මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලංකික සූපවේදියා හිරුට තුති පුදයි
Posted on April 6th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

ඔස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරමින් තිබෙන MSC මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලංකික සූපවේදියා අද මෙරටට ගොඩබැස්සා.

ඒ, නාවික හමුදාව හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව දියත් කළ විශේෂ මෙහෙයුමකින්.

අදාළ තරුණයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අප ඊයේ හිරු ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් තුළින් බලධාරීන්ගේ අවධානය යොමු කළ අතර එම තරුණයා දින 21 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර වෙත යොමුකර තිබෙනවා.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියත් සමඟ ලොව බොහෝ රටවල් මගී නෞකාවන් තම වරායන් වෙත ඇතුළු කර නොගැනීමට පියවර ගෙන ඇති පසුබිමක ඔස්ට්‍රේලියාවේ සිට ඉතාලිය දක්වා යාත්‍රා කරමින් ඇති MSC මැග්නිෆිකා මගී නෞකාවේ සේවය කරන ශ්‍රී ලාංකික සූපවේදී අනුර බණ්ඩාර හේරත් මහතා සමාජ මාධ්‍ය ඔස්සේ කළ ඉල්ලීම අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ  ඊයේ විකාශය කළා.

එහිදී ඔහු ඉල්ලා සිටියේ ඉන්ධන ඇතුළු සේවාවන් ලබාගැනීම සඳහා නෞකාව අද දින ශ්‍රි ලංකාව වෙත ළඟවන බවත් එහිදී තමන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවකාශ සලසා දෙන ලෙසයි.

අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හා කොවිඩ් 19 මැඩලීමේ ජනාධිපති කාර්ය සාධන බලකායේ අවධානය යොමු වූ අතර ඒ අනුව ඔහු ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කෙරුණා.

ඒ අනුව MSC මැග්නෆිකා මගී නෞකාව අද පෙරවරුවේ කොළඹ වරායට මුහුදු සැතපුම් 4.4 ක් පමණ ආසන්නයට ළඟා වූ අවස්ථාවේදී එය වෙත ළඟා වූ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ඨික හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය අනුර බණ්ඩාර මහතාව ආරක්ෂිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කළා.

මෙහිදී මෙම මගී නෞකාවේ හෘදයාබාධයකින් පෙළුණු 75 හැවිරිදි ජර්මානු ජාතික කාන්තාවක්ද ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරුණා.

ගොඩබිමට ළඟා වූ අනුර බණ්ඩාර මහතා සහ අදාළ රෝගී කාන්තාව වරාය පරිශ්‍රයේදී පූර්ණ විෂබීජහරණයකට ලක්කෙරුණේ මෙලෙසින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress