බුදුන් වහන්සේ ආත්මවාදියකු කිරීම
Posted on November 14th, 2015

 නලින් ද සිල්වා

 ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා අපෙන් තොරව වාස්තවික ලෝකයක්, යථාර්ථයක් ඇති බව පෙන්වීමට ගෙනෙන උදාහරණ කිහිපයක්් විමසා බලමු.  අගෝස්තු 12 වැනි දා ලිපියෙන් ඒ මහතා මෙසේ කියයි. යථාර්ථය යනුවෙන් හැඳින්වන්නේ කුමක්‌ ද? එය සාර්වත්රත සංකල්පයක්‌ ද? එය සැමට පොදු ද? එය සැමට පොදු විය යුතු ද? නැත හොත් එය සංස්‌කෘති අනුව වෙනස්‌ වන්නේ ද? අප ගේ ඉන්ද්රිතය සංජානනයෙන් ස්‌වායත්ත වූ ලෝකයක්‌ පවතින්නේ ද? අප ගේ ඉන්ද්රි යයන් ගෙන් වෙන් වූ ලෝකයක්‌ ඇති ද? එවැනි ලෝකයක්‌ නැතැයි පැවසීම, අප බලන්නේ නැත්නම් ලෝකයක්‌ නැතැයි පැවසීම හා සමාන ය. අප ගේ ඉන්ද්රියය පද්ධතියෙන් ස්‌වායත්ත වූ ලෝකයක්‌ ඇත නමුත් එය තවමත් හරිහැටි දැනගන්නට බැරි වී ඇතැයි පැවසීම සත්යයට කිට්‌ටු ය.”
 
අමරතුංග මහතා අපගේ ඉන්ද්‍රිය පද්ධතියෙන් ස්වායත්ත වූ ලෝකයක් ඇතැයි කී පමණින් එවැන්නක් ඇති බව නො පෙන්වයි. ඔහු සාධනයෙන් තොරව යමක් ප්‍රකාශ කරයි. එවැනි ප්‍රකාශ සාධන හෝ පෙන්වාදීම් හෝ නො වේ. අමරතුංග මහතා සාධනයක් (ඔප්පු කිරීමක්) නොමැතිව කරන ප්‍රකාශ අප පිළිගත යුත්තේ ඇයි? එවැනි ලෝකයක් නැතැයි කීම අප බලන්නේ නැත්නම් ලෝකයක් නැතැයි කීමට සමාන බව අමරතුංග මහතා කියයි. සිංහල බෞද්ධයනට අනුව දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඇත. එවැනි ලෝක නැතැයි කියන්නකුට අමරතුංග මහතා අනුව යමින් සිංහල බෞද්ධයකු පිළිතුරු දුනහොත් ඒ මහතා එය පිළිගන්නේ ද? එසේත් නැත්නම් ඉන්ද්‍රිය ගෝචර සංසාරයක් නොමැති නිසා සංසාරයක් නැතැයි කියන්නකුට ඒ පිළිතුර දුනහොත් අමරතුංග මහතා ඒ පිළිතුර සමග එකඟ වනනේ ද? 
 
අනෙක් අතට අමරතුංග මහතා පවසන්නේ ඉන්ද්‍රිය පද්ධතියෙන් ස්වායත්ත වූ ලෝකයක් ඇති නමුත් තවමත් ඒ හරිහැටි දැනගැනීමට නොහැකි වී ඇති බවත් ය. තවමත් හරිහැටි දැනගැනීමට නොහැකි වූ දෙයක් ඇතැයි පවසන්නේ කෙසේ ද? අමරතුංග මහතා කෝප්පයක් ඇතැයි පවසන්නේ කෝප්පය ගැන යමක් දැනගැනීමෙන් පසුව ය. අඩුම තරමෙන් කෝප්පය අනෙක් වස්තූන්ගෙන් වෙන්කර ගත හැකිය යන දැනුම අමරතුංග මහතාට වේ. කෝප්පය පිළිබඳ මේ ඊිනියා දැනීම අපේ නිර්මාණයක් පමණක් බව අපි පසුගිය සතියේ පෙන්වා දුන්නෙමු. අප කියන දේ නොපිළිගත්තත් අමරතුංග මහතාට අනුව ඒ මහතාට කෝප්පයක් ගැන දැනුමක් ඇත. ඒ දැනුම අනුව එ මහතාා කෝප්පයක් ඇති බව පවසයි. එහෙත් ඒ මහතා අපෙන් ස්වායත්ත වූ යථාර්ථයක් ඇති බව පවසන්නේ ඒ පිළිබඳ දැනුමක් නැතිව ය. 
  
අප කියන්නේ අප දකින ලෝකය, එනම් ඉන්ද්‍රිය ගෝචර (මනසේ ආධාරයෙන්) ලෝකය හා මනසින් පමණක් අප දකින ලෝකය අපේ නිර්මාණයක් බව ය. අප නිර්මාණය කරන ලෝකය වෙනත් දෙයට අමතර ව අපේ පංචෙන්ද්‍රියට හා මනසට සාපේක්‍ෂ ය. එනම් අප නිර්මාණය කරන ලෝකය සළායතනවලට සාපේක්‍ෂ ය.  සළායතනවලිනුත් මනස ප්‍රධාන ය. මනසක් නැතිව කිසිම සංකල්පයක් නැත. සංකල්ප නොමැතිව ලෝකයක් නැත. එය ද හුදු ප්‍රකාශයක් පමණක් යැයි යමකුට කිව හැකි ය. අපේ ලෝකය යනු අපේ දැනුම ය. අපේ දැනුමෙන් බාහිරව ලෝක පවතින්නේ යැයි කීම අමරතුංග මහතා ආදීන්ගේ පංචෙන්ද්‍රියට විෂය නොවන ලෝකයක් නැත යන මතවාදය සමග එකඟ නො වේ. අමරතුංග මහතා වැන්නෝ ඉන්ද්‍රිය ගෝචර ලෝකයක් ගැන පමණක් විශ්වාස කරති. ඔවුන්ගෙන් ඇතැමෙක්් (අමරතුංග මහතා ද එසේ දැයි නො දනිමි) පුනබ්භවය නො පිළිගනිති. ඒ පුනබ්භවය ඉන්ද්‍රිය ගෝචර නොවන බැවිනි. ඔවුන්ට චාර්වකවාදීන්ට මෙන් සියල්ල මරණයෙන් කෙළවර වෙයි. පුනබ්භවය ඉන්ද්‍රිය ගෝචර නොවූ පමණින් ඒ නැතැයි පැවසීම අමරතුංග මහතාගේ ම අප බලන්නේ නැත්නම් ලෝකයක් නැතැයි කීමට සමාන ය.   
 
අප එකිනෙකාගේ දැනුම් වෙනස් බව ඉතා පැහැදිලි ය. අප අම්මා යයි කියන්නේ ඉංගිරිසින් මදර් ( mother) යැයි කියන තැනැත්තියට නොවන බව පසුගිය සතියේ ලිපියෙන් ද පැහැදිලි කෙළෙමි. අප සියල්ලන්ට ම ඇත්තේ එකම දැනුමක් යැයි කිසිවකුටවත් කීව නො හැකි ය. අමරතුංග මහතා තම ලිපි කිහිපයකින් ම පළකර ඇත්තේ චීන විද්‍යාව චක්‍රීය චින්තනය මත බිහි වූ බවත් චීන සංස්කෘතිය ස්වභාව ධර්මය සමග සහජීවනයෙන් විසූ බවත් ය. බටහිර දැනුම (විද්‍යාව ද ඇතුළුව) රේඛීය චින්තනය මත පදනම් වී ඇති අතර ස්වභාව ධර්මය අප වෙනුවෙන් මැවී හෝ මවා හෝ ඇති බව උපකල්පනය කරයි. එවැනි වෙනත් සංස්කෘතීන්වලින් එකම දැනුමක් බිහිවන්නේ කෙසේ ද? 
 
චීනයේ පැවතියේ ද බටහිර විද්‍යාව බව නීඩ්හම් මහතා පවසා ඇති තැනක් අමරතුංග මහතාට උද්ධෘතයක් සහිත ව පෙන්වා දිය හැකි ද? ඔහු ඒ බව 2015 ජූලි 01 ලිපියෙහි වාක්‍යයකින් පමණක් කියයි. චීනයේ තිබුණේ කවදත් කොතැනත් තිබුණු විද්යා ව ය. මේ බව විද්වත් ජෝශප් නීඩ්හම් ඉතා ම පැහැදිලි ලෙස එතුමා ගේ Science and Civilization in China (1954) නමැති ග්රපන්ථයෙන් පෙන්වා දෙයි. මේ බව නො දන්නා ලෝකයේ විද්යාඤවන් බොහොමයක්‌ තිබෙනවා යෑයි සිතන අඥානයෝ, තවමත් ලෝකය පැතලි යෑයි සිතන අඥානයින් මෙන්, බහුභූත දොඩවති.”.  
 
අමරතුංග මහතා අදාළ ඡෙදය පිටු අංක සහිත ව සඳහන් කළ යුතු ය. අමරතුංග මහතාගේ අපහාස බැහැර කර මේ සම්බන්ධයෙන් දැනට කිව යුත්තේ අප කියන්නේ ලෝකයේ මිනිසුන් විවිධ දැනුම් පද්ධතීන් බිහිකර ඇති බව ය. ඉන් සමහරකට විද්‍යාව යන නම යොදන්නේ අමරතුංග මහතා ය. බටහිර විද්‍යාව මේ දැනුම් පද්ධතිවලින් එකක් පමණ ය. බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතිවලින් වෙන් වන්නේ එහි ඇති වියුක්ත ප්‍රවාද නිසා ය. චීන විද්‍යාව යනුවෙන් හැඳින්වෙන දැනුම් පද්ධතියෙහි  වියුක්ත ප්‍රවාද නැත. වෛදික දැනුම් පද්ධතදයෙහි වුව ද වියුක්ත ප්‍රවාද ඇත්තේ ඉතාමත් පහළ මට්ටමක ය. ඒ බව අප මෙයට පෙර ද කියා ඇත. වෛදික ගණිතයෙහි බොහෝ විට ඇත්තේ සූත්‍ර ය. වෛදික ගණිතයෙහි සාධන නැත. ස්වසිද්ධි පද්ධතියකින් පටන්ගෙන නිගමනවලට ඒමක් වෛදික ගණිතයෙහි දක්නට නැත. පැරණි භාරතීයයන් පමණක් නොව විසිවැනි සියවසේ ඉන්දියාවේ විසු ශ්‍රෙෂ්ටතම බටහිර ගණිතඥයා වූ රාමනුජන් ට ද සාධනය පිළිබඳ දැනුමක් නොවී ය. මේ සියල්ලෙන් කියැවෙන්නේ එක් එක් සංස්කෘතියෙහි නිර්මාණය වී ඇති දැනුම් විවිධ බව ය. අපි විවිධ දැනුම් පද්ධති ගැන පසුව තවදුරටත් සාකච්ඡා කරමු. දැන් නැවතත් යථාර්ථයක් ඇත් ද යන්නට යොමුවෙමු. 
 
2015 අගෝස්තු 19 දින ලිපියෙහි මෙසේ සපහන් කරයි. පැවැත්ම (existence) ගැන බුදුන් දැක්‌වූ අදහස්‌ කච්චායන-ගොත්ත සුත්රියෙහි පහදා දී ඇත. එහි පැවසෙන්නේ සැම දෙයක්‌ ම පවතී යන්න එක්‌ අන්තවාදයක්‌ බව ය. එය අන්තවාදයක්‌ වන්නේ කෙසේ ද? සැම දෙයක්‌ ම නියත ව වෙනස්‌ නො වී සැම දා පවතී යන්න ඉන් අදහස්‌ වන්නේ නම් එය අන්තවාදයක්‌ වන්නේ ය. සැම දෙයක්‌ ම නො පවතී යන්න අනෙක්‌ අන්තවාදය බව පැවසීමෙන් බුදුහු තම අදහස පැහැදිලි කරති. මේ අන්තවාද දෙක එකල දාර්ශනිකයන් අතර පැවැති බව පෙන්වා දිය හැකි ය. උපනිෂද් පැවසුවේ නිත්යන වූ ආත්මයක්‌ පවතින බව ය. එය ශාශ්වතවාදය විය. කාර්වක (එකල පැවැති ධර්මයක්‌) මතය වූයේ කිසිවක්‌ නො පවතින බව ය. එය උච්ඡේදවාදය ලෙස හැඳින්වේ. මේ නයින් බලන කල යථාර්ථයක්‌ බුදුන් නො පිළිගත් බව කිව නොහැකි ය. මක්‌ නිසා ද සැම දෙයක්‌ ම නො පවතී යන්න අන්තවාදයක්‌ බව උන්වහන්සේ පැවසූ හෙයිනි. තව ද ලෝකයේ යථාර්ථයක්‌ නැතැයි බුදුන් පවසා නැත”
 
අමරතුංග මහතා බොහෝ පොතපත කියවා තිබෙන්නට පුළුවන. එ මහතා දැන් කරන්නේ එ පොතපතෙහි කරුණු තමාට තේරුම් යන අකාරයට විදුසර පුවත්පතෙන් කීම ය. එහෙත්   ඒ කරුණු නිවැරදි ද නැද්ද  (සම්මුතිය අනුව) යන්න ගැන ඒ මහතාට අවබෝධයක් නැත. ඉහත සඳහන් ඡෙදයට අනුව චාර්වක (මෙය කාර්වක යනුවෙන් සඳහන් වන්නේ මුද්‍රණ දෝෂයකින් යැයි සිතමි) කිසිවක් නොපවතින බව කීවේ ය. එය උච්ඡෙදවාදයක් නො වේ. කිසිවක් නොපවතින බව කියැවෙන්නේ නාස්තිකවාදයෙහි (nihilism) ය. කෙසේ වෙතත් මෙය බුදුන්වහන්සේ ලෝකය ශූන්‍ය යැයි දේශනා කිරීම සමග පටලවා ගත යුතු නො වේ. ලෝකය ශූන්‍ය වන්නේ අප නිර්මාණය කර ඇති ලෝකය ශූන්‍ය නිසා ය. අපේ ලෝක බොරු ය. ඒ ඇතැම් ලෝකවල බටහිර විද්‍යාව වැනි පට්ටපල් බොරු ද වෙයි. ශාස්වතවාදීහු දිගින් දිගට පවතින ලෝකයක් ගැන විශ්වාසය පළ කළහ. උච්ඡෙදවාදීන්ගේ ලෝකය එසේ නො වී ය. එහි කැඩීම් විය. සිඳ දැමීම් විය. චාර්වක අමරතුංග මහතා කියන අර්ථයෙන් නොවූවත උච්ඡෙදවාදයෙකි. උච්ඡෙදවාදීහු මරණින් පසු ඉපදීමක් නැතැයි විශ්වාස කළහ. උච්ඡෙදවාදීහු කිසිවක් නැතැයි නො කීහ. ඔවුන්ට අනුව පවතිනා දෙය තාවකාලික විය. එහි කැඩීම්, සිඳදැමීම් විය. මේ බව අප කලින් ද සඳහන් කර ඇති නමුත ඥානවන්ත අමරතුංග මහතා ඒ තේරුම් ගෙන නැත.  ඇතැම්විට ඒ මහතා අඥානයන් කියන දේ බැහැර කරනවා විය හැකි ය.
 
බුදුන් වහන්සේ සෑම දෙයක් ම නොපවතී යන්න මෙන් ම පවතී යන්න ද අන්තවාද ලෙස සැලකූහ. සෑම දෙයක් ම පවතී යන්න අන්තවාදයක් වන්නේ ඇයි? අමරතුංග මහතාට අනුව සෑම දෙයක් ම වෙනස් නොවී පැවතීම යන්න එක් අන්තයකි. ඔහු කියන්නේ යමක් වෙනස් වෙමින් පැවතීම ප්‍රශ්නයක් නොවන බවත් බුදුන් වහන්සේ ඒ ප්‍රතිෙ’ක්‍ෂප නොකළ බවත් ය. එසේ පැවසීමෙන් අමරතුංග මහතා විසින් බුදුන් වහන්සේ ආත්මවාදියකු බවට පත්කෙරෙති. මෙහි දී ප්‍රශ්නය වනුයේ වෙනස් වෙමින් පවතින්නේ කුමක් ද, එලෙස වෙනස් වෙමින් පවතින යමක් ඇත් ද යන්න ය. මේ ප්‍රශ්නය මෙරට මහාවිහාරික භික්‍ෂූන් වහන්සේලා අතර අවුරුදු දහසකට ඉහත සාකච්ඡා වූවකි. උන්වහන්සේලාට අනුව යමක් වෙනස් වෙමින් පවතින්නේ ය යන්න ද ආත්මවාදී විය. අපට ඒ නිගමනයෙන් බැහැරවීමට හේතුවක් නොමැත. මේ නිගමනය ඊනියා යථාර්ථවාදයට පටහැණි ය. අපට සිතාගත හැක්කේ අභයගිරිවාසී භික්‍ෂූන් වහන්සේ නිසා මහාවිහාරික භික්‍ෂූන් වහන්සේලාට ඒ නිගමනයට පැමිණීමට සිදු වූ බව ය. 
 
යමක් වෙනස් වෙමින් පවතීය යන්න ප්‍රත්‍යක්‍ෂය නිසා මිනිසුන් නිර්මාණය කරගත් ඉතා සරල වියුක්ත ප්‍රවාදයකින් හටගත්තකි. අපට ළදරු වියක්, ළමා වියක්, ගැටවර වියක්, තරුණ වියක්, මැදි වියක්, මහළු වියක් ඇතැයි අපි කියමු. මේ පැහැදිලිව ම වෙනස් වීමකි. මෙහි දී වෙනස්වන්නකු සිටී යැයි උපකල්පනය කෙරෙයි. නලින් ද සිල්වා යනුවෙන් පුද්ගලයකු ඒ සියළු විය ගතකර ඇතැයි අපි උපකල්පනය කරමු.  වෙනස්වන නලින් ද සිල්වා කෙනකු ගැන කියන්නේ ප්‍රත්‍යක්‍ෂය හා බැඳුණු සරල වියුක්තකරණයකිනි. එය ආත්මාවාදී ය. නලින් ද සිල්වා යන ආත්මය ප්‍රත්‍යක්‍ෂයෙන් දුටුවකු නැති බව පැහැදිලි ය. එහෙත් සියල්ලන්ට ම පාහේ නලින් ද සිල්වා යනුවෙන් පුද්ගලයකු ඇත. මට ද මම වෙමි යන සංකල්පය වෙයි. මේ මම හෙවත් නලින් ද සිල්වා යන්න පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. අද යමකුට දැකිය හැක්කේ මහළු වියේ පසුවන ඊනියා නලින් ද සිල්වා කෙනකු ය. නලින් ද සිල්වාගේ රූපකාය වෙනස් වී ඇත. එපමණක් නොව දැනුම පිළිබඳ ඔහුගේ දැනුම ද වෙනස් වී ඇත. 
 
නලින් ද සිල්වා යනුවෙන් අපේ මනස් විසින් නිර්මාණය කරනු ලැබ ඇත්තේ සරල වුවත් වියුක්ත සංකල්පයකි, දැනුමකි. ඒ් සංකල්පය අපේ නිර්මාණයකි. එක් එක් විය පසුකරන නලින් ද සිල්වා කෙනකු සිටින බව, අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ අපේ නොදැනුම නිසා වියුක්තකරණයෙන් ලබාගන්නා නිර්මාණයක්, දැනුමක් පමණකි. අපි මේ දැනුම නිසා සංසාරයේ සැරිසරමු. අනිත්‍යය යනු හුදු වෙනස්වීම නො වේ. හුදු වෙනස්වීම අනිත්‍යය ලෙස ගන්නා අයකුට බුද්ධිමය වශයෙන්වත් ආත්මවාදයෙන් ඉවත්විය නො හැකි ය. වෙනස්වන්නකු හෝ වෙනස්වන දෙයක් හෝ නොමැතිව වෙනස්වීම බුද්ධියෙන් අනිත්‍ය ගැන කිවහැකි කරුණ ය. බුදුන් වහන්සේ වෙනස් වෙමින් පවතින ලෝකයක් ඇතැයි කීම ද අන්තයක් ලෙස ගනිමින් ප්‍රතිෙ’ක්‍ෂප කළහ. වෙනස්වබ නලින් ද සිල්වා කෙනකු ඇතැයි ගැනීම ද, බටහිර විද්‍යාව පමණට නොවුවත් පට්ටපල් බොරුවකි. අපි ඉඩක් ලැබුණහොත් ලබන සතියේ මෙය තවදුරටත් පැහැදිලි කර ගනිමු.
 
නලින් ද සිල්වා  
 
2015 නොවැම්බර් 11

3 Responses to “බුදුන් වහන්සේ ආත්මවාදියකු කිරීම”

  1. Independent Says:

    නලින් මහතා ඇතුලු සියලු සිංහල බෞද්ධයෝ මෙය කියවා සිතින් සමාව ගෙන , අපායෙන් වැලකෙත් වා.

    සිංහලයාට ප්‍රශ්න ආපු හැම මොහොතකම කාටත් කලින් උන්වහන්සේ ඉදිරියට ආවා
    කල්‍යාණ මිත්‍ර සෝභිත හිමි ගැන මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන් කියන කතාව

    * සෝභිත හිමියන්ගේ ජීවිතය එදා බේරුණේ අනූනවයෙන්
    * මගේ කළ්‍යාන මිත්‍රයා උත්තරීතර බුද්ධ ප්‍රත්‍රයෙක්‌
    * පහුගිය කාලයේ උන් වහන්සේ හිටියේ කළකිරීමෙන්

    නිවන් මඟ වැඩි සෝභිත හාමුදුරුවන් කල්‍යාණ මිත්‍ර සම්පත්තියෙන් අනූන විය. බිතු සිතුවම් රූ මෙන් දුකසැප දෙකෙහිම නොවෙනස්‌ එක්‌ කල්‍යාණ මිත්‍ර ස්‌වාමීන්වහන්සේ නමක්‌, අටලෝ දහමින්ද කම්පා නොවේ යෑයි කීවත් උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු දැඩි ලෙස කම්පාවට පත්වූහ.

    ඒ නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝය. උන්වහන්සේ එම කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ සමරු පෙළ වදාළේ මෙසේය.

    ප්‍රශ්නය – අවසරයි අපේ හාමුදුරුවනේ… බොහෝම සංවේගජනක මොහොතක්‌ තමයි අප පසුකරමින් ඉන්නේ.

    පිළිතුර – පැහැදිලිවම බුද්ධ පුත්‍රයකු හැටියට මේ මොහොතේ අටලෝ දහමින් කම්පා නොවීම, ඉවසා වැදැරීම පවා මොහොතකට අමතක වෙනවා. ඒ අපි කල්‍යාණ මිත්‍රයන් නිසයි. සෝභිත හිමියන් සහ මා අතර තිබෙන්නේ එවැනි බැඳීමක්‌.

    ප්‍රශ්නය – අවසර… අපි කැමැතියි මේ අපූරු කල්‍යාණ මිත්‍රත්වය ආරම්භ වුණේ කොහොමද කියලා දැනගන්න.

    පිළිතුර – සෝභිත හාමුදුරුවන් හා මම රාමඤ්ඤ නිකායේ කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණ සංඝ සභාව නියෝජනය කරන දෙපළක්‌. ඒ විතරක්‌ නොවෙයි නාරාහේන්පිට අභයාරාමයත්, කෝට්‌ටේ ශ්‍රී නාග විහාරයත් බොහෝ සෙයින් සමීප විහාස්‌ථාන දෙකක්‌. මේ සියලු කාරණා නිසා උන්වහන්සේත් මමත් අතර දැඩි මිත්‍රත්වයක්‌ ගොඩනැඟුණා.

    ප්‍රශ්නය – සෝභිත හිමියන් නිරන්තරයෙන් ඔබ සමඟ මේ මිත්‍රත්වය බෙදා හදාගන්නා මට්‌ටමක ද හිටියේ.

    පිළිතුර – ඇත්තෙන්ම, උන්වහන්සේ ශාසනික කටයුතුවලදී පමණක්‌ නොවෙයි, සමාජයීය, දේශපාලනික මේ ආදී විවිධ කටයුතුවලදී පවා මා සමඟ අදහස්‌ හුවමාරු කරගන්නවා. හැකි සෑම මොහොතකම අභයාරාමයට වඩිනවා. හදිසි ගමනක්‌ යෙදෙනකොට උන්වහන්සේ වැඩින්නේ අභයාරාමය පසුකරගෙන නම් අනිවාර්යයෙන් පන්සලට ගොඩවී වතුර වීදුරුවක්‌ හෝ පානය කර යන්න අමතක කරන්නේ නෑ.

    ප්‍රශ්නය – ඔබවහන්සේ සඳහන් කළා දේශපාලනික කටයුතුවලදීත් සෝභිත හිමියෝ අදහස්‌ හුවමාරු කරගත්තා කියලා.

    ඔබවහන්සේ මේ සඳහන් කරන්නේ ජාතික වශයෙන් ගැටලු පැනනැඟුණු මොහොතේ උන්වහන්සේ සමඟ කටයුතු කළ අවස්‌ථාද?

    පිළිතුර – ඔව්… ජාතික සටන් ව්‍යාපාරයේදී සෝභිත හාමුදුරුවෝ නිරන්තරයෙන්ම පෙරමුණ අරගෙන ක්‍රියා කළ හිමිනමක්‌. මේ ගැන බොහෝ දෙනෙක්‌ දන්නවා. මමත් උන්වහන්සේ සමඟ ඒ හැම මොහොතකම හිටියා. උන්වහන්සේ මගේ සහභාගිත්වය කැමැත්තෙන්ම අපේක්‍ෂා කළා. ඒ සටන් ව්‍යාපාර බොහෝමයක්‌ සංවිධානය කළේ අප දෙදෙනා සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

    රටේ කොතැනකද අසහනයක්‌, කරදරයක්‌ – කොතැනකද ජනතාවට අසාධාරණයක්‌ වන ක්‍රියාදාමයක්‌ තිබෙන්නේ ඒ හැම තැනකදීම සෝභිත හාමුදුරුවෝ සහ මම පෙරමුණ ගත්තා. මෙහෙම දිගින් දිගටම ශාසනික කටයුතුවලත්, සටන් ව්‍යාපාරයෙත් ඉන්න කොට අපි අතර තිබුණු කල්‍යාණ මිත්‍ර බැඳීම තව තවත් තහවුරු වුණා.

    ප්‍රශ්නය – අදහස්‌, මතවාද අතර අර්බුදයක්‌ මතුවුණේ නැද්ද අපේ හාමුදුරුවනේ.

    පිළිතුර – කිසිසේත්ම නැහැ. අපි යම් යම් කාරණා ගැන බොහෝ වෙලාවක්‌ සාකච්ඡා කරනවා. එකඟතාවන්වලට එනවා. සෝභිත හාමුදුරුවෝ කියන්නේ අභීත ස්‌වාමීන් වහන්සේ නමක්‌. උන්වහන්සේ කාටවත් නම්මාගන්න අසීරු චරිතයක්‌. Rජුව කතා කරනවා Rජුව ක්‍රියාකරනවා. බොහෝ දෙනෙක්‌ තාන්න මාන්න, දාන පූජා නොලැබේය කියන බියෙන් පස්‌සට ගියත් උන්වහන්සේ කිසි විටෙකත් එසේ වූයේ නෑ. විශේෂයෙන් මතක්‌ කරන්න ඕන පසුගිය කාලයේ බලයට පත්වූ කිසිදු රජයකින් උන්වහන්සේත් මමත් කිසිදු වරප්‍රසාදයක්‌ ලබාගෙන නැති බව.

    ප්‍රශ්නය – සෝභිත හාමුදුරුවන්ගේ හෝ ඔබවහන්සේගේ දේශපාලනික මතවාද ගැන මත ගැටුමක්‌ ඇති වී නැද්ද?

    පිළිතුර – නෑ… අපි කොයි මොහොතක හෝ පක්‍ෂ දේශපාලනයට ගියේ නෑ. අප දෙදෙනාටම අවශ්‍ය කළේ රටේ ජනතාවට යහපතක්‌ වෙනවා දකින්න පමණයි.

    සෝභිත හාමුදුරුවන් සහ මම රනිල් වික්‍රමසිංහ – ජනාධිපති ප්‍රේමදාස ඇසුරු කළා ඒ කාලයේ අපිට කීවේ ප්‍රේමදාසවාදීන්, රනිල්වාදීන් කියලයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සහ අපි ඇසුරු කළා. එතකොට මහින්දවාදීන් කිව්වා. ඕනෑ කෙනකුට ඕනෑ දෙයක්‌ කියන්න පුළුවන්.

    ප්‍රශ්නය – ජාතික සටන් ව්‍යාපාරයේ සෝභිත හිමියන්ගේ භූමිකාව ගැන ඔබ වහන්සේගේ මතක සටහන් කොහොමද?

    පිළිතුර – ඇත්තෙන්ම ජාතික සටන් ව්‍යාපාරයට අපි එන්නේ, තරුණ භික්‍ෂූන් හැටියටයි. මම සෝභිත හිමියන්ගේ දුටු විශේෂම සහ වැදගත්ම දේ තමයි මේ හැම මොහොතකම උන්වහන්සේගේ ඉලක්‌කය කරා යැමට දැඩි කැපවීමක්‌ කිරීම. සමහර විට අප පවා පසුබා යන කාරණාවලදී උන්වහන්සේ ඉදිරියට යන්න පැකිලෙන්නේ නෑ.

    ජාතික ප්‍රශ්නවලදී උන්වහන්සේ අභීතයි, Rජුයි. හැබැයි මධ්‍යස්‌ථයි. සිංහලයාට, සිංහල භාෂාවට, රටට ප්‍රශ්න එළැඹෙන හැම මොහොතකම කාටත් කලින් උන්වහන්සේ ඉදිරියට ආවා. අද වෙනකොට උන්වහන්සේ දේශපාලන රාමුවකට කොටුකරන්න හදන සමහර උදවියට මේ ගැන දැනුමක්‌ නෑ.

    1965 සහ 70 වේ එක්‌සත් ජාතික පක්‍ෂ රජය ගෙන ගිය ජාතික වශයෙන් ගැටලු ඇති කළ සමාජයට අහිතකර වැඩපිළිවෙළට එරෙහිව උන්වහන්සේ පෙරමුණ ගෙන ක්‍රියා කළා. උන්වහන්සේ රටේ පිළිගත් බුද්ධිමත් පිරිස්‌, විවිධ වෘත්තිකයන් එකතු කරගනිමින් සංවිධාන ගොඩනැඟුවා.

    ප්‍රශ්නය – සිංහල බලමණ්‌ඩලය සහ මවුබිම

    සුරැකීමේ පෙරමුණ බිහිවන්නේ ඒ පසුබිම තුළයි.

    පිළිතුර – ඔව් මේ සංවිධාන හරහා අපි විශාල වැඩ කොටසක්‌ ඉටුකළා. විශේෂයෙන් කියන්න ඕන ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා ගෙන ආ “ධර්මිෂ්ඨ සමාජය” වැඩපිළිවෙළ සමාජය විශාල වශයෙන් පරිහානිගත කරන සංකල්පයක්‌ නිසා සියලු බලමණ්‌ඩලය පිහිටුවා ගත් බව. එම සංවිධානයට විද්වත් බොහෝ පිරිසක්‌ එකතු වී සිටියාහ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ වැනි ගිහි පැවිදි බොහෝ පිරිසක්‌ ඊට සම්බන්ධ වුණා.

    1982 ජුලි මාසයේදී මේ සියලු දෙනා ඒ කියන්නේ සිංහල බලමණ්‌ඩලය සමස්‌ත ලංකා බෞද්ධ සම්මේලන ශාලාවේ රැස්‌වුණා. එතැනදී දේශපාලනයට සම්බන්ධ මැර පිරිසක්‌ මේ රැස්‌වීමට පහර දුන්නා. එතැනදී අපේ සෝභිත හාමුදුරුවන් වගේම එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයාත් පහරකෑමට ලක්‌වුණා. ඒත් ඒ කිසිම දේකින් සෝභිත හාමුදුරුවෝ ගෙන ගිය සටන නවත්වන්න කාටවත් බැරි වුණා.

    ප්‍රශ්නය – 1983 දීත් අභයාරාමය පන්සල සම්බන්ධයෙන්ම විශේෂ මතක සටහනක්‌ ඔබ වහන්සේට තිබෙනවා.

    පිළිතුර – ඔව්… මම මුලදිත් සඳහන් කළා නේ කෝට්‌ටේ නාග විහාරයත් අපේ අභයාරාම පන්සලත් ශාසනික, සමාජයීය, ජාතික, සංස්‌කෘතික වශයෙන් වැදගත් තැනක්‌ තිබිච්ච පන්සල් කියලා. ඉතිං සෝභිත හාමුදුරුවෝ නිතරම අභයාරාමයට වඩිනවා. 1983 මැයි දිනය සැමරීම ආණ්‌ඩුව තහනම් කළා. ඒ වෙලාවේ සෝභිත හාමුදුරුවෝ මට කතා කළා. අපි තීරණය කළා මැයි රැලිය පන්සලේ තියන්න. එදා සෝභිත හාමුදුරුවෝ, මම මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන ඇතුළු විශාල පිරිසක්‌ පන්සලට එකතු වුණා. වැඩි වෙලාවක්‌ යන්න කලින් රැස්‌වීමට ඉතාම නරක අන්දමේ පොලිස්‌ ප්‍රහාරයක්‌ එල්ල කළා. සෝභිත හාමුදුරුවෝ එදා ජීවිතය බේරාගත්තේ අනූනවයෙන්. උන්වහන්සේ සම්බන්ධව අභයාරාමයට තිබෙන සුවිශේෂී මතක සටහන්වලින් එකක්‌ තමයි ඒ.

    ඊට පස්‌සේ මේ සිදුවීම සම්බන්ධයෙන් සෝභිත හාමුදුරුවෝ සිරගත කළා. උන්වහන්සේ විතරක්‌ නෙවෙයි මාවත් අත්අඩංගුවට ගත්තා. අපිව රඳවා තැබුවේ වරාය පොලිසියේ. විශේෂයෙන් මතක්‌ කරන්න ඕන එදා එතැන සිටි පොලිස්‌ නිලධාරීන් භික්‍ෂූන් වහන්සේලා හැටියට අපට ඉතාම ගෞරවයෙන් සලකපු බව.

    ප්‍රශ්නය – ඔබ වහන්සේ ජාතික හෙද සංගමයේ සභාපති. මේ සංගමයේ වැඩ කටයුතුවලට සෝභිත හාමුදුරුවන්ගේ දායකත්වය ලබා දුන්නාද?

    පිළිතුර – ක්‍රියාකාරීව නොවුණත් උන්වහන්සේ මා සමඟ හිටියා. යම් යම් කාරණා සම්බන්ධයෙන් මම උන්වහන්සේ සමඟ කතාබහ කර තිබෙනවා. ඒත් 1987 වර්ෂයේ රජයේ රෝහල්වල හෙද නිලධාරිනියන්ගේ මහා වැඩ වර්ජනයක්‌ පැවැති කාලයේ උන්වහන්සේ නිරන්තරයෙන්ම අපි එක්‌ක හිටියා. එම වැඩ වර්ජනය කඩාකප්පල් කරන්න රජය කටයුතු කරන මොහොතේ සෝභිත හාමුදුරුවෝ හෙද වර්ජනය සාර්ථක කර ගන්නට විවිධ සුබසාධක වැඩ කටයුතුවල යෙදෙමින් ඊට සක්‍රීයව දායක වුණා.

    උන්වහන්සේටත් මටත් පක්‍ෂ දේශපාලනයක්‌ තිබුණේ නැති බව ඔප්පු කරන්න පුළුවන් තව අවස්‌ථාවක්‌ තමයි 1994 චන්ද්‍රිකා බණ්‌ඩාරනායක ජනාධිපතිනිය ජාතික ප්‍රශ්නය විසඳන්න ගෙන ආ යෝජනා මාලාවට විරුද්ධ වීම. එම පැකේජය තුළ රටට අහිතකර ලෙස බලපාන කාරණා ඇතුළත් බව රටට කියන්න සෝභිත හාමුදුරුවෝ රට පුරා සම්මන්ත්‍රණ පවත්වන්න කටයුතු කළා.

    ප්‍රශ්නය – මේ හැම තැනකදීම ඔබ වහන්සේ සඳහන් කරන ආකාරයට සෝභිත හාමුදුරුවෝ සමඟ සමීපව හිඳ කටයුතු කර තිබෙනවා. වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් උන්වහන්සේ සමඟ කතා බහ කර නැද්ද?

    පිළිතුර – කතාබහ කළා. ඒත් උන්වහන්සේ හා මා අතර තිබුණේ එකම විදිහේ ආකල්පයක්‌.

    ප්‍රශ්නය – කුමන කාරණා ගැනද?

    පිළිතුර – වර්තමාන දේශපාලනය සම්බන්ධයෙන් මතුවන හැම කාරණයක්‌ ගැනම.

    ප්‍රශ්නය – සෝභිත හාමුදුරුවෝ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව පැරදවිය යුතුයි කියන ස්‌ථාවරයේ හිටියා.

    පිළිතුර – නෑ… උන්වහන්සේ හිටියේ විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි කිරීම සහ ව්‍යවස්‌ථාවේ සිදුවිය යුතු වෙනස්‌කම් ගැන විචාරයක. මමත් ඒ ස්‌ථාවරයේම ඉන්නවා.

    ප්‍රශ්නය – අවසන් කාලයේ උන්වහන්සේගේ දේශපාලන ස්‌ථාවරය ගැන ඔබවහන්සේ සමඟ කතා කළාද?

    පිළිතුර – ඔව්…

    ප්‍රශ්නය – ඔබවහන්සේ ඊට එකඟ වුණාද?

    පිළිතුර – මෙහෙමයි… අපි අතර ඒ ගැන කතාබහ ඇතිවුණා. ඒත් උන්වහන්සේට එරෙහි වෙන්න ගියේ නෑ. මා තුළ විශ්වාසයක්‌ තිබුණා උන්වහන්සේ හරි ඉලක්‌කයට යනවා කියලා.

    ප්‍රශ්නය – ඒත් පසු කාලෙක උන්වහන්සේ පවතින දේශපාලනය ගැන කලකිරීමෙන් කතා කළා.

    පිළිතුර – ඔව්…. ඒ ගැන මා එක්‌කත් කතා කළා.

    ප්‍රශ්නය – අවසර, අපිට ඒ වදාළ දේවල් දැනගන්න පුළුවන්ද?

    පිළිතුර – මෙහෙමයි උන්වහන්සේ කීවේ මා ප්‍රාර්ථනය කළ සාධාරණ සමාජය ගොඩනඟන්න අපහසුයි. ඒත් මම මගේ සටන අත්හරින්නේ නෑ කියලයි. උන්වහන්සේ තුළ බලාපොරොත්තුවක්‌ තිබුණා තමන් වහන්සේ රටට ජනතාවට පොරොන්දු වූ දේවල් කෙසේ හෝ ඉටුකරන්න.

    ප්‍රශ්නය – පොදු අපේක්‍ෂකයා වීමේ බලාපොරොත්තුවක්‌ උන්වහන්සේට තිබුණද?

    පිළිතුර – සුදුසු කෙනෙක්‌ නොහිටියොත් උන්වහන්සේ ඉදිරිපත් වෙන බව කිව්වා. ඒ හැර විශාල බලාපොරොත්තුවක්‌ තිබුණේ නෑ. එහෙම පොදු අපේක්‍ෂකයා හැටියට ඉදිරිපත් වී බලයට ආවත් දින 120 ක්‌ තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කර ව්‍යවස්‌ථාව වෙනස්‌ කර ඉන් ඉවත් වන බව බවයි කීවේ.

    උන්වහන්සේ ජාතික සංඝ සභාව පිහිටුවන්න ක්‍රියා කළ ඓතිහාසික චරිතයක්‌. එහෙත් උන්වහන්සේ කොයි මොහොතක හෝ තනතුරක්‌ නායක පදවියක්‌ අපේක්‍ෂා කළේ නෑ. ඒත් නායක ස්‌වාමීන්වහන්සේලා තරම්ම පිළිගැනීමක්‌ උන්වහන්සේට තිබුණා. උන්වහන්සේගේ සරල චාම් ජීවිතයට ඒවා අවශ්‍ය වුණේ නෑ. මගේ කල්‍යාණ මිත්‍රයා එවැනි උත්තරීතර බුද්ධ පුත්‍රයෙක්‌.

    සාකච්ඡා කළේ
    උදේශ සංජීව ගමගේ

  2. Independent Says:

    මේ ජනාධිපතිත් කුඩු ව්‍යාපාරයට යට වෙලාද ?

    මතට තිත මේ තරම්ම තිත්තද…!
    වෛද්‍ය නිලංග සමරසිංහ ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?

    අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා මෙරට මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් විශාල වැඩ කොටසක්‌ සිදු කරමින් සිටියදී, ඉකුත් නොවැම්බර් 05 වැනිදා ඔහුව ඉවත් කළ පුවතක්‌ද ප්‍රචාරණය වන්නට විය .ඊට පසු දින (06) පුවත්පත් වාර්තා කර තිබුණේද වෛද්‍ය නිලංග සමරසිංහ ඉවත් කිරීමට නීතිය සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්‌කරරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවයි. වෛද්‍ය නිලංග වෙනුවට නව සභාපති ලෙස විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු වන එච්. එම්. සිරිසේන හේරත් මහතා පත්කර ඇති බවද එම පුවතේ සඳහන් විය .මේ සම්බන්ධයෙන් නීතිය සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විඡේවීර මහතා මාධ්‍යට පවසා තිබුණේ ඇමැතිවරයාට පවරා ඇති බලතල අනුව හා ජනාධිපතිවරයාගේ එකඟතාව මත නව පත්කිරීම සිදුකර ඇති බවයි.

    මේ ගැන වෛද්‍ය නිලංගටද දැනුම් දී තිබිණි. එසේ දැනුම් දී තිබුණේ නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සන ද නොමැති ලිපියක්‌ මගින් වීමද විශේෂත්වයකි. එම ලිපිය මගින් වෛද්‍ය නිලංගට දැනුම් දී තිබුණේ, 1984 අංක 11 දරන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩල පනතේ පරිච්ඡේද අංක 03 මගින් ඇමැතිවරයා වෙත පවරා ඇති බලතල අනුව හා ජනාධිපතිවරයාගේ එකඟතාවෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙස සිරිසේන හේරත් මහතා පත්කර ඇති බවයි. ඒ අනුව හේරත් මහතාද පැමිණ වැඩ භාර ගෙන තිබුණි. එදින වෛද්‍ය නිලංග ද රාජකාරියට වාර්තා කර තිබුණි. දෙදෙනාම මාධ්‍යයට කළ ප්‍රකාශයන් ද රටටම දැනගන්නට ලැබිණි. මේ අනුව සභාපති ධුරය සම්බන්ධයෙන් ඒ අවස්‌ථාවේ අර්බුදයක්‌ මතු වුවත් මේ වන විට එය විසඳී තවදුරටත් වෛද්‍ය නිලංග සමරසිංහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියි. එහෙත් ඔහුව ඉවත් කිරීමට ගත් උත්සාහය සුළුවෙන් තැකිය නොහැකිය. ඔහුව හදිසියේ ඉවත් කිරීමට උත්සහ කළේ ඇයි? ඒ සදහා තිබූ අවශ්‍යතාව කුමක්‌ද? මේ පිටුපස සිටින බලවේග මොනවාද? ඒ පිළිබඳව මේ ලිපියෙන් අපි සාකච්ජා කරමු .

    අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා, මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පසුගිය මහ මැතිවරණයේදී නාම යෝජනා ලබා නොදෙන ලෙස රටේ ප්‍රබල හඬක්‌ ගෙන ගිය අයුරු ද අපට මතකය. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්‌ද රජයට යෝජනා කළ ඔහු මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා තවත් පලදායී වැඩ කටයුතු රැසකටම අත ගසා තිබුණි. එසේම ඔහු ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්‌සේද නිර්භීතව අදහස්‌ ඉදිරිපත් කරමින් සිටියේය. ඒ සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා සැබෑ ලෙසම කටයුතු කරන බොහෝ දෙනෙක්‌ගේ ප්‍රසාදයද පළ වී තිබුණි. මේ නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පමණක්‌ නොව එම ජාවාරම්කරුවන්ගේ මුදල්වලින්ම යෑපෙන මත්ද්‍රව්‍ය නිවාරණයේ යෙදෙන ඇතැම් ආයතන සහ පුද්ගලයන්ද බලවත් ලෙස නොසන්සුන් වී සිටි බවද රහසක්‌ නොවේ. ඒ නිසා කිසිදු වරදක්‌ නොමැතිව එසේම හොඳින් වැඩ කරමින් සිටියදී ඔහුව ඉවත් කිරීමට ගත් උත්සාහය සහ ඒ පිටුපස සිටින බලවේග තේරුම් ගැනීම ද එතරම් අපහසු නොවේ.

    වෛද්‍ය නිලංග සභාපතිවරයාව සිටි මාස 10 ක පමණ කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලැබූවන්ට නාම යෝජනා ලබා නොදෙන ලෙස පක්‌ෂ ලේකම්වරුන්ට ඉල්ලීම් කිරීමෙන් පසු ඔහුගේ නිවස අසල නාඳුනන යතුරුපැදිකරුවකු දින කීපයක්‌ රැඳී සිටි බවටද ඔහු පොලිසියට පැමිණිලි කර තිබුණි.ඔහුව ඉවත් කරමින් නව සභාපතිවරයකු පත් කිරීමේ ලිපිය සම්බන්ධයෙන් ඒ අවස්‌ථාවේ වෛද්‍ය සමරසිංහ මාධ්‍යයට පවසා සිටියේ මෙවැනි අදහසකි .

    එනම් වෛද්‍ය නිලංග සමරසිංහ කියා සිටියේ තමා තනතුරෙන් ඉවත් කිරීමට දූෂණයක්‌, අක්‍රමිකතාවක්‌ හෝ වෙනත් චෝදනාවක්‌ එල්ල වී තිබුණේ නම් තමා ඉවත් කිරීම පිළිබඳව සිතා බැලිය හැකි බවත් එවැනි කිසිදු චෝදනාවක්‌ නොමැති තමා ඉවත් කිරීම සිතා ගැනීමට නොහැකි බවත්ය. එසේම නව සභාපතිවරයකු පත් කළ බවට යෑවූ ලිපියේ කිසියම් ව්‍යාජ බවක්‌ ද තිබිණි. එනම් එහි දාතම ලෙස සඳහන් වුයේ 2015.11.15 දිනයයි. එහෙත් එම දිනය ඒ වන විට උදා වී තිබුණේද නැත. දුම්වැටි කර්මාන්තය ලෝකයේ ප්‍රබලතම කර්මාන්තයකි. එසේම වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන්නේද ඉතා ධනවත් සහ බලවත් පුද්ගලයන්ය. ඔවුන්ගේ වැඩකටයුතුවලට වෛද්‍ය නිලංග විසින් දියත් කළ සහ ඉදිරියට දියත් කිරීමට සැලසුම් කළ වැඩසටහන් බාධාවක්‌ වෙමින් තිබුණු නිසා කෙසේ හෝ ඔහුව ඉවත් කිරීම ඇතැම් අයගේ අවශ්‍යතාව වී තිබෙන බව පෙනේ. මේ ජාවාරම් කරුවන්ට රජයේ ඉහළම දේශපාලන සම්බන්ධතා ද තිබේ. මේ පසුබිම තුළ ඔබව ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද යන ප්‍රශ්නය අපි වෛද්‍ය නිලංග සමරසිංහට කෙළින්ම ඉදිරිපත් කළෙමු. මේ ඊට ඔහු ලබා දුන් පිළිතුරයි.

    “දකුණු ආසියාවේ රටවල් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස්‌ ජාවාරම, මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කිරීම, ජෛව ජාවාරම ඇතුළු කරුණු රැසක්‌ සම්බන්ධයෙන් දකුණු ආසියානු බුද්ධි තොරතුරු ඒකකය පිහිටුවීමට අප කටයුතු කරමින් සිටින නිසා එය වැළැක්‌වීමේ අරමුණින් මාව ඉවත් කිරීමට උත්සාහ කළේ ද යන සැකයත් තිබෙනවා. මෙම තොරතුරු ඒකකය 2016 මාර්තු 01 වැනිදා ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කිරීමට ඒ වන විට එකඟතාව පළවී තිබුණා.”

    මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පෙනී සිටින ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විසින් තෝරාගත් පාසල් 30 ක පමණ සිසුන් සහභාගි කරවාගෙන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සිදුකරමින් ඒවා ඡායාරූපගත කර විදෙස්‌ රටවලට යවා මුදල් ලබා ගැනීම හැරෙන්නට වෙනත් කිසිදු නිවාරණයක්‌ සිදුකර නැහැ. මේ වන විට අන්තරායකර ඖෂධ පාලක ජාතික සභාව මගින් පාසල් 400 කට වැඩි ගණනක දරුවන් දැනුවත් කිරීමේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සිදුකර තිබෙනවා. ඒ නිසා ඇතැම් සංවිධාන මත්ද්‍රව්‍ය නිවාරණය මුවාවෙන් කරන බොරුව හෙළිදරව් වෙනවා. ඒ තුළින් ඇතැම් අයට ලැබෙන ඩොලර් අඩු වෙන්නත් ඇති. එසේම අපේ වැඩකටයුතු නිසා ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, එතනෝල් ව්‍යාපාරිකයන්, අරක්‌කු නිෂ්පාදකයන් සහ දුම්කොළ කර්මාන්තයේ අය පසුගිය කාලයේ අපේ තරහකාරයෝ වෙලා. ඒ අයට මාව ඉවත් කර ගැනීමේ අවශ්‍යතාවක්‌ ඇති.”

    පසුගිය නොවැම්බර් 11 වැනිදා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ‘දිවයින’ ට පවසා තිබුණේ ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය එන්ජීඕ තිප්පළක්‌ බවට පත්ව ඇති බවය. මෙය ඉතා බරපතළ ප්‍රකාශයකි. එම පුවතේ මෙසේද සඳහන් විය. එනම් ‘ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය පිහිටුවා රුපියල් ලක්‌ෂ තිහක්‌ පමණ වියදම් කර ගාල්ල සහ ජාඇල ප්‍රදේශවල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා පවත්වනු ලැබූවත් ඉන් නිසි ප්‍රයෝජනයක්‌ අත්වූවාදැයි සොයා බැලීමට නිලධාරීන් කටයුතු කළ යුතුයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කොපමණ උත්සාහ කළ ද මෙතෙක්‌ ඊට අවස්‌ථාව ලැබුණේ නෑ. මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා වට කිහිපයක්‌ පැවැත්වූවා. දැන් මාස කිහිපයක්‌ ගත වුවත් මෙතෙක්‌ කිසිම සාකච්ඡාවක්‌ පැවැත්වූයේ නෑ’ යනුවෙනි.

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

  3. Independent Says:

    Rather than worshipping පල් හොර දේසපාලුවන්, let us get together to expose all හොරකම්, මැරකම් , කූට ව්‍යාපාර​ , දෙමළ ජාතිවාදීන් ගේ කූට වැඩපිලිවල වල් and ජිහාඩ් කරුවන් ගේ හොර වැඩ ( මත් කුඩු ව්‍යාපාරය පසුපස ඉන්නේ මොවුන් ය​)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress