විජයදාස රාජපක්‍ෂගේ නීතිය
Posted on April 6th, 2015

නලින් ද සිල්වා

විජයදාස රාජපක්‍ෂ යනු මෙරට අධිකරණ ඇමති ය. ඔහු නීතිඥයෙකි. සාමාන්‍ය නීතිඥයකු නොව ජනාධිපති නීතිඥයෙකි. එයින් කියැවෙන්නේ ඔහු දක්‍ෂ නීතිඥයකු ද යන්න නිශ්චිත ව කිවහැකි නො වේ. ජනාධිපති නීතිඥකම ද බොහෝ විට ලැබෙන්නේ දේශපාලන හේතු මත ය. ඇතැම්හු එක් ආණ්ඩුවකින් ජනාධිපති නීතිඥකම ලබාගෙන ඉන්පසු වෙනත් දෙශපාලන පක්‍ෂයකට මාරුවෙති. නීතිඥයන් හා දේශපාලනඥයන් අතර එතරම් වෙනසක් නැත. මෙරට දේශපානඥයන්ගෙන් විශාල ප්‍රතිශතියක් දේශපාලනඥයන් වන්නේ මේ සමානත්වය නිසා විය හැකි ය. 

විජයදාස රාජපක්‍ෂ නව පණතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙයි. කැබිනට් ප්‍රකාශක රාජිත ප්‍රකාශ කර ඇති ආකාරයට  නම් කැබිනට්ටුව විජයදාසගේ යෝජනාව අනුමත කර ඇත. විජයදාසට අවශ්‍ය එය නීතියක් බවට පත්කිරීම ය. විජයදාසගේ යෝජනාවට ජාතික හෙළ උරුමය අනුමැතිය පළකළේ ද යන්න තවමත් දැනගැනීමට නැත. රාජිත ඒ ගැන කිසිවක් කියා නැත. කෙසේ වෙතත් රාජිත යනු සත්‍යයේ ප්‍රතිමූර්තිය නො වේ. ඔහු චේතිය රජුට සමාන කිරීමට මම අකමැති වෙමි. චේතිය රජු කී බොරුවල ප්‍රතිශතය දැනගැනීමට ක්‍රමයක් නැත. 

විජයදාස යෝජනා කර ඇති කරුණ නීතිය වීමට තරමක් කල් යනු ඇත. එහෙත් ඒ නීතිය බවට පත්කර ගැනීමට විජයදාස රනිල් රාජිත සිරිසේන කල්ලියට ඉඩ නොදිය යුතු ය. මෙය සිංහල විරෝධී යෝජනාවකි. එය පිටුපස දෙමළ ජාතිවාදීන් මුස්ලිම් ආගමිකවාදීන්, සිංහල විරෝධී පඬියන්, රායප්පු ජෝසෆ් ආදී කී නොකී සිංහල  ජාතිකත්ව විරෝධීන් සිටින බවට සැකයක් තබාගත නො යුතුු ය. ඇතැමුන් සිතා සිටියේ ජාතික හෙළ උරුමයට කැබිනට්ටුවෙහි හිඳිමින් සිංහල ජාතිකත්ව විරෝධී යෝජනා පරාජයට පත්කළ හැකි බව ය. එහෙත් ජාතික හෙළ උරුමයට කළ හැකි කෙංගෙඩියක් නැත. ඔවුන් සිරිසේන සමග එකතු වූයේ මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමේ වෛරී දේශපාලනය මත පදනම් ව 2020 ජනාධිපති වීමේ සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණෙන් ය. එහෙත් අද රතන හිමියන් දේශනා කරන්නේ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම වරදක් නොවන බව ය. රතන හිමි සහ චම්පික කිසි දිනෙක අව්‍යාජව සිංහල බෞද්ධ සංස්කෘතියේ විශේෂත්වය වෙනුවෙන් පෙනී නො සිටියහ. 

විජයදාසගේ යෝජනාවේ හරය වනුයේ ජනවාර්ගික හා ආගමික ද්වෙෂ සහගත කතා කරන්නන්ට දඬුවම් පැමිණවීම ය. මෙහි දී නීතිඥයකු වූ විජයදාස පළමුවෙන් කළ යුත්තේ ද්වේශ සහගත යන්න ජනවාර්ගික හා ආගමික සන්දර්භයක අර්ථදැක්වීම ය. රායප්පු ජොසෆ්ලා විග්නේස්වරන්ලා හමුදාවට එරෙහිව කරන සමූලඝාතන කතා ද්වේෂ සහගත නැත් ද? කිසිම ඇසින් දුටු සා’ක්‍ෂිකරුවකු නොමැතිව හමුදාව අහිංසක දෙමළ ජනයා මරා දැමී යැයි කීම දෙමළ ජනයාගේ සිත්වල සිංහලයන්ට එරෙහිව ද්වේෂයක් ඇති කරන්නේ හමුදාව ඊනියා සිංහල හමුදාවක් ලෙස ප්‍රචාරය කර ඒ දෙමළ ජනයාගේ සිත්සතන්වල තහවුරු කර ඇති බැවිනි. විජයදාසගේ නීතිය රායප්පු ජෝසෆ්ට හා විග්නේස්වරන්ට එරෙහිව ක්‍රියාත්මක නොවනු ඇත. හැරත් ඔවුන් පිටුපස ඊනියා ජාත්‍යන්තරයේ සිංහල විරෝධී ක්‍රියාකාරීහු පෙළ ගැසී සිටිති. 

එහෙත් සිංහලයන් මෙරට සිංහලත්වයට හිමි තැන ලබාදිය යුතු යැයි කියන විට විජයදාසගේ සිංහල විරෝධී නීතිය සිංහලයන්ට විරුද්ධව ක්‍රියාත්මක කෙරෙනු ඇත. කූරගල ඓතිහාසික භූමිය බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස ආරක්‍ෂා කළ යුතු යැයි කියන විට, නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන මුස්ලිම් ආගමිකවාදීන් අත්කරගෙන ඇති බවට සිංහලයන් කියන විට විජයදාසගේ නීතිය සිංහලයන්ට විරුද්ධව ක්‍රියාත්මක කෙරෙනු ඇත. මෙවැනි ලිපියකට පවා එරෙහිව විජයදාසගේ නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත්තේ ජාතික හෙළ උරුමයේ අනුග්‍රහයෙනි.19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූවහොත් එහි 33 වැනි වගන්තිය ද විජයදාසලා හා රාජිතලා රනිල්ගේ නායකත්වය (සිරිසේනට ඇති නායකත්වයක් නැත) යටතේ සිංහල ජාතිකවාදීන්ට එරෙහිව යොදාගනු ඇත. මෙී නීති සියල්ල සුළුතරයේ ආධිපත්‍යය පිහිටුවීම සඳහා ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පමණක් නොව විජයදාසගේ පණත ද, ශ්‍රී ල නි ප නිවට නායකත්වය කුමක් කීව ද, පාර්ලිමේන්තුවේ දී පරාජය කිරීම සංධානයේ ජාතිකවාදී මන්ත්‍රිවරුන්ගේ වගකීම ය. ටොයියන් බවට පත් වී ඇති බයියෝ සැබෑ ටොයියන්ට ද වඩා සිංහල විරෝධී වෙති. 

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 05 

One Response to “විජයදාස රාජපක්‍ෂගේ නීතිය”

  1. Independent Says:

    මේ තාවකාලික අවජාතක ආන්ඩුවකි. මුන්ට පාස්කලහැකි ඉටිගෙඩි නීතියක් නැත​. බොරු ආන්ඩුවක් පත්වී මාස කීපයක් බොරුකර​, මහින් දගේ පිහිටින් සිංහලයින් භේද කොට බලගතු ඌඇන්පී ආන්ඩුවක් ගෙනැඒමට නටන මේ නාඩගම අහෝ සිංහල ඇස් වලට හෙන ගස්ස්ද නොපෙනෙන්නේ ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress