ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයගත් ඔබේ කතාව අනාගත පරම්පරාවට ආදර්ශයක් විය යුතුයි – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා –
Posted on September 8th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය,ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය.

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසය තුළ රන් සලකුණු තබමින් මළල ක්‍රීඩාවෙන් ලද ඉහළම ජයග්‍රහණය රැගෙන දිවයිනට පැමිණි ජාතික පැරාලිම්පික් කණ්ඩායම අද (08) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ජපානයේ ටෝකියෝ නුවර පැවති 2020 පැරාලිම්පික් උලෙළේ දී ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ජාතික පැරාලිම්පික් කණ්ඩායම ඊයේ දින සන්ධ්‍යාවේදී UL 455 දරණ ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ ප්‍රභූ පර්යන්තයේ රතුපලස මතින් දිවයිනට පැමිණියහ.

පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේවලට අනුකූලව අද (08) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී ජාතික පැරාලිම්පික් කණ්ඩායම  ඉතා ම උණුසුම් අන්දමින් පිළිගත්  අමාත්‍යවරයා ඔවුන් සමග කෙටි පිලිසඳරක යෙදිණි.

ලෝක ශූර රන්පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයා තමා ලබාගත් ජයග්‍රහණය පිළිබඳව ක්‍රීඩකයන් අමාත්‍යවරයා සමග අදහස් බෙදාගත්තේ මෙලෙසිනි.

”අපිට ගොඩාක් සතුටුයි ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට හැකි වීම පිළිබදව. ඉදිරියේදී  අපි වාර්තාවන් අලුත් කරන්න කැපවෙලා පුහුණුවීම් කටයුතු කරනවා.

යුද්ධ හමුදාවෙන් ලැබුණු පන්නරය සමග ඔවුන්ගේ සහයෝගය අපිට ශක්තියක් වුණා. ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික පැරාලිම්පික් කමිටුව මේ ජයග්‍රහණවලට ලොකු පිටුවහලක් වුණා.

ක්‍රීඩා අමාත්‍යාංශයෙන්  අපි වෙනුවෙන් සැලැස්මකට අනුව ලබාදෙන පුහුණුව, පහසුකම් හා දීමනා මේ ජයග්‍රහණවලට සුවිශාල සහයෝගයක් වුණා වගේම ක්‍රීඩකයන් හැටියට අපිට ඒක ලොකු දිරිගැන්වීමක්.”

අපේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා අපිට ඉතා දක්ෂ ලෙස අවශ්‍ය පුහුණුවීම් කටයුතු කිරීම සදහා උපදෙස් ලබා දුන්නා. ඔහුගේ මගපෙන්වීම යටතේ මා ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා යනුවෙනි.

ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජාතික ගීය වාදනය වුණා. හරිම සතුටක් දැනුණා ඒ වෙලාවේ.  ඒක අපිට ඉමහත් අභිමානයක්.

ඒ අභිමානය ජාතික පැරාලිම්පික් කමිටුවටත්, ක්‍රීඩා අමාත්‍යතුමාටත් ක්‍රීඩා අමාත්‍යාංශයටත් හිමිවිය යුතුයි. හැමෝම එකතුවෙලා මේ ගමන ගියේ නැත්නම් අපිට මේ ජයග්‍රහණ හම්බවෙන්නේ නැහැ.

ඒ එකමුතුකම, සහයෝගය ඉමහත් අගේ කොට සළකනවා යැයි ඔවුන් අදහස් ප්‍රකාශ කර සිටියහ.

එම අවස්ථාවේදි ජාතික පැරාලිම්පික් කමිටු සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත් මහතා විසින් අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතු සඳහා ක්‍රීඩා සංකීර්ණයක් හා අනුව පැරාලිම්පික් කමිටු කාර්යාලය පවත්වාගෙන යාමට සුදුසු ස්ථානයක් ලබාදීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යතුමා විසින් නිලධාරින්ට උපදෙස් ලබාදුනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

පළමුවෙන් ම ජාත්‍යන්තර වශයෙන් ලෝක වාර්තාවක් ද සමග පැරාලිම්පික් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් සමගින් රට සහ ක්‍රීඩාව වෙනුවෙන් ඔබ ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වගේම ඔවුන්ගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත මහතා ඇතුළු සියලුම පුහුණුකරුවන්ටත් මා ගෞරවනීය ස්තූතිය පුදකරනවා.

ඒ වගේම මෙවර පැරාලිම්පික් තරගාවලියේ දී  බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්  ඔබගේ හොඳම පෞද්ගලික දක්ෂතාවයන් වාර්තා කළා. ඒ පිළිබඳවත් ඉතාමත් ම සතුටුයි.  

එළඹෙන තරගාවලි ඉලක්ක කරගනිමින් ඒ සඳහා පුහුණුවීම් ආරම්භ කර හොඳින් සූදානම් විය යුතුයි.

ක්‍රීඩාවෙන් ඉදිරියට යන ඔබ දෙස බලා සිටින අපේ දරුවන්ට ඔබ ආදර්ශයක් වි යුතුයි. ඔබේ දක්ෂතා වැඩි දියුණු කරගනිමින් සාර්ථකත්වය කරා යන ගමනේ දී  ඔබ දෙස බලාගෙන සාර්ථක වෙන්න උත්සහ කරන අපේ ඊළග පරම්පරාවට ඔබ ආදර්ශයක් වෙන්න.

අපේ ඉදිරි පරම්පරාව තීන්දු තීරණ ගන්නේ සාර්ථක කතාන්දර දිහා බලලා. ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය  ජයගත් ඔබේ කතාවත් ඔවුන්ට ආදර්ශයක් විය යුතුයි.

ක්‍රීඩාවෙන් මගේ දරුවාට හොඳ අනාගතයක් තිබෙන බව පසක් වූ විට අපේ රටේ දෙමාපියන් වුණත් බියකින් සැකයකින් තොරව තමන්ගේ දරුවන් ක්‍රීඩාවට යොමු කරාවි. ඒ විශ්වාසය ඔවුන්ට ලැබෙන විදියට කටයුතු කරන්න.

ස්වයං විනය ඇතිව ක්‍රීඩාවෙන් වගේම ජීවිතය දිනන්නත් ඔබ සියලුදෙනාට මා සුබ පතනවා.

ඉදිරි තරගාවලිවලදීත් ඔබ සියලුදෙනා ඔබේ උපරිම දස්කම් දක්වමින් අපේ රට වෙනුවෙන් ජයග්‍රහණ ලබා ගනිවී යැයි මා  විශ්වාස කරනවා.

ඒ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස උපරිම සහයෝගය මා ඔබට ලබාදෙනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට ග්‍රාමීය පාසල් හා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මැතිතුමා, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, අතිරේක ලේකම් (පාලන හා ප්‍රසම්පාදන) චන්ද්‍රරත්න පල්ලෙගම, යුද්ධ හමුදාධිපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික යෂ්වන්ත් මුත්තෙට්ටුවගම යන මහත්වරුන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන) කේ.පී.පී සිරිවර්ධන මහත්මිය ඇතුළු ව ජාතික පැරාලිම්පික් කමිටුවේ සමාජික මහත්ම මහත්මීහු  පිරිසක් සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය,ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress