දිවයින පුරා සිදු කෙරෙන සංවර්ධන ක්‍රියාවලියට සමගාමීව රටේ ආර්ථිකය ඉහළ නැංවීමට සුවිශේෂී වැඩපිළිවෙලක් අප සතුයි.
Posted on September 23rd, 2021

තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා –

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය අධීක්ෂණය සඳහා එක්වෙමින් ඊයේ  (22) දින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් කළ ආර්ථික හා සංවර්ධන සැලැස්ම අනුව ජනතාවට ලබාදුන් සංවර්ධනීය බලපොරොත්තු යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් දිවයිනපුරා මහා පරිමාණයේ හා කුඩා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වේ.

එම සංවර්ධන ව්‍යාපෘති නිවැරදිව ක්‍රියාත්මකවීමේ දී ප්‍රායෝගික ගැටලු ඇත්නම් ඒවා හඳුනාගෙන නිවැරදි සම්බන්ධීකරණය මගින් ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදෙමින් එම ව්‍යාපෘති නියමිත ප්‍රමිතියෙන් යුතුව නියමිත කාලවකවානුවලදී අවසන් කිරීම පිළිබඳව අමාත්‍යවරයා මෙම නිරීක්ෂණ චාරිකාවන්වල දී අධීක්ෂණය කරනු ලබයි.

ඒ අනුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය අධීක්ෂණය, නව ව්‍යාපෘති සඳහා මුල්ගල තැබීම, වැඩ අවසන් කළ ක්‍රීඩාංගණ ජනතා අයිතියට පත්කිරීම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ජීවත් වන ජනතාව වෙත ඉඩම් ඔප්පු ලබාදීම හා නිවාස හිමිකම් ප්‍රදානය කිරීමත් මෙම අධීක්ෂණ චාරිකාවේ දී අමාත්‍යතුමා විසින් සිදු කරනු ලැබිණි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අදාළ ව අමාත්‍යතුමාගේ අධීක්ෂණ චාරිකාවේ වැඩසටහන් විස්තරය පහත පරිදි වේ.

අනු අංකය අමාත්‍යතුමා සහභාගී වූ අවස්ථාව
01 කි.මි.32ක් වූ තිරියාය ප්‍රධාන මාර්ගයේ ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරීම  
02 වාරි සෞභාග්‍යා ව්‍යාපෘතිය යටතේ මොරවැව – වැව්ගම් පුබුදු ව්‍යාපෘතිය අධීක්ෂණය  
03 කුච්චවේලි නාවච්චෝලයි අත්පන්දු ක්‍රීඩාංගණය විවෘත කිරීම කොන්ක්‍රීට් නිවාස සංකීර්ණය පිළිබඳ ගැටලු සාකච්ඡාව  
04  ත්‍රිකුණාමලය හි පිහිටි නාවික තටාකාංගණය ( Dockyard Quay Jetty)  නිරීක්ෂණය  
05 වෙල්ලමනල් අත්පන්දු ක්‍රීඩාංගණය විවෘත කිරීම  
06 කන්තලේ ලීලාරත්න ක්‍රීඩාංගණයේ අත්පන්දු ක්‍රීඩාංගණය විවෘත කිරීම  
07 කන්තලේ අග්‍රබෝධි ජාතික පාසල් ක්‍රීඩාංගණය නිරීක්ෂණය කිරීම  
08 කන්තලේ ජනතාව වෙත ඉඩම් ඔප්පු ලබාදීම සහ නිවාස හිමිකම් ප්‍රදානය කින්නියා කලුඟග ව්‍යාපෘතියේ ගැටලු සාකච්ඡාව – ප්‍රා.ලේ.කාර්යාලය කන්තලේ  
09 සේරුවිල අත්පන්දු ක්‍රීඩාංගණය විවෘත කිරීම ජනතාව වෙත ඉඩම් ඔප්පු ලබාදීම සහ නිවාස හිමිකම් ප්‍රදානය  
10 වෙරගල් අත්පන්දු ක්‍රීඩාංගණය විවෘත කිරීම ජනතාව වෙත ඉඩම් ඔප්පු ලබාදීම සහ නිවාස හිමිකම් ප්‍රදානය  

එම අවස්ථාවන්වල දී  මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේය‍.

මැකේසර්  ක්‍රීඩාංගණයේ අලුත්වැඩියා කටයුතු වසර ගණනාවක් මුළුල්ලේ අතරමඟ නතර වී තිබීම සම්බන්ධ ව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට අමාත්‍යවරයා පිළිතුරු ලබාදුණි.

”ඒ පිළිබඳ පහුගිය දවස්වලත් අපේ අවධානය යොමු කළා. අපි එය නිරීක්ෂණය කරන්නත් ආවා. එහිදී යම් යම් අඩුපාඩු සකසන්න කටයුතු කළා.

ඊළඟ අවුරුදු 05 තුළ සංවර්ධනය කළ යුතු ක්‍රීඩාංගණ සහ ඒවා කළ යුතු අකාරය පිළිබඳ ව අපි සැලැස්මක් හදලා තියෙනවා. මෙම ක්‍රීඩාංගණයත් එම සංවර්ධන සැලැස්මේ කොටසක් බවට පත්වී තිබෙනවා.

කොවිඩ් – 19 වසංගතයත් එක්ක අපි මුදල් අමාත්‍යාංශයත් සමග සාකච්ඡා කොට තීන්දු කර තිබෙනවා ලබන වසරේ ක්‍රීඩාංගණ ඉදිකිරීම යම්කිසි ක්‍රමවේදයක් අනුව සිදුකරන්න.

විශේෂයෙන් ම රටේ තිබෙන ආර්ථීක තත්ත්වයත් එක්ක අපි විස්වාශ කරනවා වැඩිපුර මුදල් ප්‍රමාණයක් ක්‍රීඩකයා සහ පුහුණුකරුවන්ට යොමු කිරීම ඉතාමත් කාලෝචිත බව. ඉදිරි කාලසීමාව තුළ සංවර්ධන කිරීමේ සැලැස්මේ මෙම සියලු ම ක්‍රීඩාංගණ තිබෙනවා.

ඒ වගේම මේ සියලු ප්‍රශ්න උද්ගත ව තිබෙන්නෙ පහුගිය කාලේ සැලැස්මක් නොමැතිව අත්තනෝමතික ලෙස සහ ක්‍රීඩා සැලැස්මක් නොමැති ව විශේෂයෙන් ම අවශ්‍යතාවයක් නොමැති ව හා අවශ්‍යතාවයට සරිලන නොවන ආකාරයට තැන් තැන්වල ක්‍රීඩාංගණ ඉදිකරන්න රජයේ මුදල් වියදම් කළ නිසා.

එම නිසා ඒ සියල්ල යාවත්කාලීන කොට නැවත වතාවක් ක්‍රමානුකූල ව එම ක්‍රීඩාංගණ ඉදිකිරීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කර තිබෙනවා.”

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පුරා විශාල වශයෙන් වැව් නැවත ප්‍රතිසංස්කරණය කිරීම දකින්න තිබෙනවා. නමුත් සිරිසර පිවිසුම යටතේ පසුගිය යහපාලන ආණ්ඩුවෙන් විශාල වැව් ප්‍රමාණයක් අලුත්වැඩියා කළා. නමුත් අපි දකිනවා ඒ අලුත්වැඩියා කරපු වැව් ම නැවත වරක් අලුත්වැඩියා කරනවා. මේ ප්‍රදේශයේ සිටින සභාපතිවරුන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුනුත් මේ පිළිබඳව දැනුම්වත්වෙලා තිබෙනවා යැයි මාධ්‍යවේදියකු ප්‍රශ්නයක් නැගීය.

”අපේ ගම්වලත් ඒ ප්‍රශ්නෙ ආවා. වැව් ප්‍රතිසංස්කරණය කරනවා කියලා උඩින් හූරගෙන ගියා.උඩින් හූරගෙන ගියා කියලා වැව් ප්‍රතිසංස්කරණය වෙන්නෙ නැහැ. මේ සියලු ම වැව් නැවත වතාවක් ප්‍රතිසංස්කරණය කරන්නෙ ගොවි සංවිධානවල ඉල්ලීම මත.

එහෙම ගොවි සංව්ධාන වලින් නැවත වතාවක් ඉල්ලන හේතුව පහුගිය කාලේ මාධ්‍ය සංදර්ශනයක් විදියට වැව් උඩින් සුද්ද කරගෙන යාමයි. නමුත් වැව් හාරලා වැව් ප්‍රතිසංස්කරණය කළේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණත් මේ අමාත්‍යාංශය තියෙන කාලේ වැව් 1000ක් හදනවා කියලා ඒ වැඩේ ම කළා.

නමුත් අද මෙය විශේෂයෙන් ම චමල් රාජපක්ෂ අමාත්‍යතුමා, අනුරාධ ජයරත්න අමාත්‍යතුමාගේ සෘජු මැදිහත්වීම හා අධීක්ෂණය යටතේ දේශීය ඉංජිනේරුවන්ගේ මැදිහත්වීම මත ක්‍රමානුකූලව වැඩපිළිවෙලක් සමග අවශ්‍යතාවය මත කරගෙන යන වැඩසටනක්.

අපේ වැඩි අවධානය යොමුකර මෙම වසංගත තත්ත්වයත් සමග දේශීය ආර්ථිකය ශක්තිමත් කළ යුතු යැයි අපි විස්වාශ කරනවා.

දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී ආහාර සුරක්ෂිතතාවයට ප්‍රමුඛතාවය දෙන්න ඕන. ආහාර සුරක්ෂිතතාවයට ප්‍රමුඛතාවය ලබාදීමේ දී වස විසෙන් තොර ආහාර වේලක් ලබාගන්නවා වගේ ම මේ රටේ නිෂ්පාදනය වැඩි කරගන්න ඕන.

එම නිෂ්පාදනය වැඩි කරගැනීමට අවශ්‍ය සියලු ම ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගන්න අපේ ආණ්ඩුව කැපවී සිටිනවා” යැයි අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේය.

එවගේම පසුගිය යුධ ගැටුම් සමයේ බොහෝ පිරිසක් තමන් ගොවිතැන් කළ හේන් කුඹුරු අතහැරියා. නමුත් යුද්ධය අවසන් වූ පසු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන ජීවි දෙපාර්තමේන්තුව ඔවුන්ගේ මායිම් සලකුණු කොට තිබෙනවා. ඒ අයගේ කුඹුරු සහ හේන් නැවත අත්පත් කරගනිමින්. මේ නිසා හේන් ගොවිතැනෙන් කුඹුරු වලින් ජීවත් වූ විශාල පිරිසක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ අපහසුතාවයට පත්වී සිටිනවා. මේ සම්බන්ධව වන සංරක්ෂණ සහ වන ජීවි දෙපාර්තමේන්තුවලින් දිගින් දිගටම ඉල්ලීම් කළත් ඒ සම්බන්ධ ව යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්නෙ නැහැ. මේ පිළිබඳ ජනතාවත් චෝදනා කරනවා. මේ සම්බන්ධව මේ රජය යම්කිසි පියවරක් ගන්නේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේය. 

”ඒ පිළිබඳව ‘ගම සමග පිළිසඳර’ ජාතික වැඩසටහනට අතිගරු ජනාධිපතිතුමා පැමිණි වෙලාවේ දී ඉදිරිපත් වූ ඉල්ලීම් කිහිපයක් තිබෙනවා.  එය මේ ප්‍රදේශයේ පමණක් නොවේ රටේ ම තිබෙන ගැටලුවක්. ඒ පිළිබඳ ගරු දිසාපතිතුමාගේ අවධානය යොමුකර විශේෂ කමිටුවක් පත් කර නියමානුකූල ව ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා.

මෙහිදී අපි ජනතාවගේ සහ වන සංරක්ෂණ, වන ජීවී දෙපාර්තමේන්තුව පැත්තෙනුත් කල්පනා කරන්න ඕන. දෙපැත්තට ම හානියක් නොවන විදියට මේ වැඩපිළිවෙල යා යුතු නිසා යම්කිසි කාලයක් ගතවෙනවා.

මේ ප්‍රශ්නෙ මෙහෙ විතරක් නෙවෙයි පොලොන්නරුවේ, අනුරාධපුරේ, වව්නියාවේ, කිලිනොච්චියෙ, මුලතිව්වලත් ඔය ප්‍රශ්නෙ තියෙනවා.

කෙසේ වෙතත් මම හිතන්නේ මේක පරිසරය සමග ඉතා ම බැඳුණු කාරණයක් නිසා ක්‍රමානුකූල ව එය ඉටු කළ යුතුයි. එය ක්‍රමානුකූල ව ඉටු කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.”

රටේ ආර්ථීකය නංවාලන්න සුවිශේෂ වැඩපිළිවෙලක් අපි හදලා තිබෙනවා. මේ වනවිට ග්‍රාමීය සංවර්ධනය ක්‍රියාත්මක වෙනවා. රටේ නිෂ්පාදන වැඩි කරන්නත් ගමේ ආර්ථිකය ශක්තිමත් කරන්නත් මේ රටෙන් පිටරට යවන භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්නත් ආණ්ඩුවක් විදියට අපි කටයුතු කර තිබෙනවා.

මෙම කොරෝනා වසංගතය ලංකාවට පමණක් නොව ගෝලීය වශයෙන් බලපෑ වසංගතයක්. ගෝලීය වසංගතයක දී ගෝලීය ආර්ථිකය පවා කඩා වැටී තිබෙනවා. එසේ තිබියදීත් අපි මේ ආර්ථිකය ශක්තිමත් කිරීමට බොහොම අමාරුවෙන් ඉස්සරහට යන්නෙ.

කෙසේ වෙතත් ක්‍රමානුකූලව ආර්ථිකය සංවර්ධනය කිරීමයි අපි කළ යුත්තේ. ඒ සඳහා අපිට සැලැස්මක් තියෙනවා. ඒ නිසා අපි විස්වාශ කරනවා ඉතාමත් ඉක්මනින් මේ රටේ ආර්ථිකය යථාතත්ත්වයට ගෙන ඒමට පුළුවන් බව.” යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවන්ට රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාල, වයඹ පළාත් හිටපු අමාත්‍ය ජොහාන් ප්‍රනාන්දු, හිටපු පළාත් සභා ඇමතිනි ආරියවතී ගලප්පත්ති යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය,

සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය,

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress