පාලම හා පාලම් පාරුව
Posted on October 3rd, 2015

චන්ද්‍රසිරි විජයවික්‍රම

ප්‍රංශය හා එංගලන්තය අතරත්, ඉන්දියාවේ ධනුෂ්කොඩි හා ලංකාවේ තලේමන්නාරම අතරත් ඒ කාලයේ තිබුණේ පාලම් පාරුය. ලංකාවේ තේ වතුවලට ඉන්දියන් කම්කරුවන් ආවේ හා නිවාඩුවට ආපසු ගියේ කෝච්චියෙන් තලෙයිමන්නාරමට ගොස් පාලම් පාරුවෙන් ය.  ප්‍රංශය හා එංගලන්තය අතර වාෂ්පයෙන් දුවන නැව් තිබුණේ සාගරය ගැඹුරු නිසාත්, එතෙර-මෙතෙර යන ජන සංඛ්‍යාව වැඩිවූ නිසාත් ය.

නැපෝලියන්ට හා හිට්ලර්‌ට එංගලන්තය අල්ලා ගන්නට නොහැකිවූයේ එය දුරින් පිහිටි දූපතක් වුණ නිසාය. මෙම දූපත හා යුරෝපා මහාද්‌වීපය දුම්‍රිය මාර්‍ගයකින්, බිංගෙයක් මඟින් එකට එක් කල යුතුයයි තීරණය වුනේ යුරෝපා සංගමය බිහිවී, යුරෝ පාස්පෝට් එකකින් හා යුරෝ සල්ලි භාවිතා කරමින් මිනිසුන් යුරෝපා සංගමය තුල එහෙ මෙහෙ යාමට පටන් ගත් නිසාය. මුලින්ම යුරෝපා සංගමයක් හදන්නට ප්‍රංශය හා ජර්‌මනිය පියවර ගන්නා විට එයට සහභාගිවීමට අතීත බ්‍රිතාන්‍ය රජයවල් ප්‍රතික්‍ෂෙපකලේ, තමන්ගේ යටත් විජිත හරහා පොහොසත් වී සිටි ඔවුන්ට දුෂ්කරතා වලින් පිරී සිටි යුරෝපයේ ලෙඩ වලට කර ගසන්නට හේතුවක් නොවූ නිසාය. එහෙත් අන්තිමේදී දණින් වැටී එයට එකතුවීමට ඔවුන්ට සිදුවිය. එපමණක් නොව ජර්‌මනිය අළුගසා දමා නැගී සිටි අතර බර්ලින් තාප්පය බිඳ වැටී කොමියුනිස්ට් රුසියාව කැබලිවී, දියාරුවී ගියේය.

ලංකාව හා ටැමිල් නාඩ් අතර පාලම් පාරුව වෙනුවට පාලමක් දැමීමේ අවශ්‍යතාවයක් නැතුවා පමණක් නොව, යුරෝපයේ දුපත හා මහාද්‌වීපය අතර මෙන් ඉන්දියා උප මහාද්‌වීපය හා ලංකා දූපත අතර දැන් ඇති පසුබිම අනුව, පාලමක් දැමීම ලංකාව විසින් සිය දිවි නසා ගැනීමකි. ඉංග්‍රීසිකාරයින් තමන්ගේ අධිරාජ්‍යයේ කුලී වැඩ සඳහා යොදාගත්තේ දකුණු ඉන්දියාවේ මැඩ්‍රාස් ප්‍රන්නතයේ අන්ත දුගී මිනිසුන්වය. පහත්ම කුලවලට අයත් වූ හා ඩලිත් කුල අප්‍රිකාවේ, ජැමෙයිකා වැනි මධ්‍යම ඇමෙරිකා දූපත් වල, මැලේසියා දූපත්, ෆිජි දූපත් වලට ගෙනගියේ ඔවුන්ව අර්‌ධ වහල් හෝ වහල් මිනිසුන් ලෙස වැඩට යොදාගත හැකිවූ නිසාය. මෙසේ සුද්දන් වතුවල ගෙන ගිය මේ වහල් ක්‍රමය ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණේ කපු වතුවල තිබූ කළු මිනිසුන් යොදාගෙන ගෙන ගිය වහල් ක්‍රමයට නොදෙවෙනි විය.

මෙම ක්‍රමයේ කොටසක් ලෙස ලංකාවේ කෝපි හා තේ වගාවට ගෙන ආ මිනිසුන් සැළකිය හැකිය. දුම්කොළ වගාව සඳහා ලන්දේසිකාලයේ ගෙනා මලයාලි ලෙස හැඳින්වූ මිනිසුන් හෝ ඉංගිරිසිකාරයින් වන්නියේ දෙමළ ජනයා පදිංචිකරවීමට කල අසාර්‌ථක ව්‍යාපාරය මෙන් නොව මේ අළුත් ජනයා හරියට දැන් ලංකාවේ සිංහල මිනිසුන් අරාබි රටවල කුලී වැඩ සඳහා යනවා සේ තාවකාලික කම්කරුවන් විය. ඒ සඳහා පාලම් පාරුව හොඳටම සෑහින.

මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා විසින් ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් ව්‍යාපාරය ගැන 1960 ගණන්වල ලියූ කුඩා පොතක පෙන්වා දී ඇති අන්දමට, ලංකාව හා ඉන්දියාව අතර තිබූ ලංකාවට අයත් දූපත් (කොදෙව්), ලංකාවේ අතීත ඉතිහාසයේ වැදගත් කොටසක් විය. මෙම මූණත අතපසු කිරීම හෝ අමතක කිරීම කල නොහැක්කේ එය ලංකාව අමතක කරගැනීමක් වන නිසාය.  මේ නිසා මෙම කොදෙව් කතාව දේශපාලකයින් විසින් සෙල්ලමට දඟලන කතාවක් නොවිය යුතුය. ප්‍රභාකරන්ගේ තිස් අවුරුදු ත්‍රස්තවාදයට කලින් හා වැල්වෙටිතුරේ හොර බඩු ජාවාරමට හෝ ලංකා මුහුදේ මාළු, මුහුදු පතුලම අතුගා සූරාකෑමේ ටැමිල්නාඩ් මාළු මුදලාලිලාද අමතක කර සිතනවිට දෙරට අතර ඇති මේ නොගැඹුරු මුහුද උතුරේ දෙමළ තරුණයින්ට විනෝදය ගෙන දෙන පරිසරයක් විය. ටැමිල් නාඩ්වල අළුත් දෙමළ චිත්‍රපටියක් පෙන්වන්නට යන විට හා එය ලංකාවට ඒමට පෙර එය බැලීමට ඔවුන් ගියේ කුඩා ඔරු වලිනි. රෑ පිටත්‌වන ඔවුන් පසුදා මැට්නි ෂො එක බලා එදින රෑ ආපසු ගෙදර ඒමේ කතාව කියවූවිට මට ඇතිවූයේ සතුටකි. මුහුද සමහර තැන්වලදී අඩි දහයක්වත් නොවේ යයි මා අසා ඇත.

දකුණු ඉන්දියාවේ ටැමිල් නාඩ්, ලංකාවේ එකම අල්ලපු වත්තේ අසල්වැසියා ය. වෙන අසල් වැසියෙක් ලඟක නැත. දූපතක් වශයෙන් තිබීම නිසා ලංකාව, ලෝකයේ අනගි හා කදිම සංස්කෘතියක් සහිත හා අවුරුදු 2600 ක අඛන්ඩ ශිෂ්ටාචාරයක් වශයෙන් ජීවත් වුනේය. ඉන්දියාවෙන් නොයෙක් දේ ලබාගෙන ඒවා සිංහල බෞද්ධ කෝවට දමා ගෙන ඉන්දියාවේ කොටසක් නොවී සිටියේ මුහුද දෙරට වෙන් කල නිසාය. අඛන්ඩ භූමියක් නීතියෙන් වෙන්කල මායිම් සහිතව ඉන්දියාව හා ලංකාව ලෙස තිබුණා නම්, අද අප්‍රිකාවේ, මැදපෙරදිග අරාබි රටවල් හා මධ්‍යම ඇමෙරිකාවේ රටවල් එකිනෙකා මරාගන්නා අන්දමේ ව්‍යසන මෙන්, සිංහලේ කියා රටක් ඓතිහාසිකව ඉතුරුවන්නේද නැත.

මුහුද වැටක්, තාප්පයක් මෙන්ම මහා මා‌ර්‍ගයක් ලෙසද ද්‌වන්‌ධ කාර්යයක් ඉටුකරයි. එසේ තිබියදී වැට හෝ තාප්පය ඉවත් කරන්නේ ඇයි? වතුර මට්ටම එක සමාන ලෙස නැත්නම් ඉහළ වතුර පහලට ගලා යයි. දැනට එංගලන්තය හා ප්‍රංශය අතර වතුර මට්ටමේ (ආර්ථික, සාමාජික, දේශපාලන වතුර මට්ටම්) වෙනසක් නැත. ප්‍රංශ හෝ ජර්‌මන් ජනයා ඉංගිරිසි ජනයා යටත්කර ගන්නට යනවා යන බයක්  නැත. ලංකාව හා ටැමිල්නාඩ් අතර තිබෙන්නේ ටැමිල්නාඩ් ජල කඳ, උතුරේ පෙඩරල් හා කඳුරට මලයනාඩු ජලාශද සමග එක්‌වී සිංහල විල යටකර දමාවි යන බයය.

මුහුදක් නැතත් ගොඩබිම පමණක් මායිම් වන රටවල අසමතාවය, විෂමතාවය නිසා මතුවන යථාර්‌ථය ඇමෙරිකා එක්සත් ජනපදයේ, කැනඩා හා මෙක්‌සිකෝ මායිම් දෙක දෙස බැලීමෙන් පෙනීයයි. කැනඩා-ඇමෙරිකා මායිම වතුර මට්ටම එක සමාන බව පෙන්වයි. වැටක්, තාප්පයක් නැත. පාලම් රැසක් ඇත. කැනඩාවේ ජනයා ඇමෙරිකාවට හොරෙන් එතැයි බයක් නැත. මෙක්සිකෝ මායිම එසේ නොවේ. වැටවල්, තාප්ප, පොලිස් බල්ලන්, කැමරා, හෙලිකොප්ටර්, කාර් පැට්‍රොල්, ඉණිමං හා යුද්ධ හමුදාව පවා යොදාගෙන මෙක්සිකෝවෙන් එන ජනයා පාලනය කිරීමට සිදුව ඇත්තේ දෙපැත්තේ ඇති දේශපාලන, ආර්ථික හා සාමජීය විෂමතාවය නිසාය.  වතුර මට්ටම් දෙකක් නිසාය.

ටැමිල්නාඩ් වලින් ලංකාවට ඇති උවදුර වැනි උවදුරක් මෙක්සිකෝවෙන් ඇමෙරිකාවට නැත.  මෙක්සිකෝ ජනයා පැමිණ ඇමෙරිකාව අල්ලා ගැනීමේ හදිසි දේශපාලන තර්‍ජනයක් නැත. එහෙත් ලංකාවට ටැමිල්නාඩ් වලින් ඇත්තේ මරණ තර්‍ජනයකි. සිංහල ජාතිය විනාශවේය යන භීතියය. ටැමිල්නාඩුවෙන් ලංකාවට පලා ඒමට ඉඩක් ඇත්නම් ඒ සඳහා ඒමට ලක්‍ෂ සංඛ්‍යාත ජනයා එහි සිටින්නේය. දැන් එය කිරීම ලෙහෙසි නැත්තේ මුහුද නිසාය. පාලමක් දැම්මොත් මෙය ඉතාමත් පහසු කාරියක්වේ. වයිකෝ, ජයලලිතා, කරුණානිධි වැනි දේශපාලකයින්ට අමතරව, පගා ක්‍රමය පාලමේ දෙපැත්තේම ක්‍රියාත්මකවෙනු ඇත.

ටැමිල්නාඩ් යනු කලබල සහිත, කුල භේදයෙන් දුක් විඳින, චිත්‍රපටි නළුවන් බලය සඳහා පොරකන, දුගී අස්ථාවර සමාජයක් හා, ලංකාව හා බලනවිට ඉතාමත් කටුක වියලි දේශගුණයක්, ස්වාභාවික පරිසරයක් ඇති ප්‍රදේශයකි. මෙය හොඳට පෙනෙන්නේ ලංකාවේ සිට ඩුබායි පැත්තට ගුවන් යානයෙන් යන විටය. හින්දි භාෂාව රටේ භාෂාව කරනවාට විරුද්ධවූ එකම ඉන්දියානු ප්‍රාන්තයද මෙයය. 1930 ස් ගණන්වලදී, පාකිස්ථාන් ව්‍යාපාරයට සමගාමීව, වෙනම රටක් ඉල්ලා 1938 දී ලන්ඩන්වලට පෙත්සම් ගැසුවේද මේ මැඩ්‍රාස් ප්‍රාන්තයේ සිටි හින්දි විරෝධී පිරිසක් විසින් ය. ප්‍රභාකරන් දිනුවා නම් ඔහු ටැමිල්නාඩ්ද අල්ලා ගන්නා නිසා දිල්ලිය ඔහුව පරදවන්නට ලංකාවට උදව් කලේය.

මෙහි පහත ඇති සිතියමේ පෙන්වා ඇත්තේ මේ කාලය වනවිට ටැමිල්නාඩ් මුහුණ දෙන ප්‍රශ්නය. එහි රතු පාට ඊතල වලින් දක්වන්නේ ටැමිල්නාඩ් ප්‍රාන්තයට පිටතින් එන බලපෑම් ය. දිල්ලි ආණ්ඩුවෙන් එන හින්දි භාෂා කොමිසමේ බලපෑම, දෙමළ ජනයාට හින්දි භාෂාව ඉගෙන ගැනීමට බලකරයි.  ජාතික ජල සම්පාදන ව්‍යාපාර, න්‍යෂ්ටික බලාගාරය, සේතු සමුදුරම් නාවික ඇල යන මේවා දිල්ලි ආණ්ඩුවෙන් ටැමිල්නාඩුවේ කරගෙන යන ක්‍රියාවන් ය. සමහර අය සිතන්නේ මේ ඇල වැල්වෙටිතුරෙයි හා ටැමිල්නාඩ් අතර සම්බ‌න්‌ධය කැඩීමට හේතුවන උපායක් කියාය. අසල්වැසි ප්‍රාන්ත සමඟද වතුර යුද්ධ හා ආශ්‍රිත මායිම් ගැටුම් නිතරම හටගනී. පොන්ඩිචේරි යනු ටැමිල්නාඩ් තුල ඇති ඊට අයත් නොවන භූමි ඒකක දෙකෙන් එකකි.

බොහෝ අය නොදන්නා කරුණක් නම් ටැමිල්නාඩ් තුල වෙනම ප්‍රාන්ත දෙකක් ඉල්ලන කොටස් දෙකක් සිටින බවය. රාමඩෝස්ගේ පී එම් කේ පක්‍ෂය වන්නියාර් කුලවල අයට වෙනම ප්‍රාන්තයක් ඉල්ලන අතර, ඒ අනුව යමින් ඩලිත් කුල තමන්ටද වෙනම කෑල්ලක් ඉල්ලා සිටී. මෙවැනි තුනට කැඩීමේ අවදානමක් ඉදිරියේ ලංකාවේ දෙමළ ප්‍රශ්න ගැන ටැමිල්නාඩ් දේශපාලකයින් ඉදිරිපත්‌වීම, දේශපාලකයින් ලෝකය පුරාම ගෙනයන උපාය මාර්‍ගයක් නොවේද?

ලංකාවේ බොහෝ අය නොදන්නා තවත් කරුණක් නම් රාමා-සීතා කතාව ටැමිල්නාඩ් වල පවතින්නේ උතුරු ඉන්දියාවේ පවතින කතාවට වෙනස්ව බවය. ඉන්දියාවෙන් කැඩී වෙනම දෙමළ රටක් හදාගැනීමේ ව්‍යාපාරය ආරම්භකල රාමස්වාමි නායිකර්‌ට අනුව මහාභාරතයේ එන රාම-සීතාලා සවුත්තු මිනිසුන් ය. රාවණා යනු ඉතාමත් ධාර්මික දෙමළ රජෙකි. ලංකාවේ වතුකරයේ උපන් එම් ජී රාමචන්ද්‍රන් චිත්‍රපටිවල රඟපෑවේ මේ රාවණා ලෙසය. මෙසේ සැදූ ලාභ චිත්‍රපටි ටැමිල්නාඩ් වලත්. ලංකාවේ කඳුකරයේත් ඉතාමත් ජනප්‍රිය විය.

මෙවැනි පසුබිමක් යටතේ බලනවිට, ටැමිල්නාඩ් සිට බලනවිට, ලංකාව, දෙමළ ජනයාට මවා ඇති ක්‍ෂේම භූමියක් නොවන්නේද? හෝටල් කාමරවල කෑම උයා ගනිමින් රාම-සීතා සැඟවුණු ස්ථාන බලා ගැනීමට එන උතුරු ඉන්දියන් සංචාරකයින්ට හාත්පසින්ම වෙනස් ආකල්පයක් එසේම කෑම උයාගන්නා ටැමිල්නාඩ් දෙමළ සංචාරකයින් තුල ඇතිබව දන්නේ කී දෙනාද?

රනිල් වික්‍රමසිංහ මහතාට 2002 දීද මේ ඉන්දියන් පාලම් දොලදුක හැදී තිබුණේය. ඒ වාගේම ඔහුට තිබුණ ආශාවක් නම් කොළඹ මෙග කොළඹක් කිරීමය. දැන් 2015 දී ඔහු නැවත මේ අදහස් ඉදිරියට ගෙන ඒමෙන් පෙනෙන්නේ ඔහු වයෝවෘධවීමත් සමඟ ලංකාවේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව ඉගෙන ගෙන නැති බව නොවේද?  දෙවියන් වහන්සේ ලෝකය මැව්වා නම් ඔහු ගොන්ඩ්වානාලන්තයෙන් ඉන්දියාව වෙන්කරද්දී, ඉන්දියාවෙන් ලංකාව වෙන්කලේ යම් හේතුවක් නිසා වියයුතුය. මේ නිසා දෙවියන් කලදේට පටහැනිව ක්‍රියාකරන්නට යාම උචිතද? ටෛටැනික් නැව එහි මංගල ගමන ඇරඹීමට පෙර, මේ නැව නම්  දෙවියන් වහන්සේටවත් ගිල්ලන්නට නොහැකියයි එහි අයිතිකාරයෙක් ගාම්භීරයෙන් කී බවත්, එය අසා සිටි අයෙක් ඒ ගැන බලවත්සේ සසළවුණාය කියාත් මා අසා ඇත.

චන්ද්‍රසිරි විජයවික්‍රම
01-10-2015

2 Responses to “පාලම හා පාලම් පාරුව”

  1. Christie Says:

    Chandrasiri, you are supporting the Indian Empires claim that Indian colonial parasites are slaves. This is Indian Imperialist’s brain washing Please do not insult African slaves who had no say about their lives.. First of all Indian colonial parasites were partners of the British Indian Empire.

  2. Independent Says:

    එල් ටී ටී ඊ ය ඉන් දියාවෙන් අපිට ලැබුනු දායාදයකි. එහෙත් ඒ සමගම අපිට නොදැනීම තවත් එල් ටී ටී ඊයක් ලැබී ඇත​. එයනම් බජාජ් එකය​. මේ රෝද තුනේ ත්‍රස්තවාදියා හැම සතියකටම 3-4 දෙනක් බිලී ගනී. මේ සතිය නම් හොඳය​. තවම බුදු පිහිටින් බේරී ඇත​.
    ඊලඟ ඊලම නම් ඉඳියානු බස් ය​. මේවා මිනීමරමින් සිටිති. මහා සද්දයක් නගමින් දුම්ගසමින් ජීවිතත් ඒසමගම බිලිගනිති. අපිට ඉනි දියානුවාගෙන් ලැබුනු එකම හොඳ දේ බුදුදහමයි. ඒකත් උන්ට එපාවී ඇත​.
    අපි කලයුත්තේ උන් එපා කියන දේය​. උන් පාලමක් දාන්න කියනවා නම් අපි මුහුද හාරා තවත් ගැඹුරු කලයුතුයයි අවධාරනය කලයුතුය​.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress