2008 මානසික සෞඛ්‍යය දිනය
Posted on June 11th, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

පුත්තලම දිස්ත්‍රික්  මානසික සෞඛ්‍යය  සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී  ලෙස සේවය කරන කාලයේදී මම මානසික සෞඛ්‍යය දිනය සැමරීමට වැඩසටහනක් දියත් කලෙමි. මේ වැඩසටහන සඳහා පුත්තලම දිස්ත්‍රික්  පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා මනා සහයෝගයක් දුන්නේය​. මෙම වැඩසටහනට ආරාධිතයන් ලෙස ආචාර්‍ය තිලෝක සුන්දරී කාරියවසම් මිය සහ මහාචාර්‍ය නාලක මෙන්ඩිස් යන විද්වතුන්ට මම ආරාධනා කලෙමි.

පුත්තලම දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු සහ හෙදියන් රැසක් සහභාගීවූ මෙම වැඩසටහන පවත්වන ලද්දේ මාදම්පේ පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයේය​. මෙම කාර්‍යාලයේ ආරාධිතයන් 100 පමණ අසුන් ගත හැකි මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයක් සහිත දේශන ශාලාවක් විය​. ආචාර්‍ය තිලෝක සුන්දරී කාරියවසම් ලංකාවේ සුප්‍රකට අධ්‍යාපන මනෝවිද්‍යාඥවරියකි. ඇයගේ දේශනය ගුරුවරුන්ටත් වැදගත් බැවින් අප පුත්තලම ,මාදම්පේ , හලාවත මහවැව යන ප්‍රදේශ වල පාසල් වල ගුරුභවතුන්ටද ආරාධනා කලෙමු. ආචාර්‍ය තිලෝක සුන්දරී කාරියවසම් ළමුන් ගේ අධ්‍යාපන ගැටළු සහ කායික මානසික සෞඛ්‍යය අතර පවතින සම්බන්ධය ගැන කථා කලාය​.

මහාචාර්‍ය නාලක මෙන්ඩිස්  කෘතහස්ත මනෝ වෛද්‍යවරයෙකි. මට එතුමා මුලින්ම මුණ ගැසුනේ ගෝතමී බාලිකා විද්‍යාලයේදී දේශනයකට පැමිනි අවස්ථාවකය​. එය 1982 වසර විය යුතුය​. මේ දේශනයට නාලන්දාවේ සිසුන්ටද ආරාධනා කොට තිබූ හෙයින් අපද යාබද ගෝතමී බාලිකා විද්‍යාලයට ගොස් මහාචාර්‍ය නාලක මෙන්ඩිස්ගේ දේශනයට සවන් දුන්නෙමු. එදින එතුමා කතා කලේ මත්ද්‍රව්‍ය වල ආදීනවය​.

2008 වසරේ මානසික සෞඛ්‍යය දිනයදා  මහාචාර්‍ය නාලක මෙන්ඩිස් ආරාධිතයෙකු ලෙස පුත්තලම දිස්ත්‍රික්  පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයට පැමිණි විට පිළිගැනීමේ කතාව කිරීමට නියමිතව තිබුනේ මා හටය​. මෙම කතාවේදී මම මහාචාර්‍ය නාලක මෙන්ඩිස් මුලින්ම දුටු 1982 වසරේ සිදුවීම මතක් කලෙමි. එය ඇසීමෙන් එතුමාගේ මතකය අළුත් වන්නට ඇත​.

මහාචාර්‍ය නාලක මෙන්ඩිස් පුත්තලම දිස්ත්‍රික්කයේ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය සඳහා අප විසින් ගෙන තිබූ ක්‍රියාමාර්ගයන් අගය කලේය​. දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු සහ හෙදියෝ ඇඩික් සහ මෙල් මැදුර යන ආයතන හරහා පුහුණු කිරීම අප විසින් කරන ලදි. මේ වැඩසටහනට වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු සහ පුබුදු සුමනසේකර මහතා අනගි සහයක් අපට දුන්නෝය​. එසේම සර්වෝදය ආයතනයේ සහයෙන් අප උපදේශනය ලබා දෙන මධ්‍යස්ථාන අටක් පමණ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කලෙමු. මෙම මධ්‍යස්ථාන සඳහා උපදේශයන් පුහුණු කිරීමට විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා උපකාර කරන ලදි. එසේම වෛද්‍ය නීල් ප්‍රනාන්දු මාදම්පේ කරුවලගස්වැව යන ප්‍රදේශ වලට පැමිණ අපගේ ප්‍රජා උපදේශකයන් හමු විය​.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් උතුරෙන් පළවා හරින ලද මුස්ලිම් අනාතයන් ජීවත් වූයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආලංකුඩා ප්‍රදේශයේය​. මම මෙම ප්‍රජාව අතුරින් ප්‍රජා උපදේශකයන් ලෙස තරුණ තරුණියන් කිහිප දෙනක් තෝරාගෙන ඔවුනට පුහුණුවක් දුන්නෙමි. එසේම එම ප්‍රජාවන් සඳහා මනෝ වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට හැකි ක්‍රමවේදයන් ගැන ප්‍රජාව දැණුවත් කලෙමි. මේ හැර මුස්ලිම් ජාතික මහජන සෞඛ්‍යය පරීක්‍ෂකයෙකු යොදවා සිකුරාදා දින වල මුස්ලිම් පල්ලියේ එක් රැස් වන පිරිස වෙත සෞඛ්‍යය අධ්‍යාපනය , මත් ද්‍රව්‍ය භාවිතයේ අනිසි ප්‍රතිඑල යනාදිය ගැන දෙමල බසින් දේශන පවත්වන්නට කටයුතු කලෙමි.

මා විසින් දියත් කරන වැඩසටහන් සඳහා එකල සිටි මානසික සෞඛ්‍යය අධ්‍යක්‍ෂක හිරන්තී ද සිල්වා මිය , නීති ආධාර කොමිසමේ .එස් එස්  විජේරත්න මහතා , බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වජිර විජේගුනවර්ධන මහතා උපකාර කල බව කියන්නේ තුති පූර්වකවය​. නීති ආධාර කොමිසමේ එස් .එස්  විජේරත්න මහතා , බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වජිර විජේගුනවර්ධන මහතා සර්වෝදය සභාපති ආචාර්‍ය ඒ.ටී ආරියරත්න මැතිතුමා  අපගේ වැඩසටහන් වලට කොලඹ සිට මාදම්පේ පුත්තලම දිස්ත්‍රික්  පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලය වෙත ආහ​. එසේම දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු මෙන්ම හෙදියන්ද මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීමට උර දුන් බව සඳහන් කරන්නේ ඔවුන් කෙරෙහි ගෞරවයෙනි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

https://www.youtube.com/watch?v=EkLQ3U4R7eY

Puttalam District Community Mental Health Programs

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress