“ආයෝජනයකට ගිවිසුම් අත්සන් කරන විට තිබෙන ප්‍රතිපත්තිය මුදල් ලැබෙන විට නෑ. කර්මාන්තය ආරම්භ කරන විට තිබෙන්නේ ඊටත් වඩා වෙනස් ප්‍රතිපත්තියක්“ – හිටපු ජනාධිපති උපදේශක මනෝ තිත්තවැල්ල
Posted on October 29th, 2015

මාධ්‍ය ඒකකය කැෆේ / ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය

ආර්ථිකය සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති නිතර නිතර වෙනස්වන බවත් ආයෝජකයින් ගිවිසුම් අත්සන් කරන වෙලාවේදී තිබෙන ප්‍රතිපත්තිය මුදල් ලැබෙන විට වෙනස්වී තිබෙන බවත්  මෙය රටේ ආර්ථිකයට අයහපත් බවත් හිටපු ජනාධිපති උපදේශක මනෝ තිත්තවැල්ල පැවසීය.

‘අය වැයෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද” යන මැයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

ප්‍රතිපත්ති වෙනස්වීම ගැටලු රැසක් මතුකරන බවත් කාලයක් වෙනස් නොවන ප්‍රතිපත්ති සකස් කිරීමට අවධානය යොමු කළ යුතුව ඇතැයිද ඔහු පැවසුවේය.

ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වු මනෝ තිත්තවැල්ල මෙසේද පැවසුවේය.

කර්මාන්ත හා සේවා ප්‍රවර්ධනය කිරිමට හැකි ප්‍රතිපත්ති තිබෙනවානම් රට ඇතුලෙන්ම ආයෝජන මතුවිය හැකියි. එම ප්‍රතිපත්ති ප්‍රසාරණය කරමින් විදේශ ආයෝජන ‍රට තුළට ගෙන්වාගත යුතුයි. විදේශ රටවලින් මුදල් ගෙන්වා ලංකාවේ ආයෝජනය කරන පරිසරයක් නිර්මාණය කළ යුතුයි.

 ඒ සදහා නොවෙනස් ප්‍රතිපත්ති තිබිය යුතුයි. කිසියම් ආයෝජනයක් ලංකාවට ගෙන ඒමට පියවර ගන්නා විට තිබෙන්නේ එක ප්‍රතිපත්තියක්. ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් අත්සන් කරන විට තිබෙන්නේ තවත් ප්‍රතිපත්තියක්. රට ඇතුළට මුදල් එන විට තිබෙන්නේ තවත් ප්‍රතිපත්තියක්. කර්මාන්තශාලාව ආරම්භ කරන විට තිබෙන්නේ ඊටත් වඩා වෙනස් ප්‍රතිපත්තියක්. මේ තත්වය වෙනස් වුනේ නැතිනම් අයෝජකයෝ ලංකාවට එන්නේ නැහැ. අවුරුදු පහක් දහයක් තුළ ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුයි. ඒ වගේම තමයි එම ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ කියන සහතිකය ලබාදෙන්න ඕන. වෙනස් නොවෙන ප්‍රතිපත්ති තිබෙනවානම් බදු සහන ලබාදී ආයෝජකයින් ගෙන්වාගැනීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ නෑ. මේ අයවැයෙන් ඒ සදහා අවශ්‍ය පදනම දැමිය යුතුයි.

 ඒ වගේම අලාභ ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරිමට අවශ්‍ය පියවරත් අය වැය මගින් ගත යුතු වෙනවා. රජයේ හිමිකාරීත්වයක් ඇති ව්‍යාපාර ලාභදායී ආයතන බවට පත් කරන්නේ නැ‍තොත් එම අලාභය ගෙවන්න සිදුවන්නේ ජනතාවටයි. අලාභදායී ආයතන තිබෙන විට ඒවා පත්වාගැනීමට මුදල් ඉතිරිවන්නේ නෑ. අලාභ ලබන රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්න වසරකට රුපියල් බිලියන 300ක් විතර වැයවෙනවා. මේ මුදල ඉතිරි කරන්න පුලුවන්නම් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල සියයට දෙකකින් ඉහළ දාන්න පුලුවන්.

මෙම මාධ්‍ය හමුවට එක්වු කැෆේ සංවිධානයේ සහ ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ  විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

වත්මන් රජය තුළ පසුගිය කාල සීමාව තුළ පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති වෙනස් වුනා. කසල කළමනාකරණය, ඉන්ධන සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්තියක් නෑ. අපිට පරිසරය සම්බන්ධයෙන් තිරසාර ප්‍රතිපත්තියක් නොමැතිනම් ආර්ථික සංවර්ධනයක් ළගාකරගැනීමටත් හැකියාවක් නැහැ. මේ හා බැදුණ පුලුල් ක්ෂේත්‍රයක් තිබෙනවා. ඒ තමයි ප්‍රවාහනය. මේ වන විට කොළඹ නගරයේ වාහන ධාවන වේගය පැයට කිලෝමීටර දොළහ දක්වා පහළ වැටී තිබෙනවා. මේ ගැටලුවට විසදුමක් ලබාදෙන්නේ නැතිනම් ඉදිරි වසර දෙක ඇතුළත මෙම වේගය පැයට කිලෝමීටර අට දක්වා අඩුවිය හැකි බවට ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන විශේෂඥයින් පෙන්වා දෙනවා.

 ව්‍යාපාරික අගනරයක තිබිය යුතු පරිසරය ප්‍රවාහන හා පරිසර ක්ෂේත්‍රවල මතුවී නැහැ. මේ සම්බන්ධ ගැටලුව හදුනාගෙන ඇතත් එයට අදාල ප්‍රතිපත්ති නිර්මාණය වී නැහැ. මේ ගැන ප්‍රතිපත්තිමය සංවාදයක් ගොනැගී නැහැ.

සෑම ආර්ථිකයකම බලවේගය බවට පත්වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තයි. මේ සම්බන්ධයෙන් වන ප්‍රවේශයන් නිවරදිව හදුනාගෙන නැහැ.

 අපේ රටේ ආයෝජන පිළිබද තත්වය වර්ධනය වන්නේ ඉතාමත් සුළුවෙන්. නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ආයෝජන රට තුළට ගලා ඒම සම්බන්ධයෙන් විශාල බලාපො‍රොත්තුවක් තිබුණා. සෘජු විදේශ ආ‍යෝජන ගෙන්වාගැනීම සදහා වන යටිතල පහසුකම් ගොඩනැගීමේ අර්බුදය අපි පසුගිය කාලයේදී දුටුවා. එක් එක් ව්‍යාපෘති තෝරාගෙන ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැගීම පමණක් දක්නට ලැබුණා. රජයක වගකීම වන්නේ ආර්ථිකයකට නිශ්චිත ගමන් මාර්ගය ප්‍රකාශයට පත් කිරීමයි. එහෙත් ඒ සදහා වන ගමන් මාර්ගය රජය විසින් හදුන්වා දී නැහැ.

 අය වැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තවත් දින විසිපහයි තිබෙන්නේ. එහෙත් ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ආණ්ඩුව හා ව්‍යාපාරික ප්‍රජාවසිවිල් සමාජය අතර කතිකාවක් ගොඩනැගී නැහැ. වෙනත් වසරවලදී අය වැය ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබද මාස ගණනාවක් සාකච්ඡා කරනවා. අගෝස්තු මාසයේදී මැතිවරණයක් පැවැත්වීම නිසා මේ කතිකාව සම්බන්ධ හිඩසක් ඇතිව තිබෙනවා. අය වැය ඉලක්ක කරගෙන මෙම සංවාදය අපි ගෙනයන්නේ මේ නිසයි

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රි  ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය‍  සහ සභාපති ජාතික සමුද්‍ර කටයුතු කමිටුව සහ SEMA ආයතනයේ  විධායක නිලධාරි  ක්‍රිස් ධර්මකීර්ති මහතා ද   එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය

කැෆේ / ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress