බෙන්තර ගඟ අයිනේ තරුණ විප්ලවය
Posted on August 23rd, 2020

මතුගම සෙනෙවිරුවන්

      වලල්ලාවිට කෝරළයේ ඉස්මත්තේ කඳු සිඛර තෙරපාගෙන ඇදෙන බෙම් ගඟ කොමළියට සළු පළදන්නේ දෙගොඩ දෙකෝරළයේ අතු ගංඟාවන්ය. මහාවන ලැහැබ් වලින් සඟවා ගෙන සිටින පිටිගල ඇළ ඕමත්ත ඇළ පැළවතු ඇළ වැලි පැන්න ගඟ ගොරක දූ ඇළ යයි නම් ලත් අතුරු ජලදහරාවන් මගින්  බෙම් ගඟ පෝෂිත වන්නේ යයි කියති. බෙම් ගඟ කලකදී වියරු වෙයි.පිටාර ගලයි. හාත්පස කුඹුරු ගම්මාන යටවෙයි. බෙන්තර නැන්දගේ දූ වරු හින්දයි දෙගොඩ දෙකෝරළෙ නැතිවන්නේ යයි ජන කවියා පවසන්නේ එහෙයිනි.

       කිරල කඩොල් කළු මැදිරිය මිදෙල්ල වැනි ශාක පද්ධතියකින්ද දිය හූනා කවාටි කඩොල් බෙල්ලා වැනි ජලජ සත්වයන්ගෙන්ද මඩාරා ලූලා වැනි මසුන් ගෙන් සපිරි බෙම් ගඟ අතීතයේ දී හඳුන්වන ලද්දේ භීම ගංගා යනුවෙනි. මුවදොර අරක් ගත් බිහිසුණු යක්ෂයෙකු නිසා ඒ නම් ඇති වී යැයි මතයකි. භීම ගංගා නමින් මහා කාව්‍යයක් රචනා කල මුල්ලපිටියේ කේ.එච්.ද. සිල්වා මහතා ගේ වර්ණනාවට අසුවූ බෙම් ගඟ බඩ ලලනිය දිනකට දෙවරක්ම කරදිය සලුවෙන්ද හැඩ වෙයි. එය හඳුන්වන්නේ වඩ දිය බාදිය යනුවෙනි. කළුවාමොදර කලපුවේ උස්මහත් වීම නිසා සැතපුම් දෙක් තුනක් ඉහළට කරදිය ගලා යයි. මේ කරදිය පකුල නිසා ගොවිතැන් වලටද හානි පැමිණෙයි.

           1932 -1936 කාලයේදී  ගඟ අයිනේ  කරදිය වේලි තුනක් දමන්නට යෙදුණි.වී කුරුණියට මළු හතර බැගින් පාගන ගොවීන්ද එදා සිටියහ. මීගමත් ආඳාවලත් අතර අස්වද්දන ලද වෙල්යායන් තුන් වර්ගයකි. අඳාවල කුඹුරු උදාහරණයකට ගත හොත් පියද්ද යනු එක් වෙල් යායකි. ගොවිවැල්ඕවිට යනු තවත් වෙල් යායකි. දොඹගහඔවිට යනු තවත් වෙල් යායකි. ගොවින්ගේ වදනින් කිවහොත් මේ බිම් තුන එකිනෙකට වෙනස්ය.පළමුවෙන් කී යාය පියද්ද හැල් කූඹුරුය. ඒවා වැඩිමල් බිම් ලෙසට සැලකේ. එහි වගාකරන ලද්දේ මුදලි වී ය. ඒ යල් කන්නයේ මාර්තු මස ආරම්භයේ දීමය. දෙවැන්න මදක් හැල් සහිතය. එහි වගා කරන ලද්දේ යල් සම්බා කිරි හාල් ඇල් වැනි වී වර්ගයන්ය. මාර්තු මස දහවන දා පමණ එයට දින අල්ලයි. තෙවැනි යාය ගොඩ කුඹුරකි. ගඟ අයිනේ පිහිටා තිබේ. එහි වගා කර ඇත්තේ කිරිනාරන් සුවඳැල් වැනි වී වර්ගයන්ය. අස්වැන්න එහි අධිකය. ගං වතුර පිටාරයට යට වන බැවින් සාරවත් රොන් මඩින් එය වසා ගෙන සිටී. නමුත් කරදිය වේල්ලේ ගේට්ටු අබලන් වීමත් නාගරීකරණය නිසා ගොවීන් ගම හැරදමා යාමත් නිසා මේ කුඹුරු පුරන් වූහ. බෙන්තර ගඟ පාලම ළඟ තිබූ මහා ගල කඩා දැමීම හේතු කොට ගෙන කරිජ්ජ ඉහළට ගලා යෑමේ වේගය වැඩි වී කුඹුරු පාළු වීම ආරම්භ වූ බව ඇතැමුන් පවසති.

    කෙසේ වුවත් අක්කර 19783 කට අධික වපසරියකට අයත් මීගම ලද්දූව ඉත්තපාන කුඹුරු යාය පුරන් වන්නට විවිධ හේතු තිබිණ.වීවෘත ආර්ථිකයේ සෝදාපාලුව එයට ප්‍රබල හේතුවකි.ගොවිතැනින් යැපෙන අල්පේච්ඡ ජීවිතය වෙනුවට නාගරික වෙළෙඳ පළ ආර්ථිකයේ සෝබනය ගමටත් වැද්දගෙන තිබුණි.නමුත් පසුගිය කොරෝනා වසංගත සමයේ මේ පරිවර්තනයේ විනාශය ගැමි ජනතාවට මෙන්ම නාගරිකයන්ටද හොඳ හැටි සිහිපත් කර දුන්හ.ඇඳිරි නීතියට කොටුවී සිටි ගැමියන් බැස්සේ කුඹුරටයි. නැතිනම් කොරටුවටයි.ගමේ තරුණයන් උදැල්ල සහනගුල කරට ගෙන මඩට බටුයේ තරුණ කමේ ජවය මේ යැයි දක්වමිනි. බෙන්තර ගඟ අයිනේ පුරන් වූ කුඹුරු අස්වැද්දීමට තරුණ ජවය එකතු වන්නේ මෙලෙසනි.

        ප්‍රදේශයේ කෘෂීකර්ම උපදේශක ඒ.කේ.හෂිනි මහත්මියත් ගොවි නියාමක ඉරේෂා දිල්රුක්ෂි මහත්මියත් ලද්දූව විකසිත ගොවි සංවිධානය සහ මීගම ගොවි සංවිධානය තුළ ක්‍රියාකාරීව සිටි සමන් සිල්වා මහතා සහ ගුණසේකර යන මහත්වරුන් ගේ ඉදිරිපත් වීම මත මේ තරුණ පිරිස දැනුම්වත් කරමින්  මග පෙන්වමින් ඉදිරියෙන්ම සිටියහ. ලද්දූව සහ මීගම යන මේ වෙල් යායන් දෙකම අක්කර 600  ඉක්මවයි. පොලොන්නරු යුගයේ දී මහාපරාක්‍රම බාහු රජු සේනා සංවිධනය කළ පෙදෙසක් වශයෙන් සැලකෙන මෙහි වගුරු ඉඩම් වල  දිය බස්සවා හැර කණු මුල් උදුරවා කල  අස්වැදීම ගැන මහා වංශයේ 51 සිට 55 යන ගාථා වල  සඳහන්ය.එදා ඒ සමස්ත වෙල් යායම බෙන්තර ගලපාත විහාරයට පූජාකර සෙල් ලිපි පිහිටුවා ඇත.එදා සිට වසර දහස් ගණනක් ග්‍රාමීය ජනතාවට බත් සැපයූ මේ මහ වෙල් යාය කරදියට කිළීටි වන්ට ඉඩ හැර කඩෙන් හාල් ගෙනත් පරිහරණය කළ ජනතාවක් යලි නැගී සිටින්නට මහා ජවයක් ලැබුණේ තරුණයන් ගේ ඉදිරිපත් වීමෙනි.  කෘෂී උපදේශක තුමියගේ දිරිමත් කිරීම් මධ්‍යයේ සියල්ලන්ගේම සාභාගිත්වයෙන් එකතු පහු වී මේ කටයුත්තට අත් ගැසූවේ පසුගිය දුරුදු මසදීය.ඒ කාලයේ රට පුරාම පුරන් කුඹූරු අස්වැද්දීමට විශාල උනන්දුවක් ඇතිව තිබුණි.මේ පිළීබඳ විකසිත ගොවි සංවිධානයේ ලේකම් සමන් ද සිල්වා මහතා පළ කලේ මෙවැනි අදහසිකි.

    වසර හතළික් පමණ පුරන් වෙලා තිබුණු කුඹුරු යායක් නැවත අස්වැද්දීම ලෙහෙසි පහසු කාරණයක් වුණේ නෑ. ලද්දූව සිට මීගම තොටුපළ දක්වා කරදිය ගේට්ටු පහක් පමණ තිබෙනවා. ඒවා නියමිත වෙලාවට විවෘත කොට නැවත වසා දැමුවත් වතුර බස්සව ගන්න ලෙහෙසි නෑ. නමුත් ජනවාරි මාසයේ මේ කටයුත්ත පටන් ගන්න කොට තද පෑවිල්ල ඒ නිසා කැලේ එළි කරන්න පළමු ට්‍රැක්ටරයක් ගන්න පුලුවන් විදියට වේල්ලක් හදා ගත්තා. අනතුරුව කරදිය වේල්ලෙන් එගොඩ වන්නට පහසු වන විදියට  ඉවත ලූ කබ්මි කණු පාවිච්චි කරලා පාලම් හදා ගත්තා. ඊළඟට තණ කොළ කපන යන්ත්‍රයකින් වෙල් යායේ තිබෙන ඇටවරා බොරු පන් කපලා කණු උදුරාල දැම්මා. ඊළඟට වට වැස්සට තමයි. ට්‍රැක්ටරය දමල හාන්න පටන් ගත්තේ . මේ කන්නයේ දී බී.ජී.450 වගේ අභිජනනය කළ වී වගා කළත් ඊළඟ කන්නය වන විට පැරණි සිංහල වී වගා කරන්නටත් උත්සාහයක් තිබෙනවා.කොහොම වුණත් මේ වැඩේ සාර්ථක වුණා. ගමේ විහාරස්ථානයන්හි වැඩ සිටින ස්වාමීන් වහන්සේලා අපට ආශිර්වාද කලා..වෙල් යාය මැද්දේ ගල් පර්වතය මස්තකයේ බුදු පිළිමයක් තියලා පඬුරු ගැට ගහලා තමයි වැඩ ආරම්භ කලේ . මේ අගෝස්තු මාසෙ 15 දාට අපි ගොයම් කපන්නට පටන් ගන්නවා.

          මීගම පදිංචි පැරණි ගොවියෙකු වූ කන්නන්ගර මහතා දැන් වයොවෘද්ධ තාවයට පත්ව සිටියත් මේ වෙල් යාය ගැන හොඳ මතකයක් අවදි කරන්නෙකි. ඔහු පවසන ආකාරයට පොලොන්නරු යුගයෙන් පසු යටත් විජිත සමයේ මේ වෙල් යායන් නැවත පුරන් විය. අනතුරුව ඉංග්‍රීසින් 1878 අංක 11 දරණ ආඥා පනත මගින් ඉඩම් වලින් ධාන්‍ය බද්දක් අයකිරීමට නීති පනවා ඇත. මේ නීති පැනවීමෙන් පසු මේ වෙල් වැඩ කිරීමටත් බදු ගැනීමටත් ජනතාව පොළඹවනු ලැබූහ. මේ සම්බන්ධව තිබෙන පැරණිතම මඩබදු රිසිට් පත්‍ර දැනටත් කන්නනගර මහතා සතු වෙයි.ඔහු ඒවා මාහට පෙන්වන ලද්දේ ඒ පැරණි මතකය අවදි කරවමිනි.කෙසේ වෙතත් අද මීගම ලද්දූව වෙල් යාය අස්වැදීමේ කටයුතු ආරම්භ කොට අවසන්ය. ඉතිරි භූමි ප්‍රමාණයත් ඊළඟ මාස් කන්නයේ අස්වද්දනු ඇත. තාප්ප වල පාලම් වල චිත්‍ර ඇඳීමෙන් තරුණ ජවය නැවතී නැත. ඔවුහු සිය දෑතින් මහ පොලව අස්වද්දා ඇත. ඒ රටේ සෞභාග්‍ය උදෙසාය.

මතුගම සෙනෙවිරුවන්

One Response to “බෙන්තර ගඟ අයිනේ තරුණ විප්ලවය”

  1. aloy Says:

    “අනතුරුව ඉංග්‍රීසින් 1878 අංක 11 දරණ ආඥා පනත මගින් ඉඩම් වලින් ධාන්‍ය බද්දක් අයකිරීමට නීති පනවා ඇත. මේ නීති පැනවීමෙන් පසු මේ වෙල් වැඩ කිරීමටත් බදු ගැනීමටත් ජනතාව පොළඹවනු ලැබූහ. මේ සම්බන්ධව තිබෙන පැරණිතම මඩබදු රිසිට් පත්‍ර දැනටත් කන්නනගර මහතා සතු වෙයි.”

    Above shows how Sudda made Ceylon a wealthy country only second to Japan in Asia. Do the same. Do not pamper people by giving jobs to 50y old unemployed graduate and feeding them on loans taken from China or India at extravagant rates.
    Put them to work, be firm, but save the money for future generations without throwing it away to racketeers..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress