අධිවේගී මාර්ගය – කෙටි කතාව
Posted on May 15th, 2019

ලසන්ත වික්‍රමසිංහ උපුටා ගැන්ම  යුතුකම සංවාද කවය

කුස්සියෙන් එළියක් පෙනෙන නිසා අම්මා පාන්දරම අවදි වී ඉඳි ආප්ප තම්බන බව නුවන්ට වැටහුණි. නිදිගැට කඩාදමමින් කුස්සියට ගිය නුවන් කළයෙන් වතුර ස්වල්පයක් ගෙන කට සෝදා පිළිකන්නේ මිදුලට විසි කළේය. අම්මා ඉඳි ආප්ප  වංගෙඩිය තෙරපවමින් ඉදි ආප්ප වට්ටි මතට කවාකාර රැළි එකතු කරමින් උන්නාය. 

“කෝ දෙන්න ඕක. අම්මා සම්බෝල ටික හදන්නකො” 
“තව ටිකක් නිදා ගන්න පුතේ. මට පුලුවන් මේක කරලා දාන්න. ඉදි ආප්ප 700ක් එපා, 300ක් ඇති කියලා මුදලාලි කිව්වා. තව ටිකයි වක්කරන්න තියෙන්නේ” 
දැන් මේ පාරෙ වැඩ කරන මිනිස්සු එන්නෙ නැති නිසා උදේට ඉදි ආප්ප යනවා අඩු ඇති” කියූ නුවන් පොල් ගෙඩියක් බිද පොල් ගෑමට පටන් ගත්තේය. 
ඉදි ආප්ප ඇසිරූ කූඩය අතට ගත් අම්මා කඩය දෙසට ලහි ලහියේ පිය මැන්නාය. ඈත ගස් අතරේ සිය මවගේ රුව සැඟව යන තෙක් නුවන් බලා සිටියේ ගෙදර උලු අස්සට තම සිරුරේ බර දෙමිනි. නුවන්ගෙ පියා පිළිකාවක් වැළදී මිය ගොස් දැනට වසර දහයක් ගත වී ඇත. මීට හමසකට පමණ පෙර උසස් පෙළ විභාගයට දෙවනවර පෙනී සිටීමෙන් ලත් ප්‍රතිඵල සමඟ වෛද්‍යයවරයෙකු වීම සඳහා වූ නුවන්ගේ පැතුම බිඳ වැටුණි. ඔහුට තිබුනේ සම්මාන සාමාර්ථ 3කි. දැන් ඔහු කරන්නෙ ඉරිදාට ‘සන්ඩේ ඔබ්සවර්’ පුවත් පත මිලට ගෙන එහි ඇති රැකියා අවස්ථාවන් සදහා ඉල්ලුම් පත් යැවීමයි. තෙවන වරට විභාගයට පෙනී සිටීම සදහා සිත නම්මවා ගැනීමට ඔහුට නොහැකිය. කාලයක් තිස්සේ එකතු කළ තම කැටය බිද ලබා ගත් මුදලින් සති පතා පත්තරයටත්, තැපැල් ගාස්තුත් සදහා වියදම් කිරීමෙන් තව ඉතිරිව ඇත්තේ රුපියල් සියයක පමණ මුදලකි. 
නුවන් ගෙදර උලුඅස්සට බර දෙමින්, ඊයේ විවෘත්ත කළ අධිවේගී මාර්ගය දෙස බලා සිටියේය. කොළඹ දෙසට වාහන කිහිපයක්ම වේගයෙන් ගමන් කළේය. වෛද්‍යවරයෙකු වී, අලුත් වාහනයකින්, මේ අලුතින් ඉදිකළ අධිවේගී මාර්ගය ඔස්සේ සිය නිවස බලා  ඒමට ආශාවක් නුවන්ගේ සිතේත් නොතිබුණා නොවේ. නමුත් දැන්  නුවන්ගේ අනාගතය අවිනිශ්චිතය.  වේගයෙන් ගමන් කරන වාහන දකින නුවන්ට තමා ගැන ඇතිවන්නේ කනස්සල්ලකි. 
නුවන් තම උදෑසන ආහාර වේලේ පිගානේ ඉතිරි කළ බත් ටිකටම තව බත් ටිකක් දමා හොදින් අනා ගෙන වයිටාට දමනු පිණිස පිළිකන්න දොරෙන් එළියට එත්ම නගුට වනමින් දිව ආ වයිටා නුවන්ගෙ කකුල් ලෙව කෑවේය. වයිටා බත් කන දෙස බලා සිටීම නුවන්ගේ පුරුද්දකි. බත් ටික ගිල දැමූ වයිටාගේ හිස අත ගෑ නුවන්, ඌ වත්ත පහළ වූ දිය කඩිත්ත වෙත ඇද ගෙන ගොස් නහවා දම්මේය. 
නමුත් එදා දහවල, නුවන් වයිටාගෙ පිගානට බත් දමා උගේ නම කියා අඩගෑ විට ඌ ආවේ නැත. කොහේ හෝ දඩාවතක ඇවිද හවස් වී ගෙදරට ගාටණු ඇතැයි නුවන්ට සිතුණි. කරන්නට දෙයක් නැති නිසා කම්මැළි කමේ උන් නුවන් ඇඳේ හාන්සි වූයේ තරමක බුදිමතක් ද දැනුණු නිසාවෙනි. 

2

අධි වේගී මාර්ගය දිගේ නුවන් පා පැදියක් පැදගෙන එයි. ඔහුගේ බෙල්ලේ වෙද නලාවක් ද තිබේ. ඔහුගේ ඉදිරියට ලස්සන කාරයක් පැමිණ නැවැත්විය. කාරයේ රියදුරු අසුනේ දොර හැරුණි. ඉන් බිමට බැස්සේ වෙන කෙනෙකු නොව මනීෂායි. 
මනීෂා නුවන්ගෙ පන්තියෙම ඉගෙන ගන්නා ලස්සන ගැහැණු ළමයෙකි. නුවන් ඈට ඇලුම් කළේය. නිහතමානි ගති පැවතුම් ඇති මනීෂාද නුවන්ට ඇලුම් කළා විය හැකිය. ඉතා පොහොසත් පවුලක එකියක් වන ඈට තමා ඇලුම් කළද ආලය කරන බව හෝ නොකරන බව හෝ නුවන් දැන සිටියේ නැත. 
වාහනයෙන් බැස ගත් මනීෂා සබකෝල, ප්‍රේමනීය සිනහවක් පාමින් නුවන් දෙසට ඇවිද ආවාය. නුවන් ඇයව පා පැදියට නන්වා ගෙන එය පදින්නන්ට විය. හමා එන සිසිල් සුළඟේ පා වෙන මනීෂාගෙ කෙස්, නුවන් ගෙ මුහුණේ වැදී සුවදායි හැඟුමක් ඔහු සිත තුළ පහළ කළේය. වේගයෙන් ඉදිරියට පැමිණි වාහනයක් පාර හරස් කර නතර කළේය. වාහනයෙන් බැස්සේ ටයි කෝට් ඇඳ සිටි මනීෂාගෙ පියාය. උත්තුංග දේහදාරී ඔහු නුවන් දෙස කෝපයෙන් රවා බලමින් සිටිද්දී ඔහු ගේ දෑස් ගිනි පුළිඟු මෙන් කෝපයෙන් රත් විය. නුවන්ට තමා කළේ බරපතල වරදක්ය යන හැඟීම ඇති වූයේ මහත් බියක්ද සමඟිනි. එක් වරම මනීෂාගෙ පියාගේ දෑසින් පිට වුණු ගිනි පුළිඟු කිහිපයක් නුවන්ගෙ දෙපා මතට වැටුණි. ඒ සමඟම සිය දෙපා දිය වී යන බව නුවන් දුටුවේය. අසරණ වූ නුවන් දෙපා අඩපණව බිම ඇද වැටුණි. 
ඔහුට කරකියා ගත යුතු කිසිවක් හිතා ගත නොහැකි විය. ඉෂ්ට දේවතාවකු පහළ වූ සේ තම අයියා එතැනට පැමිණියේය. නිළ ඇඳුමෙන් සැරසී සිටි අයියා දුටු වනම මහත් බියට පත් මනීෂාගෙ පියා බිය වී පළා ගියේය. බිම වැටී සිටින නුවන් දෙස අයියා කරුණාවෙන් බලා සිටියේය. නුවන්ද හිස ඔසවා අයියා දෙස බැලුවේය. අයියා පහත් වී නුවන් දෑතට ඔසවා ගත්තේය. දැන් ඔහු තම මල්ලීද දෑතින් ගෙන ගමන් කරන දසුන සිහියට නගන්නේ නන්දිකඩාල් කලපුවේ දෙමළ ආච්චි කෙනෙකු ඔසවා ගෙන ගමන් කළ රණ විරුවාගෙ ප්‍රකට පින්තූරයයි. අයියා නුවන්ව ඔසවාගෙන ගෙදරට ගියේය. අම්මා දිව ආවාය. අයියා අම්මාට නුවන් භාර දී නොපෙනී ගියේය.
 අම්මාගේ අතට යනවාත් සමඟම නුවන් කුඩා දරුවෙකු වී ඇත. අම්මා නුවන් තුරුලු කර ගෙන කිරි පොවන්නට විය. නුවන් අම්මාගෙ කිරි උරා බීවේ තම හිතේ පවතින දුකත් අසරණ කමත් තුරන් කර ගැනුමටය. ඇගේ උණුසුම තුළ නුවන්ට දැනෙන්නේ ආරක්ෂිත බවකි. තම සිතේ පවතින දුක නිසා නුවන් තව තවත් අම්මාට තුරුල් වෙමින් කිරි බොන්නට විය. නුවන් කිරි උරා බොත්ම අම්මා ටිකෙන් ටික වැහැරෙන බව නුවන්ට දැනුණි. දැන් නුවන් කිරි බීම නතර කළ යුතුය. නැතිනම් අම්මා දුර්වල වේ. නුවන් අම්මාගෙ තනය අත් හැරීමට උත්සාහ දැරූවද ඔහුට එය අත් හැර ගත නොහැක. ඔහුගෙ සිත තුළ පවතින දුකට ඇති එකම පිහිට අම්මාට තුරුලු වී කිරි උරා බීම පමණි. නුවන් දැඩි වෙරක් යොදා අම්මාගේ තනයෙන් ඉවත් වන්නට උත්සාහ දැරීය. නමුත් ඔහුට ඉන් මිදීමට නොහැකි විය. අම්මාගෙ හකු දැන් ඇතුළට එබෙමින් යයි. අම්මා වැහැරෙනු දකින නුවන් තව තවත් දුකටත් පීඩාවටත් පත් වේ. හිතේ තියෙන දුක නිසා ඔහුට අම්මාගෙන් ඉවත් විය නොහැකිය. ඔහු බොහෝ වේලාවක් මෙම පීඩාකාරී වෙහෙසකර උත්සාහයේ නිරත වී සිටියේය. 

නින්දෙන් ඇහැරුණු නුවන් සරමෙන් කොට කලිසමකට මාරුවිය. ඔහු ගුරු පාර දිගේ ඇවිද ගියේ අයියලාගේ නිවස දෙසට යන අටියෙනි. අයියලාගේ නිවසේ දැන් වෙසෙන්නේ අයියාගෙ බිරිද රුවිනි අක්කාත් ඇගෙ මවත් බිළිදු දරුවාත් පමණි. තමා දැන් මාස හතර පහකින් අයියලාගේ ගෙදරට ගොඩ වී නැති බව නුවන්ට පසක් විය. එය එසේ සිදු වූයේ ඇයි? තමාට නිකමටවත් එහි ගොස් ඒමට යුතුකමක් තිබුණා නොවේද? තමා අතින් එය මග හැරුනේ කුමක් නිසාදැයි නුවන් සිතන්නට විය. අධිවේගී මාර්ගය සඳහා එලන ලද විශාල පස් බැම්මට කළින් නම් විනාඩි පහක ගමනකින් එහි යා හැකිව තිබුණි. දැන් අධිවේගී පාරට සමාන්තරව ටික දුරක් ඇවිද ඒ හරහා ඉඳි කෙරුනු පාලමකින් පාරෙන් එහා පැත්තට ගොස් නැවත අධිවේගී මාර්ගයට සමාන්තරව වැටුණු පාරක් දිගේ මේ පැත්තට පැමිණිය යුතුය. ඒ සදහා පැය බාගයක් පමණ ගත වේ. නමුත්, ඒ නිසා තමා අතින් එය මගහැරුනා යයි සිතිය හැකිද? පැය බාගයක් නොව දින කීපයක ගමනක් වුවත්, අර අහිංසක කිරිසප්පයාගේ මූණ බලන්නට යෑම තම යුතුකම නොවේද? ඒ පොඩි එකාගේ මූණ බැලීමට ඇති ආත්ම ශක්තිය තමා අතින් දැන් ගිලිහී ගොස්ද? 
නිවසේ සාලයේ  තබා තිබුණු අයියාගේ මිනී පෙට්ටියේ රුව නුවන්ගේ සිතේ මැවී පෙනුණි. මිනී පෙට්ටිය වසා ගෙන සිටි සිංහ ධජයේ, සිංහයා අසිපත දරා සිටියේ මොන තරම් අභිමානයකින්ද? මඟුල් ගෙදරක දමන ලද සිංහ කොඩියක හෝ නිදහස් දින උත්සවයකදී දේශපාලකයකු අතින් එසවුණු සිංහ කොඩියක හෝ ඉන්නා සිංහයාට වඩා එදා තම අයියාගේ සීල් තබා තිබුණු මිනී පෙට්ටිය වසා ගෙන සිටි සිංහ කොඩියේ උන් සිංහයා කෙතරම් ගාම්භීරද? ඒ සිංහයා අයියාගෙ ඇතුළු හද තුළත් ජීවමානව සිටියා නේද? 
සාමාන්‍ය පෙළ සමත් වූ නුවන්ගෙ අයියා උසස් පෙළ පන්තියට ගියේ අවුරුද්දක් පමණි. ඉන් පසු ඔහු ඉස්ටෝරු කාමරයක වැඩට ගියේ සිය මලණුවන් තමාට වඩා ඉගෙනුමට දක්ෂ නිසා ඊට සහය දිය යුතු නිසායි ඇරත් තමා උසස් පෙළ සමත් වේ යයි විශ්වාසයක් නුවන්ගේ අයියා තුළ නොවීය. නුවන්ගේ අයියාගේ කුඩා වැටුප, ගෙදර බර තනියම ඉසිලූ අම්මාට අස්වැසිල්ලක් විය.

වෘත්තී‍ය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සරත් අයියා හත් දොහේ දානේ දවසේ නුවන් සමඟ පැවසූ දේ නුවන්ට සිහි විය.

“මල්ලි දුප්පත්කම නිසයි අපට මෙහෙම වෙන්නේ. අපි නි‍යෝජනය කරන්නේ පීඩිත පන්තිය. හැම කරදරයක්ම වෙන්නේ අපට. රට වෙනුවෙන් කියලා උන් යුද්දෙට අපේ උන්ව යවනවා මිසක් උන් යවනවද උන්ගේ දරුවන්ව යුද්දෙට?”
“උන් හිතන් ඉන්නේ අපේ අයියා හමුදාවට ගියේ දුප්පත්කම හින්දා කියලා. ඒක තනිකර බොරුවක්. එහෙනම් ඉතින් දුප්පත් හැම එකාම යුද්දෙට යන්න එපායැ.” නුවන්ට සිතුණි.

සටන් විරාමය පැවති කාලයෙ තමාට ලැබුන සොච්චම් වැටුපත් රැගෙන ගෙදර ආ තම අයියා කී දෙයක් ද නුවන්ට සිහි විය. 
“මට හිතෙනවා හමුදාවට යන්න. ඒත් ඉතින් දැන් හමුදාවට ගියොත් වෙන්නේ කොටි ඇවිල්ලා පුක පෙන්නලා යනවා බලාගෙන ඉන්නයි. තුවක්කු බටේ පුකේ ගහගෙන ඉන්නවට වඩා දෙයක් කොරන්න වෙන්නෙ නෑ.” 
එසේ කිවු අයියා හමුදාවට බැඳුණේ ඊළඟ මහ මැතිවරණයෙන් බුලත් කොළය ජය ගැනීමෙන් මාස කීපයකට පසුවය. අයියා හමුදවට බැඳුණේ යුද්ධ කරලා පඩි ගන්න මිසක් කොටි පුක පෙන්නලා යනවා බලන් ඉඳලා පඩි ගන්න නෙමෙයි. යුද්දෙ පටන් ගත්ත කාලෙ, අපේ ලොකු මාමා අඳුරන ලොක්කෙකුට කියලා අයියව ප්‍රභූ ආරක්ෂක එකට දාලා දෙන්න හැදුවහම අයියා කියූ කතාව නුවන්ට අද වගේ මතකය. 
“කොළඹට ඔය වෙලා එක එකාට සැලුට් ගහනවාට වඩා හොඳයි යුද්දෙදි කොටින්ගෙන් වැඩිකාලා මැරෙණ එක.” 
එක අතකට අයියගෙ පණ්ඩිතකම. එහෙම දෙයකට කැමති උනා නම් අද අර අසරණ ගෑනියි දරුවයි මේ ලෝකේ තනි වෙන්නෙ නෑනෙ. බාග වෙලාව්ට මේ යෝජනාව ලොකු මාමා ලව්වා, රුවිනි අක්කගෙ බඩට දරුවා ආවට පස්සේ ආයෙමත් කළා නම්…එහෙම උනා නම් මිනිහා කැමති වෙයිද? දෙයියෝ තමා දන්නේ. මට හොඳට මතකයි අක්කට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා අයියා දැනගත්ත වෙලාව. වෙන මිනිහෙක් නම් කොච්චර සතුටු වෙනවද? මෙයා එක පාරටම පිළිකන්නට ගිහින් බිම බලා ගෙන බුම්මගෙන හිටියා වචනයක්වත් නොදොඩා. අයියා ඒ දවස් වල කිව්වෙ “ආණ්ඩුව සුද්දෝ ඉස්සරහ දෙකට නැවෙන්නෙ නැතිව දිගටම යුද්දෙ කෙරෙව්වොත් දැන් කොල්ලන්ගෙ තියෙන මොරාල් එකේ හැටියට තව අවුරුද්දක් ඇතුළත මේකේ ඉවරයක් දකීවි” කියලා. සමහර විට බිම බලා ගෙන හිතන්න ඇත්තේ ඇයි මේ දරුවට තව අවුරුද්දක් ඉවසන්න බැරි උනේ කියල වෙන්න ඕනා. යුද්දෙ ඉවර වෙනකොට එයා ඉඳියිද නොඉඳියිද කියලා අවිශ්වාසයක් අයියාට තියෙන්න ඇති. දරුවෙක් අක්කගේ බඩට ආවයි කිව්වහම අයියා බය වෙන්න ඇති. දෙයියනේ ඒක මොන වගෙ බයක් වෙන්න ඇතිද? 
අපේ කරුමෙට අපිට මතක් උනෙ නෑනෙ ඔය වෙලාවේ ලොකු මාමා ලව්වා අර යෝජනාව ආයිමත් සැරයක් කරවලා බලන්න.
දැන් අයියගේ පොඩි එකාට වයස අවුරුදු දෙකකට වැඩියි. අයියා නැති වෙනකොට ඒ කිරි සප්පයාට යාන්තම් මාසයක් වුනා විතරයි. දෙයියනේ, පොඩි එකා අඬන කොට පොඩි එකාව තුරුලු කර ගෙන මළ ගෙදරදි රුවිනි අක්කා අඬපු හැටි මතක් වන කොට මගේ පපුව වාවන්නේ නෑ. ඒක දැකපු හැමෝගෙම ඇස් වල කඳුළු පිරුණා. රුවිනි අක්කාත් පුදුම දෛවයක් තමා ලබලා තියෙන්නේ. අර කාමරයට වෙලා අඬ අඬ පොඩි එකාට කිරි දීපු හැටි! 
අයියා නැති උනාම මම අධිෂ්ඨාන කර ගත්තේ කොහොම හරි දොස්තර කෙනෙක් වෙලා පොඩි එකාගෙ අනාගතය ගැන සම්පූර්ණ වගකීම ගන්න ඕනා කියලා නේද? දැන් මම කොහොමද ඕවා කරන්නේ. මට තාම පොඩි රස්සාවක්වත් හොයාගන්න බැරි උනා. මොන කරුමයකටද මන්දා විභාගයට මාස දෙකකට කළින් ඉඳන් අර කෙහෙල් මල් ඔලුවෙ කැක්කුමක් හැදෙන්න ගත්තේ. කොච්චර බෙහෙත් බිව්වත් හොඳ වුන එකක්යැ. විභාගෙ ඉවර වෙනවත් එක්කම ඒ කෙහෙල් මලත් හොඳ වෙලා ගියා. ඊට වඩා හොඳයි ඔළුගෙඩිය පුපුරලා මාත් මළා නම්. 
රුවිනි අක්කාට තියෙන්නෙ දැන් ඉතින් හොඳ මිනිහෙක්ව බඳින්න. ඒත් ඉතින් දරුවට ආදරය කරන එහෙම මිනිහෙක් කොහෙන් හොයන්නද? රුවිනි අක්කාගෙත් එහෙම අදහසක් තියෙන පාටක් නෑ. එයාගෙ ජීවිතය එකම සති පූජාවක් වගේ. මට මේ අහිංසකයො වෙනුවෙන් මොනවත් කරන්න බැරි හැටි. 

මේ සිතුවිලි වල අතරමන්ව ඇවිද ගිය නුවන් මේ වන විට අධිවේගී මාර්ගය හරහා වැටී තිබුණ පාලමද පසු කරමින් සිටියේය. 
උදේ නෑවුවට පස්සෙ වයිටව දැක්කෙත් නෑ. ඌ මේ කාලෙට සාමාන්‍යයෙන් පැය ගණන් අන්තරස්දාන වෙන්නෙ නෑ. කොහේ ගියත් කෑම කන්න ගෙදර එනවා වෙලාවට. මේ අධිවේගී පාරටවත් රිංගලා එළියට යා ගන්න බැරුව වත් ඉන්නවාද යැයි සිතූ නුවන් අධිවේගී මාර්ගය දිගේ හොඳින් බැලුවේය. ආසළ වූ කුඩා කඳු ගැටයට නැග තවත් හොඳින් පාර දිගේ විපරම් කළ යුතු යැයි නුවන් සිතීය. 
වැටියේ සම බිමක වැතිරුණු නුවන් අලුත් පාරේ යන වාහන දෙස බලා සිටියේය. පාර දිගේ තලගොයකු බඩ ගා යන්නේය. වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඌ යට කර ගෙන ගියේය. තලගොයා නගුට වේගයෙන් වනා අහස දෙසට හරවා ගත් මුහුණින් යුතුව අවසන් හුස්ම හෙළීය. “ආශ්චර්ය!” නුවන්ගේ තොල් අතරින් මිමුනුනේ ඔහුටත් නොදැනීමය. මියගිය තලගොයාගේ දේහය දෙස නුවන් සානුකම්පිතව බලා සිටියේය. ඉන් පසු පැමිණි වාහන කීපයකටම තලගොයාගේ සිරුර යට විය. උගේ සිරුරෙන් රතු පැහැ කැබලි එළියට පැන ඇත. නුවන්ගේ සිතුවිලි පෙළ ගැසුනි. 
තොපි ඔය ටිකම තමයි අපේ වයිටාටත් කරන්න ඇත්තේ. ආයෙ දෙකක් නෑ. තොපි මගේ බල්ලවත් මරාගෙන යන්න ඇති ආශ්චර්යයේ මාවත දිගේ. මේක දිගේ යන්න ඇත්නම් තලගොයි, බල්ලෝ මරණ එක තොපිට කජ්ජක්ද? මේ අහිංසකයො මරාගෙන කොහෙද බොල තොපි ඔය අධිවේගයෙන් ඉගිලෙන්නේ?. තොපේ යස ඉසුරු තව වැඩිවෙන්න කියලා කතරගම දෙවියන්ට බාර වෙන්නද? තොපේ දෑස් දැන් ආශ්චර්යෙන් නිලන්කාර වෙලා, ගහ කොළ සතා සීපාවා ගැන කොහෙද වගක්. මොකක්ද යකෝ ඔය වේගය? තොපිට දැන් යන්න ඕනාවෙලා තියෙන වේගේ හැටියට පාර මැද්දට එන ඕන එකෙක් යට කරන් යාවි. අම්මා අප්පා උනත් ආයෙ බලන එකක් නෑ. 

දැන් නුවන්ගේ සිතිවිලි වචනයට පෙරලා, කටින් පිට වේ. 
අපේ අයියා යුද්දෙට ගියේ ඇයි කියලා තොපිට වගක් තියෙනවද? ඒ තියා තොපි දන්නවද ඇයි ගැමුණු කුමාරයා යුද්ද කළේ කියලා. තොපිට කොහෙද ඒවයේ වගක්. කෝ උඹලගෙ මනුස්සකම? කෝ උඹලගේ වසර දෙදහස් පන්සීයක් පැරණි ශ්‍රේෂ්ඨ සංස්කෘතිය? අපේ අයියා මළේ අන්න ඒක රැකගන්න ඕන නිසා මිසක් උඹලට ආතල් ගන්න ඉඩ හදලා දෙන්න නෙමෙයි කියන එක මතක තියා ගනිල්ලා. තොපිට ආතල් දෙන්න නම් අර පොඩි එකාට තාත්තා කෙනෙක් නැති කරන්න ඕනද යකෝ? තොපි දැන් හිතන් ඉන්නේ කාලා තෙල වැඩි වෙච්ච උන්ගෙ තෙල බස්සන්න ‘ජොගින්’ කරන්න තැන් හදල දෙන එක තමයි කියලා මේ රටේ විසදන්න තියෙන ලොකුම ප්‍රශ්නේ. තව පුලුවන්නම් ඇරගනිල්ලා පෞද්ගලික විශ්ව විද්‍යාලත්. එතකොට අපි ගාව තියෙනවනේ ඒවට දෙන්න සල්ලි. අපේ අයියට තිබ්බා මට උගන්න ගන්න උවමනාවක්. 
මේ විකාර කියවන අතර නුවන්ගෙ දෑසින් කඳුලුද කඩා හැලුනි. 
තොපි දන්නේ එයාර් පෝර්ට් එකට වෙලා හැංගිලා ඉදලා ලංකාවට එන සුද්දෝ ගැනලා, ලක්ෂයායි දෙකායි කියලා උන්ට මල් මාලා දාන්න විතරයි. ඕක තමා උඹලගෙ ක්‍රමය. දාපල්ලා පිටරැටියන්ට මල් මාලා. අපිට දාලා දීපල්ලා පෞද්ගලික විශ්ව විද්‍යාල ගෙවලා යන්න. උඹලා ආතල් ගනිල්ලා. ජොගින් කරලා තෙල් බස්සා ගනිල්ලා. පිටරැටියන්ම ඇවිල්ල මෙහේ ආශ්චර්යක් හදලා දෙනකල් උන්ටම ආවඩපල්ලා. උඹලා මුහුදට දත නියවපල්ලා. අපි පනින්නම් මුහුදට. ඕකටද යකෝ අපේ අයියා මළේ. අර පොඩි එකා මේ ලෝකේ තනි වුනේ. හිටපියව් මම දෙන්නම් තොපිට වැඩක්!
නුවන් මෙවැනි බහුබූත හෑළි කියවමින් මරු විකල්ලෙන් මෙන් පාරේ එන එන වාහනවලට ගල් කැට වලින් ගසන්නට විය. කුමක්දෝ අහේතුවකට එවේලේ බොහෝ වාහනද පැමිණියහ. ඇතැම් වාහන වලට ගල් වැදුනි. ඇතැම්වාට නොවැදිණි. 
දර කඩමින් සිටි අම්මා නුවන් කඳු ගැටය දිගේ උඩට නගිනවා ඇස ගැටී තිබිණ. පසු ගිය දින කිහිපය පුරාම වැඩි කතා බහක් නැතිව සිටි නුවන්ගේ හැසිරීම ගැන ඈ තුළ යම් කුකුසක් ද වැඩෙමින් පැවතිණ. නුවන් මේ කඳු ගැටය දිගේ බඩ ගාන්නේ කිනම් කාරණයකටදැයි සිතා ගැත නොහැකි වූ අම්මාද කෝකටත් කියා නුවන් ගිය දෙසට ගමන් කළාය. ඇය නුවන් සිටි කඳු වැටිය මත වූ සම බිම වෙත ළඟා වෙද්දී, ඔහු වියරුවෙන් මෙන් පාරේ වාහන වලට ගල් ගසමින් සිටියේය. ඒ දුටු අම්මා මොහොතකට ගල් ගැසුනි. නිමේෂයකින් ඉන් මිදුනු ඈ “උඹට මොන යකෙක් වැහිලද මයෙ පුතේ?” කියමින් මුලු වැර යොදා ඔහු බදා ගත්තාය. 
“උඹේ මොළේ නරක් වෙලාද? පොලීසියෙන් වෙඩි කන්නද හදන්නේ?” 
“මම හිටියා කියලා ඇති වැඩේ මොකක්ද? උන්ට ඕනනම් වෙඩි තියපුවාවේ” 
“ලොකු එකා මට නැති උනා. උඹ දැන් විහින් වැනසිලා මට උඹවත් නැති කරලා දාන්නද පුතේ උඹට ඕන වෙලා තියෙන්නේ.” 
“ඇයි අම්මේ අපිට මෙහෙම වෙන්නේ?” කියමින් ඉකි ගසා හඬමින් නුවන් අම්මාගෙ පපුවට තුරුළු විය. කුඩා කළ අම්මාගෙ උණුසුම තුළ දැනුණ හා සමාන හැඟීමකින් අසරණ නුවන්ගෙ සිත පිරී ගියේය. දහවල දුටු සිහිනය තුළදීද අම්මාගෙන් කිරි උරා බොන විට ඔහුට දැනුණේ එබඳුම රැකවරණයකි. 
බීමතින් සිටි කඩාකප්පල්කාරි පිරිසක් විසින් අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහන වලට ගල් ගසා, වාහන එකොළහකට අලාභහානි සිදු කර ඇත. සැකකරුවන් සොයා පොලීසිය විසින් පුළුල් පරීක්ෂණ අරඹා ඇත. මිනීමරු කොටි ත්‍රස්ත්වාදය පැරදවීමෙන් පසු රජය ගෙන යන ‍යෝධ සංවර්ධනයේ ප්‍රතිලාභ සාමාන්‍ය මහජනයා අතට පත්වනවා බලා සිට අවංකව සතුටු විය නොහැකි බලලෝභී දේශපාලන කුහකයන් මේ පිටුපස සිටින්නේද යන සාධාරණ සැකයක් මතුවන බව මාර්ග සංවර්ධන අමාත්‍ය රෝහණ රන්දෙණිය මහතා පැවසීය. මෙවැනි පහත් ක්‍රියා තුළින් පැහැදිළි වන්නේ විපක්ෂයේ දේශපාලන බංකොළොත්භාවය බව එතුමා වැඩිදුරටත් පැවසීය. 
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල ආරක්ෂාව සහතික කිරීම සඳහා පුළුල් වැඩ පිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව පොලිස්පති තුමා පැවසීය. නොදුරු අනාගතයේදී මෙවැනි කඩාකප්පලකාරීන් පහසුවෙන් හඳුනාගත හැකි වන ලෙස ආරක්ෂක කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට දැනටමත් අවධානය යොමු වී ඇති බවත් ඒ මහතා පැවසීය.” යනුවෙන් පසුවදා පුවත් පත් වල පළ වී තිබුණී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress