කොටි රාජ්රත්නම්ගේ ලේකම්ට මහ බැංකුව බාර දීම නරියට කුකුල්ලූ බාර දුන්නා වගේ..
Posted on July 5th, 2016

lanka C news

කොටි රාජ්රත්නම්ගේ ලේකම්ට මහ බැංකුව බාර දීම නරියට කුකුල්ලූ බාර දුන්නා වගේ..රට තුළ බලයේ සිටින අයගේ වැරදිවලට නීතිය ක‍්‍රියාත්මක නොවන නමුත් ආණ්ඩුවට අභියෝගයක් වන ජාතිකවාදී, ප‍්‍රගතිශිලී නායකයන් කවර වරදක් හෝ පෙරට දමා සිරගත කරන මෙහෙයුමක් ක‍්‍රියාත්මක වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතාට එරෙහි නඩුව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

‘‘අද රටේ නීතිය ක‍්‍රියාත්මක වන්නේ එක් එක් පාර්ශ්වයන්ට වෙනස් ආකාරයන්ටයි, මහදවල් තරුණයන් යටකරගෙන යන ඇමතිවරුන් අඩුම ගණනේ එම සිදුවීමේ සැකකරුවකු බවටවත් පත් වන්නේ නැහැ. ඊට අදාළ සීසීටීවී දර්ශන මැකෙනවා, හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක්වත් අඩුම තරමින් පවත්වන්නේ නැහැ. නීතිය නිසි පරිදි ක‍්‍රියාත්මක නොවන බවට වන මෙවැනි උදාහරණ  ඕනෑ තරම් අපට පෙන්වා දෙන්න පුළුවන්. නමුත් බලයේ සිටින පාර්ශ්වයේ අයට නීතිය ක‍්‍රියාත්මක නොවන රටේ මේ ආණ්ඩුවට අභියෝගයක් වන ජාතිකවාදී, ප‍්‍රගතිශිලී නායකයන්ට එරෙහිව කවර හෝ වරදක් පෙරට දමලා හිරේ දමන මෙහෙයුමක් අද ක‍්‍රියාත්මක වෙනවා. ඒ මෙහෙයුමෙහි ගොදුරක් බවට තමයි අද මොහොමඞ් මුසම්මිල් මහතා පත්ව සිටින්නේ. මොහොමඞ් මුසම්මිල් මහතා අද යහපාලනයේ කටු ලෙවකන තත්වයකට පත්ව සිටියානම්, වාහන එකක් නොවෙයි 100ක් පාවිච්චි කළත් කිසිම ප‍්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක තමයි අද මේ රටේ තත්වය. මේ තත්වය පරාජයට පත් කිරීම සඳහා මේ රටේ ප‍්‍රගතිශිලී ජනතාව පෙළගැසෙන්න  ඕනෙ. එහෙම නොවුණොත් මේ අය තමන්ට අභියෝගයක් වන සෑම දේශපාලන නායකයකුම සිරගත කරන තත්වයකට පත් වෙයි.

එහිදී මාධ්‍යවේයකු නැගූ වෙනත් ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා,

  • ප‍්‍රශ්නය :- පත්කරන ලද මහ බැංකු අධිපතිවරයා පිළිබඳව ඔබ සෑහීමකට පත් වෙනවාද?
  • පිළිතුර :- නව මහ බැංකු අධිපතිවරයාගේ පැටිකිරිය සොයා බැලූවාම අපට සෑහීමකට පත් වෙන්න බැහැ. රාජ් රාජරත්නම් මහතාට අයත් ආයතනයක ඔහු ලේකම්වරයකු ලෙස කටයුතුකර තිබෙනවා, රාජා රාජරත්නම් කියන්නේ කුප‍්‍රකට කොටි හිතවාදී ව්‍යාපාරිකයෙක්. අද වරදකරුවකු ලෙස  ඇමෙරිකානු සිරිගෙදරක දඩුවම් විඳින කෙනෙක්. නව මහ බැංකු අධිපතිවරයා එලෙසම පෞද්ගලික ව්‍යාපාරික කටයුතුවල යෙදෙන කෙනෙක්. මෙවැනි පුද්ගලයකුට මහ බැංකුවේ අධිපතීත්වය භාර දුන්නාම ඒක හරියට ‘නරියාට කුකුල්ලූ භාර දුන්නා වගේ’ වැඩක් කියලයි අපට නම් හිතෙන්නේ. ඒක සුදුසු පත් කිරීමක් ලෙස අපි පිළිගන්නෙත් නැහැ.
  • අනෙක් අතට හිටපු මහ බැංකු අධිපතිවරයා මේ රටට කර තිබෙන මහා පරිමාණ වංචාව සහ පාඩුව සම්බන්ධයෙන් කිසිම නීතියක් ක‍්‍රියත්මක වන්නෙත් නැහැ. අද බැඳුම්කරවලින් කෝටි ගණන් වංචා කරපු අයට නිදහසේ ඉන්න පුළුවන්. ‘වාහනයක් වෙනුවට තවත් එකක් පාවිච්චි කළාද?’ කියන ඒවාටයි අද උසාවිවල නඩු ඇහෙමින් තිබෙන්නේ’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress