20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්න. –         කැෆේ සංවිධානය ඉල්ලයි.
Posted on June 7th, 2015

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය 

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සදහා ඉදිරිපත් කොට ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙවර කැබිනට් මණ්ඩලයේ දී අවසන් සංශෝධනයන්ට යටත් කොට හැකි ඉක්මනින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටී.

මනාප ක්‍රමය මගින් අන්ත දූෂිත තත්වයකට පත් කොට ඇති මෙරට දේශපාලන සංස්කෘතියේ වෙනසක් තහවුරු කෙරෙන මැතිවරණ ක්‍රමයේ සංශෝධන පරාජය කිරීම සදහා පාර්ලිමේන්තුවේ ඉතා සීමිත පිරිසක් කටයුතු කරමින් සිටී.  ඔවුන් අතුරින් බහුතරය විවිධ දූෂණ චෝදනා එල්ල වී ඇති කේවල ඡන්ද කොට්ඨාශ ක්‍රමයක් යටතේ කිසිදා පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි පිරිසක් බව පැහැදිලිය.  ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් පත් කිරීම වැලැක්වීම,  19 වන ව්‍යවස්ථාව දුර්වල කිරීම සදහා සංශෝධන ඉදිරිපත් කිරීම ඇතුළු කටයුතු සදහා සෘජුව මැදිහත් වූයේ ද මෙම පිරිසයි.

ගරු අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට උත්සහ දරන්නේ ද මෙම පිරිසමය.  ඔවුන් ගේ එකම අරමුණ වී ඇත්තේ ව්‍යවස්ථාදායක සභාව පත් කිරීම වැලැක්වීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම වැලැක්වීම, මැතිවරණ ක්‍රමයේ සංශෝධන වැලැක්වීම යි.  එපමණක් ද නොව දුෂිතයින් එළිදරව් කෙරෙන ‘තොරුතුරු දැනගැනීමේ පනත‘ සහ ‘විගණන පනත‘ සම්මත කර ගැනීම වැලැක්වීම ඔවුනගේ අවශ්‍යතාව බව පැහැදිලිය.

මෙම තත්වය පරාජය කළ හැක්කේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කිරීම සදහා ජනපති සහ අගමැති ප්‍රමුඛ වත්මන් රජයේ කැපවීම ක්‍රියාවෙන්ම පෙන්වීම මගින් පමණී.   ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමේ දී 20 වන සංශෝධනයට අවශ්‍ය යැයි හැගෙන සංශෝධන ඉදිරිපත් කොට, එය හැකි ඉක්මනින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම තුලින් අවස්ථාවාදී දේශපාලනඥයින් සුළුතරය පරාජය කළ හැකිය.

තමන් ජනතාවට ඉදිරිපත් කළ පොරොන්දු ඉටු කිරීමට අවංක කැපවීමක් සිදු කළ බවට ජනපතිවරයාත්, අගමැතිවරයාත් ජනතාව තුල කිසිදු සැකයක් ඉතිරි නොකළ යුතුව තිබේ.   මැතිවරණ ක්‍රමයේ සංශෝධන සම්බන්ධයෙන් අධිකරණයේ මතය විමසීමටත්, ජනතාවට තම මතය ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ ද එම යෝජනාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පමණී.

රජය පොරොන්දු වූ ව්‍යවස්ථාමය වෙනස්කම් සිදු කරමින් සිටින මොහොතක අගමැතිවරයාට එරෙහිව කරුණු නිවැරදි නොවන විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීම තුලින් සිදු කිරීමට උත්සහ දරන ප්‍රතිවිප්ලවය පරාජය කළ හැක්කේ ජනපතිවරයා ද අගමැතිවරයා ද ජනතාව කෙරෙහි විශ්වාසය තැබීමෙන්ම පමණක් බව කැෆේ සංවිධානය දැඩිව විශ්වාස කරයි.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය                                             2015 ජූනි මස 07 වැනිදා ඉරිදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress