සීගිරිය පිදුරංගල රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කර යළි සසුනට පූජා කෙරේ
Posted on June 21st, 2026
මහින්ද උදයසිරි රත්නායක දඹුල්ල
ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, සීගිරිය බලකොටුවට උතුරු දෙසින් පිහිටි ඓතිහාසික, බෞද්ධ හා ස්වාභාවික සෞන්දර්යයෙන් අනූන පිදුරංගල රජමහා විහාරය නව ප්‍රතිසංස්කරණයන්ගෙන් අනතුරුව ඊයේ (20) දින සසුනට පූජා කරන ලදී.
දේශීය හා විදේශීය සංචාරකයන්ගේ සිත්ගන්නා සුලු ස්ථානයක් වන පිදුරංගල විහාරයේ පෞරාණිකත්වයට හානියක් නොවන සේ එහි දායක සභාව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබේ.
බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පුණ්‍ය මහෝත්සවයේදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් විහාරය පූජා කිරීමේ සන්නස් පත්‍රය විහාර බාරකාර ආචාර්ය දානියගම ආනන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත පිළිගන්වන ලදී. මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, භික්ෂූන් වහන්සේලාගේ දුෂ්කර ජීවිතය හා පන්සල රැකගැනීම වෙනුවෙන් වත්මන් සංඝරත්නය සිදු කරන කැපකිරීම් අගය කළ අතර, පෞරාණික විහාරස්ථාන රැකගැනීම සඳහා පවතින පැරණි නීතිරීති කඩිනමින් සංශෝධනය කරන බවද ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට සියම් මහා නිකායේ දඹුල්ල රාජමහාවිහාර පාර්ශවයේ අනුනායක, පිදුරංග විහාරයේ භාරකාර නායක හිමි ආචාර්ය දානියගම ආනන්ද නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ප්‍රාදේශීය මහා සංඝරත්නය වැඩම කර සිටි අතර, දානියගම ආනන්ද හිමියන් විසින් මෙහිදී විශේෂ අනුශාසනාවක් පවත්වන ලදී. පිදුරංගල විහාරයේ බාරකාර ලේකම් දඹුල්ලේ ධම්මරංසි හිමියන් සහ දායක සභාව එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මෙම ආගමික උත්සවය සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්වල මහතා, දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති තිලකරත්න මහතා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය සහ දඹුල්ල නගරාධිපතිවරයා සහභාගි වූහ.
එමෙන්ම, මධ්‍යම පළාත් පුරාවිද්‍යා කොමසාරිස්තුමා, දඹුල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය, දඹුල්ල පොලිස් අධිකාරීතුමා, සීගිරිය පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු නිලධාරීන් සහ ප්‍රදේශයේ දායක දායිකාවන් විශාල පිරිසක් ද මේ සඳහා එක්ව සිටියහ.
කාශ්‍යප රජු සීගිරිය සිය රාජධානිය කර ගැනීමට පෙර, එහි වැඩසිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වැඩසිටීම සඳහා පූජා කළ “පිදූ රන් ගල”, වත්මන් පිදුරංගල විහාරය ලෙස මෙලෙස නව මුහුණුවරකින් ( යළිත් සැදැහැවතුන්ගේ වන්දනාමානයට පහසුකම් සහිතව යලි විවෘත වී ඇත.