. හැබැයි කිසිම ආණ්ඩුවක් ඇවිත් කිව්වේ නැහැ අපිට ඒ ණය ගෙවන්න බෑ කියලා.

ඒකෙන් තමයි මහවැලි යෝජනා ක්‍රමය හැදිලා අපි බතින් සහලින් ස්වයංපෝෂිත වුණේ. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයාත් මේ රටේ ගුවන්තොටුපොළවල්, වරායවල්, අධිවේගී මාර්ග, ගල් අඟුරු බලාගාර හැදුවා. ගල් අඟුරු බලාගාරය නිසා අද කොච්චර විදේශ විනිමයක් මේ රට තුළ ඉතිරි වෙනවාද?.

නමුත් මත්තලවත්, හම්බන්තොට වරායවත් ලාභ උපයන්න සමත් වුණේ නැති බවට චෝදනාවක් තිබෙනවා නේද?

මේ ආණ්ඩුව නාවා නම් ඒවා මේ වෙනකොට ආදායම් ලබන තැනට ඇවිත්. ඔවුන් ආපු ගමන් ගුවන් ගමන් සේරම නැවැත්තුවානේ. ඒ මොහොතේ මත්තලට ගුවන් මගීන් ලක්ෂ එකහමාරක් හිටියා. ගුවන් තොටුපොළක් හැදුව ගමන් ස්ථාවර වෙන්න බැහැනේ. ලාභ උපයන්න කාලයක් ගත වෙනවා. වරායේ අපි ප්‍රති අපනයන කටයුතු ආරම්භ කළා. මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටින තෙක් හරි විදියට විදේශ ණය වාරික ගෙවපු රටක් මේක.

තවමත් පළාත් සභා මැතිවරණයක් නැහැ නේද?

ඔව් මේ වෙනකොට පළාත් සභා 6ක්ම අක්‍රියයි.

ජනාධිපතිවරණයක් තියන කතාවකුත් කියනවානේ. මුලින් පැවැත්විය යුත්තේ පළාත් සභා ඡන්දෙද, ජනාධිපතිවරණයද?

අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා නම් මුලින්ම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයිනේ. ඊට පස්සේ ජනාධිපතිවරණයට ගියාට කමක් නැහැ. පළාත් සභා 6ක් මේ වෙනකොට අක්‍රියයි. නමුත් අධිකරණයත් නිශ්ශබ්දයි. රාජ්‍ය නොවන ආයතන ගැන කවුරුත්ම කතා කරන්නේ නැහැ. ජාත්‍යන්තර ප්‍රජාව කතා කරන්නෙත් නැහැ. පක්ෂග්‍රාහී ආයතන බව මේකෙන්ම තේරෙනවානේ.

එක්සත් ජාතික පක්ෂය නම් කියන්නේ ඒක කලට වෙලාවට තියාගන්න බැරිවුණේ ඔබතුමන්ලා ප්‍රමුඛ කණ්ඩායම නිසා කියලා.

ඒකට අපිට චෝදනා කරලා හරියන්නේ නැහැනේ. ඒකට වගකියන්න ඕනා කථානායකවරයා. එදා නියමිත වෙලාව ඡන්දය ගන්න සැලසුම් කරලා තිබුණාම කවුද ඒක කල් දැම්මේ. මේ රටේ මහජනතාව දන්නවා කවුද මැතිවරණ කල් දාන්නේ කියලා. ඔවුන් බයයි ඡන්දෙකට යන්න. කොටින්ම මේක ඡන්ද අරහන් ආණ්ඩුවක්.

සීමා නිර්ණ කමිටුවේ කල් ඉකුත්වීම නිසා අලුත් ක්‍රමයට ඡන්දය තියන්න වෙන එකක් නැහැනේ. පරණ ක්‍රමයටම ඡන්දය තියන්න වුණොත් ඔබතුමන්ලා ඊට එකඟද?

අපි ඔය ඕනෑම ක්‍රමයකට ලෑස්තියි. අපිට ඕන මැතිවරණයක්. පැරැණි ක්‍රමයට යනවා නම් එහෙමයි. ආසන මට්ටමට යනවා නම් ඒත් එමෙයි. අපිට කෝකත් එකයි.

එක්සත් ජාතික පක්ෂය මේ වෙලාවේ ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවක් ගැන කියනවා නේද?

ජාතික ආණ්ඩුවක් ඉල්ලලා තිබුණට තුනෙන් දෙකක් නැතිව කොහොමද හදන්නේ. අපිත් බලාගෙන ඉන්නේ ජාතික ආණ්ඩුවක් හදන හැටි තමයි.

ඔක්තෝබර් 26 දා ඔබතුමන්ලා කරපු ආණ්ඩු මාරුව කුමන්ත්‍රණයක් විදියට අර්ථ ගන්වන පාර්ශ්වත් සිටිනවා නේද?

කොහොමද කුමන්ත්‍රණයක් කියන්නේ. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් අතර ප්‍රශ්නයක් ඇති වුණාම අපි ඒකෙන් ප්‍රයෝජන ගත්තා.

ඒකට තමයි දේශපාලනය කියන්නේ. ඒකට විරුද්ධව උසාවි ගියේ නැහැනේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් මහත්තයාව අස් කරලා අගමැතිකම මහින්ද රාජපක්ෂට මහත්තයාව දාපු එකට කවුරුවත් උසාවි ගියේ නැහැනේ. එයාලා උසාවි ගියේ මැතිවරණයට විරුද්ධව. ඊට පස්සේ කථානායකවරයා කිව්වා තුනෙන් දෙක නැහැ 50% නැහැ වගේ කතන්දර. දැන් ඉතින් ආයෙත් පාරක් උසාවි යන්න පුළුවන්නේ ඕන නම්.

පසුගිය දිනෙක ජනාධිපතිතුමා කිව්වා අවස්ථාව ලැබුණු පළවැනි තත්පරයේම ආණ්ඩුව පෙරළන බව.

ඔව් එහෙම කරන්න ඕනා.

නමුත් ආණ්ඩු පෙරළන එක ලේසි වැඩක් නෙමෙයිනේ. මේ මොහොතේ ආණ්ඩුව පෙරළන්න කරන ඔබතුමන්ලාගේ සටන ශක්තිමත්ද?

ඒක තමයි අපි මේ නොකියාම ඉන්නේ. ගිය සැරේ වගේ අපි කොයි වෙලාවේ හරි මේක පෙරළලා දානවා. බලාගෙන ඉන්නකෝ අපි කරන්න යන දේ දිහා.

ඒ වුණාට පිටින් බලන අයට පේන්නේ නම් එදා ඔබතුමන්ලාගේ ආණ්ඩුව ගෙදර යවන්න ක්‍රියාත්මක වුණු රටට සතුරු විදෙස් බලවේගවල කුමන්ත්‍රණකරුවන් තවමත් ඔබතුමන්ලාගේ කඳවුර තුළ සිටින බවක්.

ඇත්ත වශයෙන්ම අපිටත් සැකයක් තියෙනවා ඒ ගැන. 2012 සිට ඔය සතුරු බලවේග මේකට ඇතුළු වෙලා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය නැති කරන්න වුවමනා කරන ක්‍රියාදාමය ඇතුළතින් සහ පිටතින් යන දෙකෙන්ම කළා. ඇතුළේ හිටපු කට්ටියව ඒ අය ප්‍රයෝජනයට අරගෙන ඔවුන්ව ක්‍රියාත්මක කළා ඇතුළෙ අයට මහින්ද රාජපක්ෂ මහතාව එපා වෙන විදියට. ඒ අතර පිටත මතයක් හැදුවා වෙනසක් අවශ්‍යයි, හොරකම නවත්තන්න ඕනෑ කියලා. නමුත් එහෙම කියපු අයම තමා ලොකුම හොරකම කළේ.

දැනුත් සමහර වේලාවට ඔය පක්ෂ සේරම අස්සට මේ අය රිංගලා ගෝඨාභය තමා හොඳ, ගෝඨාභය තමා නරක, බැසිල් තමා හොඳ, බැසිල් තමා නරක, චමල් තමා හො½ද, චමල් තමා නරක වගේ මත හදන්න උත්සාහ කරනවා. අපි ඒවා ගැන එච්චරම කල්පනා කරන්නේ නැහැ. ඒ වගේ සතුරු බලවේග තියෙනවා ඇති. අපි එවැනි අයගෙන් ප්‍රවේශම් විය යුතුයි. මිතුරු වෙසින් පැමිණෙන සතුරන්ගෙන් අපි විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුයි.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙතැයි සිතෙන මිලේනියම් කෝපරේෂන් ඇමෙරිකානු ආයතනය පිළිබඳ මේ වනවිට ඔබතුමන්ලා සිටින ස්ථාවරය කුමක්ද?

අපි මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා. මිලේනියම් කෝපරේෂන් එකට වඩා බරපතළ ප්‍රශ්නය තමයි දැන් ඇමෙරිකානු 7 වැනි නාවික හමුදාව ඉන්දියන් සාගරයේ සිටින එක. ඒ කුමක් සඳහාද කවුරුත් දන්නේ නැහැ. ඔවුන්ට අවසර දීලා තියෙනවා කිසිම වග විභාගයකින් තොරව අවශ්‍ය කරන බඩු භාණ්ඩ කටුනායක ගුවන්තොටුපොළෙන් ගෙනයෑමට කිසිම පරීක්ෂාවකින් තොරව. මම අහන්නේ මොකක්ද අපේ නිදහස, මොකක්ද අපේ ආරක්ෂාව කියලයි.

මිලේනියම් කෝපරේෂන් එක හරහා ත්‍රිකුණාමලය සිට මන්නාරමට හයිවේ එකක් හැදෙනවා. එතකොට මේ රට නිකන්ම දෙකට බෙදෙනවා. ඇත්තටම ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි ආශි්‍රත අක්කර 35,000ක් මෙම ව්‍යාපාරයට දෙන්නත් යෝජනා වී තිබෙනවා. එතකොට මේ 7 වැනි නාවුක හමුදාව ඉන්දියන් සාගරයේ ඉන්නේ ඕනෑම වෙලාවක ලංකාවේ ප්‍රශ්නෙකට බිමට බහින්නද කියලත් අපිට හිතෙනවා. පසුගිය කාලේ ඇමෙරිකාව කරපු දේවල් බලනකොට අපිට විශාල සැකයක් තියෙනවා.

මේ මොහොතේ ජනාධිපතිවරණයක් ගැන කතා කරන ඔබලාට සුළු ජාතික ඡන්ද ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළක් තියෙනවාද?

පෙරත් මම සඳහන් කරපු ආකාරයටම අපි ඔවුන් සමඟ සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්. දැන් පළාත් සභා ක්‍රමය තුළින් අපිට හැකි වුණා ඔවුන් පත්කරන මහජන නියෝජිතයෝ සමඟ සෘජුව ගනුදෙනු කරන්න.

අතට ආයුධ ගත්තු එල්.ටී.ටී.ඊ. වගේ සංවිධාන සමඟ සාකච්ඡා කරන්න බැරි වුණාට, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සමඟ කතා කරන්න හැකියාව තිබුණානේ. පිල්ලෙයාන්ල වගේ අය පළාත් සභාවට පත්වෙලා ආවම අපිට ආයුධ නැතිව සාකච්ඡා කරන්න පුළුවන් වුණා. නමුත් දැන් ඒ අයගේ විකෘතිය පේනවා. නැත්නම් දැනුත් ටී.එන්.ඒ. එක කෑගහන්න එපැයි අපිට පළාත් සභා දෙන්න කියලා. එයාලත් කැමැති පළාත් සභා ඡන්දය කල් දාන්නනේ.

ඡායාරූප – ගැමුණු වැල්ලගේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress