නිර්වින්දන වෛද්‍යවරයා
Posted on May 3rd, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස මම වසර කීපයක් සේවය කලෙමි. මම නිර්වින්දන වෛද්‍ය පුහුණුව ලැබුවේ විශේෂඥ නිර්වින්දන වෛද්‍ය ප්‍රියංගනී ආරියරත්න මහත්මිය යටතේ රාගම රෝහල හෙවත් උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේදීය​. මෙම පුහුණුව ලැබූ කාලය 1999 වසර අග භාගය විය​. මේ කාලයේදී මා සමග වෛද්‍ය ග්‍රේශන් ජයවර්ධන , වෛද්‍ය විරාජ් පෙරමුණ වැනි ජොලි සීයලාද සිටි හෙයින් නිර්වින්දන   පුහුණුව ඉතා විනෝද ජනක විය​. එය මාගේ වෘත්තීය ජීවිතයේ රසවත් කාලයකි.

1999 අග සිට 2000 වසර අග දක්වා වසරක් ආසන්න කාලයක් අප උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ සිටියෙමු. මුල් කාලයේදී වෙහෙසී පුහුණුවීම් කල අප විශේෂඥ නිර්වින්දන වෛද්‍ය ප්‍රියංගනී ආරියරත්න , විශේෂඥ නිර්වින්දන වෛද්‍ය කාමෙල් විජේසේකර , විශේෂඥ නිර්වින්දන වෛද්‍ය දුෂ්‍යන්ති පෙරේරා යන මහත්මීන් ගෙන් බැනුම් ද ඇසුවෙමු.

nirvindana

ඒ කාලය පාසල් කාලය මෙන් විය​. අපට මේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරියන් තිදෙනා සමග ගුරු ශිෂ්‍ය සැබැඳියාවක් තිබූ අතර බැනුම් ඇසීම​, කට්ටි පැනීම , ශේප් ටෝක් දැමීම , අසරණ පාට් දැමීම , මැඩම්ලාට තරහා යන විට මාරු වීම , ඔවුන් සමග වෛද්‍ය නොවන දේවල් (සිනමාව , ගීත , පිටරට සවාරි) ගැන කතා කිරීමද යහමින් තිබුනේය​. කෙසේ නමුත් මාස දෙක තුනක් යන විට අප තනිවම රෝගීන් නිර්වින්දනය කිරිමට සමර්ථ වූ හෙයින් විශේෂඥ නිර්වින්දන වෛද්‍ය ප්‍රියංගනී ආරියරත්න මිය අපව තනියම ශල්‍යාගාර වලට දැමුවාය​. මීට අමතරව සවස් කාලයේද , රත්‍රී කාලයේද නිර්වින්දන රාජකාරී කිරීමටද නියමිත විය​. මේ නිසා වැඩ පෙන්වීමට ගොස් අප කෙලවාගත් බව වැටහෙන විට අප ප්‍රමාද  වී තිබුණි​.

මේ මේ හේතුවෙන්  මමත් ග්‍රේශනුත් විරාජුත් අපට වූ හදිය ගැන කතා කිරීමට රාගම කසා රෙස්ටුරන්ට් එකට ගියෙමු. රාගම කසා රෙස්ටුරන්ට් එක උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන් අතර ප්‍රසිද්ධය. එහි කෑම රසය​. වරක් ශල්‍යාගාරයේ හෙදියක් කසා රෙස්ටුරන්ට් එකේ කෑම රස මොකද කියා විමසූ විට විරාජ් කීවේ වැලිසර කාස රෝහලේ   ප්ලුරීය ආසක්තිය  ( pleural puncture ) කොට ගන්නා ශ්‍රාවය මේ කෑමට දමන නිසා එය රසවත් බවයි. මෙය ඇසූ හෙදියන්ට ඔක්කාරය ආවෙන් අප විරාජ්ට බැන්නෙමු.

අප තනිවම නිර්වින්දකයන් ලෙස රාගම රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් වන වෛද්‍ය නීල් ෆොන්සේකා, වෛද්‍ය ඩී. ඩබ්. වීරසූරිය, වෛද්‍ය රනිල් ප්‍රනාන්දු , වෛද්‍ය සරත් කොල්ලූරේ , වෛද්‍ය ජයන්ත ආරියරත්න  මෙන්ම විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍යවරු වන වෛද්‍ය අජිත විජේසුන්දර , වෛද්‍ය අසෝකන් යනාදීන් සමග වැඩ කලෙමු.

ඒ කාලයේ උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියන් බොහෝ දෙනෙකු වූ අතර පිරිමි නිර්වින්දන වෛද්‍යවරු සිටියේ පහකට නොවැඩි ප්‍රමාණයකි. අප තිදෙනා නවකයන් වූවද දඩි බිඩිගා සාර්ථකව රෝගීන්ට නිර්වින්දනය ලබා දුන් හෙයින් වෛද්‍ය කොල්ලූරේ , වෛද්‍ය රනිල් ප්‍රනාන්දු , වෛද්‍ය අජිත විජේසුන්දර අපට විශේෂ කැමැත්තක් දැක්වූහ​. එසේම හදිසියේ අපගේ වැඩ පිරික්සීමට මැඩම් ආරියරත්න හෝ මැඩම් කාමෙල් විජේසේකර එන විට ඔන්න ට්‍රැපික් පොලිස් එනවා කියා මේ වෛද්‍යවරු අපව දැණුවත් කලෝය​. මේ හැර ශල්‍යකර්ම කරන ගමන් ආතති සමනයට ඔවුන් විවිධ විෂයන් ගැන අප සමග කතා කලෝය​.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ප්‍රනාන්දු මා සමග සයිමන් සහ ගාෆන්කල් යන සංගීතඥයන් ගැන කතා කලේය​. වෛද්‍ය සරත් කොල්ලූරේ රුසියාව , එංගලන්තය , නැගෙනහිර යුරෝපය , දේශපාලනය වැනි විශයන් ශල්‍යකර්ම කරන අතරතුර මා සමග කතා කලේය​.  වෛද්‍ය නීල් ෆොන්සේකා ඔහු මැදපෙරදිග රෝහලක සේවය කල කාලයේ ලැබූ අත්දැකීම් මා සමග කීවේය​. වෛද්‍ය ජයන්ත ආරියරත්න ක්‍රිකට් ගැන කතා කලේය​.

වෛද්‍ය සරත් කොල්ලූරේ ඉතා වේගවත් ලෙස සාර්ථකව ශල්‍යකර්ම කරයි.  ඇපෙන්ඩික්ස් ශල්‍යකර්මය විනාඩි කීපයකි. ඔහු තරම් වේගයෙන් සාර්ථකව ශල්‍යකර්ම කරන වෛද්‍යවරයෙකු මෙතෙක් මා දැක නැත​.

අපගේ වැඩ පරීක්‍ෂාවට මැඩම්ලා එන විට අප වෙන මාතෘකාවක්  තෝරාගෙන මැඩම්ලා සමග කතා කිරීමෙන් ඔවුන්ව ඩිස්ට්‍රැක්ට් කිරීමෙන් බැනුම් සහ අමතර බර වැඩ වලින් බේරුනෙමු. වෛද්‍ය දුශ්‍ෂන්තී පෙරේරා  ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ චිත්‍රපට වලට කැමතිය​. ඇය දෝස්මුරයක් දීමට එත්ම මම සයිකෝ , වර්ටිගෝ , ෆැමලි ප්ලොට් වැනි චිත්‍රපට ගැන ඇය සමග කතා කරමි. එවිට සංවාදය පැය භාගයක් සමග ඇදේ. ඒ සමගම ඇයට දෝස් මුරය අමතකව යන්නීය​.

මේ කාලය තුල විවිධ විනෝද ජනක දේ සිදු විය​. වරක් විරාජ් වෙසක් කාලයේදී අප සැමට වෙසක්  කාඩ් එවන ලදි.  මේ කාඩ් වල සිරිත් පරිදි කවි තිබූ අතර  වෛද්‍ය කාමෙල් විජේසේකර මහත්මියට යවන ලද වෙසක් පතේ ” ආසිරි පතමු ඔබට මේ වෙස ෙඟ්  කියා කවි පදයක් තිබූ හෙයින් ඇය මඳක් වික්‍ෂේපණය වී මේ විරාජ් මොකක්ද ඕන නැති කවි එවලා කීවාය​. වෛද්‍ය කාමෙල් විජේසේකර ක්‍රිස්තියානි තැනැත්තියෙකි. එසේම සිංහල ගැඹුරු දැණුමක්ද නැත​. මේ නිසා අප වහාම වෙස ෙඟ්  යන වචනයේ තේරුම කියා දී විරාජ්ව පෝරියල් එකකින් බේරා ගත්තෙමු.

තව දිනක්  විරාජ්ගේ රෝගියෙකු නිර්වින්දන ලැබිමෙන් අවදි නොවූ නිසා අප කලබල වූයෙමු. ඇත්ත වශයෙන්ම සිදුවී තිබුනේ රෝගියාට නිර්වින්දන ඖෂධ මඳක් අධිකව දී තිබීම නිසාය​. මා මෙය වටහාගත් පසුව නිර්වින්දන ඖෂධ නිෂ්ක්‍රිය කිරීමට බෙහෙතක් විද එතෙක් ආතතියෙන් සිටි විරාජ්ගේ සිත සැහැල්ලු කිරීමට විහිලුවක්ද කලෙමි.

මම සත විසිපහක් ගෙන එය ගෝස් කැබැල්ලකින් ඔතා නිර්වින්දන යන්ත්‍රයේ යකඩ කණුවක ගැට ගසා ඔන්න මම ගම්බාර දෙයියන්ට බාරයක් උනා කියා කීවෙමි. මේ අතරවාරයේ ලෙඩාට සිහිය ආවේය​. මා විසින් නිර්වින්දන යන්ත්‍රයේ ගැට ගැසූ පඞුර  දුටු නිර්වින්දන වෛද්‍ය රූබි පෙරේරා බඩ අල්ලාගෙන සිනාසුනාය​.  එම පඞුර  බොහෝ කාලයක් තිබුනු අතර පසුව මම එය කපා ඉවත් කලෙමි.

2000 සහස‍්‍රවර්‍ෂය  එළැඹෙන විට විද්‍යුත් උපකරණ අඩාල විය හැකි බවට මතයක් වූයෙන් 1999 දෙසැම්බර් 31 දින සවස නිර්වින්දන උපකරණ අක්‍රිය වේද යන බියෙන් අප සිටියෙමු. මේ නිසා අප සැම දෙනාටම එදින රාත්‍රියේ සූදානම් පිට ඉන්නට කියා නියෝග ලැබුණි. එහෙත් ජනවාරි 1 දින කිසිදු වියාකූලතාවයකින් තොරව ශල්‍යාගාරයේ සහ දැඩි සත්කාර ඒකකයේ  නිර්වින්දන උපකරණ ක්‍රියා කලෙන් අප සැනසුම් සුසුම් හෙලුවෙමු.

වරක් ජා ඇල බෝම්බය නිසා තුවාල ලැබූ රෝගීන් බොහෝ ගනනක් රාගම රෝහලට ගෙන එන ලදි.  අප දිවා රෑ නිවාඩු නොබලා ඔවුන්ට ප්‍රතිකාර කලෙමු. මේ රෝගීන් අතර සිටි ගායිකා රූපා ඉන්දුමතීද අප නිර්වින්දනයට ලක් කලෙමු.

වරක් වෛද්‍ය වර්ජනයක් පැවති විට බසයක හැපුණු තරුණයෙකු ගෙන ආවේය​. අප සැම ( විශේෂඥ නිර්වින්දන වෛද්‍ය ප්‍රියංගනී ආරියරත්න මහත්මිය ද ඇතුළුව ) වර්ජනය පසෙකලා රෝගියාට ප්‍රතිකාර කලෙමු. නමුත් පත්තර වල ගියේ වර්ජනය නිසා සිදුවූ අපහසුතාවයන් ය​. එහෙත් ඒ ගැන කම්පාවක් නැත​.

මෙසේ වසරක කාලයක් ආසන්නව පුහුණුව ලැබූ අප තිදෙනාට ස්ථානමාරු ආවේය​. මට හලාවතත් විරාජ්ට පුත්තලමත් ග්‍රේශන්ට මාරවිලත් ලැබී තිබුණි. රාගම සේවය කල අවසාන දිනයේදී අප කසා අවන්හල වෙත ගොස් අවසානය සැමරුවෙමු. මේ හැර සති අන්තයේදී අප විරාජ් පෙරමුණ ගේ නිවසේ නිර්වින්දන මැඩම්ලා තිදෙනාට දහවල් භෝජන සංග්‍රහයක්  ද සංවිධානය කලෙමු. වෛද්‍ය දුශ්‍ෂන්තී පෙරේරා මිය ඩියුටි වැටුණු හෙයින් වෛද්‍ය ප්‍රියංගනී ආරියරත්නත් , වෛද්‍ය  කාමෙල් විජේසේකරත් ආවෝය​. මේ හැර විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍යවරුන් වන වෛද්‍ය සුනිල් ප්‍රනාන්දු සහ වෛද්‍ය ප්‍රශාන්ත විජේසිංහත් සාදයට ආ බැවින් එය ආලෝකමත් විය​. විරාජ්   වෙහෙසී සාදයට   ආහාර සකස් කොට තිබූ අතර වල් ඌරු මස්  රසවත් ලෙස උයා තිබුණි.

අපට මෙතෙක් තදබල මුහුණක් පෙන්වා සිටි මැඩම්ලා අප තිදෙනා ඉතා හොඳින් පුහුණුව ලැබූ බවත් හොඳින් සේවය කල බවත් කියා අපව ප්‍රණයනය කලහ​. එවිට වැඩිවියට පැමිනුනු බවක් අපට දැණුනි.  මැඩම්ලා අපව කළයකින් නහවා ලේන්සු පෙට්ටියකුත් දුන්නේ නම් අගේ බව අප සිතුවෙමු.

අප මාරුවීම් ලබා ගියෙමු. මම ගියේ හලාවත රෝහලටයි. හලාවත රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු නොවූ  අතර අපට තනිවම වැඩ කිරීමට සිදු විය​. එම නිසා රෝගියාගේ ජීවිතය මුළුමනින්ම රැඳී තිබුනේ අපේ කර මතය​. එය විශාල වගකීමක් විය​. එහෙත් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු නොමැති වූවද කිසිදු සංකූලතාවයකින් , රෝගී මරණවලින් තොරව අප සේවය කලෙමු.

හලාවත රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය බී . ජී. එන් රත්නසේන මහතාද අපට මනා සහයෝගයක් දුන්නේය​. වරක් දින 3 වයසැති අළුත උපන් දරුවෙකුගේ බඩවැලේ තිබූ සංකූලතාවක් නිසා ශල්‍යකර්මයක් කිරීමට නියමිතව තිබුණි. විශේෂඥ ශල්‍ය වෛද්‍ය බී . ජී. එන් රත්නසේන මහතා මේ බිළිඳාව නිර්වින්දනය කල හැකිදැයි මගෙන් ඇසීය​. හදිසි තත්වයක් නිසා මම වගකීම ගෙන බිළිඳාව නිර්වින්දනය කලෙමි. වෛද්‍ය රත්නසේන මහතා සාර්ථකව ශල්‍යකර්මය කලේය​. බිළිඳාගේ ප්‍රාණය අප බේරාගත්තෙමු. මෙය සිදු වූයේ 2001 වසරේදී පමණය​. මේ වන විට උක්ත බිළිඳා වයස 15 ක ඉලන්දාරියෙකු විය යුතුය​.

නිර්වින්දන වෛද්‍ය වෘත්තිය ඉතා ආතතිජනකය​. නිර්වින්දන වෛද්‍යවරු අතර රාජකාරීමය දැවීයාම් ( Occupational burnout ) බහුලය​. එහෙත් හාස්‍ය බෙහෙතක් ලෙස යොදා ගනිමින් 1999 සිට 2002 දක්වා මම නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස සේවය කලෙමි. මා වෘත්තීය දැවී යාමකට ලක් නොවූයේ හාස්‍ය අනුපාන ලෙස යොදාගත් බව නිසා බව සිතමි.

වෛද් රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress