අප ණය උගුලකද?
Posted on June 7th, 2016

උපුටා ගැන්ම දිවයින

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් වත්මන් ආණ්‌ඩුව ඉල්ලා සිටි ඩොලර් බිලියන 1.5 ක ණය මුදලේ පළමුවැනි කොටස පසුගිය සෙනසුරාදා නිකුත් කරන ලදැයි ප්‍රංශ පුවත් සේවය මගින් (AFP) නිකුත් කරන ලද වාර්තාවක සඳහන්ව තිබිණි. යහපාලන ආණ්‌ඩුව විසින් මෙම ණය මුදල අයදුම් කරනු ලැබ තිබුණේ ආර්ථිකය වර්ධනය කර ගැනීමටත් ගෙවුම් ශේaෂ හිඟය පියවා ගැනීමටත්ය. ජුනි 4 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයට අනුව ගෝලීය ආර්ථිකයේ ඇති පීඩනය හමුවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ශක්‌තිමත් කරමින් සංචිත පවත්වාගෙන යැම සඳහා මෙම ණය මුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතය. එපමණක්‌ නොව මේ ලැබී ඇත්තේ ශ්‍රී ලංකාව ඉල්ලූ මුදලින් හරි අඩක්‌ පමණි. ආණ්‌ඩුව මුලින් ඩොලර් බිලියන තුනක ණය මුදලක්‌ ඉල්ලා සිටියද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී තිබෙන්නේ ඩොලර් බිලියන 1.5 ක්‌ සඳහා පමණය. කෙසේ හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්‌තීර්ණ අරමුදල් පහසුකම යටතේ මාස 36 කින් ගෙවීමේ පදනමින් මෙම ණය මුදල ශ්‍රී ලංකාවට නිකුත් කිරීමට පියවර ගන්නා බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ යෑයි ප්‍රංශ පුවත් සේවයේ වාර්තාව පෙන්වා දෙයි.

එම වාර්තාවට අනුව ආර්ථික ප්‍රතිපත්ති ශක්‌තිමත් කරමින් “සංචිත පවත්වාගෙන” යාම සඳහා මෙම ණය මුදල ශ්‍රී ලංකාවට ලබාදෙන බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබුණද මීට පෙර වතාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ණය මුදල ලබාදීම ප්‍රතික්‍ෂේප කළ හේතුව කාගෙත් අවධානයට යොමුවිය යුතුය. පසුගිය වසරේ (2015) ජනවාරි මාසයේදී එම ණය මුදල වත්මන් ආණ්‌ඩුව ඉල්ලා සිටි අවස්‌ථාවේදී ඔවුන් එය ප්‍රතික්‍ෂේප කළේ ශ්‍රී ලංකාව සතුව ප්‍රමාණවත් තරම් විදේශ විනිමය සංචිත තිබෙන බව සඳහන් කරමිනි. 2016 වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම තීරණය වෙනස්‌ කරන පසුබිමක සිටින්නේ ඇයිදැයි යන කාරණාව ද වැදගත්ය. ප්‍රංශ පුවත් සේවයේම වාර්තාවට අනුව ඊට හේතුව මෙසේය. පසුගිය මැතිවරණය සමයේ රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට පොරොන්දු වූ ආණ්‌ඩුව එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළේය. ඊළඟට ඉන්ධන සහ පාරිභෝගික භාණ්‌ඩ මිල පහත දැමීමටද කටයුතු කළේය. අපේක්‍ෂිත ණය මුදලෙන්, එනම් ඩොලර් බිලියන 1.5 කින් ඩොලර් මිලියන 168 ක කොටසක්‌ වහාම ශ්‍රී ලංකාවට ලබාදීමට මූල්‍ය අරමුදල තීරණය කරන්නේ ඉන් පසුවය. ප්‍රංශ පුවත් සේවයේ මේ වාර්තාවට අනුව ඕනෑම කෙනෙකුට සරලව තේරුම් ගත හැකි කාරණයක්‌ තිබේ. එනම් 2016ට පෙර 2015 අවුරුද්ද වන විට මේ රටේ මුදල් සංචිතවල ඒතරම්ම අර්බුදයක්‌ නොතිබුණු බවය. ඒ කියන්නේ මේ මොහොත වන විට රටේ ආර්ථික කළමනාකරණයේ කොතැනක හෝ අවුලක්‌ තිබෙන බවය. මේබව පසුගිය මාර්තු 16 වැනිදා යහපාලන ආණ්‌ඩුවේ මුදල් රාජ්‍ය ඇමැතිවරයාම කියා තිබිණි.

ඒ “නිසි ආර්ථික කළමනාකරණයක්‌ නැතිනම් රටට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවේ” යනුවෙනි. ඒ අනුව අපට සිතන්නට සිදුවන්නේ ආණ්‌ඩුව බලයට එනවිට කී සුපිරි ආර්ථික කළමනාකරණයේ කොතැනක හෝ වරදක්‌ සිදුව තිබෙන බවය. එමෙන්ම 2015 නොවැම්බර් 5 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්‌ඩුවේ මධ්‍යකාලීන ප්‍රතිපත්ති යෝජනාවලියේ (පසුගිය අයවැය පදනම්ව තිබුණේද එම යෝජනාවලියම බව කියවිණි.) කුමන හෝ අවුලක්‌ තිබෙන බවය. රට ණය උගුලක සිsරවී ඇතැයි ආණ්‌ඩුව කියන්නේ පසුගිය අවුරුද්දේ ජනවාරි 8 වැනිදාට පෙර රටේ ආර්ථිකය ඉතාම නරක ලෙස හසුරුවා ඇති නිසාය. එය මැතිවරණ සමයේදී ද (ආණ්‌ඩුව විපක්‍ෂයේ සිටිද්දී) දැන සිටි කරුණකි. මේ රට ඕනෑවටත් වඩා ණයවී සිටින බව හොඳින්ම දැන සිටියදීත් රජයේ සේවකයින්ට පඩි වැඩි කරන්න පොරොන්දු විය. අවසානයේ එය පත්තු විය. ඉන්ධන මිල අඩු කළේය. පසුගිය ආණ්‌ඩුව මේ දෙකම කළමනාකරණය කර ගනිමින් ණය ද ගෙවමින් සිටියේය. මූල්‍ය සංචිතද පවත්වාගෙන ගියේය. වත්මන් ආණ්‌ඩුව පඩි වැඩි කර, ඉන්ධන මිල අඩුකර ආර්ථිකය විශාල බරක්‌ කරගෙන තිබේ. අප කියන්නේ පඩි වැඩි කිරීම වරදක්‌ බව යෑයි වැරදි වැටහීමක්‌ ඇති කරගත යුතු නැත. ඉන්ධන මිල අඩු කිරීම වරදක්‌ යෑයි වරදවා තේරුම් ගතයුතු නැත. අප කියන්නේ එසේ කළ විට ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කර ගැනීම මිස රටේ ජනතාවට පටි තදකර ගන්නට යෑයි කීම වරදක්‌ බවය. ඒ අතරට මෙහෙම ණයක්‌ ගත් විට ඇතිවන තත්ත්වය සිහි නුවණින් අවබෝධ කර ගනිත්වා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress