සෙන්දුරන්ගේ මරණය උත්කර්ෂයට පත් නොකරන්න
Posted on December 9th, 2015

වෛද් රුවන් එම් ජයතුංග 

යාපනයේ කෝපායි උතුරට අයත් කොකුවිල් ප‍්‍රදේශයේ ජීවත්වූ 18 හැවිරිදි රාජේස්වරන් සෙන්දුරන් නම් ශිෂ්‍යයා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමින් නොවැම්බර් විසිහයවැනිදා කොන්ඩාවිල් දුම්රිය ස්ථානය අසල කන්කසන්තුරයි සිට යාපනය බලා ධාවනය වෙමින් තිබුණු දුම්රියට පැන සිය දිවි හානි කර ගත්තේය​. අභාග්‍යකට මෙන් සෙන්දුරන්ගේ මරණය මේ වන විට උතුරේ දේශපාලකයන් උත්කර්ෂයට පත් කරගනිමින් සිටිති. ළමා සොල්දාදුවන් බිහි කරමින් දමිළ සමාජයේ මහා සංස්කෘතික ව්‍යසනයක් ඇති කල  කාලය යළි පුනරුක්තියේ යොදවමින් නොමේරූ තරුණයන් ගේ ජීවිත සමග සෙල්ලම් කරන කැත සෙල්ලම යළිත් වරක් ආරම්භ කිරීමට ඇතැමෙකු වෙර දැරීම පිලිකුල් සහගතය​.

senduran

සෙන්දුරන්  උපත ලබන්නේ 1997 කෝපායිහිදීය. සෙන්දුරන්ගේ පියා තමන්ගේ ඉඩමක කෙසෙල් සහ එළවළු වගා කරන ඉතා දිළිඳු ගොවියෙකි. ඊලාම් යුද්ධය අවසන් වූ 2009 කාලයේ සෙන්දුරන් වයස අවුරුදු දොළහක ළමයෙකි. සෙන්දුරන්ගේ කිසිදු ඥාතියෙකු දේශපාලන සිරකරුවෙකු ලෙස සිටින බවක් වාර්තා වී නොමැත. එහෙත් ජීවිතය මරණින් කෙලවර කර ගැනීමට අවශ්‍ය කෙරන නිර්දය විනාශකාරී අදහස ඔහු තුල හට ගත්තේ කෙසේද ?

කුඩා කාලයේ සිට සෙන්දුරන්  හැදී වැඩෙන්නේ උතුරුකර යුද්දයත් සමගිනි. දරිද්‍රතාව , සමාජ ව්‍යාකුලභාවය , අවතැන්වීම් , යුද ආතතිය වැනි අභාවවාචකයන් සමග හැදී වැඩෙන දරුවෙකුගේ මනස ප්‍රකෘතිමත් නොමැත​. ඔවුන් බොහෝ විට දුස්සාධ්‍ය විශාදය මෙන්ම ප්ශ්චාත් ක්ලමථ ලක්‍ෂණයන් ගෙන් පෙලෙති. මෙවැනි අපරිණත හා මානසික ව්‍යාධියන් ගෙන් පෙලෙන කොටස් පරිචාරණය කිරීම ඉතා පහසුය​.   මේ කොටස් මගින් ළමා සොල්දාදුවන් බිහි කරවා ගැනීම මෙන්ම  ඔවුන් ගේ මරණ ආශය සක්‍රිය කොට ඔවුන් දේශපාලන අරමුණු වෙනුවෙන් දිවි නසා ගැනීමට , මරාගෙන මැරීමට යොමු කරවිය හැක. සෙන්දුරන් ගේ දිවි නසා ගැනීම සාකච්ඡා කළ යුත්තේ මේ කරුණුද අවධානයට යොමු කර ගනිමිනි​. මෙම කරුණු බැහැර කොට එය ජීවිත පරිත්‍යාගයකට හෝ වීරත්වයකට ආදේශ කරන්නා අන්තවාදියෙකු මෙන්ම ආත්ම වංචනිකයෙකුද වේ.

යාපනයේ සෙන්දුරන් දිවි නසා ගත්තද දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමින් එංගලන්තය , කැනඩාව , ඇමරිකාව ඕස්ටෙ‍්‍රලියාව වැනි  සංවර්ධිත බටහිර රට වල ජීවත් වෙන සෙන්දුරන් ගේ වයසේ ද්‍රවිඩ  ගැටවරයන් දිවි නසා ගන්නේ නැත​. ඔවුන් සැප සම්පත් මත ජීවිතය විඳිති.  නමුත් යාපනයේ සෙන්දුරන්ලාට  ජීවිතය විඳීමට තවමත් ඉඩක් නොමැත.  ළමා සොල්දාදුවන් බිහි කරන ලද විනාශකාරී බලවේග තවමත් ඔවුන් අතර සැරිසරති. එම බලවේග සෙන්දුරන්ලා මරණයට පොලඹවා ගනිමින් ආත්ම ඝාතනය උත්කර්‍ෂයට පත් කරවති. රාජිනී තිරණාගම වැනි සමාජ ක්‍රියාධාරිනියන් එදා මරණය වන්දනා කරවන  මෙවැනි දුර්භාග්‍ය  දේශපාලන කල්ට් ප්‍රතික්ශේප කලේ ඉන් දමිළ ජනතාවට සිදු වන සෙතක් නොමැති බව තේරුම්ගෙනය. එය උතුරේ ඇතැම් දේශපාලනඥයන් වටහාගෙන නොතිබීම ඛේදයකි.

වෛද් රුවන් එම් ජයතුංග 

One Response to “සෙන්දුරන්ගේ මරණය උත්කර්ෂයට පත් නොකරන්න”

  1. Nanda Says:

    මේ සිද්ධිය සම්බන්ධව ඉතාම මෝඩ අයුරින් දෙමළාගේ ප්‍රශ්නය දෙමළාටම​ විසඳීමට ඉඩහැර නිහඬව සිටින් රජයේ ප්‍රතිපත්තිය වෙනස් කල යුතුය​.
    සියලුම දෙමල පාසැල්වල යථාර්තය ඉගැන්වීම් කාර්යක්‍ෂමව වහාම ආරඹ්හ කල යුතුය​.
    මෙය දෙමලාගෙ ප්‍රශ්නයක් නොව මුලු රටේම , විශේෂයෙන්ම ආණ් ඩුවේ පරම යුතුකමකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress