‘නාමල් වරදක් කර නෑ.. ක‍්‍රිෂ් සමාගම පැමිණිලි කර නෑ..’ – සම්පූර්ණ අධිකරණ වාර්තාව මෙන්න..
Posted on July 12th, 2016

නිමන්ති රණසිංහ/කවින්ද්‍යා පෙරේරා– රිවිර

 ඉන්දියානු සමාගමක් වූ ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගමෙන් රුපියල් මිලියන 70ක් රගර් තරගාවලියක් සදහා ලබාගෙන එම මුදල් අවභාවිත කළායැයි කියන සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ ක්‍රිෂ් ලංකා සමාගම හෝ ප්‍රිමියර් සුපර් ස්පොර්ට්ස් සමාගමෙන් හෝ පැමිණිල්ලක් නොමැති අවස්ථාවක සැකකරුට ඇප ලබාදීමට හැකියාවක් තිබුණද, ප්‍රධාන සාක්ෂිකරුවන් කිහිප දෙනකුගේ සාක්ෂි ලබා ගත යුතුව ඇති බැවින් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කළ හැකි යැයි නිගමනය කරමින් අධිකරණය සැකකරු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

අංක 259/9, කොස්වත්ත තලංගම ලිපිනයෙහි දූෂණ විරෝධී හඬ කමිටුවේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් ඉකුත් ජනවාරි මස 12 වැනි දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය අධිකරණය හමුවේ විභාග විය.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් 11 උදෑසන ප්‍රකාශයක් ලබා දීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ පස්වරු 3.00ට පමණය.

‘නාමල් වරදක් කර නෑ.. ක‍්‍රිෂ් සමාගම පැමිණිලි කර නෑ..’ – සම්පූර්ණ අධිකරණ වාර්තාව මෙන්න..

සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් ද සමගින් අධිකරණයේ පෙනී සිටි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍ර.පො.ප. අනුර ප්‍රේමරත්න සමග උ.පො.ප. ලලිත් ශාන්ත යන නිලධාරීහු අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළහ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය : ස්වාමීනි, මෙම සිද්ධියට අදාළව 2016 ජනවාරි 12, 18 පෙබරවාරි 19 මාර්තු 03 යන දිනයන් හි ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාවන්ට අමතරව මෙම දීර්ඝ විමර්ශනයෙන් පසු සැකකරුවකු ලෙස මහවෙල පාර කාල්ටන් තංගල්ල පදිංචි ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ යන අය අද දින අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබනවා. මෙම විමර්ශනය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක අංක 7 මගින් සිදුකරනු ලැබුවා. කොළඹ කොටුව ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගමේ රුපියල් මිලියන 70ක් රගර් තරගාවලියක් සඳහා ලබා ගෙන ප්‍රිමියර් ස්පෝට්ස් සමාගමේ නිමල් පෙරේරා මහතාගේ එච්.එස්.බී.සී. ගිණුම් අංකය ඉල්ලාගෙන එම ගිණුමට රුපියල් මිලියන 70ක් ගෙන්වා ගෙන එම මුදල් නැවතත් නිමල් පෙරේරා මහතා විසින් නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදීමෙන් පසු 2013 මැයි හෝ ජුනි යන මාසයේ කාල්ටන් සෙවන් රග්බි තරගාවලිය සඳහා අදාළ කමිටුවට භාරදුන් බවට සැකකරු විසින් පවසා සිටියා. එම කමිටුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී රගර් සම්මේලනයෙන් ප්‍රකාශ සටහන් කළා. එම මුදල් අදාළ සංගමයට ලබාදුන්නේ නැති බව ඔවුන් සඳහන් කළා. මෙම සැකකරු විසින් එම මුදල් වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම මග හැරියා. අදත් එනකොට ගේන්න කිව්වා. අරගෙන ආවේ නෑ. ඊට අමතර ක්‍රිෂ් ලංකා සමාගමට ලිපියක් යවා තිබෙනවා එම මුදල ලැබුණ බවට. එසේම ඒවා වියදම් කළ බවට ඇමුණුමක්ද යවා තිබෙනවා. මෙය මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව ගැනෙන වරදක්. 2016 ජනවාරි මාසයේ 13 දින අල් තමාන් නමැති බංග්ලාදේශ ජාතිකයකු විසින් ඔහුගේ ගිණුමට රුපියල් මිලිය 52ක් බැරකරගෙන එම ගිණුමෙන්ම රුපියල් මිලියන 50ක් මෙම සැකකරුගේ ගිණුමට බැර කරගෙන ඇති බවට සඳහන් කරනවා.

අධිකරණය : ඒ ගනුදෙනුව මොකක්ද? ඒ විදේශ ජාතිකයා කවුද?
පොලිසිය : 2013 මැයි හෝ ජුනි මෙම මුදල රුපියල් මිලියන 35ක් වශයෙන් දෙවතාවකදී නිමල් පෙරේරා යන අය විසින් ලබා දීලා තිබෙනවා. ඒක රග්බි තරගාවලියට නොගෙන අල් තමාන් නමැති බංග්ලාදේශ ජාතිකයකුගේ ගිණුමකට බැර කරලා ඒ ගිණුමෙන් ආපසු රුපියල් මිලියන 50ක් ලබාගෙන ඊට අමතරව රුපියල් මිලියන 50ක බැංකු අයිරාවක් ලබාගෙන. ඒකෙන් තමයි මෙම සැකකරු හෙලෝ කෝප් සමාගම මිලදී ගෙන තියෙන්නේ. මෙම බංග්ලාදේශ ජාතිකයා සොයා ගැනීමට නැහැ. අපි සොයාගන්න උත්සාහ ගන්නවා.

අධිකරණය : එය මෙරට සමාගමක්ද?
පොලිසිය : ඔව් ස්වාමීනි. ඒක මෙරට ආයෝජනයට ආපු ඉන්දියානු සමාගමක්. අක්කර 4.3ක භූමි ප්‍රමාණයක් අනූ නව අවුරුදු බද්දට අරගෙන විශාල සාප්පු සංකීර්ණයක් ඉදිකරන්නයි ඇවිත් ඉන්නේ. එම සමාගමේ ගුප්තා කියන අයගෙන් ලංකාවේ රගර් ක්‍රීඩාවට අනුග්‍රහය දක්වන්න කියලා තියෙද්දී තමයි රුපියල් මිලියන හැත්තෑවක් දීලා තිබෙන්නේ. එම මුදල නිමල් පෙරේරාගේ ගිණුමට තමයි බැරකරලා තිබෙන්නේ. පසුව ඒ නිමල් පෙරේරා යන අය ග්‍රෙගරි පාරේ පිහිටි සැකකරුගේ කාර්යාලයට දෙවතාවක් ගිහින් එම මුදල් අතටම දීලා තියෙනවා. සැකකරු කියන්නේ කමිටුවට දුන්නා කියලා. කමිටුවේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කළාම එයාලා කියන්නේ එහෙම මුදලක් දුන්නේ නෑ කියලා.
මෙහිදී සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා : ස්වාමීනි, ඔය කියන කාරණාවලින් පැහැදිලිව පේනවා මුදල් දුන්නා කියන්නේ ක්‍රිෂ් කියන සමාගම. ක්‍රිෂ් සමාගමෙන් පැමිණිල්ලක් කරලා නෑ. රගර් කමිටුවත් පැමිණිල්ලක් කරලා නෑ. ඒක පැහැදිලියි. වසන්ත සමරසිංහ කියන්නේ දේශපාලන චරිතයක්. ඒකෙන්ම පැහැදිලිව පේනවා මේ මුදල ක්‍රිෂ් ආයතනය දුන්නා නම් 2013 ඉඳලා අද වෙනතුරු පැමිණිලි කර නෑ. මේ පරීක්ෂණයට මාස හතක් ගත වෙලා. අද වෙනකල් පැමිණිලිකාරයෙක් හොයා ගන්න බෑ. මගේ සේවාදායකයා මේ සම්බන්ධයෙන් දෙවතාවක් ඇවිත් කට උත්තර දීලා තියෙනවා.

අධිකරණය : ක්‍රිෂ් සමාගමෙන් කට උත්තර ගත්තාද?
පොලිසිය : ඔව් අරගෙන තිබෙනවා.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා : ස්වාමීනි, මගේ සේවාදායකයා තරුණයි. ඔහු සහ අදාළ සමාගම අතර තිබුණ රැස්වීමකදී ඔහුගෙන් එම තැනැත්තා ඇහුවා මොනවද වෙන්න ඕන කියලා. එතකොට තමයි මගේ සේවාදායකයා කිව්වේ අපේ රටේ රගර් ක්‍රීඩාව නංවන්න උදව් කරන්න කියලා. නිමල් පෙරේරා කියන්නේ සිලෝන් ප්‍රිමියර් ස්පෝර්ට් සමාගමේ සභාපති. එතුමාගේ නමට තමයි සල්ලි දැම්මේ. 2010 නොවැම්බර් මස 10 තමයි නුවර කාල්ටන් රග්බි තරගාවලිය පැවැත්වුණේ. ඒකට සංගම් 10ක් සහභාගි වුණා. මේ සම්බන්ධයෙන් ක්‍රිෂ් ආයතනයෙන් පැමිණිල්ලක් නෑ. මිලියන 70ක ගිවිසුම ගැහුවේ වසන්ත සමරසිංහ එක්කවත් එෆ්.සී.අයි.ඩී. එකත් එක්ක නොවෙයි. මගේ සේවාදායකයාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 3 අධිකරණයේත් නඩුවක් තිබෙනවා. සියලුම ලේඛන ඒකට අරන් තියෙන්නේ.අධිකරණය : ක්‍රිෂ් සමාගමේ ප්‍රකාශයෙන් මොනවද කිව්වේ?

පොලිසිය : ආර්.පී. ගුප්තා යන අය ප්‍රකාශ ලබාදීලා තිබෙනවා. ඒ අය ක්‍රීඩාවට ආසයි. ඒක දියුණු කරන්නයි දීලා තියෙන්නේ. ඒ අය දන්නෑ මේ සල්ලිවලට මොකද වුණේ කියලා. සල්ලිවලට මොකද කළේ කියලා ඒ අයට ඇමුණුමක් යවලා තියෙනවා.
ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා : ස්වාමීනි මගේ සේවාදායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. අධිකරණය මග හරින්නේ නෑ. සාක්ෂිවලට කිසිසේත්ම බාධාවක් කරන්නේ නෑ. මහජන කැලඹීමක් වෙන්නේ නෑ. ඒ නිසා ඕනැම ඇප කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

අධිකරණය : (පොලිසියෙන්) විමර්ශන තත්ත්වය කොහොමද?
පොලිසිය : විදේශිකයන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ ගන්න තිබෙනවා. ඉන්දීය ජාතිකයින් වූ අමිත්, ආර්.සී. ගුප්තා, බංග්ලාදේශ ජාතිකයකු වූ අල් තමාන්, නවසීලන්ත ජාතිකයකු වූ ජෝර්ජ් ඩිම්කින් යන අයගෙන් ප්‍රකාශ ගන්න තිබෙනවා.

අධිකරණය : ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බලමි. මෙම සැකකරු මෙම මුදල් නිමල් යන අයගෙන් ලබාගත් බවට සාක්ෂි තිබෙනවා. සැකකරු ඒවා විධිමත් ආකාරයට රගර් ක්‍රීඩාව සඳහා යොදාගත් බවට සඳහන් කරලා තියෙනවා. අද දින වැඩිදුර වාර්තාවෙන් පෙනී යනවා මෙම සැකකරු වරදක් කර නැති බවට. එසේම, මෙම සිද්ධියට අදාළව ප්‍රිමියර් ස්පෝර්ට් සමාගමෙන් හෝ ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගමෙන් හෝ පැමිණිල්ලක් ලැබී නොමැති අවස්ථාවක සැකකරු මුදල් භාවිත කළ ආකාරය සම්බන්ධයෙන් පැමිණිල්ල විග්‍රහ කර නැහැ. ප්‍රධානම සාධකය මෙම මුදල භාවිත කළේ කෙසේද යන්නයි. වැදගත් සාක්ෂි කිහිපයක් ලබා ගන්න තිබෙන බවට මූල්‍ය අපරාධ විමර්ශ කොට්ඨාසය කියනවා. ඒ සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ හැකි යැයි නිගමනය කරමින් සැකකරු සතියක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබනවා.

ඒ අනුව සැකකාර නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ මහෙස්ත්‍රාත්වරිය එදින තෙක් නඩුව කල් තැබීය.

ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, නීතිඥ ගනේෂ් ධර්මවර්ධන, නීතිඥ බුද්ධික ජයසිංහ, නීතිඥ කපිල ගමගේ, නීතිඥ ප්‍රියන්ත දෙනියාය, නීතිඥ උදය ගම්මන්පිල, නීතිඥ සිසිර ජයකොඩි, නීතිඥ සම්පත් මෙන්ඩිස්, නීතිඥ චමින්ද කුලරත්න, නීතිඥ ප්‍රේමනාත් fදාලවත්ත, නීතිඥ විකුම් බස්නායක, නීතිඥ රකිත අබේගුණවර්ධන, නීතිඥ ශාබ්දික වෙල්ලප්පුලි, නීතිඥ මහේෂ් අලහප්පෙරුම, නීතිඥ එන්. සන්නස්ගල, නීතිඥ නිලන්ත විජේසිංහ යන මහත්ම මහත්මීහු සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළහ.සැකකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය වෙත රැගෙන එනු ලැබූ අවස්ථවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, වීරකුමාර දිසානායක, දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්ගම, ජයන්ත සමරවීර, විමල් වීරවංශ, ජී.එල්. පීරිස්, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් හා පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටි අතර, යෝෂිත රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ යන මහත්වරුද අධිකරණ පරිශ්‍රයේ රැඳී සිටියහ.

නිමන්ති රණසිංහ/කවින්ද්‍යා පෙරේරා
– රිවිර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress