රෝහල් ආලෙට කාලේ
Posted on May 5th, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

කොරෝනාවත් එක්කම විවිධාකාර වෙදකම් ගැන කතාවකුත් ඇති වෙලා. මේ ලෙඩේට මුල් වෙලා තියෙන කෝවිඩ් – 19 කියන වයිරසය නසන ක්‍රමයක් හොයා ගන්න තමයි බටහිර වෛද්‍ය පර්යේෂකයෝ දවල් රෑ නැතුව මහන්සි වෙන්නේ. අපිට වද දෙන වයිරස්, බැක්ටීරියා හඳුනා ගෙන ඒවා නැති කරලා දාන්න මහන්සි වෙන එක බටහිර වෛද්‍ය ක්‍රමයේ මූලික ම ලක්‍ෂණයක්. ඉතින් මේ දවස්වල අදාළ පිරිස් වද වෙන්නේ දැන් අපිට වද දෙන කොරෝනා වයිරසය මරන්න පුළුවන් එන්නතක් හදා ගැනීම වෙනුවෙන්.

මේ ඔක්කොම කලබල මැද්දේ අපේ සිංහල වෙදකම, ආයුර්වේදය ගැන කතාවත් ඉස්සරහට ඇවිල්ලා. ඉතින් කැඳ හට්ටි, දුම් මුට්ටි සහ තව තවත් දේවල් ගැන කතා අපිට අහන්න ලැබෙනවා. වැලිසර කඳවුරේ නාවික භටයන්ට ප්‍රතිකාර කරන්න අපේ වෙද මහත්තුරු සහ නෝනලා සම්බන්ධ වෙච්ච බවකුත් කියනවා. වයිරස්, බැක්ටීරියා වගේ හතුරෝ හොය හොයා මරණ සිරිතක් නම් අපිට උරුම වෙච්ච මේ වෛද්‍ය ක්‍රමවල නෑ. මේ වෙදකම්වලින් කරන්නේ ඒ බාහිර හතුරන් ගැන හිතන්නේ නැතුව රෝගියාව යථා තත්ත්වයට පත් කරන එක. මේ ප්‍රතිකාරවල දී රෝගියාගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම, අසමතුලිතතාවට පත් වෙච්ච වා, පිත්, සෙම් කියන තුන් දොස් සමනය කිරීම වගේ වැඩ සිද්ද වෙනවා. ඉතින් ඒ විදිහට ලෙඩා යථා තත්ත්වයට පත් වුනාම ඇඟ ඇතුළට රිංගපු ආගන්තුකයන්ට ජල්ලි අල්ලන්න බැරි වෙනවා. ඒ හින්දා වයිරසයෙන් වයිරසයට එන්නත් හොයන එක අපේ වෙදකම්වල කෙරෙන්නේ නෑ.

කොරෝනාවත් එක්කම චීන වෙදකම ගැන කතාවත් ඉස්සරහට ආවා. යින් සහ යං කියන ශක්ති දෙක සමනය කරන එක චීන වෙදකමට අදාළයි කියලා අපි අහලා තියෙනවා. ඇත්තෙන්ම සරල විදිහට එහෙම කිව්වත් ඒකට අදාළ තව මූලික කරුණු ගණනාවක් ම තියෙනවා. චීන වෙදකමේ රෝග විනිශ්චයේ දී සළකා බලන මූලික කරුණු හතරක් තියෙනවා. ලෙඩේ ස්වභාවය, ලෙඩේ බලපාලා තියෙන තැන, ලෙඩේ බරපතලකම, ලෙඩේට මුහුණ දීම සඳහා රෝගියා සතු ශක්තිය කියන කාරණා හතර තමයි ඒ. ඊට පස්සේ යින්, යං ඇතුළු සාධක අටක් සමනය කිරීම චීන වෙදකමේ දී සිද්ද වෙනවා. බාහිර – අභ්‍යන්තර, සීතල – උණුසුම්, අධික – හිඟ සහ යින් – යං කියන සාධක අට තමයි ඒ විදිහට සමනය කරන්නේ.

මේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයට චීනයේ ඉතාමත් ම ඉහළ ස්ථානයක් ලබා දීලා තියෙනවා. ඉතින් චීනයේ සෑම රෝහලක ම අනිවාර්යයෙන් ම සාම්ප්‍රදායික වෛද්‍ය අංශයක් පවත්වා ගෙන යෑම නීතියෙන් ම නියම කරපු අවශ්‍යතාවක් බවට පත් වෙලා තියෙනවා. රජයේ සහ පෞද්ගලික අංශ දෙකට ම අයිති හැම රෝහලකට ම මේ නීතිය අදාළයි.

රාජ්‍ය සහ පෞද්ගලික අයිතියට අයත් රෝහල් වර්ග තුනක් චීනයේ තියෙනවා. ඒ තමයි බටහිර රෝහල්, සාම්ප්‍රදායික චීන රෝහල් සහ ඒකාබද්ධ රෝහල් කියන වර්ග තුන. සාම්ප්‍රදායික චීන රෝහල්වල බෙහෙත් කෙරෙන්නේ ඒ ක්‍රමයෙන් විතරයි. ඒකාබද්ධ රෝහල්වල චීන සහ බටහිර ක්‍රම දෙක ම හරි හරියට ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව බටහිර රෝහල්වලත් අනිවාර්යයෙන් ම චීන වෛද්‍ය අංශයක් පවත්වා ගෙන යන්න ඕන. ඒ කියන්නේ මොන විදිහට වර්ග කළත් චීනයේ තියෙන හැම රෝහලකම චීන වෙදකමත් කෙරෙනවා.

චීනයේ සෞඛ්‍ය ක්‍රමය සැලසුම් කරලා තියෙන්නේ රෝගියා කේන්ද්‍ර කර ගත්ත ආකාරයකින්. ඒ යටතේ රෝගියාට තියෙන අයිතිවාසිකම් ගණනාවකුත් තීරණය කෙරිලා තියෙනවා. මේ විදිහට තියෙන වැදගත් ම අයිතිවාසිකමක් තමයි තමන්ට අවශ්‍ය වෛද්‍ය ක්‍රමය තෝරා ගැනීමේ වරම. ඒ කියන්නේ රෝගියාට පුළුවන් තමන් ප්‍රතිකාර ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයෙන් ද සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයෙන් ද කියන එක තෝරා ගන්න.

මේ කරුණු සළකලා බලද්දි, චීනයේ කොරෝනාව පරද්දන වැඩේ දී මේ එකමුතුකම භාවිතයට ආපු හැටි අපිට හිතා ගන්න පුළුවන්. සෞඛ්‍ය ක්‍රමය කොච්චර දියුණුයි කියලා කිව්වත් වෙනත් සරණක් නැති වෙච්ච හින්දා බටහිර රටවල්වල මිනිස්සු දාස් ගණනින් පරලොව ගිය හැටිත් අපි දැක්කා. ඉතින් මේකට අදාළ ඇත්ත අපි දැන්වත් තේරුම් ගන්න ඕන.

තාක්‍ෂණික පහසුකම් අතින් බටහිර වෙදකම හුඟක් දියුණුයි කියන කාරණය බොරුවක් නෙවෙයි. ඉතින් ඒ තාක්‍ෂණික පහසුකම් එක්ක සාම්ප්‍රදායික වෙදකමේ උරුමයත් එකතු කරගෙන ඉතාමත් ශක්තිමත් රෝග නිවාරණ ක්‍රමවේදයක් නිර්මාණය කරගන්න බැරිකමක් අපිට නෑ. යටත්විජිත ස්වාමියා පනවපු අන පනත්වල එල්ලිලා ඉන්නේ නැතුව අපේ ඉස්පිරිතාලවලත් දේශීය වෙදකමට තැනක් දෙන්න පුළුවන් නම් කොච්චර හොඳ ද? ඉතින් මේ කොරෝනා සමයේ දී ලබපු අත්දැකීම් ගැනත් සළකලා අපිට අදාළ හැම වෙදකමක ම තියෙන හොඳ දේ එකතු කරගෙන ඉතාමත් ශක්තිමත් සෞඛ්‍ය සේවයක් ඇති කරගන්න අපිටත් පුළුවන්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress