රැවුලයි කැදයි දෙකම බේරා ගැනීම හෙවත් රතන හිමිගේ උපවාසය
Posted on June 9th, 2019

වාගිස ප්‍රනාන්දු

රිෂාඩ් බද්යුදීන් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් විපක්ෂය විසින් කතානායකට භාරදී තිබුනු අතර ඉන්පසුව ජවිපේ විසින් රජයට එරෙහි විශ්වාසභංගයක්ද කතානායකවරයාට භාරදී තිබුනි. මේ අතර රතන හිමියන් විසින් රිෂාඩ්, අසාද් සාලි සහ හිස්බුල්ලා යන අය තමන් දරන ධුරවලින් ඉවත්වීම සදහා දින කීපයක් කල් දුන් අතර එම කාලසීමාව ඉක්මගිය පසු තමන් දැඩි තීන්දුවකට එළඹෙන බව ප්‍රසිද්ධීයේ පැවසීය.

ඒ අනුව කිසිවෙකු හෝ ඉල්ලා අස්නොවූ හෙයින් රතන හිමියන් බස්නාහිර හා නැගෙනහිර ආන්ඩුකාරවරුන් එම ධූරවලින් ඉවත් වන තුරු සහ වත්මන් ආන්ඩුවේ ඇමතිධුරයක් දරණ රිෂාඩ් බද්යුදීන් ඇමතිවරයාව එම ධූරයෙන් ඉවත්වන තුරු උපවාසයක් පසුගියදා මහනුවරදී ආරම්භකරන ලදී.

මින් පලමු කරුණවූ නැගෙනහිර සහ බස්නාහිර ආන්ඩුකාරවරුන් එම ධුරවලින් ඉවත් කිරීම වත්මන් ජනාධිපතිවරයා සතු බලතල මගින් කල හැකිවුවද, ඇමති වරයෙකුව ඉවත් කරන්නේ නම් ඒ සදහා අගමැතිවරයාගේ අනුමැතියද ජනාධිපතිවරයාට අවශ්‍ය වේ.

කෙසේ නමුත් රතන හිමියන් උපවාසය ආරම්භ කරනතුරුත් ජනාධිපතිවරයාට තම බලතල යොදා පහසුවෙන් ඉවත් කල හැකිව තිබූ ආන්ඩුකාරවරුන්ව හෝ ඉවත් කිරීමට කටයුතු කලේ නැත. ඒවාගේම රිෂාඩ් ඇමතිවරයා ඉවත් කිරීම සදහා අගමැතිගේ අනුමැතියද ජනාධිපතිවරයා වෙත ලැබි නොතිබිනි.

මහනුවර උපවාසය 4 වන දිනට එළඹෙද්දී, ජනාධිපතිවරයා විසින් ආන්ඩුකාරවුරුන් දෙපලට ඉල්ලා අස්වීම සදහා පසුගිය 3 වනදා දහවල් 12.00 වනතුරුත් කල් දුන් අතර එම කාළ සීමාවේදීද තම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් නොකල ඔවුන් එම කාළසීමාව ඉක්මවායෑමෙන් පසුව තම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට භාරදිනි. ඉන්පසුව රිෂාඩ් ඇමතිවරයාව ඉවත් කිරීම ජනාධිපතිවරයාට පමණක් සිදු කල නොහැකි බව කී රතන හිමියන් තම උපවාසය අවසන් කරන ලදී.

රිෂාඩ්ට එරෙහිව විශ්වාසභංගය භාරදීමෙන් පසුව ඒජාපයේ ඇතැම් කතෝලික මංත්‍රීවරුන් තම සහය ඊට ප්‍රසිද්ධියේ පළ කල අතර පාස්තු ඉරිදා ප්‍රහාරය ගැන සෙවීමට පත් කල තේරීම් කාරක සභාවෙන් කාවින්ද ජයවර්ධන මංත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් තම නොසතුට පල කර ඉවත්විය.

ද්‍රවිඩ සංධානයේ  ඇතැම් මංත්‍රීවරුන්ද මෙම විශ්වාසභංගයට සහය පලකල යුතුයි යන මතයේ සිටි නිසා ද්‍රවිඞ සංධානය තුලද යම් බෙදීමක් මේ නිසා සිදුවිය. ඊට අමතරව රජයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ ජවිපෙද මීට දින කීපයකට පෙර රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය සදහා තම පක්ෂයේ සහය ලබා දෙන බවට ප්‍රකාශ කරන ලදී.

මෙම තත්වය තුල රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය පාර් ලිමෙන්තුවේදී විවාදයට ගෙන චංදය විමසූයේ නම්, ඒජාපය සහ ද්‍රවිඩ සංධානය දෙකඩ වීමේ පැහැදිළි තර් ජනයක් තිබිනි. ඒවාගේම එම තත්වය යටතේ රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය ජය ගැනීමෙන් අනතුරුව රිෂාඩ්ට ඇමතිධුරය අහිමිවීමේ ප්‍රවනතාවයක් තිබිනි. ඉන්පසුව විවාදයට ගැනීමට නියමිතව තිබූ රජයට එරෙහි විශ්වාසභංගයේදී රිෂාඩ් ඇතුළු මුස්ලිම් මංත්‍රීවරුන්ගේ සහය මෙන්ම විපක්ෂයේ සහ ජවිපේ සහයද රජයට නොලැබීමෙන් රජයද බරපතල අපහසුතාවයකට ලක්වීමේ අවදානමක් තිබිනි. මීට අමතරව ජනාධිපතිවරයාගේ ඉල්ලීමට කන් නොදී ආන්ඩුකාවරුන් දිගින් දිගටම තම ධූරවල රැදී සිටියේ නම් ඔවුන්ව නෙරපා හැරීම සදහා ජනාධිපතිවරයාට තම බලය පාවිච්චිකිරීමට සිදුවීමට තිබිනි.

නමුත් මේ සියල්ල රතන හිමියන්ගේ උපවාසය නිසා වැළකීගියේය.

රිෂාඩ් ඇමතිධුරයෙන් ඉල්ලා අස්වුන නිසා දැන් ඔහුට එරෙහි විශ්වාසභංගය විවාද කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින අතර එමනිසා ඒජාපයේ සහ ද්‍රවිඩ සංධානයේ දෙකඩ වීමට තිබූ අවස්ථාවද මගහැරී ගියේය. රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයක් දැන් පැවැත්වීමේ අවශ්‍යතාවයක් නැති හෙයින් ඊළගට ඉදිරිපත්වන රජයට එරෙහි විශ්වාසභංගයේදී රිෂාඩ් ඇතුළු සියලු මුස්ලිම් මංත්‍රීවරුන් මෙන්ම ද්‍රවිඩ සංධානයද රජය රැක ගැනීමට ඉදිරිපත්වනු ඇත. ආන්ඩුකාරවරුන් ඉවත් කිරීම සදහා ජනාධිපතිවරයාට තම බලතල පාවිච්චි කිරීමට අවශ්‍ය නොවුන නිසා එකී ආන්ඩුකාරවරුන්ව නින්දා සහගතව  නෙරපා හැරියේ යැයි යන චෝදනාවද ජනාධිපතිවරයාට මුස්ලිම් ප්‍රජාවෙන් එල්ල වන්නේ නැත.

කොටින්ම කියතොත් මල නොතලා සමණළයින් පැණි බොන්නා සේ සියල්ල කිසිවෙකුගේ සිත් පෑරීමකින් තොරව අවසන් කිරීමට රතන හිමියන් සමත්විය. එපමණක්ද නොවේ. පසුගිය වසර ගනනාව පුරාවට රට තුල පැණනැගුනු ජාතිකමය වැදගත්කමක් සහිත බොහෝ ප්‍රශ්ණවලදී නිහඩ පිලිවෙතක් අනුගමනය කල රතන හිමියන්ටද තමන්ගේ කඩා වැටුනු දේශපාලන ප්‍රතිරූපය මේ උපවාසය නිසා ජනතාවගේ සාධු නද මැදින්  නැවතත් සාර් ථකව ගොඩනගා ගැනීමට හැකිවිය.

ඒ නයින් බලන කල මෙම උපවාසයේ සැබෑ අරමුණ රිසාඩ්ව අසාද් සාළිව සහ හිස්බුල්ලාව තනතුරුවලින් නෙරපීමද එසේත් නැතිනම් ඒජාපයේ සහ ද්‍රවිඩ සංධානයේ සිදුවීමට නියමිතව තිබූ පිපිරීම වළක්වා ජනාධිපතිවරයාට මුහුණ දීමට සිදුවිය හැකිව තිබූ මුස්ළිම් විරෝධතාවයද වළක්වාගනිමින් බිදවැටීමට නියමිතව තිබුනු වත්මන් රජය තවදුරටත් ශක්තිමත් කිරීමද?

One Response to “රැවුලයි කැදයි දෙකම බේරා ගැනීම හෙවත් රතන හිමිගේ උපවාසය”

  1. Christie Says:

    Rathanayaa is a good craftsman of Sinhala politics.

    The head shaven man (Ganaya) knows how to cover his balls with a yellow cloth.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress