සහකාර වෛද්‍ය නිලධාරීන්
Posted on February 15th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග

 සහකාර වෛද්‍ය නිලධාරීන් ලියාපදිංචි සහකාර වෛද්‍ය”  AMP හෙවත් AMO  හෝ අතීතයේ ඇපොතිකරි මහතුන් ලෙස හඳුන්වනු ලැබූ සෞඛ්‍ය අංශයේ වැදගත් භූමිකාවක් ඉටු කරන ලද වෘත්තිකයන් පිරිසකි. 1995 වසර ආසන්න තෙක් ලංකාවේ ග්‍රාමීය රෝහල් වල ස්ථාන භාර වෛද්‍යවරු ලෙසද දිස්පැන්සරි වලද සහකාර වෛද්‍ය නිලධාරීන් තම සේවා ලබා දුන්හ​. ඔවුන් පුරා ශතවර්ශයකටත් අධික  කාලයක්  ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට උර දුන්හ​.

හමුදා රෝහලේද සහකාර වෛද්‍ය නිලධාරීන් වූහ​. සහකාර වෛද්‍ය නිලධාරී රන්දුණු මගේ මතකයට නැගෙයි. යුද්දය කාලයේ ඔවුන් පෙරමුණට ගියහ​. එහෙත් සෞඛ්‍ය අංශයේ තිබෙන කුහක බව නිසාදෝ ඔවුන් විසින් කරන ලද මේ සේවා ඇගයෙන්නේ නැත​.

පුත්තලම් දිස්ත්‍රික්කයේ මානසික සෞඛ්‍ය වැඩසටහන් වලදී   සහකාර වෛද්‍ය නිලධාරී දිනේජ් චන්ද්‍රසිරි , තොඩුවාව රෝහලේ   සහකාර වෛද්‍ය නිලධාරී සුනිල් මෙන්ම අනෙකුත්   සහකාර වෛද්‍ය නිලධාරීන් මට විශාල සහයෝගයක් දුන්හ​. මේ නිලධාරීන් සියළුම දෙනා මනා දැණුමක් සහ වෘත්තීය ගරුත්වයෙන් සේවය කල පිරිසක් වෙති.

1995 වසරේ මම ස්ථාන භාර වෛද්‍ය නිලධාරී ලෙස කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලට යන විට එම රෝහල බාරව සිටියේ නිමල් ජයවර්ධන නම් සහකාර වෛද්‍ය නිලධාරියෙකි. මේ කාලයේ වෛද්‍ය නිලධාරින් සහ සහකාර වෛද්‍ය නිලධාරින් අතර බොහෝ ගැටුම් තිබුණි. එකිනෙකාට වෛර කරන මඩ ගහ ගන්නා වාතාවරණයක මම රෝහල බාර ගත්තෙමි. එහෙත් මම සහකාර වෛද්‍ය නිලධාරී නිමල් ජයවර්ධනට වෘත්තීය ගරුත්වයකින් යුතුව සැලකුවෙමි. එය ඔහු අපේක්‍ෂා නොකර අතර පසුව ඔහුත් මා සමග ඉතා සහයෝගයෙන් කටයුතු කලේය​.

මේ කාලයේ හසලක ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වරයා පන්න පන්නා සහකාර වෛද්‍ය නිලධාරීන් ගෙන් පලි ගන්නා ක්‍රම වේදයක් භාවිතා කල අතර ඔහු මටද මගේ රෝහලේ  සහකාර වෛද්‍ය නිලධාරීට කිසිම බුරුලක් නොදී තදින් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටියේය​. එසේම ඔහු ඇමතීමේදී AMO (Assistant Medical Officer) නොව AMP (Assistant Medical Practitioner ) ලෙස අමතන ලෙසද කීවේය​. එහෙත් මම මටත් වඩා වයසින් වැඩි මෙම නිලධාරියාට අනවතරයේ හිරිහැර නොකලෙමි. ඒ නිසා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වරයා මා සමග මඳක් අමනාපද විය​.

මම සහකාර වෛද්‍ය නිලධායා සමග සහයෝගයෙන් ක්‍රියා කල නිසා එතෙක් පිල් බෙදී තිබූ රෝහල් කාර්‍ය මණ්ඩලයද සමගිව රෝගීන් වෙනුවෙන් වැඩ කලහ. සහකාර වෛද්‍ය නිලධාරී නිමල් ජයවර්ධන මහතා මාරුවක් ගෙන මාතලේ ප්‍රදේශයට ගිය අතර ඔහු වෙනුවෙන් ප්‍රේමරත්න මහතා සහකාර වෛද්‍ය නිලධාරී ලෙස ආවේය​.

මම සහ ප්‍රේමරත්න මහතා ඉතා සමගිව රෝහලේ වැඩ කරගෙන ගියෙමු. එසේම රෝහල් කාර්‍ය මණ්ඩලයේ ශ්‍රමදානයකින් ලිඳක් ද කැපුවෙමු.  මෙසේ වසර කීපයක් සේවය කිරීමෙන් පසු මම එම ග්‍රාමීය රෝහලේ සේවය නිම කොට මාරු වී ගියෙමි. මම මාරුවී යන දිනයේ සහකාර වෛද්‍ය නිලධරී ප්‍රේමරත්න මහතාට ඇඞුම්  ආ අතර මගේ බලවත් විරෝධය නොතකා ඔහු සහ කාර්‍ය මණ්ඩලය විසින් මට අගනා ලෑම්ප් ශේඩ් එකක් පරිත්‍යාග කරන ලදි.

අවසන් දිනයේදී කාර්‍ය මණ්ඩලය හමුවේදී මම මෙසේ කීවෙමි : සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන් ගහ මරා ගන්නේ නොමැතිව සිටින්නේ නම් රෝගීන්ට මනා සේවයක් කල හැකිය​. වෛද්‍ය නිලධාරීන් සහ සහකාර වෛද්‍ය නිලධාරින් අතර තිබෙන මේ නොනිමෙන ගැටුම මට නොතේරේ. මම 1979 හත් වන පන්තියට සමත් වන විට   ප්‍රේමරත්න මහතා සහකාර වෛද්‍ය නිලධරියෙකු ලෙස පත්වීම ගන්නේය​. ඔහුට බොහෝ අත්දැකීම් තිබේ. ඒ නිසා සහකාර වෛද්‍ය නිලධරියෙකු කියා මට ඔහුට අනවතරයේ හිරිහැර කල නොහැක​. වෛද්‍ය නිලධාරීත් සහකර වෛද්‍ය නිලධාරීත් සාමයෙන් රෝහල් පාලනය ගෙන ගිය අප රෝහල දුන් ආදර්ශය අනෙකුත් රෝහල් විසින් ලබා ගනු ඇතැයි මා සිතමි.

සහකාර වෛද්‍ය නිලධරී ප්‍රේමරත්න මහතා වර්තමානයේ මාරස්සන ග්‍රාමීය රෝහලේ සේවය කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress