ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු ධූරය පිරිනැමීම පිළිබඳව
Posted on August 16th, 2020

ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු ආසනය ආචාර්ය හරිනි අමරසුරිය වෙත ප්‍රධානය කිරීම සහ ඇය විසින් එය පිළිගනු ලැබීම පිළිබඳව ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව ලෙස අප අතිශයින් සතුටට පත් වෙමු. ආචාර්ය අමරසුරිය යනු අතිශයින්ම දක්ෂ සමාජ ක්‍රියාකාරිනියක් සහ අධ්‍යාපනඥයකු වන වන අතර, අධ්‍යාපන අයිතිවාසිකම් සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන එවැනි ක්‍රිරියාකාරිනියක පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගය නියෝජනය කිරීම ගැන අපි සතුටට පත් වෙමු.

දේශපාලන නායකත්වය තුළ සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී කාන්තා සහභාගීත්වය වැඩි කිරීම සඳහා ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව නිරන්තරයෙන් පෙනී සිටී. මෑතදී අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සමගින් ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව විසින් කාන්තා අපේක්ෂකයින් 20 දෙනෙකු සඳහා සහයෝගය ලබා දුනි. ආචාර්ය අමරසුරිය ජාතික ලැයිස්තු අපේක්ෂකයා ලෙස පත් කිරීම, ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවෙහි ප්‍රතිපත්තියේ දක්වා ඇති ස්ත්‍රීවාදී දැක්ම කෙරෙහි ජාතික ජන බලවේගයේ සැබෑ සහ ඒකාග්‍ර කැපවීම මෙන්ම දේශපාලනයේ කාන්තා සහභාගීත්වය පිළිබඳ ජාතික ජන බලවේගයේ කතාවට සීමා නොවුණු විශිෂ්ට ක්‍රියාකාරීත්වය ද පෙන්නුම් කරයි. එබැවින් අපගේ ආදරණීය සගයා වන ආචාර්ය අමරසුරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස අප ඇතුළු සියලු ගැහැණුන් සහ පිරිමින් වෙනුවෙන් පෙනී සිටීම සතුටට කරුණකි.

ආචාර්ය අමරසුරිය අපගේ අධ්‍යාපන ක්‍රමයේ ව්‍යුහාත්මක වෙනසක් ඉල්ලා සිටින ශ්‍රී ලංකාවේ පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරවලට සහාය වූ අයෙකි. ඇය සැමවිටම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සියල්ලන්ට ප්‍රවේශ විය හැකි, සාධාරණ, යුක්ති සහගත හා සැබවින්ම මහජන සේවාවක් බවට පත් කිරීම වෙනුවෙන් කැප වූවාය. එහෙත් සමාජ පරිවර්තනය සඳහා ඇය දක්වන කැපවීම එක් ගැටලුවකට පමණක් සීමා නොවේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා වූ මහජන උපදේශන කමිටුවේ සාමාජිකාවක් ලෙස ආචාර්ය අමරසූරිය, රාජ්‍යය, ආගම, සමාජ-ආර්ථික අයිතිවාසිකම් සහ තවත් බොහෝ දේ සම්බන්ධයෙන් මහජන නියෝජනයන් බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතු යැයි කියා සිටියාය. සියලු පාර්ශවකරුවන් කෙරෙහි ඇය දක්වන ගෞරවය මෙම ක්‍රියාවලිය තුළින් පැහැදිලි වූ අතර, එකී අදහස්  විවිධ වේදිකා සහ පොදු කතිකාවන්ට අර්ථවත් ආකාරයකින් ගෙන ඒමට ද ඇයට හැකි විය.

ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව තුළ ද ආචාර්ය අමරසුරියගේ දායකත්වය මිල කළ නොහැකි ය. අපගේ ස්ත්‍රීවාදී දැක්ම සහ ප්‍රතිපත්තිය හැඩගැස්වීමේදී ඇයගේ තීක්ෂණ බුද්ධිය සහ ප්‍රත්‍යක්ෂතාව නිසා නොවරදින දායකත්වයක් ලබා දීමට ඇයට හැකි වූ අතර, පුළුල් ලෙස ජාතික ජන බලවේගය තුළ ස්ත්‍රීවාදී දැක්මක් සම්මත කර ගැනීම සඳහා ඇය වෙහෙස නොබලා කටයුතු කර ඇත.

මැතිවරණයෙන් පසු පක්ෂ නායකත්වය, සාමාන්‍යයෙන් ආසන වෙන්කිරීමේදී මුල් ජාතික ලැයිස්තු අපේක්ෂකයින් හෝ කාන්තා අපේක්ෂකයින් පසෙකට දමා, ආසනයක් දිනා ගැනීමට ප්‍රමාණවත් මනාප ලබා නොගත් අපේක්ෂකයින්ට පක්ෂපාතී වීම දේශපාලන පක්ෂ තුළ බහුල දෙයකි. එබඳු පසුබිමක මෙය ප්‍රජාතන්ත්‍රවාදී, සහභාගීත්ව දේශපාලනය වෙනුවෙන් සහ අනුග්‍රාහක දේශපාලනය බැහැර කිරීම කෙරෙහි ජාතික ජන බලවේගයේ කැපවීම පිළිබිඹු කළ අවස්ථාවක් බව අපි විශ්වාස කරමු. අප දේශපාලනයේ නව ප්‍රවණතාවක් සකස් කරමින් සිටින අතර, දේශපාලනය තවදුරටත් ස්වෝත්තමවාදී සහ පුද්ගල වාසි පිළිබඳ කාරණයක් නොව, ප්‍රතිපත්ති සහ දැක්ම දේශපාලන තීරණ ගැනීමේ අනුපිළිවෙල පාලනය කරන පුළුල් ව්‍යායාමයකි.

එමෙන්ම, ජාතික ලැයිස්තු ආසනය ආචාර්ය අමරසුරිය වෙත ලබාදීමට ජාතික ජන බලවේගය ගත් නිර්භීත තීරණය අපගේ වාම දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් බව ස්ත්‍රීන් වශයෙන් අපි විශ්වාස කරමු. වාමාංශික දේශපාලන පක්ෂවලට ප්‍රබල මැතිවරණ පසුබෑමක් හිමිව තිබෙන මේ කාලය තුළ, සුරක්ෂිත, නිරෝගී සහ ආර්ථික වශයෙන් තිරසාර සමාජයක් වෙනුවෙන් කැපවී සිටින ක්‍රමවත් සහ ආචාරධාර්මික දේශපාලනයේ නිදර්ශකයක් බවට ජාතික ජන බලවේගය පත්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

මෙවැනි අභියෝගාත්මක කාලවලදී ජාතික ජන බලවේගයේ මෙම ආරාධනය පිළිගැනීමෙන් ආචාර්ය අමරසුරිය දැක්වූ ධෛර්යය ගැන අපි ප්‍රශංසා කරමු. ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව ලෙස අපට මෙය දිගු ගමනක ආරම්භයකි; දශක ගණනාවක වාමාංශික සහ දක්ෂිණාංශික දේශපාලන පක්ෂ විසින් කළ නොසලකා හැරීම්වලින් අනතුරුව, කාලය සැබවින්ම වෙනස් වෙමින් පවතින බවට ඉඟියකි; එමෙන්ම ශ්‍රී ලංකාවේ කාන්තා අයිතිවාසිකම් සඳහා එකමුතුකම, ගෞරවය සහ කැපවීම සහිත දිගු ගමනක් ඇරඹීමට කදිම මොහොතකි.

ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව
2020 අගෝස්තු 16 දින

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress