ලෝක උරුම සිංහරාජයට අයත් දෙල්ලව වැසිවනාන්තරයත් වනසා ජලවිදුලි බලාගාරයක් ඉදිකරයි
Posted on January 19th, 2016

පේශල පසන් කරුණාරත්න වැසිවනාන්තර සුරකින්නන්ගේ සාමජික

නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගිං ගඟෙහි අතු ගංගාවක් වන ආඳා දොල පෞද්ගලික කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීම් ව්‍යාපෘතියේ නවතම ගොදුර බවට පත්වී තිබේ. මෙහි හරස් බැම්ම (weir) හා කොන්ක්‍රීට් අනුමඟෙහි (penstock) කිලෝමීටර 2.5 ක විශාල කොටසක් පාරිසරකව සිංහරාජ වනාන්තර සංකීර්ණයට අයත් දෙල්ලව වැසිවනාන්තරය තුල ඉදිකෙරෙමින් පවතී. රක්ෂිත වැසිවනාන්තරයක් තුල පරිසර නීතිරීති උල්ලංඝනය කරමින් සිදුවන මෙම ව්‍යාපෘතිය නිසා ප්‍රදේශයේ පරිසරයට බලවත් හානියක් සිදුවී ඇත. මෙම බැම්ම නිසා ආඳා දොලෙහි කිලෝමිටර් 6.5 ක දිගැති ප්‍රමාණයක් සම්පූර්ණයෙන් සිඳී යාමට නියමිත අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස ආඳා දොලෙහි වෙසෙන ශ්‍රීලංකාවට ආවේනික පතිරණ සාලයා (Devario pathirana) හා මල්පුලුට්ටා (Malpulutta kretseri) වැනි ඉතා දුර්ලභ මත්ස්‍ය විශේෂයන් ප්‍රදේශයෙන් සදහටම වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත.

sinharaja05

මෙහි ඉදිකිරීම කටයුතුවලදී රක්ෂිත ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ආවේනික ඉතා දුර්ලභ හොර (Dipterocarpus zeylanicus), තිනිය දුන් (Shorea trapezifolia), යකහලු (Shorea dyeri) වැනි වටිනා දැවැන්ත වැසිවනාන්තර ශාඛ රැසක් කපා ඉවත් කර ඇත. IUCN රතු දත්ත පොතට අනුව මෙම ශ්‍රීලංකාවට ආවේනික දුර්ලභ ශාඛ ලෝකයෙන් තුරන් වීමට බොහෝ සෙයින් ඉඩ තිබේ. දැවැන්ත ශාඛ කපා ඉවත් කිරීම හා කැණීම් කටයුතු නිසා මෙම ඉදිකිරීම් කෙරෙන ප්‍රදේශයේ පාංශු ඛාදනය හා නාය‍යෑම් දැනටමත් සිදුවී ඇති බව පැහැදිලිය. මීට අමතරව ජලය ගෙන යාම සඳහා ප්‍රදේශයේ කන්දක් හරහා ගැඹුරු කාණුවක් ලෙස පස් කපා ඉවත් කිරීම හේතුවෙන් කන්දේ අස්ථාවර තත්වයක් ඇතිවී ඇති අතර නොබෝ දිනකින් විශාල න්‍යායයාමක් සිදුවීමට ඉඩ තිබේ.

sinharaja06

මෙම ව්‍යාපෘතිය මගින් උත්පාදනය කිරීමට නියමිත විදුලිය මෙගාවොට් 0.77 ක් පමණ සුළු ප්‍රමාණයක් වන නමුත් ඉන් සදාකාලිකව පරිසරයට වන හානිය මිල කල නොහැකිය. මින් රක්ෂිත වැසිවනාන්තරය හා භූගත ජල පද්ධතියට වන හානිය නිසා ඉතා කෙටි වියලි කාලයකදි වුවත් ආඳා දොල සම්පුර්ණයෙන් හිඳී යාමට හැකි බව ප්‍රදේශ වාසීන්ගේ මතයයි. එවැනි තත්වයකදී ආඳා දොලෙහි ජලය මත යැපෙන ප්‍රදේශවාසීන්ට ඉතා අසීරු ගැටළු රැසකට මුහුණ පෑමට සිදුවන අතර විදුලිය උත්පාදනයද අත්හිටුවීමට සිදුවනු ඇත. රක්ෂිත වැසිවනාන්තර විනාශ කර පෞද්ගලික කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමට ශ්‍රීලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය එකතුව අනුබල දී ඇත්දැයි ගැටලු සහගතය. සූර්ය, කසළ හා සුළං යන මූලාශ්‍රයන් මගින් පරිසර හිතකාමීව බලශක්තිය නිපදවීම සඳහා අවධානය යොමුකර ශ්‍රීලංකාවේ තෙත් කලාපයේ දිය ඇලි, ගංගා, දොල හා වැසිවනාන්තර විනාශ කරමින් සිදු කෙරෙන මෙවැනි කුඩා ජල විදුලි ව්‍යාපෘති වගකිව යුතු බලධාරීන් විසින් වහා අත්හිටවිය යුතුය. මේ පිළිබඳ සියලු බලධාරීන්ගෙන් අවධානය යොමු වී සිදුවන විනාශය සියලු බලය යොදා වහාම නවත්වන යැයි වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය  (http://www.RainforestProtectors.org) වන අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

sinharaja04

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress