ස්වෛරීත්වය අනතුරේ.. නැගෙනහිර නාවික හමුදා මෙහෙයුම් බලය පෙන්ටගනයේ ඉත්තෙකුට..
Posted on June 8th, 2016

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම්, ජාතික නිදහස් පෙරමුණ

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

සාම්පූර් නාවික හමුදා කඳවුරේ ප‍්‍රධාන නිලධාරියාට නැගෙනහිර මහ ඇමතිවරයා විසින් බැණ වදින අවස්ථාව වන විට නැගෙනහිර නාවික ආඥාපති ධුරය දැරුවේ රියර් අද්මිරාල් නීල් රොසයිරෝ. ඔහු බර්ගර් ජාතිකයකු වුවත් නැගෙනහිර පළාතේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගේ සහයෝගය දිනාගෙන තම රාජකාරී කටයුතු ඉතාමත් ප‍්‍රශස්ත මට්ටමින් ඉටු කළ කෙනෙක් බව තමයි නාවික හමුදාවෙත් ප‍්‍රදේශවාසීන්ගේත් පිළිගැනීම වෙලා තිබුණේ. එතුමන් එක පාරටම මාරුකර යවලා තිබෙනවා. ඒ වෙනුවට නැෙ`ගනහිර නාවික හමුදා ආඥාපති ධුරයට පත්කරලා තියෙන්නේ රියර් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා. ඔහු නාවික හමුදාවේ සේවය කරලා එයින් සිය කැමැත්තෙන් ඉල්ලා අස් වූ නිලධාරියෙක්. පසුව ඔහු මෙවැනි තනතුරකට පත්වීම අරුම පුදුම තත්වයක්. මෙතැනදී අපි පැහැදිලිවම ඔහුගේ ජාතිකත්වය පිළිබඳ කිසිදු ප‍්‍රශ්නයක් මතු කරන්නේ නැහැ. ‘සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද නැතිනම් බර්ගර් ද ’ කියන ප‍්‍රශ්නය නොවෙයි අපි මෙතැනදී මතු කරන්නේ. මේ පත්වීම පිටුපස තිබෙන ‘අරුම පුදුම කතාවයි’ අපි ප‍්‍රශ්න කරන්නේ. මේ ට‍්‍රැවිස් සින්නයියා නාවික හමුදාවට සම්බන්ධ වෙන්නේ 1982 නොවැම්බර් 15 වැනිදායි. එතුමා විවාහක නිලධාරියෙක්. ඔහුගේ දරු පවුල දැනට පදිංචිව සිටින්නේ ඕස්ෙටි‍්‍රලියාවේ. ඔහු 2011 ජුනි 25 වැනිදා තමන්ගේ දරුවාගේ කාරණාවක් සහිත ලිපියක් භාරදීලා, නාවික හමුදාවෙන් සිය කැමැත්තෙන් ඉල්ලා අස්වෙනවා. ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඔහු කළේ කුමක්ද?

නාවික හමුදාවෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව සින්නයියා මහත්තයා පසුදා(2011 ජුනි 26) සිට නව රැකියාවකට යනවා. රැකියා ස්ථානය කොළඹ පිහිටි ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය. එහි ආරක්‍ෂක අංශයේ රැකියාවකටයි ඔහු යන්නේ. තනතුර ආරක්‍ෂක කළමනාකරු (Security Coordinator) ඔහු එතැන් සිට අවුරුදු හතරහමාරක කාලයක් ඇමෙරිකා එක්සත් ජනපද කොළඹ තානාපති කාර්යාලයේ සේවය කරනවා. ඔහු සේවය කරන්නේ ඇමෙරිකානු එක්සත් ජනපද ආරක්‍ෂක මූලස්ථානය වූ පෙන්ටගනයට. එහෙම හිටපු සින්නයියා මහත්තයාට මේ අණ්ඩුව බලයට ආවාට පස්සේ අරුම පුදුම දෙයක් වෙනවා. මේ ආණ්ඩුව ඔහුව දේශපාලන පලිගැනීමකට ලක් වූ අයෙක් විදියට අර්ථකථනය කරනවා. ඒ විතරක් නොවෙයි ඔහුට රියර් අද්මිරාල් කියන උසස්වීමත් ලබා දෙනවා. 2015 දෙසැම්බර් 08 වැනිදා සිට බලපැවැත්වෙන විදියට යළි මේ සින්නයියා මහත්තයා සේවයේ පිහිටු වීමත් සිදු කරනවා. නාවික හමුදාවේ පමණක් නොවෙයි ශ‍්‍රී ලංකාවේ වෙනත් කිසිදු හමුදාවක මීට පෙර මෙවැනි දෙයක් සිදු වෙලා නැහැ. ආරක්‍ෂක හමුදාවල දේශපාලන පලිගැනීම් කියන ඒවා සිදු නොවන තරම්. සිදු වුණත් ඒවා ඉතා විරල දේවල්. මොහුට දේශපාලන පලිගැනීම් සිදු වූවා යැයි කීමට කිසිදු හේතුවක් නැහැ. ඔහු සිය කැමැත්තෙන් ඉල්ලා අස් වූ නිලධාරියෙක්. නාවික හමුදාවේ දේශපාලන පලිගැනීමට ලක් වුවන් යළි බඳවා ගත යුතුද? නැද්ද කියන නිර්දේශය ලබා දීමට කමිටුවක් පත් කරනු ලබනවා. මේ කමිටුවට කිසිදු මිලිටරි නිලධාරියකු පත්කර නැහැ. ති‍්‍රවිධ හමුදා නිලධාරීන් යළි බඳවා ගැනීමට අදාළව පත් කරනු ලබන මෙවැනි කමිටුවලට අනිවාර්යෙන්ම විශ‍්‍රාම ගිය හෝ දැනට සේවයේ නියුතු හමුදා නිලධාරියකු පත් කිරීම සිදු කරනවා. එහෙම හමුදාමය චරිත නොමැති මෙම කමිටුවේදී නිර්දේශ කරනවා ‘ට‍්‍රැවිස් සින්නයියා යළි නාවික හමුදාවට ඇතුළත් කර ගෙන, ඔහුට ලක්‍ෂ 42ක වන්දියක් ලබා දිය යුතුයි. ඊට අමතරව ඔහු රියර් අද්ම්රාල් තනතුරට උසස් කළ යුතුයි’ කියලා. මෙහෙම නාවික හමුදාවට එක්වන ට‍්‍රැවිස් සින්නයියා මහතා මේ වන විට නැගෙනහිර නාවික ආඥාපති බවට පත්කර තිබෙනවා.

ඔබ දන්නවා, ඇමෙරිකා එක්සත් ජනපදයට, ශ‍්‍රී ලංකාවේ නැෙගනහිර පළාත ඉතාමත් සංවේදී කලාපයක් කියලා. ඔවුන්ගේ අභිප‍්‍රාය ත‍්‍රිකුණාමල වරාය තම නාවික හමුදා කටයුතු සඳහා යොදා ගැනීම. ඒ අනුව ගත්තාම නැගෙනහිර පළාත ඇමෙරිකානු එක්සත් ජනපද උවමනාවන් සමග තදින් බැඳුණු කලාපයක්. ඇමෙරිකා එක්සත් ජනපදයට මෙන්ම පෙන්ටගනයට අවුරුදු හතරහමාරක් සේවය කළ සින්නයියා මහත්තයා නැගෙනහිර නාවික ආඥාපති වන්නේ අහම්බයක් ලෙස නොවන බව ඔබට පැහැදිලි ඇති. අද මේ රටේ ආරක්‍ෂක අංශ පවා මෙහෙයවන්නේ විදේශ රටවල න්‍යාය පත‍්‍රවලට හා උවමනාවන්ට අනුව බව අපි වටහාගත යුතුයි. මේක අපේ රටේ ස්වෛරීභාවය පිළිබඳ ප‍්‍රශ්නයක්. අද මේ රාජ්‍යය මෙහෙයවන්නේ ජාතික අභිලාෂයන්ට අනුව නොවෙයි විදේශීය තානාපති කාර්යාල හා ඔවුන්ගේ අභිමතාර්ථ අනුවයි.’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

One Response to “ස්වෛරීත්වය අනතුරේ.. නැගෙනහිර නාවික හමුදා මෙහෙයුම් බලය පෙන්ටගනයේ ඉත්තෙකුට..”

  1. Christie Says:

    අමෙරිකාව කියන රටේ අපේ පැත්ත බලාගන්නෙ ඉන්දියාව කියන අදිරදයයි. සින්හලයේ අමෙරිකානු තනාපති ඉන්දියන් කාරයෙක්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress