කොසොල් රජතුමා දුටු සීන දාසැය හා ලංකාවේ සුප්‍රිම් උසාවිය
Posted on May 27th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

x.නීතියට ආත්මයක් නැත> – තිරන්ත වලලියද්ද
x.නීතිය අපකීර්තියට පත් නොකල යුතුය> – කාදිනල් මැල්කම් රංජිත්
x.මහජන විශ්වාසය හා ලබැඳියාව නඟාලීම> සුප්‍රිම් උසාවි මොටෝ එක

නඩුකාරවරුන්ගේ ළමා කාලය

කොසොල් රජතුමාගේ සීන දාසැය වනාහි, බයිබලයේ තිබෙන අනාගත වාක්‍ය වගේම මුළු ලෝකයම අලලා කරණ ලද විග්‍රහයක් මිස, එක රටකට, ඉන්දියාවට හෝ අනාගත ලංකාවට හෝ පමණක් විශේෂයෙන් කල විස්තරයක් නොවේ. සුප්‍රිම් උසාවියේ හා පහල උසාවිවල නඩුකාරතුමන්ලා කී දෙනෙක් මේ මහා සුපින ජාතකයේ සඳහන් වන කොසොල් රජතුමා දුටු සීන දාසැය කියවා හෝ අසා ඇද්ද කියා මට සිතුනේ, මේ ලඟදී කොළඹදී මුණගැසෙන, Fරිඩය් Fඔරුම් පිරිස විසින් <දේවෝ වස්සතු කාලේන> යන බෞද්‌ධ සංකල්පය, ඔවුන් විසින් ජනාධිපතිට යැවූ ව්‍යවස්ථා නීතියට අදාල ලිපියක සඳහන් කර තිබෙනු දුටු විටය. ඉහල උසාවි දෙක 1956 න් පසු තාමත් වැඩ කරන්නේ ඉංග්‍රීසියෙන් ය. නඩුකාර ක්‍රමය දූෂණය වීම ගැනද කොසොල් රජතුමා සීනවලදී දුටුවේය. රටේ නඩුකාරවරුන්ගෙන් කී දෙනෙක් ඉරිදා දහම් පාසැල් ගිය අයද කියාත් සිතේ.

නීති විද්‍යාව හා බුද්‌ධාගමේ සංකල්ප අතර පවතින ලඟ සම්බන්‌ධය පිළිඹඳ උදාහරණ දෙකක් පමණක් දෙනවා නම්: (1) චේතනාව හා (2) සාධාරණ‌ත්‌වය යන මූලධ‌ර්‍ම දෙකම මේ මිනිස් සංසිද්‌ධි දෙකේම පදනමය. ඉන්ටෙන්ෂන් හා රීසනබල්නස් නීති කරත්තයේ රෝද දෙකය. ධම්මපදයේ මුල් ගාථා දෙකේ දැක්‌වෙන යහපත් හා දුෂ්ට චේතනා හා කර්‌මය ගමන් කරන්නේ මධ්‍යම ප්‍රතිපදා පාරේය. මෙම මධ්‍යම ප්‍රතිපදාව, ප්‍රජාතන්ත්‍රවාදයේද මුල්ගල වන <කොම්ප්‍රොමයිස්> හෙවත් නිති විද්‍යාවේ රීසනබල් ඩොක්ට්‍රින් (සාධාරණය/යුක්තිය) එකමය. යම් ස්ථානයක භූගෝල විද්‍යාවට (පොලොව මතුපිට විවිධ‌ත්‌වය) අනුව යම් ක්‍රියාවක් රීසනබල් වීමට හෝ නොවීමට ඉඩ ඇත. යම් ප්‍රදේශයක හෝ සමාජයක/රටක භූගෝල විද්‍යාවට පටහැනි වන නීති පැනවිය නොහැක කියන්නේ මේ පාරේ ඉදිරි ගමනටය.

තිරන්ත වලලියද්ද, අපරාධ නීතිය පිළිඹඳ විශේෂඥයෙකි. නීතියට ආත්මයක් නැතැයි කීමෙන් ඔහු අදහස් කරන්නේ ආත්මය (මනස?) තිබෙන්නේ නීතිය ක්‍රියාත්මක කරණා අයවලුන්ට යන්නය. ආත්මය යනු චේතනාවය. යුක්තිය ඉෂ්ට කල හැක්කේ ආත්මයක් තිබෙනවා නම් පමණය. 1600 දී සිට ඉංග්‍රීසි නීතිය විසින් සමාගම් වලට (පෙරදිග ඉන්දියා වෙළද සමාගම වැනි), සංස්ථාවලට, මිනිසෙකුට මෙන් කෘතිම ආත්මයක් ලබාදුන්නේය. ඉන් අදහස් වන්නේද ලියා පදිංචිකල සමාගමකට චේතනාව ආරූඪ කල හැකි බවය. නීතිය අපකීර්තියට පත්කරනවා යයි කීමෙන් කාදිනල්තුමා අදහස් කරන්නේද වලලියද්දගේ කතාවමය. නිතීය නමැති දෙවඟන මිනිසුන්ගේ චේතනාවෙන් අපවිත්‍ර වේ. සමහරවිට එංගලන්තයෙන් කොපිකල, ලංකාවේ සුප්‍රිම් හා ඇපැල් උසාවි මොටෝ එක උත්සාහ කරන්නේද, සද්භාවයෙන් ක්‍රියා කර උසාවි කෙරෙහි, නීතිය කෙරෙහි, මහජන ගෞරවය නංවාලීමය. මේ අනුව බලන විට මේ අදහස් තුන ත්‍රිකෝණයක් වැනිය. එහි පාදය උසාවියේ මොටෝ එකය. මැදින් තිබෙන්නේ නීති සම්භාරයය.

වළාකුලක් දැලකින් බඳින්නට සැදීම

ඉහත සඳහන් ත්‍රිකෝණය තුල ඇති නීතිය ඉහත සඳහන් පාර්‌ශව තුනට අනුව උත්තරීතර නොහොත් පාරිශුද්‌ධය. එහෙත් ඒ නීතිය කුමක්ද? නීති 282 ක් ඇති මෙසපොටේමියාවේ හමුරාබි කෝඩ් එක ක්‍රිස්තු පූර්‌ව 1754 දී පමණ ලියන ලද්දකි. දෙවියන් විසින් මෝසස්ට දුන්නාය කියන දස පණතද එවැන්නකි. විනය පිටකයද භික්‍ෂූ-භික්‍ෂුණීන් සඳහා පැනවූ නීති පද්‌ධතියකි. අතීතය අතහැර වඩා මෑත කාලයට ආ විට, 1802 න් පසු සුද්දන් විසින් අපට දුන්නේ සුද්දගෙ නීතිය හා ලන්දේසි නීතියේ මිශ්‍රණයකි. ලන්දේසි කාලයේදී කුරුඳු ගසක් විනාශ කිරීමට දඬුවම මරණයය. උඩරට රාජධානියේද යම් කඳුකර ප්‍රදේශවල (වන දුර්‌ගද ඇතුළු) කැලෑ එලි කිරීමට දඬුවම මරණය. මේ අනුව සිතා බලන විට පැහැදිලි වන කරුණක් නම් බලවතා, ලොකු මාළුවා පොඩි මාළුවා ගිලගන්නා කැලෑ නීතිය වෙනුවට මිනිස් සමාජය ක්‍රමයෙන් ආරක්‍ෂාව, සමාජ ක්‍රියා දාමයේ නිශ්චිත භාවය (සර්ටිනිටි), සමාජයේ සම්ප්‍රදායික සිරිත් විරිත් රැක ගැනීම යනාදිය සඳහා නීති පද්‌ධති ගොඩ නඟාගත්තා යන්නය. ඕනෑම සමාජයක බලයේ ඉන්නා සුළු පිරිසක් විසින් මේ නීති සදන්නේ ඔවුන්ගේ වාසිය පිණිසය. අද ලංකාවේ තිබෙන්නේ මෙසේ සුද්දන්ගේ වාසියට සැදූ නීති, ඉන් පසුව බලය ලබාගත් කළු සුද්දන් විසින් පැලැස්තර දමමින්, තව තවත් සවුත්තු කරමින් දිගටම ගෙන යාමය. නැතහොත් ඒවා අච්චාරු කරමින්, තෙම්පරාදු කරමින් පලප්‍රයෝජන භුක්ති විඳීමය. මෙම ක්‍රියාවලියේදී වැඩියෙන්ම හානි සිදුවූයේ රටේ ශිෂ්ටාචාරය ගොඩ නඟූ සිංහලයාටය. මැල්කම් රංජිත් කාදිනල්තුමාට පෙර, ලංකාවේ කතෝලික ජනයාට මෙය හරියාකාරයට වැටහුනේ නැත.

මෙසේ සෙසු සමාජයට නාස්ලණු දමා කළු සුද්දන් ගෙනගිය නීති සැදීම, 1960 න් පසුව, 1978 න් පසුව හා 2015 යහපාලනකාරයින් යටතේ ඉතාමත් පහත් අඩියකට වැටුනේය. උසාවිය රවටා නීති පැනවීම, කතානායක හොර අත්සන් ගැසීම, මෝඩ මන්ත්‍රීන් ඔහේ ඕනෑම දෙයකට අත ඉස්සීම නිසා නීතිය උත්තරීතරය යන ඉහත ත්‍රිකෝණයේ අදහස හුදු මිථ්‍යාවක් විය. වංචාකාරි ලෙස නොපැහැදිලි ලෙස නීති අනුමත කර මුළු ලෝකයම රැවටීමට හොඳම නිදසුන නම් 19 සංශොධනයේ 33(2)(සී) වගන්තිය නමැති බරව කකුලය. ඉන් කලේ සුප්‍රිම් උසාවියට වෙට්ටුවක් දමා පාර්ලිමේන්තුව තමන්ගේ ආයුකාලය තහවුරු කරගැනීමට අවශ්‍යවූ ජනමත විචාරණයකින් ගැලවීමය. මෙවැනි නීති වලට ගරු කල යුතුද, මෙවැනි නීති වලංගු කරමින් උසාවි දෙන තීරණ මහජනයාගේ කලකිරීමට හේතු නොවන්නේද යනාදී ප්‍රශ්ණ එමටය. එක් දේශපාලකයෙකු හිරේයාම වැලැක්‌වීමට ගෙනා විදේශ විනිමය පාලන අළුත් පණත රටටම කල හානියක් විය. සර් ඔලිවර් ගුණතිලකලා පවා ඒ කාලයේ රටින් පැන ගියේ මෙවැනි වංචා නිසාය. උසාවි මොටෝ එක බොහෝ විට වළාකුළක් දැලකින් බැඳීමේ ප්‍රයත්නයක් නොවේද කියා සිතෙන්නේ මෙවන් පසුබිමක් යටතේය.

නැති <ප්‍රජා-තන්ත්‍ර-වාදයකට> කරගැහීම

හදාගෙන, වවාගෙන කමින් තිබෙන <නීතිය> ගැන ඉහතින් කල කෙටි හැඳින්‌වීමට අමතරව, නීතිය ක්‍රියාවට නැඟීමේ කාර්යභාරය පැවරෙන ග්‍රාම සේවක, පොලිසිය, නිලධාරීන්, නීතීඥයින්, උසාවි යනාදී ඒකක සම්බන්‌ධයෙන් නැවත නැවත සුගන්‌ධිකා ප්‍රනාන්දු, නාගානන්ද, වික්ටර් අයිවන්ලාගේ පාරේ යාම, හෝද හෝදා මඩේ දැමීමකි. සුදු නිලධාරීන් විසින් ඒ කාලයේදී මහත් ව්‍යායාමයකින් රැකදුන් බෞද්‌ධ පුරාවිද්‍යා නටබුන්, දැන් බෞද්‌ධ පුරා විද්‍යා නිලධාරීන් විසින්, සමහර විට පගා ලබාගෙන, විනාශ කිරීමට ඉඩදී තිබීමත් නීතිය ක්‍රියාවේ යෙදවීමක් නොවේද? සුමන්තිරන්ට අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ තුන්වන කකුල පාර්ලිමේන්තුවය. එය සදාකාලික අමරණීය අයාතනයකි. ලෝකයේ බොහෝ රටවල ඇත්තේ කකුල් තුනක් නොව ඊට වැඩි ගණනකි. විධායකය යනු තනි පංචස්කන්‌ධයක් නොව අතිවිශාල නිලධාරී පද්‌ධතිය. ඇමෙරිකාවේ හා ඉන්දියාවේ, රට ගෙනියන්නේ මේ අයය. ඇමෙරිකාවේ ජනාධිපති කෙතරම් හොඳ වුනත් ඔහුට, රටට, ඉස්තරම් දේම කරන්නට නොහැකි වන්නේත්, ඔහු කෙතරම් නරක් වුනත් රටට බරපතල හානියක් කරන්නට නොහැකි වන්නේත් මේ නිසාය. ඉන්දි‌යාවේද රටේ දිගුකාලීන ස්ථාවරභාවයට හේතුව බාල්දු නොවුන, නිවට නොවුන නිලධාරී සේවාවය.

සුමන්තිරන් විසින් නොකියන තවත් කකුලක් නම්, සදාචාර වන හෝ නොවන, ස්වාධීන වන හෝ නොවන මාධ්‍යවේදී හා මාධ්‍ය ආයතන රටාවය. කෙතරම් දුෂ්කරතා මැද වුවත් නිලධාරීන් හා මාධ්‍ය ස්වාධීන වීමට යෑමේ ප්‍රවනතාවක් දැන් දක්නට ලැබේ. නීතියේ ආධිපත්‍යය (රූල් ඔෆ් ලෝ) හා ජනතා පරමාධිපත්‍යය යන සිංදු දෙක, සම්පූර්‌ණයෙන්ම මිථ්‍යා දෙකක් නොවී පවතින්නේ මාධ්‍ය නිසාය. වේයන්ගොඩ පොලිසියේ මැරකම් හෝ මුහුදු මහා විහාරයේ ඉඩම් කොල්ලය හෝ රිෂාඩ් ගේ හිස්බුල්ලාගේ හොර හෝ හෝමාගම ක්‍රිකට් පිටියේ කතාව හෝ ඉහත සඳහන් සිංදු දෙක නිරුවත් කිරීමට උදාහරණ නොවේද? අන්තර්‌ජාලය මඟින් සාමාන්‍ය ජනයාට ලබාදී තිබෙන ප්‍රජානත්ත්‍රවාදය, ග්‍රීක-රෝම කාලයේ පුරවැසි අයිතියටත් වඩා ඉහළ දෙයකි. මේ නිසා මහජන මතයක් ඇතිකිරීමේ, විවේචන කිරීමේ, වැරදි එලිකිරීමේලා ඇති කකුල සුමන්තිරන් හොඳින්ම දන්නේය. අනික් හැමදේ මෙන්ම එය අයුතුලෙස භාවිතා කරණ කොටස්ද සිටින බව සැබෑය. ඒවා පාලනය කිරීමේ, මොනිටර් කිරීමේ ඇති අවශ්‍යතාවය නිසා ඇතිකල සංවිධානවලට, එන්ජිිෝ නඩ රිංගාගෙන ලංකාවට විරුද්‌ධව ක්‍රියාකරණ අවස්ථාද මෑතකදී අනාවරණය විය.

උසාවිය බිලි දීමේ යහපාලන උපක්‍රම

කාදිනල්තුමා කියන නීතිය අපකීර්තියට පත්කිරීම යනු, ශුද්‌ධ සිංහලෙන් කියනවා නම් නීතිය දූෂණය කිරීමය. 2009 මැයි 19 දාට බොහෝ කලකට පෙර සිට කළු සුද්දන්, එන්ජිිෝකාරයින් හා කොළඹ තානාපති කාර්‌යාල මන්තරයක් ජපකරණවා මෙන් දිගින් දිගටම කියා සිටි, මේ යුද්‌ධය නම් කවදාවත්ම දිණන්න බෑ යන්න මිත්‍යාවක් වූ පසු, ඔවුන් විසින් ගෙන ගිය කූඨ ව්‍යාපාරය වූයේ, රාජපක්‍ෂ ආණ්ඩුවේ දුර්‍වලකම් ප්‍රයෝජනයට ගෙන, බෝම්බෙන් බැරිවූදේ පෑණෙන් දිනා ගැනීමය. මෙය 2020 තෙක්ම අසාර්‍ථකවූයේ ලංකාවේ හඳහනේ හොඳකම නිසාමය. එසේ නැත්නම් රට රකිනා යම් අදෘෂ්‍ය බලවේගයක් නිසාය. පාටලී චම්පික වගේ කෙනෙක් 2015 සිට, රට-ජාතියට විරුද්‌ධව කල ද්‍රෝහී ක්‍රියා පවා නිශේධ වන්නේ ඒ නිසාය.

2015-19 කාලයේදී මේ රට කැඩීමේ ව්‍යාපාරයට <ගෝඨාභය භීතිකාවක්> තිබුණේ ඒ නිසාය. දැන් අතුරැලියේ රතන හාමුදුරුවන්ගෙන් එලිවෙන තොරතුරු වලට අනුව, ජනාධිපති මෛත්‍රීපාල, ගෝඨාභය අගමැති කරන්නට ගත් ප්ලෑන බකල් වුනත්, පක්‍ෂ දේශපාලකයින් රටට කරණා විනාශය ගැන මහජනයා අතිශයින්ම කළකිරුණේ, පන්සල් දඩයම, පුරාවස්තු සංහාරය, විපත්තු විනාශය, කුරගල-මුහුදු මහා විහාර ඉඩම් කොල්ලය, විග්නේශ්වරන්ගේ දේවානම් පියතීෂන් කතා, චන්ද්‍රිකාගේ නිර්‍වශ්ත්‍රම් පරමං සුඛං සින්දු, හම්බන්තොට වරාය අවුරුදු 200 කට කුණුකොල්ලයට විකිණීම, මත්තල වී ගබඩා කිරීමේ හෙනගහන අපරාධය, සුමන්තිරන්-ජයම්පති-රනිල් ව්‍යවස්ථා මගඩිය යනාදීන් සමඟින්, පාර්ලිමේන්තුව හෙවත් දියවන්නා හෝටලය බල්ලටම යෑමය. මුන් 225 ම එපා යනු 1971 හා 1988/9 කැරලිවලට සමාන සාමකාමි කැරැල්ලකි. මෙහි ප්‍රතිපලය වූයේ පන්සල් විසින් ගොඨාභය මහතා දිනවා ලංකාව හා සිංහල මහජාතිය රැක දීමය. සුළු ජාතීන් රැකෙන්නේ මහජාතියට පාඩු කිරීමෙන් නොවන බව, දෙමළ හින්‌දු ජනයා, පහත් කුලයයි සැලකෙන දෙමළ ජනයා විසින් අවභොධකර ගනිමින් සිටින බව දැන් දක්නට ලැබෙන උපනතියකි. යුද හමුදාව කෙරෙහි යාපනේ ජනයා දක්වන කැමැත්ත දෙමළ බෙදුම් වාදීන්ට ඇති ලොකුම තර්‍ජනයය.

කොරෝනා සරණං ගච්චාමි!

2018 පලාත් පාලන චන්‌දයෙන් ආරම්භවී, 2019 දී සිදුවු අන්ත පරාජය ඉදිරියේ, සුමන්තිරන්ලා/මංගලලාගේ රට බෙදීමේ යහපාලන ප්ලෑන විසින්, කොරෝනාව පිදුරු ගසක් සේ සළකා ක්‍රියාකරන්නේ මහජනතාව ඉදිරියේ සුප්‍රිම් උසාවිය බිල්ලට දීමෙන්‌ය. ඊට හේතුව කෙසේ හෝ පරණ දියවන්නා හෝටලය ඇර ගත්තොත්, ඒ මඟින් රටේ ඇතිවන දේශපාලන ව්‍යාකූලත්‌වය, ගෝඨාභය විජයග්‍රහණයට භාධාවක් කරගත හැකිවන නිසාය. ගියවර මෛත්‍රීපාල/රනිල් නඩුවේදී මෙන් 33(2)(සී) බොරු කකුලක් කර සුප්‍රීම් උසාවිය කලදේ මෙන්, මෙවරත් උසාවිය මැජික් තර්‌කයක් ගෙනaේය යන්න යහපාලනකාරයින්ගේ හා කොළඹ තානාපති කාර්‌යාල වල විශ්වාසයය.

මගේ යන්තම් දැණුමේ හැටියට, මෙවර උසාවියට ඉතිරිව ඇත්තේ ජනාධිපති, රටේ පාර්ලිමේන්තුවක් ආපසු කැඳවීමට හදිසි තත්‌වයක් නැතැයි ගත් තීරණය අත්තනෝමතික තීරණයක් යයි නිගමනය කර දියවන්නා හෝටලය යළි ඇර දීමය. මෙහිදී උසාවියේ පංචස්කන්‌ධ පහ ගැටෙන්නේ ජනාධිපති නමැති පංචස්කන්‌ධය සමඟ නොවේ. ලක්‍ෂ 69 ක ජනතා පරමාධිත්‌වය සමඟය. කලින් නඩුවේදී උසාවිය දුන් තීරණය, පලාත් පාලන චන්දයේ මහජන තීරණයට පටහැනි වූවක් මෙන්ම, ඒ නිසා රටේ ඇතිවූ අරාජක ස්වභාවය (ෆේල්ඩ් ස්ටේට්), රටට කල විශාල විපතක් විය. ඒ පංචස්කන්‌ධ හත, නීතියේ ආධිපත්‍යය හා මහජන පරමාධිපත්‍යය නාමයෙන්, මහජනයාගේ පැත්තෙන් බලන විට නම්, ලොකු මිථ්‍යා දෙකක නාමයෙන්, දුන් තීරණය, පාස්කු ප්‍රහාරයට වක්‍රව හෝ වගකිව යුතු වන්නේ යයි කීම උසාවියට අපහාස කිරීමක් නොව, උසාවියේ ත‌ර්‌ක විද්‍යාවේ තිබූ අඩුපාඩුවක් පෙන්‌වා දීමය. බළලාගේ බෙල්ලේ ගෙජ්ජියක් දැමීමක්‌ය. මෙහි පහතින් පෙන්‌වා දෙන අන්දමට නිර්‌මානාත්මකව, අළුත් ප්‍රශ්ණ අසමින්, රේල් පාරෙන් ඉවතට පැන, පෙට්ටියෙන් ඔබ්බට සිතා ක්‍රියා කරන උසාවි ලෝකයේ ඇත. ටනල් විෂන් කුමණ මානව සංස්ථාවකට වුවත් හානිකරය.

හැකිය-යුතුය සංවාදය

විසුරුවා හල දියවන්නා හෝටලය නැවත ඇරීමට නැතුවම බැරි ආකාරයේ <හදිසි තත්‌වයක්> රටේ ඇතැයි ජනාධිපති සිතන්නේ නම්, ඔහුට එය නැවත ඇරිය හැකිය යන්නෙන් කාරණා කීපයක් සනිටුහන් වේ. (1) ව්‍යවස්ථාවේ සඳහන් කරණ හදිසි තත්‌වය කුමක්ද? (2) ඒ හදිසි තත්‌වය හා ජනාධිපති සිතන හදිසි තත්‌වය එකම දේද නැද්ද? (3) 1 & 2 මොනවා වුනත්, හෝටලය යලි ඇරීම කල හැකි මිසක් කලයුතු යයි කොහේවත් ලියා නැත්තේ ඇයි? සුමන්තිරන් කියන ආකාරයට තුන්වන කකුල නැති රටක ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබිය හැකි නම්, ඒ කකුල නැතිව සිටිය හැක්කේ උපරිම වශයෙන් මාස තුනක් පමණක් නම්, අඩු තරමින් කල හැකිය වෙනුවට කලයුතුය කියා සුමන්තිරන්ලා හා ජයම්පතිලා ඒ කාලයේ එය වෙනස් නොකලේ ඇයි?

මෙහිදී හුනුවටයේ කතාව මෙන් ජනාධිපතිගේ හිත විමසීමට උසාවියට අවශ්‍ය නොවේ. ඊට හේතුව 2019 චන්දයේදී ඔහුගේ හිත එලිකර තිබීමය. මුන් 225 ම එපා යන චන්ද විරෝධය ඉදිරියේ ජනතාවට ගෝඨාභය දුන් පොරොන්‌දුව නම් පරණ පිරිස ඉඩ ලද වහාම ගෙදර යවන බවය. ඔහු එය ඉෂ්ට කලේය. එය ඔහු විසින් ජනතා පරමාධිත්‌වය ක්‍රියාවට නැඟීමකි. තුන්වන කකුලට (පාර්ලිමේන්තුවට) බලය එන්නේද ජනතාව ගෙන්‌ය. උසාවිය බිල්ලට දෙනවා යයි කියන්නේ මේ නිසාය. පෙත්සම් මඟින් යහපාලනකාරයින් උසාවියට කියන්නේ ජනතාව ඍජුව ජනාධිපතිට දුන් බලය, ජනතා විශ්වාසය කඩකල අවලංගු කාසි 225 කට
යටකරණ ලෙසය!

කියන දේ කරණ ජනාධිපති

චන්දයේදී පොරොන්‌දුවූදේ හැකි උපරිමයෙන් ඉටු කිරීම මේ ජනාධිපතිගේ අභිප්‍රාය බව ජනතාව පිළිගෙන ඇත. පක්‍ෂ දේශපාලකයෙක් නොවන ජනාධිපති යන්නේ <මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑය> යන කවි පදය සිහිපත් කරවන අන්දමේ දුෂ්කර ගමනකි. උසාවි විසින් ඔහුගේ මේ ගමනට භාධා නොකරතැයි බලාපොරොත්තුවන බව ඔහු ප්‍රසිද්‌ධියේම කියා සිටියේය. ලංකාවට අවුරුදු 72 ක් පුරාම සිදුවූයේ මරණ තුනක් නොව සියගණනකට මුහුණ දීමටය. 1971, 1988/9 කැරැලි, 30 අවුරුදු යුද්‌ධය, ගමේ ස්ත්‍රීන් අරාබි වහල් සේවයට යැවීම, තරුණියන් රෙදි පැක්ටරි වල අසරණ වීම, මුළු සමාජයම දූෂිතවීම පක්‍ෂ දේශපාලකයින් කොසොල් රජතුමාගේ සීන නොසලා හැරීමේ ප්‍රතිපලය. දැන් අන්තිමේදී කොරෝනාව මුළු ලෝකයටම මේ පාඩම උගන්‌වා තිබේ.

නඩුකාරතුමෙක් බිහිවන්නේ කෙසේද?

ගාන්‌ධි වරක් කිව්වේ නීතීඥයින්, බාබර්ලා මෙන් සමාජයට අත්‍යාවශ්‍යම කොටසක් බවය. ඇමෙරිකාවේ නම් නීතී‌ඥයෙක් වීමට පෙර වෙන උපාධියක් තිබිය යුතුය. ලංකාවේ ක්‍රමය අනුව නීති කෝච්චියට නැංගොත් ඉන් බසින්නේ ඒ ක්‍රමයට අනුව මොළ සේදු කළුකබා කාරයෙකි. මෙය හරියට ඕනෑම අහිංසක කෙනෙක් පොලිසියට බැඳුනොත් ඔහුට වෙනදේ වගේය. මේ සාමාන්‍ය රීතියට පිටි ගිය නීතිඥයා හෝ පොලිස්කාරයා, පිලිවෙලින් දුගී හා උසස්වීම් රහිත කොන්‌වුණ අයෙකි. අතීතයේදී නම් නීති විද්‍යාලයට ගියේ දේපල තිබූ අයය. දැන් යන අයගේ අරමුණ ගාන්‌ධිගේ අරමුණ නොව සේවාදායකයා නමැති මල තල තලා රා බීමය. මෙවැනි ආකල්පයකින් ඉස උදුම්මවා ගත් සමහරෙක් නීතිපති දෙපාර්‌තමේන්තුව හරහා ඉහළ උසාවියට යයි. සමහරු රජයේ රැකියා ලබා ගනියි. තවත් අය උසාවි වල බඩගා පහල උසාවි තනතුරු ලබාගනී. දේශපාලකයින්ට හේත්තුවී ජනාධිපති නීතීඥයින්වේ. තනතුරු සඳහා බලවත් තරඟයක් ඇතිවීම පුදුමයක් නොවේ.

සිවිල් සේවයට වඩා නඩුකාර සේවය බාල්දු කල වෙන රටක් නැති තරම්‌ය. ජනාධිපති ඉදිරියේ දිව්‍ර‌ැම් දීම, සේවය සළකා උසස්වීම් නොදීම, ව්‍යවස්ථා සභාව බොරුවක් වීම යනාදිය ගැන සිතන විට මේ වෘත්තියේ සිටිනවාට ඔවුන්ට ස්තුතිකල යුතුය. එහෙත් නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉතාමත් හොඳින් පැහැදිලි කරදෙන ආකාරයට ලංකාවේ මුළු යුක්තිය පසිඳලීමේ ක්‍රමයම උඩු යටිකුරු කල යුතුය. සමථ මණ්ඩල, ගම් සභා උසාවි යනාදිය මඟින් නීතීඥයින් හරහා කෙරෙන සූරාකෑම හා මිනිසුන් සතුරන් කරණ ක්‍රියාවලිය අවම කල යුතුය. විදේශ තානාපති කාර්‌යාල හා විනිසුරුවන් අතර සම්බන්‌ධතා තහනම් කල යුතුය. මෙය නීති සංගමයටද අදාලය. ඉද හිට මතුවන තරුවක් හැර නඩූකාරයින් සබන් පැක්ටරියක සබන් කෑලි වැනිය. නඩු වාර්‌තා වලට පිටින් ලෝකය ගැන කියවා දැනගතයුතු දේ බොහෝය.

ලංකාවේ පක්‍ෂ දේශපාලකයින් විසින් නඩුකාරවරුන් පඹයින් බවට පත්කර තිබේ. උදාහරණයක් වශයෙන් මොන අටමඟුලක් හෝ කතානායක විසින් අත්සන් කල පසු ඒ ගැන විමසීමට සුප්‍රිම් උසාවියට නොහැකිය. හැන්සාඩ් එකෙන් එලිවන හොර දූෂණ නීති වැඩ මහජනයා දැනගත්තත් ඒ ගැන උසාවි වල අත්බැඳ තැබීම නිසා හෑල්ලුවන්නේ උසාවියේ උතුම් කමය. රට ජාතිය ගැන සළකා අළුත් විධියට සිතන්නට යම් නඩුකාරතුමෙකුට නොසිතෙන්නේ මේ <වහල් ක්‍රමය> නිසාය. අලි මදිවාට හරක් මෙන්, නිහඬව, නිශ්චලව ඉන්නා අයට විශ්‍රාම ගිය පසු නොයෙක් සන්තෝෂම් බලයේ ඉන්නා දේශපාලකයින්ගෙන් පිරිනැමේ. මෙවැනි හිත් දූෂ්‍ය කිරීම් වැලැක්‌වීමේ විධි විධාන තිබිය යුතුය.

තම රටේ නීතිය වර්‌ධනය කිරීම, යථාර්‌ථවත් කිරීම, කාර්යක්‍ෂම කිරීම රටක සුප්‍රීම් උසාවියක යුතුකමය, වගකීමය. මේ සඳහාම වැටුප් ලබන්නේ නීති උපාධි ආයතනවල ගුරුවරුය. මානව අයිතිවාසිකම් වැනි ලෝක දේශපාලනයට ගෑවුණ, පුද්ගලික වාසි ලැබෙන ගනයේ මාතෘකා අල්ලාගෙන ලිපි ලිවීම මිස නීතිය ක්‍රියාවේ යෙදීමේදී ඇතිවන ගැටළු, ක්‍ෂේත්‍ර පර්යේෂණ හෝ අඩුතරමින් මහේස්ත්‍රාත් උසාවි වල නඩු වාර්තා ආශ්‍රයෙන් පර්යේෂණ පත්‍රිකා පිලියෙල කිරීමට සිය ශිෂ්‍යයින් යොමු කිරීමවත් මොවුන් කරණ වාදැයි මම නොදනිමි. මේ සම්බන්‌ධයෙන් මා දන්නා ඇමෙරිකන් උදාහරණ කීපයක් මෙසේය.

ප්‍රසිද්‌ධ ඇමෙරිකන් නීති‌ඥයෙක්‌වූ ක්ලැරන්ස් ඩැරෝ (1857-1938) ගේ ජීවිත කතාව ගැන ලියා ඇති <ක්ලැරන්ස් ෆෝ ද ඩිෆෙන්ස්>, අර්වින් ස්ටෝන්, (1941) යන පොත, නීතිය හා සම්බන්‌ධ ලංකාවේ හැමදෙනෙක්ම කියවිය යුතුය කියා මා සිතන්නේ ඔහු විසින් ඇමෙරිකාවේ නීතියේ වැඩිදියුණුවට කල දායකත්‌වය දැනගැනීමටය. 1939 සිට 1975 දක්වා ඇමෙරිකන් සුප්‍රිම් උසාවි නඩුකාරයෙක්‌වූ විලියම් ඕ. ඩග්ලස් ගැන බ්‍ර‌ෑස් මර්ෆි විසින් ලියා ඇති <වයිල්ඩ් බිල්> (2003) යන පොතද එවැනිමය. ඔහු විසින් අවුරුදු 35 ක් තුල නොයෙක් ඇමෙරිකන් නීති යාවත්කාලීන හා වඩා අර්‌ථවත් කලේය.

නීති අර්‌ථ නිරූපනය කරනවා යන්නට, තිබෙන ලිඳ තවත් හෑරීම (ජඹුර කිරීම) හෝ පලල් කිරීම හෝ මෙන්ම, අළුත් ලිඳක් හෑරීමද අයත් යයි ක්ලැරන්ස් හා විලියම් යන දෙන්නා පෙන්‌වා දුන්නේය. මෙසේ කිරීමේදී පරණ නඩු තීන්‌දු වලින් හා නීති පුස්කොල පොත් වලින් ඔබ්බට ගොස් ඉතිහාස, භූගෝල, දේශපාලන, සමාජ විද්‍යා හා සාහිත්‍ය පොත්ද කියවිය යුතු වන්නේය. මෙහිදී මට මතක් වන්නේ 1972 දී ක්‍රිස්ටෝපර් ස්ටෝන් විසින් ලියූ, <ගස් වලට උසාවි යාමට ඉඩදිය යුතුද?> යන නිබන්‌ධනයය (ෂුඩ් ට්‍රීස් හෑව් ස්ටෑන්ඩින්). ඒ මඟින් ස්වභාවික පරිසරයට නීතිමය අයිතිවාසිකම් දිය යුතුය යන මතය ඇමෙරිකන් උසාවි වලට, පරිසර නීතියට, සමාජයට හා විද්‌වතුන්ට කල බලපෑමේ සීමාවක් නැත.

මෙවැනි තවත් නඩුවක් නම් බ්‍රවුන් එදිරිව බෝඩ් ඔෆ් එඩියුකේෂන්, ටොපිකා, කැන්සස් ය (1954). 1896 සිට ඇමෙරිකාවේ පැවති නීතිය වූයේ සමාන පහසුකම් තිබෙනවා නම් කළු හා සුදු ලමයින් වෙන් වෙන් පාසැල් වල ඉගෙන ගැනීම, සමාන අයිතිවාසිකම් රැකීමේ 14 ව්‍යවස්ථා සංශොධනයට පටහැනි නොවන බවය. එහෙත් නීති පොත් වලින් බාහිරවූ, සමාජ විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක ශාක්‍ෂි අනුව, 1954 දී සුප්‍රිම් උසාවියේ නඩුකාරවරුන් 9 දෙනා ඒකමතිකව තීරණය කලේ, සමාන පහසුකම් තිබුණා හෝ නොතිබුණා හෝ, කළු හා සුදු වශයෙන් වෙන වෙනම පාසැල් තිබීම නෛසර්‌ගිකවම අසමාන ක්‍රමවේදයක් වන බවය (ඉන්හෙරන්ට්ලි අන්‌ඊක්වල්).

අධර්මිෂ්ට සමාජය හා උසාවිය

යහපාලනයට සම්බන්‌ධ පෙත්සම් කරුවන් උසාවියට ආවේ පාර්ලිමේන්තු දෙවඟන රැක ගන්නට නොවේ. ඔවුන්ගේ අරමුණ පක්‍ෂ දේශපාලනයය. හෝටලය අරවා ගෙන දෙකට කැඩුණු රනිල්-සජිත් පිල් සමඟිවී යලි නාම යෝජනා දිය හැකි උපක්‍රමයක් සළසා ගැනීමය.
විරුද්‌ධ පක්‍ෂයක්, ඕනෑම කොන්දේසියක් උඩ ආණ්ඩුවට සහයෝගය දෙන්නම්, නැවත පාර්ලිමේන්තුව (දියවන්නා හෝටලය) ඇර දෙන්න කියා හිඟාකනවා නම් එතන තිබෙන්නේ මොන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයද? එවැනි තැනක් සුමන්තිරන් කියන අන්දමේ තුන් වැනි කකුලක්ද නැත්නම් බොරු කකුලක්ද? ජනාධිපතිට දැනට තිබෙන නීති රාමුව තුල කොරෝනාව කළමනාකරණය කල හැකි නම් මේ යහපාලනකාරයින් කඩිමුඩියේ පණවා ගන්නට සිතන නීති මොනවාද? නිතී හැදීමේලා මොවුන්ගේ වාර්‌තාව රටටත්, උසාවියටත් අමතකද?

මෙහිදී උසාවිය විසින් කල යුතු ජනාධිපතිට ලැබුණු ජනවරම කුරෝළු වන ආකාරයේ තීරණයක්දී රට අවුල් ජාලයකට දැමීම නොව, 2000 වර්‍ෂයේ බුෂ් එදිරිව ගෝර් නඩුවේදී ඇමෙරිකන් සුප්‍රිම් උසාවිය කලා මෙන් රට ගැන සිතා හැකි ඉක්මණින් චන්දය පැවැත්‌වීමට මැතිවරණ කොමිෂමට උපදෙස් ලබා දීමය. ඒ සඳහා උසාවිය 1954 ඇමෙරිකන් නඩුවේදී මෙන් නීති පොත් වලින් බාහිර (එක්ස්ට්‍රා ජුඩිෂියල්) කරුණු සළකා බැලීමේ <විප්ලවයක්> ආරම්භ කල යුතුය. කොසොල් රජතුමා දුටු සීන දාසැයට දුන් විග්‍රහය, කොරෝනාව විසින් සනාථ කර ඇති බවත්, අවුරුදු 72 කට පසු ඊට නොබියව මුහුණ දීමට රටවැසියා විසින් විශේෂ පුද්ගලයෙකුට බලය ලබා දුන් බවත්, එය බකල් කිරීමේ දුෂ්ට උත්සාහයට උසාවිය ඈඳාගැනීමට ඉඩ නොදිය යුතු බවත් එවැනි බාහිර සාධකය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress