බෞද්ධ ජනරජ ප්‍රවාදය – 31 වැනි කොටස- ​‍ගිනි පුපුරු න්‍යාය
Posted on August 16th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

මෙම ප්‍රවාදයෙන් යෝජිත පාලන ආකෘතිය එක්වර ම රට පුරා ක්‍රියාත්මක කළ හැකි ය. ඒ වෙනුවෙන් සම්පාදනය කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා එවැනි කාර්යයක් සිදුකිරීම අපහසු නොවේ. එසේ වුව ද, මෙයින් යෝජනා කෙරෙන ආර්ථික මාදිලිය පිළිබඳ අදහස් එ ලෙසින් එක්වර ම ක්‍රියාත්මක කළ යුතු නොවේ.

ආර්ථික ක්‍රමයේ මහා වෙනසක් සිදුකිරීමට සැළැකිය යුතු කාලයක් අවශ්‍ය වෙයි. ඒ සඳහා මිනිසුන් ක්‍රම ක්‍රමයෙන් හුරු කළ යුතු වේ. ව්‍යවසායකත්ව හැකියාව එක් රැයකින් ලබාදීමට නො හැකි ය. විවිධ වූ ප්‍රාථමික ව්‍යවසායක කාර්යයන්ගේ නිරත වී, වැරැදීම්වලින් සහ වෙනත් අත්දැකීම්වලින් ඉගෙනගෙන එම හැකියාව වර්ධනය කරගත යුතු වෙයි.

ප්‍රාග්ධනය ඒකරාශී කිරීමට ද තරමක් දිගු කාලයක් ගතවෙයි. ඒ සඳහා කළ යුතු මූලික ම කාර්යය වනුයේ විශ්වාසය ගොඩනැගීම ය. විස්සාස පරමා ඤාති” යන බුදු වදන අපි සැවොම දනිමු. විශ්වාස කළ නොහැකි පාර්ශ්වයන් සමඟ ආයෝජන කටයුතුවල නිතරවීමට කිසිවකුදු කැමැති නැත. එහෙයින් ක්‍රම ක්‍රමයෙන් එකිනෙකා කෙරෙහි වන විශ්වාසය තහවුරු කරවීමෙන් පමණක් ප්‍රාග්ධනය ඒකරාශී කරගැනීමේ අරමුණ සාක්‍ෂාත් කරගත හැකිවෙයි. මෙය කළ හැක්කේ ද අදාළ ආයෝජන කාර්යයන්ගේ නිතරවන අතරතුර ම ය. එහෙයින්, ඒ සඳහා දිගු කාලයක් අවශ්‍ය වන බව අප හට පැහැදිළි ය.

පොත්වල අන්තර්ගත පාඩම්, වාචික දේශන ඔස්සේ ලබාදිය හැක්කේ ආර්ථික කාර්යයන්ට අදාළ ඉතා මූලික දැනුමක් පමණකි. මෙම කටයුතුවලට අදාළ බොහෝ පාඩම් භාවිතය තුළින් ම ඉගෙනගත යුතු වෙයි. භාවිතය තුළින් ලබන දැනුමට අමතරව ඒ ඒ කාර්යයෙහි නිරතවීමෙන් ලබාගන්නා අත්දැකීම් වශයෙන් ද මෙම පාඩම් නිර්මාණය වෙයි.

මුළු රට පුරා එක්වර ම මෙවැනි කාර්යයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් ප්‍රමාණය ද අතිවිශාල ය. මේ සඳහා මූලිකව ම අවශ්‍ය වනුයේ විවිධාකාරයේ මානව සම්පත් ය. න්‍යායික දැනුම, තාක්‍ෂණික පරිචය, අත්දැකීම්වලින් ලබන පිරුණු බව යන මේ සාධකවලින් පෝෂිත මානව සම්පත් විශාල වශයෙන් සොයාගැනීම කළ හැක්කක් නොවේ.

මෙ ලෙසින් හඳුන්වාදෙන ආර්ථික මාදිලියේ සාර්ථකත්වය ද පරීක්‍ෂාවට ලක් කළ යුතු වෙයි. ප්‍රවාදයකින් ඉදිරිපත් කෙරෙන අදහස් ඔප වැටෙන්නේ භාවිතය තුළිනි. ප්‍රවාදය නිර්මාණය කෙරෙන අවස්ථාවේ දී අවධානයට ලක් නොවූ සාධක එහි භාවිත අවස්ථාවේ දී ඉස්මතු වෙයි. මෙම ප්‍රවාදයෙන් යෝජිත ආර්ථික මාදිලිය මුළු රටට ම අදාළ කරගැනීමට පෙර මනා පරීක්‍ෂාවකට ලක් කළ යුත්තේ එබැවිනි.

මෙහි සඳහන් කළ සියලු අභියෝග ජයගත හැක්කේ ගිනි පුපුරු න්‍යාය” ඇසුරෙන් අදාළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මඟිනි. තෝරාගත් එක් නිශ්චිත ස්ථානයක හෝ ස්ථාන කිහිපයක මෙම ආර්ථික මාදිලිය ක්‍රියාත්මක කරවා එහි සාර්ථකත්වයේ අනුහස මුළු රටට ම ආදර්ශයක් බවට පත්කළ හැකි බව මෙම ගිනි පුපුරු න්‍යායෙන් කියැවෙයි. හොඳින් ඇවිළ වූ එක් ගිනි පුපුරකින් මුළු පළාතක් ම දවා හළු කළ හැකිවීමේ කාරණය මුල් කරගෙන මෙම න්‍යාය එ ලෙසින් හැඳින්වෙයි.

තෝරාගත් ගමක හෝ ගම් කිහිපයක මෙම ආර්ථික මාදිලිය ක්‍රියාත්මක කරන විට ඒ කෙරෙහි අවධානය යොමුකිරීම අපහසු කාර්යයක් නොවේ. ඒ සඳහා අවැසි සියලු සම්පත් ද ඉතා පහසුවෙන් සම්පාදනය කළ හැකි ය. භාවිතයේ දී ඉස්මතු වන විවිධ අඩුපාඩු සහ ගැටලු ද ඉතා පහසුවෙන් හඳුනාගත හැකි ය. අදාළ මානව සම්පත් ද එක් නිශ්චිත ඉලක්කයක් වෙත යොමු කෙරෙන බැවින් ඔවුනගේ ශක්තිය විසිරී නොයයි. පළමු වටයට සම්බන්ධ වන ගැමියෝ ද ක්‍රම ක්‍රමයෙන් අදාළ කාර්යයට අවශ්‍ය දැනුම ද, අත්දැකීම් ද ඇසුරින් තමන්ගේ විශේෂඥ බව වර්ධනය කරගනිති. එහෙයින් දෙවැනි වටයට අවශ්‍ය මානව සම්පත් පුහුණුකිරීමක් වශයෙන් ද මෙම ගිනි පුපුරු දැල්වීමේ කාර්යය සැළැකිය හැකි ය.

තෝරාගත් නිශ්චිත ස්ථානයකට හෝ ස්ථාන කිහිපයකට මෙ ලෙසින් සමස්ත අවධානය සහ සියලු සම්පත් යොමු කළ විට අදාළ අරමුණු මස්තප්‍රාප්තවීමේ ඉඩ ඉතාමත් විශාල ය. එකී සාර්ථකත්වය ඉතා කෙටි කලකින් සාක්‍ෂාත් කරගැනීමට ද හැකි වෙයි. මෙම ජයග්‍රහණය ඉතා පහසුවෙන් මුළු රටට ම සන්නිවේනය කළ හැකි ය. මෙම සන්නිවේදනය ඔස්සේ මිනිසුන් දැනගන්නේ න්‍යායික කරුණු නොවේ. ඒ ඔස්සේ ඔවුන් වෙතට ගලා එන්නේ යම් යම් නිශ්චිත මිනිසුන් විසින් අත්පත් කරගත් ජයග්‍රහණ පිළිබඳ කතන්දර මාලාවකි. එම කතාවල සිටින්නේ සැබෑ පුද්ගලයන් ය. එහෙයින්, සිදුව ඇති දේ සැවොම විසින් පහසුවෙන් ම අවබෝධ කරගනු ලබනු ඇත්තේ ය.

එයින් පසු එළැඹෙන්නේ ජයග්‍රාහී ආදර්ශය අනුකරණය කිරීමේ අවධිය ය. එනම්, හොඳින් ඇවිළ වූ ගිනි පුපුර පැතිරයාමේ අවධිය ය. මැනැවින් ‍එය කළමණාකරණය කරන්නේ නම් රට ම දිනවීම අපහසු කාර්යයක් නොවේ

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress