සුද්දාගේ දෙවන නාඩගම කණපිට හරවන්න අපි ලෑස්තියි.. – අල් හුසේන්ගේ දොරකඩ වටලා විමල් අභියෝග කරයි..
Posted on February 7th, 2016

lanka C news

 ඊයේ(06) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ පැමිණීමට එරෙහිව ලිප්ටන් වටරවුමේ සිට එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය දක්වා පක්‍ෂ සාමාජිකයින් සමග දැවැන්ත පා ගමනකින් පැමිණි විමල් වීරවංශ මහතා එම කාර්යාලය ඉදිරිපිටදී මෙසේ අවධාරණයකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘අපි එක්සත් ජාතීන්ගේ කොළඹ මූලස්ථාන කාර්යාලය ඉදිරි පිටට අවේ, ගෙවී ගිය කාලය පුරා මේ රට බේරාගත්තු රණවිරුවන්ට අවලාද නගපු, උතුරේ අවසන් යුද්ධයේදී අපේ රණවිරුවන් විසින් දෙමළ සිවිල් වැසියන් 40,000ක් මරා දැමූ බවට බොරු චෝදනා නගපු, දෙමළ ජාතිවාදී බෙදුම්වාදයේ සරණ ගිය, ඔවුන්ගේ පරමාර්ථ, අරමුණු ඉටු කරන්න කැපවෙන අද ලංකාවට පැමිණි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරයාට අපේ විරෝධය පළ කරන්න.

‘සුද්දන්ගේ උසාවි එපා!’

සුද්දාගේ දෙවන නාඩගම කණපිට හරවන්න අපි ලෑස්තියි.. – අල් හුසේන්ගේ දොරකඩ වටලා විමල් අභියෝග කරයි..

මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පාලන කාලය තුළ එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස් නිලය දරන්නන් ලංකාවට එන්න ඇහුවා. යුද්ධයේ අන්තිම තීරණාත්මක සතියේදී මානව හිමිකම් කවුන්සිලයේ කාර්යාලයක් ලංකාව තුළ පිහිටුවන්නට උත්සාහ කළා. ‘යුද්ධය නතර කරන්න’ කියලා කරන්න පුළුවන් ජඩකම්, බලූකම් සියල්ල කළා. එහෙම කරලාත් බටහිර බලවතුන්ට යුද්ධය අතරමග නතර කරලා. තමන්ගේ කොටි සුරතලූන් රැකගන්න බැරිවුණා. ඒ නිසා ඔවුන්ට උවමනායි ‘සාමය දිනා දීපු, යුද්ධ කරලා සමගි සම්පන්න කරපු මේ මාතෘභූමිය නැවත බෙදන්න. ඒ වගේම රණවිරුවන්ගෙන් තම කොටි සුරතලූන් පැරද වූ පලිය ගන්න. ඒකට තමයි බටහිර බලවතුන්ගේ නියෝජිතයා වන සෙයිඩ් අල් හුසේන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවන මුවාවෙන් අද මේ රටට එන්නේ. අපේ රටේ නීති පද්ධතියක් තිබෙනවා. ඒ නිසා රණවිරුවන් වරදක් කරලා තියෙනවා නම් ඒ නීතිය අනුව, නඩු අහන්න පුළුවන්. ඒකට සුද්දන්ගේ උසාවි ඕනේ නැහැ. සුදු විනිසුරුවන්, අභිචෝදකයන්, නීතිඥයන්, පරීක්‍ෂකයන් සහිත, සුද්දන්ට ඕනේ විදිහට නඩු අහන, සුද්දන්ගේ උසාවි මේ රටේ පිහිටුවන්න ඉඩ දෙන්න බැහැ.

අද මේ අය සුද්දන්ගේ උසාවියක් හදලා අහන්න හදන නඩුව කුමක්ද? ‘රණවිරුවන් යුද අපරාධ කළාද?’ කියන නඩුවයි අහන්න හදන්නේ. එහෙම නඩුවක් අහන්න අපේ රණවිරුවන් කරපු අපරාධය කුමක්ද? බටහිර බලවතුන්ගේ ඇස් විමතියට පත්කරලා, ‘දිනන්න බැහැ’ කියලා කියපු යුද්ධය දිනලා පෙන්නපු එකයි ඔවුන් කරපු අපරාධය. එවැනි විජයග‍්‍රහණයක් දිනාදුන්නු විරුවන් පිරිසක් බිලි ගන්න අපි ඉඩ තියන්නේ නැහැ.

‘ඔබාමාගෙන් අහලා උත්තර අරන් එන්න’

එදා ත‍්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්‍ෂක බලකාය ජීවිත පරිත්‍යාගයෙන් කැප වුණේ යුද්ධය දිනලා වසර 6ක් යනවිට ඔවුන්ට දඩුවම් දෙන්න යුද අපරාධ අධිකරණ අටවන්න නොවෙයි. අපි කියනවා අල් හුසේන් මහත්තයෝ ‘මේක මැදපෙරදිග ෂරියා නීතිය ක‍්‍රියාත්මක වන රටක් නොවෙයි. මානව හිමිකම් උල්ලංඝනය වන හැටි හොයන්න ඕනෑ නම් පටන් ගන්න ඕනෙ තමුන්නාන්සේගේ රටින්. ඒ විතරක් නොවෙයි ලිබියාවට, ඉරාකයට යන්න. තමුන්නාන්සේගේ ගජමිතුරු බටහිර බලවතුන් අද මුළු ලෝකයම දඩබිමක් කරගෙන මිනිස්සු මරණවා. ඔයා ඒවා ගැන ඇස් අරලා බලන්නේ නැති මානව හිමිකම් කොමසාරිස්. මේ රට දරණුතම ත‍්‍රස්තවාදයක් පරදවලා, යුද්ධයක් දිනපු රටක්. අපෙන් යුද්ධය හරියට කළාද කියලා අහන්න එන්න එපා! ගිහිල්ලා අහපන් හුසේන් මහත්තයෝ ඔබාමාගෙන්,’ ලිබියාවේ, ඉරාකයේ යුද්ධය කළේ හරියටද?’ කියලා. එහෙම උත්තර අරගෙන මේ රටට එන්න’ කියලා

ඒ විතරක් නොවෙයි එක්සත් ජාතීන්ගේ කමිටුවකින් නියෝග කරලා තියෙනවා, ‘විකිලීක්ස් වෙබ් අඩවියේ ජුලියන් අසාන්ජේ මාධ්‍යවේදියාට එල්ල කරලා තියෙන චෝදනා සාධාරණ නැහැ. ඔහුව නිදහස් කරන්න’ කියලා. නමුත් ඔහු බි‍්‍රතාන්‍යයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයට වෙලා වසර ගණනක් ඉන්නවා. බි‍්‍රතාන්‍යය සහ බටහිර රටවල් ඒ කියන දේවල් අහනවාද? ඇයි හුසේන් මහත්තයෝ ඒවා ගැන ප‍්‍රශ්න කරන්නේ නැත්තේ., ‘කටේ පිට්ටුද?’ ඔයාගේ කට ඇරෙන්නේ ලංකාව ගැන කතා කරන්න විතරද?

මේ රටේ නිදහස් දිනය සමරලා දින 2න් ඔන්න එනවා සෙයිඩ් අල් හුසේන්, යටත් විජිත ලේකම් කාර්යාලය මෙහි පිහිටුවන්න, අපේ රණවිරුවෝ දිනා දීපු ජයග‍්‍රහණ උදුරා ගන්න. සිරිසේන-වික‍්‍රමසිංහ දෙබෑයන්ට අපි කියනවා, ‘මහත්වරුනි, සෙයිඩ් අල් හුසේන්ලාට ඕනෑ විදියට මේ මාතෘභූමිය දෙපලූ කරන්න, බෙදුම්වාදීන්ට කත් අදින්න ඔයාලා මොන නෙයියාඩගම නැටුවත්, රණවිරුවන් දංගෙඩියට දක්කන යුද අපරාධ අධිකරණ පිහිටුවන්න අපි ඉඩ තියන්නේ නැහැ. එකා මත්තේ එකා මලත් ජාතියේ සාමුහික හෘදසාක්‍ෂියට පණ තියෙන තුරු අපි සටන් වදිනවා, ජාතියේ සූජාත දූ පුතුන් විදිහට’ කියලා.

‘වෙනම ජාතික කොඩි දෙකක්…’

ලංකා ඉතිහාසයේ මුල් වතාවට සිරිසේන – වික‍්‍රමසිංහ දෙබෑයෝ නිදහස් දින උළෙලේදී අලූත් ජාතික ගීයක් ගයනා කෙරෙව්වා. මුලින්ම ජාතික ගී දෙකකින් පටන් ගන්නවා. ඊළ`ගට ඕනෑ වෙනම ජාතික කොඩි දෙකක්, එතැනින් තමයි මේක කෙළවර වෙන්නේ. ජාතික සංහිදියාව ඇති කරන්න බැහැ, අන්තවාදය පෝෂණය කරලා, බෙදුම්වාදය පිනවලා. බටහිර පදයට නටන මේ රූකඩ ආණ්ඩුව ජිනීවාවලදී එක්සත් ජනපද යෝජනාවට එකග වෙලා ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ අධිකරණයක් පිහිටුවන බවට අල් හුසේන්ගේ ‘ඔළුවේ අත තියලා’ දිවුරලා පොරොන්දු වුණා.

‘සිරිසේන – වික‍්‍රමසිංහ දෙබෑයෝ මත දෙකක?’

පසුගිය දිනවල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා, ‘යුද අපරාධ අධිකරණයට විදේශ විනිසුරන් ගෙනෙන එකට අපි එකග නැහැ’ කියලා. ඊට පස්සේ ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කියනවා ‘ජනාධිපති කියන ඒවා ගණන් ගන්න ඕන නැහැ. ලංකාව ජිනීවාවලදී එකග වුණු විදිහට වැඩේ හරියට සිද්ධ වෙන්න ඕනෑ. අපි සියල්ල විමසිල්ලෙන් බලන් ඉන්නවා. කියලා. රනිල් වික‍්‍රමසිංහ කියන්නේ ‘ජිනීවාවලදී එකග වුණු විදිහට වැඩේ හරියට කෙරෙනවා’ කියලා. අගමැති එක මතයක. ජනාධිපති තවත් මතයක. මෙතැන රාජ්‍යතාන්ත‍්‍රික වියවුලක් ඇති වෙලා නැද්ද? එතකොට මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා ජිනීවාවලදී තීරණ ගත්තේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් අහන්නේ නැතිවද? එහෙනම් මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා‘මොකුත් නොදන්න ජනාධිපතිද?’ මොකුත් නොදන්න ජනාධිපති කෙනෙක්ගෙන් රටකට වැඩක් තියෙනවාද?

‘ඔය සෙල්ලම අපි නතර කරනවා’

අපි අද තීන්දු කරන්න ඕනේ ‘මොන බලවේග මේ සටන පාවාදුන්නත් ජාතිය දිනාගත්තු ජයග‍්‍රහණ බිලිගන්න, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ රූකඩ මානව හිමිකම් කොමසාරිස්ට ඉඩ දෙන්න බැහැ. ජිනීවාවලදී ඒ මානව හිමිකම් කොමසාරිස්ගේ දෙපතුල ලෙවකාපු සිරිසේන-වික‍්‍රමසිංහ දෙබෑයන්ගේ ආණ්ඩුවට වැඩිකල් යන්න දෙන්නේ නැහැ.’ කියලා. අපි කියනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහත්වරුන්ට ‘නුඹලා දරුස්මාන් වාර්තාවක් එළියට දාලා වැඬේ පටන් ගන්න කොට අපි දැන ගත්තා ඒක අවසන් වෙන්නේ ඊනියා යුද අපරාධ පිළිබඳව සොයන අධිකරණ යාන්ත‍්‍රණයකින් කියලා. සුඩානයේදී, ක්‍රොඒෂියාවේදී ඔහේලාගේ ‘සෙල්ලම්’ හරියන්න ඇති. අද ලෝකයේ ඔහේලාගේ සෙල්ලම් හරියන රටවල් ගොඩක් ඇති. නමුත් මේ ලංකාවේ ඔහේලාගේ සෙල්ලම නතර කරන්න, අනෙක් පැත්ත හරවන්න අපි කටයුතු කරනවා’ කියලා. සටන්විරාම ගිවිසුම ගහගෙන රට බෙදන්න ආපු ගමන අනෙක් පැත්ත හරවන්න පුළුවන් වුණු අපට, සුද්දාගේ මේ දෙවන නාගඩමත් අනෙක් පැත්ත හරවන්න නියත වශයෙන්ම පුළුවන්.

කවර දේශපාලන බලවේග නිදිකිරා වැටුණත් මේ රටේ ජාතිකවාදී බලවේගවලට අයිතියක් නැහැ නිදි කිරා වැටෙන්න. ‘මාතෘභූමිය දිනාගත්තු නිදහස අමු අමුවේ මරාගෙන කන්න හදන වෙලාවේ, රට බේරාගත්තු සේනාධිනායකයාගෙන් පන්න පන්නා පළි ගන්න වෙලාවේ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂලා අත්අඩංගුවට ගන්න වලිකන මේ වෙලාවේ, කොටි නායකයන්ට තිබෙන රතු නිවේදන ඉවත්කර ගන්න මේ වෙලාවේ, ජාතිය නැවත වතාවක් පාවා දෙමින් තිබෙන මේ වෙලාවේ ලක් මාතාවට ආදරය කරන සූජාත දූ දරුවනි, ඊට එරෙහිව පෙරමුණ ගන්න, රොද බැඳ ගන්න’ කියලා අපි ආයාචනය කරනවා.

‘මේ දේශද්‍රෝහී කැනහිලූන්ගේ ආණ්ඩුව ගෙදර යවලා මේ මානව හිමිකම් කොමසාරිස්ලාගේ ක‍්‍රියාදාමය ආපසු හරවන්න සටන් වදින්න’ කියලා ඉල්ලමින් මම නතර වෙනවා.

– අනුරුද්ධ බණ්ඩාර

කවර බලවේග සටන පාවා දුන්නත් ජාතිය දිනාගත් ජයග‍්‍රහණ බිලි ගැනීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ රූකඩ මානව හිමිකම් කොමසාරිස්ට ඉඩ නොදෙන බවත් ජිනීවාවලදී ඔහුගේ දෙපතුල ලෙව කෑ සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුවට වැඩිකල් යාමට ඉඩ නොදෙන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

25,966 Viewers

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress