රැඩිකල් ශිෂ්‍ය සටන් වියාපාරය 
Posted on June 25th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

ශිෂ්‍ය සටන් අතර පේරාදෙණිය සරසවියේ ඉල්ලම් 12 ක අරගලය, 1967 කැළැණි සරසවියේ ඉල්ලීම් 53 ක අරගලය, 1972 ප‍්‍රමිතිකරණ විරෝධී අරගලය, 1975 විශ්වවිද්‍යාල සංශෝදන පනතට එරෙහි අරගලය, වැනි අරගල  පෙන්වා දිය හැකිය​. නමුත් 1971 කැරැල්ල ලංකාවේ ශිෂ්‍ය සටන් වියාපාරය වඩාත් හිංසක තත්වයක් වෙත ගෙන එන ලදි . මෙහි කූටප්ප්‍රාප්තිය වූයේ 1988-89 පවිපෙ දෙවන කැරැල්ල සමයේදීය​.  මේ කාලයේදී රැඩිකල් සිසුන් ඝාතන වල පවා යෙදුනහ​.

රැඩිකල් ශිෂ්‍ය වියාපාරයන් වෙත සිසුන් යොමු වන්නේ යම්කිසි විශෝදනයන් නිසාද ?

ගවේශනාත්මක මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා විසින් ජවිපෙ දෙවන කැරැල්ල පිලිබඳව කරන ලද කරන ලද කරුණු සොයා බැලීමක දී ඝාතනයට ලක්වූ සිසුන්ගෙන් සියයට 25ක පමණ ප්‍රමාණයක් තුල  කුඩා කාලයේ සිය මව හෝ පියා මියගොස් තිබිණි. නැතහොත් දෙදෙනාගෙන් එක් අයෙකු අතහැර ගොස් තිබිණි. එබැවින් ඔවුහු පීතෘ හෝ මාතෘ වියෝග කාන්සාවට ලක්ව සිටියහ. ඇතමෙකුට ද්‍රරිද්‍රතාවය සහ තවත් අයෙකුට සමාජ පීඩනයද උරුම විය.  සමහරෙක් කුල පීඩනය නිසා සමාජය කෙරෙහි වෛරයෙන් යුතුව බැලීමට පුරුදුව සිටියහ​.

ජර්මානු බාඩර් මයින්හොෆ් සහ සැන්ඩිනිස්ටා ගරිල්ලන් පිලිබඳව පසුකාලීනව කල අධ්‍යනයන් වලින් පෙනී ගියේ ඔවුන් රැඩිකල් වියාපාර වෙත යොමු වීම සඳහා ළමා කාලයේ අත් දුටු කාංසාමය සිද්ධීන් හේතු කාරක වූ බවය​.

ළමා කාලයේ සිට මෙවැනි කාන්සාමය තත්වයන් ගෙන් පීඩා විඳි කොටස් රැඩිකල්  ශිෂ්‍ය වියාපාරයන් වෙත යොමු කරවා ගැනීම අපහසු නොවේ. කොටි සංවිධානය තම සාමාජිකයන් ආකර්ශණය කර ගත්තේ උතුරේ වෙල්ලාල ද්‍රවිඩයන් ගේ කුල පීඩනයට යටත් ව සිටි ද්‍රවිඩ තරුනයන්ට තුවක්කු දීමෙනි. අවියට තිබූ බිය නිසා උතුරු සමාජයේ කොන් කර සිටි  කරයර් , නලවර් , පරයර් , මල්ලර් , තුරුම්බාර්  කුල වල ද්‍රවිඩ තරුනයන්ට කුලීන ද්‍රවිඩයන්  ගෙන් ගරුත්වය ලැබුනේය​. ​ එසේම බහුතරයක් කළු කොටි මෙසේ සමාජයේ කුල පීඩනයට ලක් වූ කොටස් ය​.

මා විසින් මීට කාලයකට ඉහතදී ප්‍රතිකාර  කල පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළුණු  1988-89 කාලයේ ජවිපෙ ශිෂ්‍ය වියාපාරයේ සිටි සාමාජිකයා රැඩිකල් දේශපාලනය වෙත යොමු වන්නේ තම නිවසේ තිබූ ගැටුම්කාරී වාතාවරණය නිසාය​. ඔහු කී පරිදි දෙමාපිය ගැටුම් නිසා නිවසේ සමය බිඳී තිබුනි. පියා පසුව ඔවුන් අත හැර යන ලදි. නිවසේ දී හෝ පාසලේදී අන් අයගේ ආදරයට හෝ අවධානයට යොමු නොවූ ඔහු ජීවිතයේ මුල් වතාවට හිතවත්කමක් ලෙන්ගතුකමක්  පිලිබඳ හැඟීමක් ඇති කර ගන්නේ ඔහුට කොක්ක ගැසූ ජවිපෙ ශිෂ්‍ය වියාපාරයේ ජේෂ්ඨ සාමාජිකයා මගිනි.

මේ නිසා ඔහු එම ජේෂ්ඨ සාමාජිකයා පවසන ඕනෑම දෙයක් දේවත්වයෙන් පිලිගනී. පසුව ඔහු අවි පුහුනුව ලබා වියාපාරය වෙනුවෙන්  මංකොල්ලකෑම් වලද නිරත වේ. එසෙම ඝාතන සඳහා සහභාගි වේ. පසුව අත් අඩංගුවට පත් වන ඔහු වද බන්ධනයට ලක්වී සිරගත වී නිදහස ලබයි.

පසු කාලයක තම අධ්‍යාපනය විනාශ වීම , වියාපාරය විසින් තමාව උපකරණයක් ලෙස භාවිතා කොට ඉවත දැමුවා යන අවබෝදය නිසා ඔහු මානසිකව කඩා හැලේ. ඔහුව වියාපාරයට ගෙන ආ ජේෂ්ඨ සාමාජිකයන් ඔහු අත හැර දමා ඉතාලියට යාමත් ඔවු ගෙන් කිසිදු ගෙන් උපකාරයක් නොලැබීමත් නිසා ඔහු කලකිරීමට පත්වේ. දිවි නසා ගැනීම සඳහා ඔහු අවස්ථා කීපයකදීම උත්සහ දරා තිබුණි. එසේම මෙම පුද්ගලයා තුල කායිකරූපී ආබාධද දක්නට තිබුනේය​.

රැඩිකල් ශිෂ්‍ය වියාපාරයන් වෙත යොමුවී  ඝාතන ප්‍රවර්ධනය කරන ලද සියළු සිසු කණ්ඩායම් සාමාජිකයන් තුල අනන්‍යතා අර්බුධ , ග්‍රාමීය පසුගාමීත්වය , ප්‍රචණ්ඩත්වය ගැටළු නිරාකරණය සඳහා එකම මධ්‍ය බව ඇති විශ්වාසය​, හීනවූ සහකම්පනීය අවබෝධ්‍ය සහ බොහෝ විට  පෞරුෂ අක්‍රමතා හඳුනා ගත හැකිය. එසේම මෙම පුද්ගලයන් පිළිබඳව මනෝ විද්‍යාත්මක වශයෙන් අධ්‍යනය කිරීමක් අවශ්‍ය කෙරේ.

මෙම සිසු කණ්ඩායම් සාමාජිකයන් බොහෝ දෙනෙකු ජීවිතය වින්දනය කිරීම වෙනුවට අයිඩියෝලොජි එකක් වෙනුවෙන් මිනී මැරීම හෝ මරාගෙන මැරීමට යොමු වීම ඛේදවාචකයකි. පසු කාලීනව සත්‍ය වටහාගත් පැරණි සාමාජිකයෝ  මෙරට හා පිටරට වල ජීවත් වෙමින් ජීවිතය වින්දනය කරති. ඔවුන් තම දරුවන් තරුණ කාලයේ තමන් ගිය මුග්ධ මාර්ගයේ නොයැවීම් 100 % දකින්නට හැකි සාධකයකි.

මෙවැනි ප්‍රචණ්ඩත්වයට යොමුවූ ශිෂ්‍ය  ක්‍රියාකාරීන් උත්කර්ශයට පත් කිරීම වෙනුවට එහි ඇති හිස් බව , ඛේදවාචක බව සහ මුග්ධ බව පෙන්වා දීම මගින් අනාගතයේ බිලි බෝයිස් ලා බිහි වීම වලක්වා ගත හැකිය. අද දිනයේ මේ මිය ගිය සිසුන් ගැන වේදනාව තිබෙන්නේ ඔවුන් ගේ පවුලේ උදවියට පමණි. එදා මේ සිසුන් උසිගන්වන ලද ලද කිසිවෙකු අද ඒ අසරණ වූ පවුල් දෙස නොබලති.මිය ගිය  සිසුන්  දුක් වන්නේ කවුද ? ඔවුන් ගේ පවුලේ සාමාජිකයන් මිස වෙන කවරෙක් ද ? නිසි අධ්‍යාපනයක් ලබා එලදායී පුරවැසියෙකු වී සමාජයට සේවය කිරීම වෙනුවට ඔවුන් දුඛදායක ලෙස  අකාලයේ මහා මාර්ග වල මිය ගියහ.

රාජ්‍යය ස්වභාවයෙන්ම කෘරය​. විශාල රාජ්‍ය මර්ධනයට එදිරිව සටන් කල යුත්තේ මාටින් ලූතර් කිං ක්‍රමයට මිස ගල්කටස් සහ පිහි මගින් නොවේ. එවිට දරුණු රාජ්‍ය තන්ත්‍රය මහා භීෂනයක් මුදා හරියි.. එය 71 , 88 හා 2009 දී ලංකා වැසියන් දුටුවෝය​.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress