‘කම්‍ ඕ ගෝ චිකාගෝ’
Posted on November 20th, 2015

ධර්මන් වික‍්‍රමරත්න

තම දේවිය මුම්ටාස් මහල් සිහිවීම පිණිස ෂා-ජෙහාන් මෝගල් අධිරාජ්‍යයා ඉන්දියාවේ අග්‍රා නුවර ඉදිකරන ලද ටජ් මහල් කිරිගරුඩ මන්දිරය ලෝක පුදුම 7න් එකකි.  යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස 1983දී පිළිගත් ටජ් මහල නිමකිරීමට ෂා-ජෙහාන් රජුට වසර 22ක් ගතවිය. මුම්ටාස් යනු ෂා-ජෙහාන් රජුගේ බිරින්දෑවරුන් 7දෙනාගෙන් 4වැනියාය. මුම්ටාස් ලබාගැනීමට රජු ඇයගේ සැමියාද මරා දැමුවේලු. මුම්ටාස් දේවිය මරණයට පත්වූයේ 14වන දරුවාගේ උපතේදීය. මුම්ටාස් මියගිය පසු ෂා-ජෙහාන් රජු ඇයගේ නැඟනිය අවාහ කරගත්තේය. මෙය පට්ට ආදරයක්ලු.

ශ්‍රී ලංකාවේ වර්තමාන සභාග රජයේ දැන් අලියෝ ඉගිලෙති. හංසයෝ බඩගාති. කොටියෝ පිහිනති. සීනුව ලොක්වී ඇත. ගිනිසිළුව නීවී තිබේ. යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන් අය තක්කු මුක්කුවී සිටිති. ආණ්ඩුව කාගේද? මෛත්‍රීගේද? රනිල්ගේද? මේවා මතුපිට පෙනෙන දේය. රට වැසියන්ට පෙන්වන ප්‍රයෝගයන්ය. මතුපිට පෙනෙන දේ සත්‍ය නම් විද්‍යාවක්ද අවශ්‍ය නොවේ. දිළිසෙන සියල්ල රත්තරං නොවේ. එජාපයේ සහ ශ්‍රිලනිප මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමේ සුසංයෝගය මුම්ටාස් දේවිය සහ ෂා-ජෙහාන් අතර ඇතිවූ ආලය වාගේය. ෂා-ජෙහාන්ගෙන් පසු රජ‍වූ ඔහුගේ පුත් අවුරාංගා චෙබ් තාත්තා හිරකර තාත්තාගේ කැමැත්ත අනුව ඔහු මියගිය පසු මුම්ටාස් භූමදානය කල තැන තාත්තාද වැළලුවේය.

ශ්‍රිලනිප නායක මෛත්‍රීපාල ‍සිරිසේනට,  මහින්ද රාජපක්ෂ හැර ‘මට මුළු ලොවම ඔබ’ය. එජාප නායක රනිල් වික්‍රමසිංහගේ භාවිතය ‘සමනලයා මල හා ළමයා සේ’ය. ඇමති රාජිත සේනාරත්නට අනුව යහපාලනයට එක්වීම ‘නූඹ නාඩන් නුඹට ඕවා හොද පාඩම්’ය. සභාග ආණ්ඩුවට එක්වූ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ට අනුව ‘ඇමතිකම් දෙනවා නං ඇමති ස්ටාෆ්, වාහන දෙනවානං මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ’ යන්නය. ජවිපෙ සොයාගත් ‘අලුත් කලාව’ ඇවන්ගාඩ්ය. ඇමතිවරුන් පිරිසක් කෙළ ගන්නවාය. තවත් සමහරෙක් නා ගන්නවාය.

තිලක් මාර‍පන මෙන් ඇමතිකමෙන් කැපෙයි කියා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට මරබියක් නැතිසේය. ඇමති රවි සහ කබීර් එළිපිට ගැටේ. රාජ්‍ය ආයතන ගණනාවක් අවුලෙන් අවුලටය. ඇමති රාජිත සේනාරත්න කියන පරිදි කම්කරු හෝ පියන් රැකියාවක් සඳහාවත් සුදුසු නැති පුද්ගලයින් රැසක් දැන් කැබිනට් මණ්ඩලයේ සිටිති. ඉස්සර තුන කිවේ ලුණු, ඇඹුල්, මිරිස් වලටය. පහ කීවේ සූදුරු, මහදුරු, කහ, කොත්තමල්ලි සහ උළුහාල් වලටය. සියල්ල එක්වූවිට තුන පහය. දේශපාලනය දැන්  වැටී ඇත්තේ තුන පහ ලෙවල් එකටත් පහළිනි

මාදුළුවාවේ සෝභිත හිමිගෙන් පසු සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ නායකත්වය හිමිවූයේ ජවිපෙ අදිසි නායකයෙකු වන දඹර අමිල හිමියන්ටය. ඉදිරියේදි සාධාරණ සමාජයේ පෝස්ටර් ගමේ ගොඩේ ගස්වැල් සහ ගල්වලද ඇළවෙනු ඇත. සෝභිත හිමගේ මරණයෙන් පසු සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයට සිදුවූයේ අටුව කඩා පුටුව සෑදුවා වා‍ගේ වැඩක්ය. අනේ අපොයි කියන්නේ මේවාටය.

ලබන 2020 මහ මැතිවරණයේදී ශ්‍රිලනිප අගමැති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන යෝජනා වී ඇත. ලබන ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා වනු ඇත්තේ එජාපයේ රනිල් වික්‍රමසිංහය. දරුවන් මේවාගේ වැඩ හඳුන්වන්නේ සංගීත පුටු තරඟය කියාය. විධායකය අහෝසි කරන්නේ අද හෙට නොවේය. මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිධූර කාලය අවසන්වූ විටය. මීලඟට පත්වන ජනාධිපතිවරයා  එවිට නාමිකය. විධායක බලතල අගමැතිටය. ජනාධිපති ධූරයට යම් හෙයකින් 2020 රනිල් වික්‍රමසිංහ  පත්වූවහොත් සිදුවන්නේ වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා වගේ වැඩක්ය.

අයවැයෙන් යෝජනා කරනු ඇත්තේ උණු උණු බදු ක්‍රමයන්ය. පාරේ යන සියළු  වාහන වලින් වාර්ෂික මාර්ග බද්දක් අයකරගැනීමේ යෝජනාවකි. විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ ස්විස් බැංකුවල ඇති කළු සල්ලි සුදු කිරීමට විශේෂයෙන් ආරාධනය කරන්නේ ඩයස්පෝරාවටය. ඒ හරහා කොටස් වෙළෙඳපොල අත්පත් කර ගනිමින් ලංකාවේ ආර්ථිකය හැසිරවීමට අවස්ථාව ලැබේ. ජාතික උරුමයන් වූ ගාලු කොටුවේ පෙඩ්රල් වීදියේ වසර 100කට වඩා පැරණි පුරාවිද්‍යාත්මක ස්මාරක ලෙස සැලකෙන ගොඩනැගිලි දෙකක් සහිත ඉඩමක් ගාලු නගර සභාව මගින් බදුදී රුපියල් දශලක්ෂ 43ක් ලබාගෙන ඇත. ජාතික උරුමයන්ද විකුණාගෙන කෑමේ ව්‍යාපෘතියේ එක් ඇරඹුමක් ලෙස එය සැලකේ. සීපා ගිවිසුම ලඟ ලඟමය. ෆීජි රටට අත්වූ ඉරණමට සූදානම් විය යුතුය. බැංකු, රක්ෂණ, ගුවන්සේවා  සියල්ලම පෞද්ගලීකරණයට ලක්වීමේ අනතුරක් ඇත.

එළවළු මිල නඟින්නේ නහුතෙටය. කාලා හමාරය. වෙළෙඳපොලට අපමණ අගයකි. හාල්මැස්සෝ ග්‍රෑම් 250 රුපියල් 280කි. අමු මිරිස් ග්‍රෑම් 100 රුපියල් 120කි. අත්‍යවශ භාණ්ඩ 6ක උපරිම සිල්ලර මිල නියම කලද සතොසේ හෝ එම සහනය නැත.   බෝංචි, කැරට්, වට්ටක්කා, තක්කාලි  සහ ගෝවා ඇතුළු සියළුම එළවළු මිල ගණන් හැටට හැටේ නැඟ ඇත.

රටපුරාම සටන් ගොඩකි. බස්නාහිර මහඇමති ගුරු ප්‍රශ්න ගුරුවරියන්ගේ බුරිය සාරියෙන් වසා ප්‍රශ්න යටපත් කරන්නට හදනවාක් මෙන් ආණ්ඩුව අතීසාරයට අඹුඩ ගසා මේවා යටපත් කිරීමෙන් වැඩක් නැත. විසඳුන් දිය යුතුය. මාලඹේ උපාධි කඩය ඇතුළු අධ්‍යාපනය විකිණීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙන් නොවැම්බර් 23 සිට 27 දක්වා නුවර සිට කොළඹට දැවැන්ත පා ගමනකි. රැකියා විරහිත උපාධිධාරිහු සතිපතා විරෝධතාවයන්ය. ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ් අරමුදලේ බිලියන 1,400 මුදල නිසි කළමණාකරණයක්යැයි කියමින් ඉදිරිපත් කර ඇති අමුතු යෝජනාව ඒවායේ මුදල් යටිමඩි ගැසීමේ වැඩපිළිවෙලක් බවට චෝදනාවකි. රාජ්‍ය ආයතන 26ක් විකිණීමට අර අදිනු ලබයි. ආණ්ඩුවේ මධ්‍ය කාලීන අර්ථ ක්‍රමය රටට ගැලපෙන්නේ නැත. මෙහෙම ගියොත් රට ඉවර බව කියන්නේ වෙනින් කවුරුත් නොව රතු අලි පැටව්ය.

රුපියල් දසලක්ෂ 800 මුදලක් ඉතිරිකර ගැනීමට හැකිබව කියමින් පාසැල් නිලඇදුම් රෙදි වෙනුවට රෙදි ලබාගැනීමට වව්චර් පතක් දීම බොලඳ වැඩකි. එමගින් රැකියා 3,000ක් සහ රුපියල් දසලක්ෂ 1,100ක විදේශ විනිමයක් රටට අහිමිවේ. ඉකුත් වසරේ නිල ඇදුම් සඳහා වැයවූ සමස්ත වියදම රුපියල් දසලක්ෂ 1,800කි. දේශීය නිෂ්පාදකයින් විසින්ම ඉන් අඩක් ඉටුකරන හෙයින් රුපියල් දසලක්ෂ 1,100ක් රට තුළම රැදුණේය. එතරට ඇදී ගියේ නූල් සහ සායම් ලබාගැනීමට රුපියල් දසලක්ෂ 800කි. රටේ පිළිගත් ප්‍රතිපත්ති අනුව දේශීය නිෂ්පාදකයා දිරි ගැන්විය යුතුය.

මෑන් පවර් තාවකාලික, අනියම් ආදී සේවකයින්ට බැංකුවක සේවකයෙකු ලෙස හිමිවිය යුතු බවට නැගෙනහිර පළාත්බද මහාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර ඉකුත් සැප්තැම්බර් 22වැනිදා තහවුරු කළේය. එහෙත් රජය තවම මෑන් පවර් සේවකයෝ ස්ථීර කර නැත. ඔවුහු අරගල කරති. එමෙන්ම ජීවන වියදම් දීමනාව සේවක අයිතියක් බවට කොළඹ දිසා අධිකරණය ඉකුත් සැප්තැම්බර් 29වැනිදා තීරණාත්මක නඩු තීන්දුවක් දුන්නේය. පෞද්ගලික අංශයේ සේවකයින්ට ජීවන වියදම ඔවුන්ගේ අයිතියක් බව එම නඩු තීන්දුවෙන් තහවුරු විය. ‘යහපාලන’ ආණ්ඩුවක් පත්වූ බව කීවද තවමත් නීතිය යනු පාලකයාගේ කැමැත්ත බවට ඇති ප්‍රකාශයේ වෙනසක් සිදුවී නොමැත.

කුමාර් ගුණරත්නම්ගේ පුරවැසි අයිතිය වෙනුවෙන් ගෙන ගිය අඛණ්ඩ උද්ඝෝෂණය හමුවේ ඔහු පිටුවහල් නොකරන බවට විදේශ ඇමති මංගල සමරවීර කියා සිටියේය. ඒ අතරතුර විදේශ පුරවැසිභාවය හිමිවූ ශ්‍රී ලංකිකයින් 2,000කට පමණ ඉකුත් සතියේ ද්විත්ව පුරවැසිභාවය ජනාධිපති සහ අගමැති සුරතින් පිරිනැමුවේ උත්සවශ්‍රීයෙනි. පොදු සමාව යටතේ යැයි කියමින් දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදින් ගෙන් පිරිසක්ද නිදහස් කළේ ජාත්‍යන්තරය සතුටුකරවන අයුරෙනි. දෙමළ බෙදුම්වාදී දේශපාලන පදයට නටමින් රජය තවදුරටත් මේ අන්දමින් ගණුදෙනු කලහොත් අහිගුණ්ථිකයා නොමැතිව තනිවම නටන්න ගිය නයාට වූ දෙය නුදුරේදීම සිදුවනු ඇත.

ආණ්ඩුව දැනගත යුතු වන්නේ ‘යහපාලනය’ යන වචනය වැඩි වැඩියෙන් ප්‍රකාශ කල පමණින් යහපාලනයක් ඇති නොවන බවය. දැන් ‘යහපාලනය’ යනු පොදුජනයා අතර ජයප්‍රිය වෙමින් පවතින විහිළුවකි. යහපාලනවාදීන්ගේ මනසේ රජයන විප්ලවීය ආකෘතියත්, සැබෑ දේශපාලන සිදුවීම් අතරත් නොගැලපීම් දිනෙන් දින තහවුරු වෙමින් පවතී. පරණ දේශපාලන සංස්කෘතිය සහ මර්ධන යන්ත්‍රය එදා මෙන්ම අදද හිස ඔසවමින් පවති. අලුත් රටක් පිළිබදව ජනයා දුටු සිහිනයන් ක්‍රමයෙන් ක්ෂය වෙමින් පවතී. එය ඉදිරි දේශපාලන අනතුරක සේයාවක් බව නම් ‍නොකියා බැරිය. බලය අතට ගෙන දහඅට වන්නම නැටුවද ලෝකෙට පරකාසේය. ගෙදරට මරගාතේය.

ධර්මන් වික්‍රමරත්න 

ejournalists@gmail.com

3 Responses to “‘කම්‍ ඕ ගෝ චිකාගෝ’”

  1. Hiranthe Says:

    Classic work Dharman!!

    “අහිගුණ්ථිකයා නොමැතිව තනිවම නටන්න ගිය නයාට වූ දෙය නුදුරේදීම සිදුවනු ඇත”

    I am waiting to see that day, before it is too late!!

    It is RAW who drives them. RAW do not bother about general public.

    Now they will finish the big deals as Samantha Power is in SL.

    Once the deals are done, the big powers will ditch these traitors…

    Then, it will happen… they will start their own dance!!

    “අහිගුණ්ථිකයා නොමැතිව තනිවම නටන්න ගිය නයාට වූ දෙය නුදුරේදීම සිදුවනු ඇත”

  2. Independent Says:

    කුමාර් ගුණරත්නම් ශ්‍රී ලාංකිකයෙකි.
    නොයල් මුදලිගේ ඕස්ට්‍රේලියානුවෙකි

  3. Independent Says:

    ගෝඨාභයට එරෙහිව පෙරටුගාමීන්ගෙන් පැමිණිල්ලක්

    11 November 2015 /

    පුවත්

    පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දිමුතු ආටිගල මහත්මිය සහ කුමාර් ගුනරත්නම් මහතා 2012 අප්‍රේල් මාසයේදී පැහැරගැනීම සිද්ධිය සම්බන්ධයෙන් සත්හඬ පුවත් පතට සිදු කළ ප්‍රසිද්ධ ප්‍රකාශය සමග රාජපක්ෂ ආණ්ඩුවේ නිල ආරක්ෂක සේවාවලින් එම පැහැරගැනීම සිදුකර ඇති බව සනාථ බව පවසමින් අද(11)පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පොලිස් මූලස්ථානයේ පැමිනිල්ලක් සටහන් කරන ලදී.

    එම පැහැරගැනීමේ සිදුවීමේ වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන ලෙස හා රාජපක්ෂ පාලන සමයේ එවැනි ඉරණමකට ගොදුරුවූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල සිදුකර ඇති බව පැවසේ.

    මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජිකයන් වන චමීර කොස්වත්ත සහ දුමින්ද නාගමුව යන මහත්වරුන් සහභාගී වී සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress